ඡායාරූප කප්පාදු කිරීම (Cropping)

ඡායාරූප කප්පාදු කිරීම, මේක දැන් නම් නොදන්න කෙනෙක් නැහැ. ඡායාරූපයක් ගන්න කෙනෙක් හෝ නරඹන කෙනෙක් “හයියෝ ඕක crop කරන්න තිබුනනේ” කියල කියනවා අහල දැකල ඇති. ඡායාරූප කප්පාදු කරන්නේ ඇයි. මේක තමා තියෙන ප්‍රශ්ණය. ඡායාරූප කප්පාදු කරන්න හේතු කරගන්න ඕන මූලික කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන බලන්න කලින් ඡායාරූප ක්‍රොප් කරද්දී මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවේදීම ඔයාලගේ මුල් ඡායාරූපයේ පිටපතක් භාවිතා කරන්න.

පින්තූරයක සම්පූර්ණ සංයුතිය පවත්වා ගන්න අපිට crop එකක් කරන්න පුළුවන්. හිතන්න ඉක්මනින් වෙනස් වෙන පින්තූරයක් නම් අපි ඉක්මනින් ඡායාරූපය ගන්නවා. සංයුතිය ගැන හිතන්න වෙලාව මදි නිසා. පසු සංස්කරණයකින් crop කරල සංයුතිය අපට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. හිතන්න කුරුල්ලෙක් ඉගිලෙන එකක් කියල. රාමුව ඉඩ කියල ගත්තා. පස්සේ ‍crop කරල නිවැරදි කර ගන්න පුළුවන්.
ඉහල ඡායාරූපය crop මගින් වෙනස් සංයුතියන් ඇති ඡායාරූප දෙකක් ලබාගතිමි
Photo credit Goes to Dr. Wasiri Rasu Gajaman
දෙවැනි කාරණාව අරමුණ වෙන නිවැරදි නාභිගත කිරීමක් පෙන්වන්න. මේක ගොඩක් වෙලාවට ලොකු ක්‍ෂේත්‍ර ගැඹුරක් (depth of field) තියෙන ඡායාරූපයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද පින්තූරයේ බොහෝ දේ නාභි ගත වෙලා නිසා නිවැරදි අරමුණ නාභිගත වීම සකස් කරගන්න crop කිරීමකින් පුළුවන්.

මගේ ගමන් බිමන් එකසිය එක් වන කොටස - මීමුරේ යන්න ගිහින් වැරදුනු ගමන

පහුගිය දිග නිවාඩුවට යකාගේ පඩිපෙල දිගේ ඔහියට ආව මතක ඇතිනේ. ඉතින් මේ නිවාඩුවේ තැනක මීමුරේ යන්නත් ඉඩ තියාගෙනයි ආවේ. ඒත් ඉතින් දිග නිවාඩුව හා අපේ සබඳතාවල දුර්වල බවක් නිසා මීමුරේ නවතින්න තැනක් හමුවුනේ නෑ. ඉතින් අපි හිතුවා මීමුරේ උදේ ගිහින් හවස එනවා කියල. මේ ගමනේ මූලික අරමුණ වුනේ මීමුරේ දකින්න සහ එය බලන්න යනවා නම් සබඳතා ටිකක් ගොඩනගා ගැනීම. කොහොම වුනත් අවසානයේ අපි බයිසිකල් දෙකක මාත් තවත් මිතුරන් දෙදෙනෙකුත් එක්ක මීමුරේ බලන්න නුවර ඉඳන් පිටත් වුනා. 
අපේ ගමන හුන්නස්ගිරියට ඇවිත් එතැනින් බයිසිකල් වලින්ම මීමුරේට යන්න තීරණය වුනා. අපේ අවාසනවාට විවිධ වැඩ නිසා සහ මට තිබුනු අසනීප තත්ත්වය නිසා අපි හුන්නස්ගිරියෙන් පිටත් වෙද්දී 11ට ආසන්න වෙලාවක් වෙන්න ඇති. මීමුරේට දුර කිලෝමීටර 37ක් වුනාට පාරේ මුල් ටික හදලා නිසා අපිට ඒ තරම් ගානක් වුනේ නෑ. ඉතින් මඟ ඉන්න සමනල්ලුන්ගේ පින්තූර ගන්නයි, අවට පරිසරයේ පින්තූර ගන්නයි අපේ කාලයෙන් ටිකක් වැඩිපුර වැය කලා. මේ විදිහෙන් අපි මීමුරේට ආසන්න වෙද්දී ටිකෙන් ටික වාහන ප්‍රමාණය වැඩිවෙන බව අපිට ‍දැනෙන්න වුනා. දින හතරක පහක දිග නිවාඩුවක් ආවාම මිනිස්සු ඉන්නේ කොහේද කියල තේරෙන්නේ මේ වගේ පැති වලට ආවම තමයි. කොහොම වුනත් අවසානයේ මීමුරේට යාබද ගම්මානය වුන කයිකාවලට ලඟා වුනා. 

මගේ ගමන් බිමන් සියවැනි කොටස - කලුපහණ ඉඳන් යකාගේ පඩිපෙල දිගේ ඔහියට

මගේ ගමන් බිමන් එක්ක සියවෙනි කොටසටත් ආව. සියවෙනි කොට අපූරුම අපූරු චාරිකාවක විස්තරයක් තමයි ලියැවෙන්නේ. අවුරුදු ගානක් සැලසුම පමණක් වෙලා තිබ්බ ගමනක් තමා මේ ගියපු යකාගේ පඩිපෙළ එහෙමත් නැතිනම් Devil's Staircase කියන්නේ. 
යකාගේ පඩිපෙල කියන නම ගමන් බිමන් යන්න ආසාවක් තියෙන ඕනම කෙනෙක් අහල ඇති. ඒ විතරක් නෙවෙයි හීනයක් වගේ ඒ ගමන යන ආසාවත් ඇති. ඇවිදින කෙනෙක් නම් ජීවිතේ එක පාරක් හරි යා යුතුම ගමනක් තමයි මේ යකාගේ පඩිපෙල කියන්නේ. බොහෝමයක් දෙනා හිතන්නේ මේක පඩිපෙලක් කියලයි. හරියට ශ්‍රීපාදය නගිනවා වගේ ඇති කියලයි. ඇත්තටම මේක දුෂ්කර පාරක්. තේ දලු ලොරි හා බයිසිකල් තමා වැඩියෙන්ම යන්නේ. කලාතුරකින් ත්‍රී රෝද රථ ගියත් පාර නම් අන්තෙටම සවුත්තුයි. 

අම්බලන්ගොඩින් ලොවට දායාද කල නූල් රූකඩ කලාව



රූකඩ යන නම ඇහුණ කාටත් අම්බලන්ගොඩ කියන නම මතකය එනවා වා‍ගේම අම්බලන්ගොඩ කවුරු ලංකාවේ කොතනකදී වුනත් ගමේ නම කියද්දී රූකඩ කියන නම නිතැතින්ම මතක් වෙන තරමටම අම්බලන්ගොඩ හා රූකඩ කියන නම් දෙක බැඳිල තියෙනවා. අම්බලන්ගොඩ රූකඩ කලාවට වසර 300කට වැඩි අතීතයක් තිබුන බව සාක්‍ෂි වලින් ඔප්පු කරන්න පුළුවන් කම තියෙනවා.
 
 

රූකඩ කලාවේ වැඩියෙන්ම භාවිතා වෙන්නේ ‍අම්බලන්ගොඩින් එන නූල් රූකඩ කලාවයි. මීට අමතරව රිටි රූකඩ, අත් රූකඩ, සෙවනැලි රූකඩ, වෙස් මුහුණු රූකඩ, අත්මුහුණු රූකඩ, ඇඟිලි රූකඩ, රිටි හා නූල් මිශ්‍ර රූකඩ, ක්‍ෂුද්‍ර රූකඩ, ජ්‍යාමිතක රූකඩ, විද්‍යුත් රූකඩ සහ දැවැන්ත රූකඩ ලෙස භාවිතය අනුව වර්ග ගණනාවක් තිබෙනවා. රූකඩ කලාවේ ආරම්භය පිළිබඳව හරිහැටි අතීතයක් කියන්න බැරි තරම් වෙනවා. මිනිස් ශිෂ්ඨාචාර ආරම්භයේ සිට කලක් ගතවීමෙන් පසු විවිධ ඇදහිලි සමඟ රූකඩ නිර්මාණය ආරම්භ වී ඇතැයි සිතිය හැක. කලක් යද්දී මේ නිර්මාණය වූ රූකඩ මඟ තොට සංදර්ශන සඳහා යොදාගෙන තිබේ. ලංකාවේ රූකඩ කලාව ගැන ඇති පැරණිම මූලාශ්‍ර සාක්‍ෂිය වන්නේ ගජබා රජුන්ගේ රාජ්‍යය අල්ලා ගැනීම සඳහා මහා පැරකුම්බා රජු විසින් නාට්‍යයේ හා සංගීතයේ දක්‍ෂ පිරිස් විවිධ දිශා වල ඔත්තු සේවයේ යෙදවූ බවට මහා වංශයේ තිබෙන්නා වූ කතාන්දරයයි.

දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස

හැමෝම හිතන්නේ Macro ඡායාරූප ගන්න නම් DSLR එකක් තියෙන්නම ඕන කියලයි. ඇත්තටම එහෙම ඕන වෙන්නේ නෑ. දැන් තියෙන Smart Phones වල තියෙන කැමරා හොඳ Resolution එකක් තියෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒ දුරකථන කැමරා සඳහා සැකසුන හොඳ Apps තියෙනවා. ඒවායින් අපට අවශ්‍ය පරිදි දුරකථන කැමරාවේ පවා සැකසුම් කරන්න පුළුවන්. සමහර වෙලාවන් වලදී දුරකථන කැමරාවේ Resolution එක DSLR එකකට වඩා වැඩි අවස්ථාත් දැන් තියෙනවා.

උදාහරණයක් විදිහට මේ ඇප් ට්‍රයි කරල බලන්න.

Android සඳහා :


-------------------------------------------------------------------------------------------------------------------------

-------------------------------------------------------------------------------------------------------------------------
Macro ඡායාරූපය් ලබාගන්න දුරකථන කැමරාවෙන් පුළුවන්ද? ඇත්තටම කියනවා නම් දුරකථන කැමරාවෙන් අපට ලංවෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 10කට ආසන්න ප්‍රමාණයක්. අපිට කැමරාවෙන් දීපු Macro Mode එක දාගෙන වුනත් ඒ සීමාවේ ඡායාරූප ගන්න එක සාර්ථක මදි. මොකක්ද මේ Macro Mode එක කියන්නේ. ඇත්තටම Macro Mode එක භාවිතා කලාම වෙන්නේ කැමරාවේ Focus point එක සලකන Pixels ගාන අඩුවෙන එක. ඒ නිසා අපට කුඩා දෙයක් Focus කරගන්න පහසුයි. මුලින්ම Mobile එකෙන් මැක්‍රෝ ඡායාරූප ගන්න අය කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි Macro Mode එකට දාල උත්සාහ කරන එක.

Super Moon එහෙමත් නැත්තම් සුපිරි සඳ

හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන ‍එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.
පෘථිවිය වටා සඳ යන ගමන් මාර්ගය හැමදාම එකම මාර්ගයක් නෙවෙයි. එය තරමක් වෙනස් වෙනවා. ඉලිප්සීය මාර්ගයක සූර්යයා වටා යන පෘථිවියේ ගමනත් පෘථිවිය වටා ඉලිප්සීය මාර්ගයක සිදුවෙන සඳේ ගමනත් ඒකට බලපානවා. ඉලිප්සීය ම‍ඟ ගමනේදී පෘථිවියට ආසන්නවම සඳ ගමන් කරන විට අපට සඳ මඳක් විශාලව ආලෝකය වැඩියෙන් දිස්වෙන්න පුළුවන්. නමුත් එසේ විශාලත්වය වැඩියෙන් දිස්වීම සඳහා තවත් යමක් සිදුවිය යුතුයි. ඒ තමයි ඒ දිනය පුරහඳ ඇති දිනයක් වීම. අඩ සඳක අපට මේ සංසිද්ධිය බලාගන්න බැහැ. ඉතින් මේ කියන කරුණු කාරණා දෙකම එකවර ඇති වෙන්නේ කලාතුරකින් කියල කියන්න පුළුවන්.සුපිරි සඳ කියන අවස්ථාවක් විදිහට සලකන්න නම් හඳ කිලෝමීටර 361,524ක ප්‍රමාණයට ලඟින් යන්න ඕන.
මම කිව්වානේ මේකේ විරුද්ධ සංසිද්ධියකුත් තියෙනවා ඒකට කියන්නේ Micro Moon කියලයි. මේ අවස්ථාවේදී සඳ සාමාන්‍ය අවස්ථාවට වඩා පොඩියටයි පේන්නේ. ඒකත් අපිට දකින්න නම් පුරහඳ ඇති දවසක් විය යුතු වෙනවා. 

පින්තූරයකට අරුතක් දෙමු............

අද කතා කරන පින්තූරය මා මිත්‍ර රොහාන්ත අයියාගේ පින්තූරයක්. ඔහුගේ කැමැත්ත මත සංස්කරණය කිරීම සඳහා මුල් සේයාරුව ලබා දීම සම්බන්ධව ස්තූතිය පලකරන්න කැමතියි.

පින්තූරයක් ගත්තාම ඒක ගනිද්දීම සංස්කරණයන් කර හෝ නොකර අපි අවසන් ප්‍රථිඵලය දැකිය යුතුයි. එය රාමුව සකස් කරද්දීම කරන්න පුළුවන් දෙයක්. නමුත් ඒ වෙනුවෙන් දීර්ඝ කාලයක අභ්‍යාසයන් අවශ්‍ය වෙනවා. නමුත් ආධුනිකයෙකුට ඒ දේ කරන්න වෙන්නේ පසුව. ඒ වෙනුවෙන් හොඳම රාමුව ඡායාරූපයට අරගෙන එන්න වෙනවා. වැදගත්ම කාරණාව තමයි රාමුව සකස් කිරීම. කැමරා කෝණය නිවැරදිව අඩුම තරමේ විශාල රාමුවක් අරන් ආවොත් ක්‍රොප් එකකින් වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මෙහෙම ගද්දී අපි හිතන එකම අපි ඇහින් දැක්ක එකම ගන්න එක කැමරාවේ හැකියාව එක්ක වෙනස් වෙනවා. ලාභ කැමරාවක් එක්ක ලොකු දෙයක් කරන්න අමාරුයි. ඉතින් මම මේ කියන මගේ මිත්‍ර රොහාන්ත අයියටත් Dynamic Range එක හරස් වෙලා කියල හිතනවා. කොහොම වුනත් අවසාන ප්‍රථිඵලය ලෙස ගෙනාව ඡායාරූපයෙන් වැඩක් ගන්න පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි කරන සංස්කරණය එක්ක. ඉතින් මම හිතුවා මේක මම දැක්ක විදිහට සංස්කරණය කරල පෙන්වන්න. කරන්න තියෙන්නේ පොඩි පොඩි වැඩ ටිකක්. මීට වඩා වෙනස් ක්‍රම අනන්ත තියෙනවා. ඒ නිසා මේක වැරදියි කියල කියන්නේ නැතිව ඒ ක්‍රමය කමෙන්ට් එකක් දාන්න.

Extension Tube එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද? දන්න සිංහලෙන් Macro Photography - දෙවන කොටස

Extension tube එකක් හදන හැටි එක්කම මම මේක කරන්න අඩිතාලම දාපු හැටිත් කියන්න හිතුනා. මොකද මේ වගේ දෙයක් කරන එක වගේම එහෙම දෙයක් හිතන එකත් ලොකු වැඩක් නිසා. මගේම කියල DSLR කැමරාවක් අරන් අවුරුද්දක් විතර ගතෙවද්දී මට හිතන්න පටන් ගන්නවා අලුත් දෙයක්. ඒක අලුත් වෙන්නේ කැමරාව හා එහි තාක්ෂණික පැත්ත අධ්‍යයනය ආරම්භ වීම හා භෞතික විද්‍යාවේ මම ඉගෙන ගත්තු කාච හා ආලෝකය පිළිබද පාඩම් මතකයට එද්දී. එදා ඉදන්ම භෞතික විද්‍යාවට ආස වුනේ ඒකෙ තියෙන ප්‍රායෝගික පැත්ත නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතන්නෙ.
කැමරාවේ සාමාන්‍ය ලෙන්ස් එක වුන 18-105mm ලෙන්ස් එකත් 55-300mm කියල ලෙන්ස් එකකුත් තිබුන මට අරමුණ වුන වස්තුවට ලංවෙන එකට තවමත් සීමා තිබුනා. මම බැලුවේ අරමුණට ලංවෙන එක ගැන සහ අරමුණේ විශාලනය වැඩි කරන්න. ටිකෙන් ටික පුංචි උන්ගේ ලෝකයට ලංවෙන්න හිතුනත් කැමරාව ඒකට හරස් වුනා. Macro Photography කියල දෙයක්වත් හරිහැටි නොදැන හිටි නිසා හොයල බලන්නවත් විදිහක් තිබුනේ නැති තරම්. මේ අතරේ මට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. තාරකා සංගමයක ක්‍රියාකාරී සාමාජිකයෙකු වුන මට විශාලනය කියල දෙයක් අහන්න ලැබෙනවා. ඒක කරන්න ලෙන්ස් දෙකක් ඕන. මේ කරුණ ගැන හිතනකොට Single Lens Reflex කියන එක හරහට ඇවිත් කරදර කරනවා. ඉතින් විශාලනය ගැන ඉගෙන ගන්න මට ලෙන්ස් එක හා සෙන්සර අතර දුර වැඩිකිරීම කියල සංකල්පයක් පහල වෙනවා. මේ තමා ආරම්භය. ඒකට ක්‍රම හොයද්දී හමුවුන විසදුම තමයි මම මුලින්ම ඔයාලට කියල දෙන ක්‍රමය. ඊට අමතර ක්‍රම කීපයක් පසුව සඳහන් කරනවා ලිපියේ අග වෙද්දී.

මගේ ගමන් බිමන් අනූනම වැනි කොටස - බේරුවත්ත ඇල්ල, වේවැල්වත්ත

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර ප්‍රමුඛස්ථානයක් ලැබෙන දිය ඇල්ලක් තමයි බේරුවත්ත ඇල්ල කියන්නේ. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 20ක් විතර ගියාම රුවුලදොල හංදියට ලඟ වෙන්න පුළුවන්. එතැනින් මීටර 150ක් විතර පයින් තමයි යන්න වෙන්නේ. වැහි අඩු කාලයේදී කුඩා දොලක් විදිහට තිබුනා වුනත් වැහි කාලයේදී නම් දරුනු විදිහේ සැඩපාරක් තියෙනවා. ඒකෙන් එගොඩ වෙලා ටිකක් ඇතුලට යද්දී දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්.
වේවැල් දොලෙන් පෝෂණය ලබන බේරුවත්ත ඇල්ල උසින් අඩි 54ක් විතර වෙනවා. මනරම් ලෙසින් ඇද හැලෙන දිය ඇල්ල අවසානයේ බෙරුවත්ත විල නමින් හැඳින්වෙන පොකුණ නිර්මාණය කරමින් ගලා බහින්නේ වේවැල් දොල විදිහට. පස්සේ අලුපොල දොල හා රැවුලදොල සමඟ එක්වී අවසානයේ මහවැලි ගඟට ගලා බහිනවා.

ම‍ගේ ගමන් බිමන් අනූ අට වැනි කොටස - රත්ගඟ අසල පිහිටි පුංචි දඹදිව

රත්නපුර නගරයේ සිට වේවැල්වත්ත මාර්ගය දිගේ ගමන්කර ගලබඩ මංසංධියට එන්න පුළුවන්. එතැනින් රත්ගඟ පාර දිගේ කිලෝමීටර 10ක් විතර ගියාම අපට පුංචි දඹදිව කියන නමින් ප්‍රසිද්ධ වුන මේ පන්සල දකින්න පුළුවන්. අති විශාල අතීතයකට හිමිකම් කියන අපේ රටේ තියෙන අනිත් පූජ්‍ය ස්ථාන එක්ක ගත්තාම මේ විහාරස්ථානයට තියෙන්නේ බොහොම පුංචි ඉතිහාසයක්. නමුත් ඒ ඉතිහාසය තුලදී මෙයට අත්කර දී ඇති විශේෂත්වය ලෝකය පුරාම ප්‍රසිද්ධියක් ලබන්න තරම් ප්‍රමාණවත්.
ශ්‍රී පාද අඩවිය පාමුල පිහිටි අතිශය දුෂ්කර ගම්මාන වල තිබුනු පන්සල් වලින් ඒ කාලේ පාරක්වත් නොතිබුනු පන්සලක් තමයි ගිලීමලේ පන්සල කියන්නේ. හොඳින් උගත් හිමිනමක් වුන ගිලීමලේ චන්ද්‍රාලෝක හිමියන්ට ඒ කාලේ වෙද්දී වයස අවුරුදු විසි හතරක් විතර ඇති. සෑම තැනම ධර්ම ප්‍රචාරණය කරන ස්වාමීන් වහන්සේ 1981 අප්‍රේල් මාසේ 14 වැනිදා ගිලීමලේ විහාරයට සමු දීල රත්ගඟ පාමුලට වඩින්න වුනා. ගම්වැසියන්ගේ උදව්වෙන් කොලඅතු වලින් වටකරපු ධර්මශාලාවක් හා කුඩා පැල්පතක් සකස් කරගෙන අලුත් පන්සලක් විදිහට ඒක වැඩි දියුණු කරන්න මහන්සි ගත්තා. එතැනින් පටන්ගත්තු මේ විහාරය අද මහානර්ඝ විහාරයක් බවට පත්වෙලා තියෙනවා. විවිධ ජනපතිවරුන්ගේ අනුග්‍රහයද නොඅඩුව මෙම විහාරයට ලැබී තිබෙනවා.

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස

අද මගේ අත්දැකීම් අඩවියේ ඉඩ බොහෝ පිරිසකගේ ඉල්ලීමක් වෙනුවෙන් ලබා දෙන්න හිතුවා. ඒ තමයි මැක්‍රෝ ඡායාරූපකරණය.

අපි ගන්න ඡායාරූප සාමාන්‍යයෙන් ජීව ප්‍රමාණය වඩා කුඩායි. ඒ කියන්නේ කෙනෙකුගේ හෝ යම් දෙයක ඡායාරූපයක් ලබා ගත්තාම ඒක ඇත්ත අරමුණ සමඟ සසඳද්දී විශාලනය කුඩායි. අඩුම තරමේ මේ විශාලන ප්‍රමාණය 1:1 අනුපාතය තියෙනවා නම් අපි කියනවා ඒක මැක්‍රෝ ඡායාරූපයක් කියල. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි Macro සහ Closeup ඡායාරූප කියන වර්ග දෙක. ජීව ප්‍රමාණයෙන් 1/4ක් වෙන ඒ කියන්නේ 1:4 විශාලනයක් සහිත ඡායාරූපයක් නම් ඒකට අපි කියන්නේ closeup ඡායාරූපයක් කියලයි. නමුත් අපි පොදුවේ මේ දෙකම Macro ඡායාරූප ගොඩට දාලා තියෙනවා. ජීව ප්‍රමාණම හා ජීව ප්‍රමාණය වගේ 5ගුණයක් වෙනකම් ඡායාරූප Macro ගොඩටත් එතැනින් පස්සේ Micro ගොඩටත් මයික්‍රෝ මීටර වගේ කුඩා අරමුණ ඡායාරූප ගත කරන එක nano ඡායාරූප ගොඩටත් අයිති වෙනවා.

මට නැති උන්ට ඇති තැන.............

මෙය ලියන්දෝ නොලියන්නදෝ සිතමින් කලක් ගතවුන සිද්ධියකි. මා සතුව එක්තරා බැංකුවක ගිණුමක් පැවතුනි. එය දැන් හිස්ය. මා මේ කියන දිනය වෙද්දීත් එයට අවුරුදු 8ක පමණ කාලයක් වයසය. කරුමය නම් පොත කලිසම් සාක්කුවේ දමා එය රෙදි සෝදන යන්ත්‍රයේ අපූරුවට සෝදා ඇත. එයට හේතුවද මා සෑම වෙලාවකදීම සිටිනා මනෝ ලොව යැයි මට සිතේ. වරෙක සතෙකු ගැනත් තවත් වරෙක කැමරාවක් ගැනත් ඒවායේ හීන බිඳින රස්සාව ගැනත් මතක් කරමින් ගෙවෙන මනෝ ලෝකයෙන් මිදී යලි එද්දී පොතක් වෙනුවට පාවෙන ‍පෙඟුන කොල කෑලි ටිකක් ඉතිරිය. බැංකුව වෙත ගොස් පොත ඉල්ලා ඉල්ලීම් රැසකි. අවංක වශයෙන් කල ඇත්ත ප්‍රකාශය වැරදී ඇති සෙයක් මට හැ‍ඟේ. කෙසේ හෝ වේවා පැරණි පොතකුත් රැගෙන වරින් වර ගොස් කල ඇවිටිලි වලට කන් දුන් කළමණාකරු අවසන මා හට පොතක් දීමට එකඟ විය.
දැන් වැඩේ හරි.. මට හිතුනේ එහෙමයි. පාස් පොත රැගෙන එය අත්සන් කිරීමට අදාල තැනට කිට්ටුකලෙමි. අහෝ දුකකි වයස 35-40 අතර ගැහැණු කෙනෙකි. පරිඝණක තිරය දකුණට හැරවී ඇත. එක එක යතුරු ඔබමින් විනාඩි කීපයක් තිස්සේ එය නිවැරදි කරගැනීමට වෙර දරන ඇය දුටිමි. මගේ මට තිබූ පුටුවක වාඩි කරවා ලඟ තිබුණු කණුවට හේතුත වුනෙමි. මා බලා සිටින අතර ඇය පරිඝණකය හා හරි හරියට ඕටටු වන්නේ තිරය නැවත නිවැරදි ආකාරයට සකස් කරගැනීමටය. මිනිත්තු පහක් පමණ ගතවිය. ලඟ මේසයේ වැඩ කරන තවත් කිහිප දෙනෙක් එකතු විය. පලක් නැත ඔවුන් සතුව ඒ දැනුම නැති හෙයකි. 

කුරුල්ලන් ඡායාරූපගත කිරීම හා කුරුළු ශබ්ද කෘතිමව ඇති කිරීම

ඡායාරූප ශිල්පීන් කුරුල්ලන්ගේ හෝ වෙනත් වනජීවීන්ගේ ඡායාරූප ගන්න එක දැන් දැන් ගොඩක් දකින්න පුළුවන්. නමුත්  ගොඩක් දෙනා ඒ ඒ වනජීවීන් ගැන අධ්‍යයනය කිරීම කියන දේ කරන්නේ බොහෝම අඩුවෙන්. මම නම් හිතන්නේ ඡායාරූප ශිල්පියෙන් වනජීවියෙකුගේ ඡායාරූපයක් ගන්න කලින් ඒ සතා ගැන සෑහෙන ප්‍රමාණයක් අධ්‍යයනය කරනවා නම් තමයි හොඳ. ඔවුන්ගේ ජීවන රටාව, විවිධ කාලයන්, ගැහැණු පිරිමි සතුන්, නිජබිම්, ආවේණික බව හෝ තර්ජිත සතුන්ද යන වග ආදිය වි‍ශේෂ වශයෙන් ඉගෙන ගන්නවා නම් තමයි හොඳ. 
හුඟක් අය දැන් කරන්‍නේ කුරුල්ලන් සඳහා වූ ඔවුන්ගේ ශබ්ද පටිගත කර ගත් උපකරණයක් භාවිතා කරල තමන් ඉන්න තැනට කුරුල්ලන් ගෙන්ව ගන්න එක. මේ දේ බොහෝම භයානක තත්ත්වයක්.

උණ හැදුනත් නිකන් ගේ ඇතුලේ විවේක ගන්න බැරි හැටි

ටිකක් විතර උණ අරන් අඩුවුනා විතරයි. ටිකක් කිව්වේ 102ට විතර. මට ඉතින් ඉන්න බෑනේ නලියනව. ඉතින් වෙන කවරදාකදී වගේ මම අදත් මගේ දුප්පත් කැමරාවත් අරන් වත්ත පිටියේ ඇවිද්දේ අලුත් දේවල් ඇති කියල බලාපොරොත්තුවෙන්. මගේ තනියට මාත් එක්ක කවදත් ගියේ Nikon D90 කැමරාව. Macro Lens එකක් ගන්න හීේ තාමත් හැබෑ කරගන්න බැරි වුන නිසා වෙනසකටත් එක්ක අනිත් ලෙන්ස් පැත්තක දාල Nikkor 50mm 1.8G එකයි 68mm extension tube set එකයි අටවගෙන Tripo TR-950 speed light එකත් අටවගත්තා. ටිකක් එහේ මෙහේ යද්දි හම්බුනා two-striped jumper (Telamonia dimidiate) පිරිමි සතෙක්.. පින්තූර ගනිද්දී තේරුණා මෙයා ටිකක් මගේ තියෙන ලයිට් එකෙන් ආලෝකමත් කිරීම සාර්ථක මදි කියල. ඉතින් මම කලින් හදපු Light controllers එක්ක ට්‍රයි කරල බැලුවා. හරි ගියේ නැහැ. මොනවා වුනත් කමක් නැහැ කියල පටන් ගත්තා අලුත් එකක් හදන්න.

පැනොරාමා එකක් එහෙම නැතිනම් පරිදර්ශන ඡායාරූපයක් හදාගන්නේ කොහොමද?

දන්න අය පැත්තක තියල නොදන්න අයට මුලින්ම කියන්නම් පැනොරාමා ඡායාරූප කියන්නේ මොනවද කියල. පැනොරාමා කියන්නේ අපි දකින විශාල පලල් දර්ශනයක් ඡායාරූපගත කර ගන්න එකට. ඒ වගේ ඡායාරූපයක පළල හා උස අතර අනුපාතය සාමාන්‍යයෙන් 2:1, 4:1 හෝ 10:1 වගේ වුනත් භාවිතා වෙනවා. පළල වැඩි මෙන්ම උස වැඩි පැනොරාමා නිර්මාණත් දැන් දැන් දකින්න පුළුවන්. අංශක 360ක් වන පැනොරාමා ඡායාරූපත් දකින්න පුළුවන්. ‍දැන් දැන් ගෝලීය ඡායාරූපත් දකින්න පුළුවන්.

පැනොරාමා ඡායාරූපයක් ගන්න විශේෂ වුන උපකරණ තියෙනවා. ඒ වෙන්වෙන්ම සැකසූ ලෙන්ස්, ත්‍රිපාද වැනි උපකරණ තියෙනවා. නමුත් අපි දන්න දුරකථන වල හා පොඩි කම්පැක්ට් වර්ගයේ කැමරාවල පැනොරාමා කියල සැකසුමක් තියෙනවා. එය භාවිතා කරල එකවර අවසන් සැකසුමේ ඇති පැනොරාමා එකක් ගන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් පැනොරාමා එකක් ගනින්දී අපි ඡායාරූප කීපයක් එකිවනක අතිපිහිත වෙන විදිහට ගන්නවා. උදාහරණ විදිහට මේ පහල පින්තූර පෙල වගේ.

මගේ ගමන් බිමන් අනූ හත්වැනි කොටස - ලවර්ස් ලීප් ඇල්ල_හාවාඑළිය

පුංචි එංගලන්තය එහෙමත් නැත්තම් නුවරඑළිය නගරය ආසන්නයේම තියෙන ලස්සන දිය ඇල්ලක් ගැන තමයි මේ කියන්න යන්නේ. ඒ තමයි ලවර්ස් ලීප් දිය ඇල්ල එහෙමත් නැතිනම් පෙම්වතුන් පැන්න ඇල්ල. නුවරඑළිය නගරයේ ඉඳන් උඩුපුස්සැල්ලාව පාරේ හාඑළියට ඇවිත් එතැනින් තියෙන පොඩි පාරක් දිගේ ඉහලට යද්දී මේ දිය ඇල්ල පේනවා. නුවරඑළිය නගරයේ ඉඳන් එතැනට කිලෝමීටර 2ක් විතර තමයි තියෙන්නේ. එතැන ඉඳන් පඩිපෙලක් දිගේ ඉහලට යන්න ඕන. නුවර එළියට පානීය ජලය ලබාදෙන්නේ මේ ඇල්ලෙන් නිසා ඒ වෙනුවෙන් තනපු තටාකයකුත් ගමනේදී දකින්න පුළුවන්.
ලංකාවේ උසම කන්ද වෙන පිදුරුතලාගල කන්දෙන් ආරම්භ වෙන මේ දිය ඇල්ලේ උස මීටර 30ක් විතර. අඩි පාර දිගේ ඉහලට ඇවිත් දිය ඇල්ලේ පාමුලට වෙනකම් එන්න පුළුවන්. ඒත්  වැහි කාලයේදී නම් ඒ ගමන ඒ තරම් සුන්දර නොවන්නේ කූඩැල්ලන් හා ගමනේ ඇති ලිස්සන සුළු මාර්ගයේ ඇති අවධානම නිසා.

මා දුටු ලාල් හෑ‍ගොඩ...

අත්දැකීම් ලියන මම කෙනෙකුගේ චරිතාපදානයක් ලියන්නේ කලාතුරකින්. නමුත් මේ අත්දැකීම මම ඔයාලට ලියුවේ නැතිනම් මගේ අත්දැකීම් වල ලොකු හිඩසක් තිබ්බා වගේ වෙනවා. මීට ගොඩක් කලින් ලියන්න හිටි ලිපියක් වුනත් මගේ ජීවිතේ වැදගත් සංධිස්ථානයක් වුන හෑගොඩ සර්ගෙන් ලැබෙන ඩිප්ලෝමාව අතට ලැබෙනකම් හිටියා. මෙන්න ඒ කතාව.
 
දැන් තිබෙන සමාජය කැමරාවත් අතින් ගත්තු කෙනෙක් ඡායාරූපශිල්පියෙක් වෙන එකක්. එහෙම සමාජයක ඒක වෙනස් කරල ඡායාරූප ශිල්පියා සහ කැමරාකාරයා කියල දෙන්නෙක් වෙන් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමාගේ ඉගැන්වීම් ඔස්සේයි. කලාව පියපුතු ආරයට ඇවිත් ඉගැන්වීමත් ඒ විදිහෙන්ම පිහිටපු අවුරුදු ගානක පළපුරුද්දක් තියෙන ගුරුවරයෙක් වෙන්නේ ලාල් හෑගොඩ ගුරුතුමා තමයි.

1950දී ශ්‍රී ලංකා ජාතික ඡායාරූපකලා සංගමය ආරම්භ කරන විල්සන් හෑගොඩ ශූරීන් සිංහලෙන් ලංකාව පුරා සිටින්නවුන්ට ඡායාරූපකරණය හදාරන්න මඟ සලසන්න පුරෝගාමී වෙනවා. කැමරා සඟරාව ආරම්භ කරමින් එය රට පුරා ප්‍රචලිත කල එතුමා අගනුවර කවි සමාජය ඇති කිරීමේදීත් පුරෝගාමී වෙලා තියෙනවා.  කවි පොත් ලියා තිබෙනවා. එතුමා ගේ පුත් ලාල් හෑගොඩ ගුරුවරයෙක් වෙන්නේත් ඒ ආභාශයෙන්මයි.

මගේ ගමන් බිමන් අනූ හයවැනි කොටස - කටුගස් ඇල්ල_රත්නපුර

මිණිපුරය නැත්තම් රත්නපුරයට කීප වරක් ගිහින් තිබුනත් රත්නපුරයේ තියෙන දිය ඇලි බලල ඉවර කරන්න වුනේ නැහැ. මේ ගමන ගියේ එවැනි දිය ඇලි කීපයක් බලන්න හිතාගෙන. රත්නපුර ඉඳන් වෙරලුප හංදියෙන් හැරිල කිලෝමීටර 2.5 විතර යන්න ඕන. එතැන තියෙන පොඩි පාලම ගාවින් යන වාහන නම් නවත්තන්න වෙනවා. එතැන ඉඳන් මීටර 100ක් විතර ගුරු පාරක් දිගේ ඇතුලට යන්න ඕන. ගමේ කාගෙන් ඇහුවත් පාර දැනගන්න පුළුවන්.  කටුගස් දොලෙන් ඇතිවෙන මේ අපූරු දිය ඇල්ල පෝෂණය කරන්නේ ශ්‍රී පාද අඩවියේ ජල පෝෂක උල්පත් වලින්.
දිය ඇල්ල ලඟට යන එක නම් ලේසි නෑ. මොකද දිය ඇල්ලේ මීටරයක් විතර උස පහල කොටසක් තියෙනවා. ගොඩක් අය හිතන්නේ ඒක තමයි අවසන කියල. නමුත් එතැනින් ගල් උඩින් පැන පැන යන ගමන ලේසි නොවුනත් ගමන අවසානයේ මීටර 6ක් උස කටුගස් ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. වර්ශාව අඩු කාලයේදී පහසු ගමනක් වුනත් වර්ශාව අධික කාලයේදී නම් දිය ඇල්ල ලඟට යනවා කියන්නේ ජීවිතය මරණය අතර සටනක්. මොකද ලිස්සන ගල් හා සැඩ වතුර කියන දෙක එකතු වෙලා ජීවිත ගනනක් බිලි අරන් තියෙන නිසා.

මගේ ගමන් බිමන් අනූ පස්වැනි කොටස - කබ්බලේ කන්ද_කන්නෙලිය රක්‍ෂිතය

කාලයකට කලින් මගේ ගමන් බිමන් වලින් කන්නෙලිය රක්‍ෂිතය පැත්තේ ගියා මතක ඇතිනේ. අමතක අය මෙතැනින් ගිහින් බලන්න.... 1934දී රක්‍ෂිතයක් විදිහට නම් කල කන්නෙලිය රක්‍ෂිතය කලෙක සිංහරාජ වනාන්තර හා සම්බන්ධ වෙලා තිබුනාය කියලයි කියන්නේ. කන්නෙලායට යන මාර්ගය ගැන විස්තරය කලින් ලිපියේ තියෙන නිසා එතැන ගැන විස්තරයක් කියන්න යන්නේ නෑ. කන්නෙලියට ඇතුලු වුනාම විවිධ මංපෙත් ඔස්සේ යන්න පුළුවන්. ලඟම ලේසිම පාර වෙන්නේ අනගිමල ඇල්ල, ගුහාව හා යෝධ පුස්වැල මාර්ගයයි. යෝධ නවඳගස මාර්ගය තවත් එක් පැත්තකට දිව යනවා. නාරංගස් ඇල්ල මංපෙතේ යන්නේ අනගිමල ඇල්ල යෝධ පුස්වැල හා ගුහාව යන තුනම පහුකරගෙන නිසා ඒ ගමනේදි මේ සියල්ලත් බලන්න පුළුවන්. ඊලඟ මාර්ගය තමයි කබ්බලේ කන්ද මංපෙත කියන්නේ. එය තමයි දුෂ්කර මාර්ගය වෙන්නේ. කන්ද නගින එක ලේසි ගමනක් නොවන නිසාත් කැලෑව මැදින් දුශ්කර මාර්ගයක් තියෙන නිසාත් යන ප්‍රමාණය නම් ගොඩක් අඩුයි. කාලයක් ති‍ස්සේ සැලසුම් කරල අවසානයේ අපිත් මේ ගමන යන්න තීරණය කලා.
අපි ගමන ආරම්භ කරන්න කලින්ම අපිට හමුවුන අමුත්තා තමයි බට ඇටිකුකුලා කියන කුරුල්ලා... {ශ්‍රී ලංකා බට ඇටි කුකුලා (වල් ඇටි කුකුලා) Green billed coucal(Centropus chlororhynchos)} මෙයා රතු දත්ත පොතේ ඉන්න ලංකාවට ආවේණික කුරුල්ලෙක්. අපි යද්දී මෙයා කූඩුවකත් හදමින් තමයි හිටියේ. ගස් අතර කූඩුව හදන නිසා ඡායාරූපයක් ගන්න ලේසි වුනේ නෑ...

මගේ ගමන් බිමන් අනූ හතරවැනි කොටස - මූනංගල ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කය කියන්නේ අප්‍රකට දියඇලි රැසක් තියෙන දිස්ත්‍රික්කයක්. මැණික් වලට සුප්‍රසිද්ධ වුනත් සොභාව සෞන්දර්ය අතින් අගතැන්පත් ප්‍රදේශයක්. මේ කියන්න යන්නේත් රත්නපුර දිස්ත්‍රික්‍කයේ මායිමේ පිහිටන සුන්දර දිය ඇල්ලක් ගැන. ඒ තමයි මූනංගල ඇල්ල. ඇහැලියගොඩ ඉඳන් රත්නපුර පැත්තට කිලෝමීටර 3ක් විතර එද්දී බදුවත්ත හංදිය හමුවෙනවා. එතැනින් හැරිල අමුහේන්කන්ද පාරේ කිලෝමීටර 1.5ක් විතර ගියාම අපට මේ දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
මේ දිය ඇල්ල ලඟ තියෙන කසිප්පු තිප්පොලවල් නිසා යන එන වාහන වුනත් කිසිවෙක් නැතිව දාල යන එක නම් එච්චර නුවනට හුරු නෑ. බයිසිකලයක් ත්‍රී රෝද රථයක් වගේ නම් පහසුවෙන් ඒ කිට්ටුවටම වගේ යන්න පුළුවන්. නැතිනම් ඉතින් 4 වීල් වාහනයක් තමයි.

ඡායාරූප කලාවේ Greatest area of Contrast සංයුතිය යොදාගැනීම

මේ කියන කාරණාව එක ජේදයකින් කියන්න පුළුවන් වුනත් එහි ඇති වටපිටාව සමඟ කතාකාව කලානම් හොඳයි කියලයි මම හිතන්නේ. ඒ නිසා මම මෙන්න මෙහෙම පටන්න ගන්නම්.

ඡායාරූපයක contrast කියන වචනය හැමදාමත් අපට ඇහෙන දෙයක්. ඒත් කාගෙන් හරි ඇහුවොත් ඒ මොකක්ද කියල ඒකට හරි පිලිතුරක් ලැබෙන්නේ කලාතුරකින්.. හැමොම දන්නවා මේක හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් කියන්න නමුත් ඒක කොහොමද කියන්න පුළුවන් අය ටික දෙනයි ඉන්නේ. කන්ට්‍රාස්ට් එක සරලවම කිව්වොත් ඡායාරූපය තුල උපරිම දීප්තිය හා උපරිම අඳුර අතර පරාසයයි. මේ පරාසය තුල හොඳ වෙනසක් ඇති කරගන්න පුළුවන් නම් හොඳ කන්ට්‍රාස්ට් එකක් තියෙන පින්තූරයක් ලබාගන්න පුළුවන්. මේ තියෙන හුඟක් වචන කලු සුදු කලාවෙන් ආරම්භ වුන ඒවා නිසා උපරිම කලු හා උපරිම සුදු අතර පරාසය කියලත් තැනෙක සඳහන් වෙන්න පුළුවන්. වර්ණ වලට එද්දී එය වර්ණ පැහැයන් වෙන වෙනම ගත් කල වෙන වෙනම වර්ණ වල උපරිමයන් හා අවමයන් සලකන්න වෙනවා. නමුත් එහිදී අපිට සම්පූර්ණ ඡායාරූපයම Grey-scale එකක් බවට පත් කරගෙන අපේ ඡායාරූපයේ වර්ණ පරාසය එහෙමත් නැතිනම් contrast level එක බලාගන්න පුළුවන්. උදාහරණ විදිහට මම ගත්තු මේ ඡායාරූපයේ වර්ණ පරාසය බලන්න. වර්ණ එක හා කලු සුදු ආකාරයේදී වෙනස බලන්න.

රට ඇතුලෙන් නෑසෙන කටකතා............

සාමාන්‍යයෙන් දේශපාලනය වෙනුවෙන් ඉඩක් වෙන් නොවෙන සුලාගේ අත්දැකීම් පිටුවෙන් ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න තීරණය කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි පහුගිය කාලේ අපේ සුන්දර රාජ්‍යය වුන සිරි ලංකාව සෑහෙන්න වෙනස් වුන කාලයක් නිසාවෙන්. මේ කතාවේ අතීතය පහුගිය රාජ්‍යකාල කීපයකට යනවා. කවුරුත් දන්න මහින්ද රාජපක්‍ෂ සමයේ යුධ භීතිය ඉවත් වීම හා දෙවැනි සමයේ ගසාකෑම් චෝදනා එක්ක රටේ සංවර්ධන වැඩපිලිවෙල සිදුවීමේ සමය දෙවැන්න විදිහටත් සිද්ධ වුනා. තුන්වැනියට මෛත්‍රී යුගයක් යහපාලනය යන නම එක්ක එලියට ආවා. මම මේ කියන්නේ තුන්වැනි පාලනය ගැන. ඒ මොකද දැනට සිදුවෙන්නේ ඒක නිසා.....

2015 ජනවාරි 8 වෙනාදාට කලින් ලංකාවේ එක පෙරලියයි. එකක් හොරා හොරා වචන ටික අනික යහපාලනය කියන වචනය. මේ කාලේ හුඟක් අය කිව්වේ රට ගොඩගන්න යහපාලනය හොඳි කියල. අවුරුදු 4ක නැගෙනහිර අත්දැකීම් එක්ක මම නම් කවදත් කිව්වේ ඒක නිවැරදි වෙන්නේ නෑ කියල. නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන ප්‍රතිවාදීන් එකම තරාදියේ දෙපැත්තේ තිබ්බාම වෙන් කරන්න කාරණා තිබුනේ නැති තරම්. ඒ කොයි එක වුනත් පොදු කාරණා වෙනුවෙන් තරාදියක දැම්මාම සමහර අති විශාල කරුණු සම්බන්ධව යහපාලන තරාදියේ සතුටු දායක තත්ත්වයත් තිබුනේ නෑ. ඒ නිසා යහපාලනය කියන වචනට මිරිඟුවක් විදිහට තමයි හැමදාම මට පෙනුනේ. එදා මාත් එක්ක හිටපු සමහර (සම හරක් දැයි සිතේ) අය පොලවේ හැපෙමින් යහපාලන ගුන වරුණ කියද්දී මට දෙන්න තිබුන පිළිතුර වුනේ "ඔය කාරණාවම ජනවාරි 8 වැනිදා පහුවෙලා මාස 6කින් කියන්න පුළුවන්ද?" කියල විතරමයි. 

මගේ ගමන් බිමන් අනූ තුන්වැනි කොටස - මනන් ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් තවත් අපූරු සුන්දර දිය ඇල්ලක් ලඟට තමයි අපි ඊලඟට යන්නේ. කාලයකට පස්සේ නිදහසේ ඇවිදින්න ලැබුනා. ආගිය තැන් කීපයකින් එකක් තමයි මනන් ඇල්ල. මීටර 30ක් විතර උස මේ දිය ඇල්ල අපූරු සුන්දරත්වයක් මවනවා.. ඇහැලියගොඩ නගරයේ ඉඳන් රත්නපුර දෙසට කිලෝමීටර කීපයක් ගියාම බදුවත්ත හංදියෙන් හැරිල කුරුගම්මෝදර පාර දිගේ කි‍ලෝමීටර 5-6ක් ගියාම මෙතැනට යන්න පුළුවන්. පාරෙන් වාහනය නවත්තල ටිකක් ඇතුලට යන්න තියෙනවා...
දිය ඇල්ලේ වතුර අඩු කාලයේදී නම් දිය ඇල්ල යටටම වගේ යන්න පුළුවන් විතරක් නෙවෙයි දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. එතැන නොගැඹුරු පොකුණක් වගේ හැදිලා තියෙන නිසා එතැනින් වුනත් හොඳ ආරක්‍ෂාව ඇතිව නා ගන්න නම් පුළුවන්. පැය ගානක් වුනත් නිදහසේ ඉන්න පුළුවන් තැනක්. ස්වභාවික ශබ්ද වලින් පිරිසිදුව ඇති අවට පරිසරයේ නිහැඬියාව බි‍ඳෙන්නේ දිය ඇල්ලෙන් වතුර වැටෙන හඬට විතරක්ම වගෙයි. 

Landscape ඡායාරූප වැඩි දියුණු කරගන්නේ කොහොමද?

Landscape ඡායාරූප ගන්න ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි පසු සංස්කරණ තුලින් ඒක වැඩි දියුණු කරගන්නේ කොහොමද කියන එක. මේ සඳහා ක්‍රම ගොඩක් තියෙනවා. මම මේ දේ ඉගෙන ගත්තේත් ලඟදි තිබුණු වැඩ මුලුවකින්. මුහුණු පොත හරහා එක්වුන Infinity Photo Club නම් සමූහය විසින් කල මේ වැඩමුළුවේදී සංස්කරණය ගැන නොදන්න දේවල් කියා දුන්න Anushka Eranga සොයුරාට මෙතැනදී ස්තූතිවන්ත විය යුතුයි. ඡායාරූප පසු සැකසුම ගැන මගේ දැනුම වැඩි දියුණු කර එතැනදී එකතුවුන දේවල් එකතු කරල තමයි මම මේ උදාහරණ ඡායාරූප සැකසීම කරමින් ලිපිය ලියන්නේ.
Landscape ඡායාරූපයක් හෝ වෙනත් ඡායාරූපයක් හෝ වේවා අපි ඒ ඡායාරූපය ගන්න වෙලාවේදීම ඡායාරූපයේ අවසන් නිමාව පිළිබඳ අදහසක් අප සිත තුල තිබිය යුතුයි. සාමාණ්‍යයෙන් Camera එකකින් ඡායාරූපයක් ලබා ගනිද්දී RAW කියන වර්ගයෙන් ලබා ගන්නවා නම් අපට අවශ්‍ය විදිහේ හොඳම සාර්ථකත්වය ලබා ගන්න පුළුවන් වෙනවා... මම පසු සැකසීම් සදහා යොදා ගන්නේ Photoshop මෘදුකාංගය හා Nik Google Collection එකේ Photoshop filters එකතුව.....

ඡායාරූපයක තුනී මීදුම් පටල වැනි කොටස් ඉවත් කරමු

ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් තමයි පින්තූරයක් ගත්තාම ඒකේ මීදුමක් වගේ බැඳිල තියෙන කොටස් ඉවත් කර ගන්න එක. සමහර වෙලාවන් වලදී පින්තූර පුරාම ඒකාකාරවත් තවත් වෙලාවක පින්තූරයේ තැන් තැන් වලත් මේ විදිහෙන් ති‍ෙයන්න පුළුවන්. ඒක ලෙන්ස් එකේ ජලවාශ්ප බැඳිල තිබුනාම වගේම පරිසයේ ආරද්‍රතාව වෙනස්වීම නිසාත් සිදු වෙනවා. මෙන්න මේ කොටස් අයින් කරල පින්තූරයක් වැඩි දියුණු කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. අද මම කියන්න හදන්නේ විනාඩි කීපයකින් කරගන්න පුළුවන් කෙටි ක්‍රමයක් ගැන.

අලුත් Photoshop versions එක්ක වැඩ කරන අය දන්නවා ඇති Camera Raw filter  එක ගැන. ඒත තාමත් දාගෙන නැත්තම් මෙන්න මේ ලින්කුවෙන් ගිහින් අලුත්ම එක බාගත කරගන්න පුළුවන් වෙයි.


මෙන්න මේ Filter එකත් එක්ක තමයි අපි අද පාඩම කරන්න යන්නේ. මුලින්ම අපි කරන්නේ අපිට ‍වැඩි දියුණු කරන්න ඕන කරන පින්තූරය Photoshop වලින් open කරගන්නවා. උදාහරණ විදිහට මම යොදාගන්නේ බිසෝ ඇල්ල මුදුනේ ඉඳන් මම ගත්තු ඡායාරූපයක්.

ඇයි මෙහෙම කරන්නේ???

කලකට පසු විශ්ව විද්‍යාලයසදසට ඇදුනේ උපාධි සහතිකය රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් දවස් ගැන කියවුනේ නැතත් යම් යම් හේතූන් නිසා ප්‍රමාද වුන ලිපි පෙලක්ම තියෙනවා ලියන්න. මුස්ලිම් සංස්කෘතියක අතරමං වුන අපි ඒ කාලේ හිටියේ බොහෝම පරිසමින්. ඔලුවිල් වල තියෙන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය තියෙන්නේ සම්මාන්තුරය ප්‍රදේශයේ. මුස්ලිම් අය 99%ක් 100%ක්ම වගේ ජීවත්වෙන ප්‍රදේශයක්. 1995දී පටන් ගත්තා වුනත් ඒ කාලේ සිංහල ලමයි විශ්ව විද්‍යාලයේ හිටියේ නෑ. පස්සේ සිංහල ලමයිනුත් ඒකට දාන්න ඕන කියල ගත්තු තීරණයේ තුන්වැනි සාමාජිකයෝ වුනේ අපි. ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවීම තුලින් විශ්ව විද්‍යාලය එයාලගේ ප්‍රදේශ වලින් අයින් වෙන එකට එයාල අකමැති නිසා කොහෝම හරි ඇතිවෙන ප්‍රශ්ණ යටගහනවා.

දුන් කියන්නම්කෝ කියන්න ගිය එක ගැන. මෙදා මම යද්දී අපේ අලුතින් ආව හොස්ටල් වල හිටපු සිංහල ලමයි 40ක් විතර රෝහල්ගත කරල කියන ආරංචිය ලැබුනා. දෙන්නෙක් විතර අන්‍යාගමික ඉන්නවා වුනත් 98% සිංහල බෞද්ධ අය තමයි අසනීප වෙලා තියෙන්නේ. මම ගිය වැඩේ පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවා. මේ දවස් වල විශ්ව විද්‍යාලයේ විභාග තියෙනවා. ලමුන්ගේ අසනීපය නිසා විභාග කල් දාන්න කියන ඉල්ලීම සිසුන් කරල තිබුනා වුනත් පාලනයෙන් ඒ වෙද්දීත් තීරණය කරල තියෙන්නේ විභාග පවත්වන්න.

මගේ ගමන් බිමන් අනූ දෙවැනි කොටස - බටතොට ලෙන (දිවා ගුහාව)

කාලයක් තිස්සේ හිතාගන හිටි ගමනක් යන්න ලැබුනා. ඒ තමයි එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ශ්‍රී  පාදය කියන විස්තරය කලින් ලිපියක ලිව්වා මතක ඇතිනේ. මේ එරත්න පාරෙන් ශ්‍රි පාදය වන්දනා කරන්න යද්දී හමුවෙන ලෙනක් පිලිබඳ විස්තරයක්. රත්නපුර කොළඹ පාරේ කුරුවිටින් හැරිල එරත්තන පාරේ  කිලෝමීටර 7ක් විතර යන්න ඕන. එතැනින් වමට හැරිලා ‍කිලෝමීටර 1.5ක් විතර ගියාම ලෙනට යන්න හදපු පඩි පෙල දකින්න පුළුවන්. සෙනඟ වැඩි කාලයේදී නම් ටිකක් පහලින් වාහන නවත්තන්න වෙනවා. එතැන ඉඳන් පඩි පෙල දිගේ ඉහලට ගියාම ලෙන ඇතුලට යන්න පුළුවන්.
මෙම ලෙන තුල නිශ්ශංකමල්ල රජ යුගයෙන් ඇරඹි, පොලොන්නරු ,ගම්පොළ ,මහනුවර රාජධානි යන්ද පසු කලෙක යටත් විජිත සමයේදීද වරින් වර විහාරයක් ඉදිකිරීමට තැත් කල බවට ඉපැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි .එහෙත් එසේ උත්සාහකල කිසිම අවස්ථාවක වැඩ නිම කිරීමට නොහැකිව ඇත. දිගින් අඩි 150ක් ද පළලින් අඩි 70ක් ද උසින් අඩි 50ක් පමණ වන මෙම ලෙන නැගෙනහිරට මුහුණලා ඇත.

මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්ද

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

වනජීවී ඡායාරූපකරණයට ඔවදනක්.......

වනජීවි ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් අඩුම ගනනේ 300mm වත් ලෙන්ස් එකක් භාවිතා කල යුතු වෙනවා. නමුත් හොඳ දූරරූප කාචයක් තිබේ නම් රාමුව පුරවා ගැනීම පහසුවේ. නමුත් වෙනත් ලෙන්ස් එකක් භාවිත කර ගන්නා ඡායාරූපයක් හොඳ crop එකක් මගින් සාර්ථක කරගත හැකිය.
 
සේයාරුව ගැනීම සඳහා වැදගත් වන තවත් කරුණක් නම් සතෙකුගේ චර්යාවන් හා වාසස්ථාන පිලිබඳ දැන සිටීමයි. නමුත් ‍හොඳම ඡායාරූපය ලෙස බොහෝ විට හදිසියේ ලැබෙන දුර්ලභ අවස්ථා ඡායාරූප ලෙස සටහන් කර ගැනීම වැදගත්වේ.
ඡායාරූප ලබා ගැනීමේදී සතුන්ට ලඟාවීම වැදගත් කරුණකි. එහිදී නොපෙනෙන ලෙසින් සැඟවී සිටීමද වැදගත් වේ. වනාන්තරයට අනුගත වෙන පරිදි සැඟව සිටිමින් දින ගනන් ගත කිරීම වැනි කැපකිරීම් සිදුකිරීමෙන් හොඳ සාර්ථක ඡායාරූපයක් ලබාගත හැකිය.

බෞද්ධයා, පිරිත හා දානය

ලංකාව බෞද්ධ රටක්. අපි බෞද්ධයෝ. මේක තමයි අපි කියන වචන ටික. හැබැයි මේ වචන අර්ථවත් කරන්න උත්සාහ අරන් තියෙනවාද? අද ලංකාවේ බොහෝමයක් ඉන්නේ නාමික බෞද්ධයන්. පන්සල් යන්නේ අනිත් අයට පේන්න. නැත්තම් වාසි ලබන්න. පන්සලට ගියාම ඇහෙන්නේත් අරක නෑ දායක මහත්තය මේක නෑ දායක මහත්තයා කියල විතරයි. මට නම් දැන් පන්සල් බහුතරයක් කහ සිවුර ඇඳගත්තු මහා ධන කුවේරයන්ගේ මන්දියක් විදිහටයි පේන්නේ. සියල්ල බිස්නස් එකක් වෙලා. පිරිත් කෑල්ලකට, බණ පදයකට, මතක බණකට නියමිත ගානක් තියෙනවා. ඒ ඒ මුදල තීරණය වෙන්න පනස්ලේ තියෙන වත්කම්, බලය හා ප්‍රසිද්ධිය බලපානවා. ඒ දේ එහෙම වෙන්න අපේ බෞද්ධයන්ගේ මාන්නයත් බලපානවා. මොකද අපිත් ලොකුවට සල්ලි දීල ආධාර කරල පත්තරේට නම දාගන්න බලන නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. 
පිරිත කියන්නේ මොකක්ද කියල දේශනා කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං
අන්තරායං පරිහන්තං තායතීති පරිත්තං
මහාතේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං
උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං

මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සල

උලපනේ - පුස්සැල්ලාව මාර්ගය දිගේ ඇවිත් හරන්ගල පාරට හැරිල හරි නාවලපිටිය - හරන්ගල පාර දිගේ හාරන්ගල හන්දියෙන් හැරිල හරි කොත්මලේ වේල්ල උඩට යන්න පුළුවන්. හැබැයි ඉතින් ලේසි පාර වෙන්නේ උලපනේට ඇවිත් පුස්සැල්ලාව පාර දිගේ එන එක. අවුරුදු ගානක් තිස්සේ බලා ඉඳල කොත්මලේ වැව සිඳුනාම පෙනෙන කඩදොර පන්සල බලන්න ගිය ගමන ගැන තමයි මේ විස්තරය.
අතීතයේදී පිදුරුතලාගල ඔය, නානු ඔය, පූනා ඔය, ග්‍රෙගරි වැව වගේ ඔයවල්  වල වතුර ඩෙවෝන් ඇල්ල, සෙන්ට්ක්ලෙයාර් ඇල්ල, රම්බොඩ ඇල්ල, පූනා ඇල්ල, ගැරඬි ඇල්ල වගේ දිය ඇලි වලින් වැටිල අන්තිමට එන්නේ කොත්මලේ ඔයට. ඒක යන්නේ මහවැලි ගඟට. මේ සියල්ල නිසාම අතීතයේ මේ තැන බොහෝම සශ්‍රීකයි. තිස්පනේ කන්දත් කඩදොර කන්දත් අතරින් ගිය කොත්මලේ ඔය නිසා බොහෝම ඉක්මනින් මේ ප්‍රදේශ ජනාවාස වුනා. නමුත් අධික වර්හා කාල වලදී පහත් බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවුනා. ඒ කොයි තරම්ද කියල තාමත් ගම්පොල දුම්රිය ස්ථානයේ බිත්ති වල සටහන් වෙලා තියෙනවාලු. 
එක්දහස් නමසිය පනස් ගනන් වල ඉඳන්ම මේ ගංවතුර ගැටලුවට පිලියම් විදිහට වේල්ල තනන්න වුවමනාව තිබුනා වුනත් 1979 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නිසා වේ‍ල්ලේ වැඩ ආරම්භ කරල තියෙනවා. 1986දී වේල්ල විවෘත කරල තියෙනවා. මේ සියල්ල ඡායාරූප එක්ක වේ‍ල්ල නරඹන අයට බලන්න පුළුවන්.

දාගැබ හා නූතන විද්‍යාත්මක පසුබිම

දාගැබ යනු හුදෙක් බෞද්ධයාගේ සංස්කෘතිමය නිර්මාණයක් පමණක්ම නොවේ. එය මනස සන්සුන් කරවා අපගේ ශක්තීන් සමනය කල හැකි යාන්ත්‍රණයකි. බෞද්ධ දර්ශනය අනුව ගත්කල චෛතය වන්දනාව බුදුන්වහන්සේ පවා අනුමත කර ඇත. බුදුන් දක්නට පැමිණෙන සුවහසක් බැතිමතුන් බුදුන් නොදැක ආපසු යන්නේ සිත් කනස්සල්ලට පත් වෙමිනි. මේ පිළිබඳ විමසන්නා වූ ආනන්ද තෙරුන් වහන්සේට බුදුන් වහ‍න්සේ මෙසේ දේශනා කල සේක. මා නොමැති විටක හෝ නොමැති කලෙක මා දැක වන්දනා කිරීමට පැමිණෙන සදහවත් බැතිමතුන්ට චෛත්‍ය වන්දනාව නියම කල අතර එහිදී ශාරීරික, පාරිභෝගික හා උද්දේශික චෛත්‍ය පිලිවෙලින් වන්දනාව නියම කල සේක. දාගැබ යනු ධාතු ගර්භය යන්නයි. එනම් ධාතූන් තැන්පත් කල ස්ථානය යන්නයි.
දාගැබ් නිර්මාණය තුල විද්‍යාත්මක පැතිකඩක්ද තිබෙන බව මාගේ විශ්වාසයයි. බුදුන්ගේ ධර්මයේ සියලු කාරණා පාහේ විද්‍යාත්මක සත්‍යයක අන්තර්ගත වුවද විද්‍යාව මගින් පවා තවමත් අපට තේරුම්ගත හැකිව ඇත්තේ අල්පයක් පමණි. ධර්ම දේශනාවේදී පවා බුදුන් වහන්සේ එකිනෙකාගේ තේරුම් ගැනීමේ තරම අනුව විවිධ ලෙසින් ධර්මය දේශනා කරන්නේ එනිසාවෙන්ය. වැවයි දාගැබයි සංකල්පයත්, චෛත්‍ය වටා තුන්වරක් දකුණු පසින් පැදකුණු කරන්න යැයි ව්‍යවහාරයක්ද පවතින නමුදු අප කෙදිනකවත් ඒ ඇයි දැයි සිතා නොමැත්තෝය. තැනිතලාවක ඇති උසම ස්ථානයට අකුණු වදින බව විද්‍යාත්මයව අප දන්නා සත්‍යයයි. වැවක් යනු එක් තැනිතලා භූමියකි. එය ආසන්නයේ උස් ස්ථානයක් නොමැති නිසාවෙන් අසල සිටින අයෙකුට වුවද අකුණු වැදීමේ සම්භාවිතාවක් පවතී. එනයින් දාගැබක් වැවක් අසල නිර්මාණය කිරීම සිදුවිය.

මගේ ගමන් බිමන් අසූ නම වැනි කොටස - බඹරකිරි ඇල්ල

ගමන් බිමන් වල ඊලඟ නැවතුම වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට නගරයට ආසන්නයේ ඇති සුන්දර දිය ඇල්ලක්. මාතලේ ඉඳන් රත්තොට හරහා පල්ලේගම මාර්ගය දිගේ රිවර්ස්ටන් ‍හෝ නකල්ස් යන අයට රත්තොට ඉඳන් කිලෝමීටර 5ක් විතර ගියාට පස්සේ බඹරකිරි වංගුව හමුවෙනවා. එැතැනින් තියෙන පුංචි පාර වෙලන්ගහවත්ත ගමට යන අඩි පාර. මේ පාර දිගේ මීටර 50ක් විතර යද්දී බඹරකිරි ඇල්ල දකින්න පුළුවන්.
එතැන තියෙන වැල් පාලම මේ තැන තියෙන සුන්දරත්වය තවත් වැඩි කරනවා. පාලමෙන් එගොඩ වෙලා දිය ඇල්ල ලඟටම යන්න පුළුවන් වගේම පිරිසිදු දිය දහරෙන් නා ගැනීමට සිතෙනු නොඅනුමානයි. ඒ වුනත් මේ දිය ඇල්ලේ වතුර ක්‍ෂණිකව වැඩි වෙන නිසා ජලයට බැසීම නම් අනතරුදායකයි. ගල් දිගේ බඩගාන්න සහ පීනන්න ගිහින් සිදුවුන අනතුරු සංඛ්‍යාව ඉතා අධික නිසා පරිස්සම් වෙන එක හොඳයි.
 
සම්පූර්ණ උස මීටර 10ක් විතර වුනත් මීටර 3ක පමණ කොටස් තුනකින් මේ දිය ඇල්ල සමන්විත වෙලා තියෙනවා. පාන්දර වැටෙන මුල්ම හිරැ එළියත් එක්ක මේ තැනට ගියා නම් පැය ගානක් ගතවෙන හැටි දැනෙන එකක්වත් නැහැ.

මගේ ගමන් බිමන් අසූ අට වැනි කොටස - වම්බටුහේන ඇල්ල

ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක්පිටිය පාරට හැරිල කිලෝමීටරයක් යන්නත් කලින් යද්දී අපට වම්බටුහේන ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. අපි කලින් ලිපියක සඳහන් කල සේර ඇල්ල බලන්න යන පාරෙම තමයි තියෙන්නේ. ටිකක් විතර ලොකු වංගුවක් එක්ක පාලමක් තියෙනවා එතැනින් පහල දිය ඇල්ල දකින්න පුළුවන්. ඉතාමත් සුන්දර දිය ඇල්ලක් වෙන මේ දිය ඇල්ල කොටස් කීපයකට තමයි ඇද හැලෙන්නේ. ඉස්සර කහගල ඇල්ල කියන නමිනුත් මේ දිය ඇල්ල හඳුන්වල දීල තියෙනවා.
දිය ඇල්ලේ සුන්දරම පහල කොටස
දිය ඇල්ල පාමුලට බහින්න ගලින් ගලට බැහැල පරිස්සමට යන්න ඕන. එැතැන නම් ආරක්‍ෂාකාරී විදිහේ ගල් තගාවක් තියෙනවා. වැස්ස අඩු කාලයේදී නම් ඉහල කොටස් දෙක බලන්නත් යන්න පුළුවන්. කැලේ ඇතුලෙන් ගිහින් එතැනට ලඟාවෙන එක නම් ටිකක් විතර අසූරු වෙනවා. ඒ නිසා වැසි අඩු සමයේ යනවනම් හොඳයි ඉහල කොටස් බලන්න. 

මගේ ගමන් බිමන් අසූ හත්වන කොටස - සේර ඇල්ල

ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක් පිටිය පාරට හැරිල කිලෝමීටර හත අටක් යද්දී අපට සේර ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. මේ දිය ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇලි අතරට එක්වෙන සිය ඇල්ලක්. උසින් මීටර 10ක් විතර වෙන දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්න නම් වැසි සමයේ යන්න ඕන. නකල්ස් කඳුවැටියෙන් ආරම්භවෙන මේ දිය ඇල්ල කඳුවැටියේ කෙලවරම ඇති මානිගල කන්ද පසෙකින් තමයි කඩා හැලෙන්නේ.
මේ දිය ඇල්ල තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි දිය ඇල්ලේ පිටුපස ගුහාවක් තිබීම හා අපට එතැනට යන්න පුළුවන් කම. මෙතැනට නම් ලැබීමට හේතු ලෙස ජනප්‍රවාදය කියන්නේ අත්ලට සේර ඇට අහුරක් අරගෙන අත්ල දිග හැරල සුලැඟිල්ල පැත්තෙන් ඇර කලාම සේර ඇට වැටෙන විදිහෙන් සේර ඇල්ල ගලා හැගෙන නිසා ඒ නම ලැබුනා කියලයි.
සුන්දරත්වයෙන් විශිෂ්ඨ ස්ථානයක් වුන දිය ඇල්ල බලන්න පාරේ ඉඳන් ටිකක් දුර පහලට බහින්න වෙනවා. දිය ඇල්ල පසෙක ඇති ගුහාවේ ටිකක් විඩා නිවාගන්න තරම් ඉඩ කට තියෙනවා. රැයක් ඉන්නත් කියාපු තැන. හැබැයි ඉතින් අලි වැටක් එහෙම තියෙන පලාතක් නිසා පරෙස්සම ගැන හිතල අවසර අරගෙනම නවාතැන් ගන්න හිතුවොත් හොඳයි.



 
දිය ඇල්ලේ වතුර අඩු කාලය නිසා අනිත් පැත්තට යන්න පුළුවන් වුනා. සුන්දර දිය ඇල්ල විනාශ කරන්නේ නැතිව සිරි නරඹලා ආවට නම් වරදක් නැහැ කියලයි මම හිතන්නේ.

මගේ ගමන් බිමන් අසූ හය වැනි කොටස - යටවත්ත බිසෝ ඇල්ල

මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම පාරට පැමිණ එතැනින් හීංගොල්ල පාර දිගේ කිලෝමීටර 20කට මඳක් වැඩි ප්‍රමාණයක් පැමිණ අපට මෙම ඇත්ත ඇති ප්‍රදේශයට පැමිණිය හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් මායිම්ව පවතී. සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත් වල ජලය එක්වී දිය දහරක් සාදා අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින් ඇද හැලෙන්නේ බිසෝ ඇල්ල නිර්මාණය කරමිනි.
 
මිතුරන් කීප දෙනෙක් එක්ක ත්‍රී රෝද රථයක ගමන් කල අපි එතැනට ලඟ වෙද්දී දවල් වුනා. කොහොම වුනත් සැලගම කඳු මුදුනෙන් ඇවිත් පර්වත මුදුනෙන් දිය ඇල්ල මුදුන තමයි මුලින්ම බැලුවේ. ගැමියන්ගෙන් පාර අහගත්ත අපි ප්‍රධාන දියපාර දිගේ ඇවිත් කඳුමුදුණේ දිය ඇල්ල වැබෙන ප්‍රපාතය අසලට මුලින්ම ආව. එතැනින් පෙනෙන කඳුපන්ති සහ කුඹුරුයාය වල ඇති සුන්දරත්වය විඳි අපි දිය ඇල්ල හා බැඳුනු ජනප්‍රවාද අසමින් පහලට බසින්න වුනා. අපේ දෙවැනි අරමුණ වුනේ දිය ඇල්ලේ පහලට ලඟවීමයි. ඒ වෙනුවෙන් යටවත්ත ප්‍රදේශයේ වෙල්යායවල් අතරින් පැමිණ මාර්ගය අවසානයට ලංවුනා. එතැන් ඉඳන් පයින් තමයි ඉතිරිය යන්න සිද්ධ වුනේ. විශාල කුඹුක් ගසක් ලඟට යනකම් මාර්ගය පෙන්වන්න ගැමියෙක් ආවත් එතැන් සිට ඔහුගේ ගමන අපට විරුද්ධ දිශාවට වැටිල තිබුනා. වනාන්තරය තුලින් පාර හොයාගෙන කෙහොම හරි දිය ඇල්ල පාමුලට එන්න අපි සමත් වුනා. එතැන සුන්දරත්වය විඳි අපි ආයෙමත් පහලට ආවේ වෙනත් මාර්ගයකින්.

ඡායාරූප කලාවේ Focus Stack ක්‍රමය

අපි මුලින්ම බලමු මොකක්ද මේ Focus Stack (එකමත එක නාභිගත කිරීම හෝ ඡායාරූප අතිපිහිත කිරීම) කියන්නේ කියලා. 

ඡායාරූප පසු සංස්කරණයේදී යොදාගන්න මේ ක්‍රමය ඡායාරූපයක ක්‍ෂේත්‍ර ගැඹුර (Depth of Field) එක වැඩි කරන්න යොදා ගන්න ක්‍රමයක්. Telephoto lens හෝ Macro lens භාවිත කරද්දී අපට ඇතිවන ගැටලුවක් තමයි ඡායාරූපයේ Depth එක අවශ්‍ය පරිදි පවත්වා ගැනීමේ අහසුව. Manual Extension tube භාවිතා කරල ක්‍ෂුද්‍ර (Macro) ඡායාරූප ගන්න අය මේ අපහසුතාවට ලක් වෙනවා. මොකද Depth එක වෙනස් කරගැනීමට ඔවුන්ට ක්‍රමයක් නැති වීම නිසා. අපි බලමු මොනවද නිසාද සහ කොහොමද Depth එක වෙනස් වෙන්නේ කියල.

1. නාභි දුර (Focal Length) වැඩි වෙද්දී Depth අඩුවේ.
2. වස්තුවට ඇති දුර (Distance to Subject) අඩු වෙද්දී Depth අඩුවේ. (Macro ඡායාරූප වලදී අධික වශයෙන් සිදුවන දෙයයි)
3. Aperture Value (f අගය) වැඩිවෙද්දී Depth වැඩිවේ.

ඉහත කරුණු වෙනස් කර Depth වැඩි කරගන්නා අවස්ථාවලදී ගැටලු මතු වෙනවා. උදාහරණ විදිහට f වැඩි කල විට අනාවරණය නිවැරදි කිරීමට ISO වැඩි කලහොත් ඡායාරූපයේ Noise වැඩිවෙනවා වගේම Shutter Speed අඩු කලහොත් ඡායාරූපයේ තියුණු බව (Sharpness) අඩුවෙනවා. මේ නිසා Focus Stack ක්‍රමය භාවිතා කිරීම වැදගත් වෙනවා.

ඡ‍ායාරූප කලාවේ ආපු ගමන් මග (තාම පටන් ගත්තා විතරයි)

පින්තූර ගැනිල්ල අපි හැමෝම කරනවානේ. මමත් ඒ වගේ පොඩි එකා කාලේ ඉඳන් ඇවිදින එක තමයි කලේ. තාත්ත එක්ක ඇවිදිමින් කරපු දේවල් වෙනමම ලිව්වා මතක ඇතිනේ... අමතක නම් ගිහින් බලන්න මෙතැනින්.....

පහුවෙද්දී පහුවෙද්දී පින්තූර ගන්න ඕන යන යන තැන පින්තූර ටිකක් එකතු කරගන්න ඕන කියන අදහස ආවා වුනත් කැමරාවක් ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. මම මේ කියන කාලේ වෙද්දී කැමරා ෆෝන්, ස්මාර්ට් ෆෝන් කියල දෙයක් අහන්නවත් නෑ. තිබුන කැමරාව තමයි film රෝල් දාන ජාතියේ ඒවා. ට්‍රිප් යන අයගෙන් පින්තූර එකතු කරගත්තා වුනත් අපිට ඕන තැන් අපි දැක්ක විදිහට ගන්න විදිහක් තිබුනේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ Kodak KB 10 කැමරාවක් ගත්තා. ඒක පොඩි Offer එකකින් අඩුවට ලැබුනේ.
Kodak KB 10 කැමරාව
Sony w570 Compact කැමරාව
ම‍ගේම කියල පළවෙනි කැමරාව වුනේ ඒක. හැබැයි ඉතින් දැන් වගේ හිතුන හිතුන පින්තූර ගන්න බෑ. මොකද රීල් එකක් දාගත්තාම ඒකෙ පින්තූර 36යි උපරිම. රීල් එක බර ගානක්. ඒ නිසා ඕනම එකක් විතරයි ගන්නේ. දැන් නම් ගන්න බැරියැ ඕන තරම්. පස්සේ පස්සේ ඒකට වැඩ අඩු වුනා. මොකද ඒකට රීල් දාගන්න තරම් මුදලක් හමුවෙන්නේ නැති නිසා. මේ සියල්ලට මම මුදල් හොයාගත්තේ පොඩි කාලේ ආසම වැඩේ වුන ටොපි චොකලට් කෑමට හම්බවෙන සල්ලි එකතු කරල. මොකද ඒ කාලේ අපිට වියදම් කරන්න ඒ තරම් මුදල් තිබුනේ නැති නිසා.

මගේ ගමන් බිමන් අසූ පස් වැනි කොටස - ලෝකාන්තය පහලින් පෙනෙන නන්පෙරියල් වතුයාය හා සමනල වැව ජලාශය


1836 ජනවාරි මාසයේ 01 වැනිදා සිය නම් කෙරුණු හෝර්ටන් තැන්න අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ‘දෙවියන්ගේ කුසුම් උයන’ කියන නමින්. දහනමවැනි සියවස මුල්කාලයේ ලංකාවේ ආණ්ඩුකාරයා වුන සර් රොබට් හෝර්ටන් කියන පුද්ගලයා තමයි නම වෙනස් කරල තියෙන්නේ. 1969 දෙසැම්බර් 05 වැනිදා ස්වභාවික රක්‍ෂිතයක් ලෙසින් නම් කරපු හෝර්ටන් තැන්න ලංකාවේ උසින්ම තියෙන තැනිතලා භූමියද වෙනවා. ආසන්න වශයෙන් හෙක්ටයාර 3160ක් තියෙන මේ භූමියේ එක් කෙලවරක තියෙන ලෝකාන්තය නම් කෙලවර නිසාවෙන් ද එහි තියෙන සුවිශේෂ ජෛව විවිධත්වය නිසාවෙන්ද දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආවේණික ශාකයක් වුන මහරත්මල් Rhododendron (Rhododendron arboretum) ශාකය එයින් සුවිශේෂ තැනක් ගන්නවා. ලෝකාන්තය හා හෝර්ටන් තැන්න ගැන කලින් ලිපියක කියවෙන නිසාවෙන් එහි ඇති කරුණු ගැන මෙතැන කතා නොකලත් ඒ ගැන කියවන්න මෙතැනින් ගිහින් පුළුවන් වෙයි.
කාලයක් තිස්සේ ලොකාන්තය බලන්න ගිහින් එතැනින් පහල පෙනෙන නන්පේරියල් වතුයාය හා සමනල වැව ජලාශයත් අවට ප්‍රදේශයේත් සුන්දරත්වය විඳගත්තු නිසාවෙන්ම පහල ඇති තැන් ලගට ගිහින් ලෝකාන්ත‍ය පෙනෙන්නේ කොහොමද කියල බලන හීනය හැබෑ කරගන්නයි මේ ගමන සූදනම් වුනේ. කීප දෙනෙකුටම ගමනට ආරාධනා කලත් ගමනේ තියෙන රළු බව නිසා තොරගත්තු පිරිස පරිස්සම් සහගතවයි සිදු කලේ. නමුත් කවදා කොහොම සූදානම් කලත් අවසානයේ ගමනක් යන්න ඉතිරිවෙන්නේ තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු විතරයි යන කතාව සනාථ කරමින් අපි දෙදෙනෙක් ගමන ආම්භ කලා. හිරු නැගෙද්දී කඳු මුදුනට යන්න හිතාගෙන අම්බලන්ගොඩින් පාන්දර 2ට පිටත් වුනා. අපි තෝරගත්තු මාර්ගය වුනේ කොළඹ බදුල්ල මාර්ගයේ ඇවිත් බෙලිහුල් ඔය 160 කිලෝමීටර කණුව ලඟින් හැරිලා කිලෝමීටර 32ක් ඇති ලෝකාන්තයට යන මාර්ගය. එතැන තියෙන ලෝකාන්තය, නන්පේරියල් වතුයාය හා නගරක් බංගලාව (Nagarak) යන නාම පුවරුව නිසා පාර හොයාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. හිරිකටුඔය අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථායත් තියෙන්නේ මේ මාර්ගයේමයි. එතැනින් කිලෝමීටර 8ක් ආවත් වතුයායට වාහනයකින් යන්න අවසර ගැනීම සිදු කල යුතුයි කියල දැන ගන්න ලැබුනා. නමුත් පයින් යාම සඳහා ඒ තරම් ගැටලුවක් තිබුනේ නැති නිසාත් ආව ගමන ප්‍රයෝජනවත් විය යුතු නිසාත් ඉතිරි කිලෝමීටර 20ක පමණ දුර පයින් යන්න තීරණය කලා. එතැන බයිසිකලය දාල පයින් ගමන ආරම්භ කරද්දී වෙලාව උදේ 8.00ට විතර ඇති. තේ වත්ත ඇතුලේ තියෙන කෙටි මාර්ග ගැන අවබෝධයක් නැති නිසා අපි වාහන ගමන් කරන ගල් බොරලු සහිත මාර්ගයම භාවිතා කලා. මාර්ගය බෙදී ලෝකාන්තයෙන් හරියටම පහලින් තියෙන කොටසට යන්න කිලෝමීටර දෙකක් පමණක් තිබුනත් නගරක් බංගලාව දෙසට එහෙමත් නැතිනම් කඳු මුදුනට යන මාර්ගය තොරා ගත්තේ කාල වේලාව අනුව දෙවෙනි කොටස බලන්න හිතේ තියාගෙනයි.
යන අතර සුන්දර දර්ශන ඡායාරූප ගත කලා වුනත් දිය ඇලි ඡායාරූප ගත නොකලේ එන අතර වාරය වෙනුවෙන් ඉතිරි කරගන්න. හිරු නැගෙන දර්ශන පෙලක වටිනකම එයට වඩා වැඩි නිසා ඉක්මනින් කඳු මුදුනට යෑමේ අවශ්‍යතාවය තමයි තිබුනේ. විශාල වංගු 33කින් සමන්විත මාර්ගයේ වංගු 14ක් විතරයි අපි බයිසිකලයෙන් ඇවිත් තිබුනේ. 23 වැනි වංගුව වුන මුහුදු මට්ටමින් අඩි 5700ක් උසින් තියෙන ‘බේකර්ස් වංගුව’ ලඟට එද්දී වෙලාව දහවල් 11ට විතර ඇති. මගදී මම දාගෙන හිය සෙරෙප්පුව කැඩුනු නිසාවෙන් ගමනේ වේගය සෑහෙන්න පුමාණයක් අඩු වුනා. ලිස්සන සුලු මාර්ගයත් ගල් බොරලු සහිත බව නිසාත් සෙරෙප්පු නැති නිසාත් ඉතිම දුශ්කර ගමනක් වුනා. මාර්ගය අතර තිබෙන දිය ඇලි අපේ පවස නිවද්දී අවට සුන්දරත්වය අපේ වෙහෙස නිවන්නට වුනා. කෙතරම් අපහසු වුනත් ගමනේ අවසානය දකින්න තිබුන අධිෂ්ධානයේ නම් අඩුවක් තිබුනේ නෑ. දහවල් 12.40 විතර වෙද්දී මුහුදු මට්ටමින් අඩි 6990ක සීමාවට ලඟා වුනා. එතැන ඉඳන් අපේ ගමනාන්තයට කිලෝමීටර 1කුත් ලොකාන්තයට කිලෝමීටර 4කුත් තමයි තිබුනේ. නමුත් තිබුන පොද වැස්ස ටිකක් විතර වැඩි වුන නිසා ගමන නවත්තල ලඟ තිබුන වතු නිවාස කීපයක් ලඟ නැවතුනා. ‍තේවත්තේ ආරම්භයේ ඉඳන් මේ වෙනකම් ගමනේ වතු නිවාස දකින්න ලැබෙන දෙවැනි තැන තමයි මේ. අපේ කැමරා ආම්පන්න ආරක්‍ෂා කරගෙන වැහි කබා දා ගන්නකම් නවතින්න තීරණය වුනත් වැහි පොද ටික ටික අඩු වෙද්දී වැහි කබා අස්සේ ගුලිවෙලාම ගමන ආරම්භ කලා. එයට හේතුවුනේ සවස් වෙද්දී නැවත යා යුතු නිසාවෙන්.

 
 
 
 මීදුමෙන් වැසුනු නගරක් බංගලාව ලඟට ඒ කියන්නේ අපේ ගමනේ අවසානයට එද්දී දවල් 2ට විතර ඇති. පැය 12ක ගමන අවසානයේ මඳක් විවේක ගන්න තීරණය වුනත් එය විනාඩි කීපයකින් සීමා කරන්න වුනා. එයට හේතුව අධික මීදුම හා වැසි ස්වභාවය. බංගලාව බලාගන්න පුද්ගලයා එක්ක කතා බහ කරල විස්තර ටිකක් දැනගත්තා. කොහොම වුනත් දවසක් මේ බංගලාවේ නවතින්න බලාගෙන එන්න පුළුවන් නම් අපූරු ගමනක් වෙයි. බංගලාව දැනට 10 දෙනෙකුට නවතින්න පහසුකම් තියෙනවා. උයන්න අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න ඕන. රාත්‍රී 12 වෙනකම් විදුලිය භාවිතා කරන්න පුළුවන්. ගෑස් ලබා දෙන අතර කො‍්කියෙක් දෙනවා. ඔහු ලවා සියලු ආහාර සකස් ගන්න පුළුවන්. දහවල් 12 සිට ඊලඟ දවසේ දහවල් 10.00 පමණ වෙනකම් ඉන්න පුළුවන්. ඒ දවස සඳහා දැනට අයකිරීම වෙන්නේ 15000ක මුදලක් පමණයි. රත්නපුර‍ නගරයේදී මෙහි නවාතන් සඳහා මුදල් ගෙවා වෙන්කරගැනීම කල යුතුයි. අවටින් නැගෙන මීදුම නොමති කාලයේදී දකුණු මුහුදු වෙරළ දක්වා දකින්න පුළුවන් කියලයි කියන්නේ. වැට මායිමකින් වෙන්වුන හෝර්ටන් තැන්න අභය භූමිය එක් පැත්තක තිබුනා වුනත් අනවසයෙන් ඇතුලු වීම නම් කරන්න බැහැ. එතැනින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න නම් වනජීවී එකෙන් විශේෂ අවසරපත්‍ර අරගෙන එන්න ඕන.
 
 
 
 

එතැනින් පිටත් වුන අපි පහලට එන්න තියෙන කෙටි මාර්ග භාවිතා කරන්න වුනා. කඳු ඉහල ඉඳන් බලද්දී කෙටි මාර්ග පැහැදිලිව පේන නිසා සහ සවස් වෙන්න කලින් පහලට යන්න ඕන නිසා අපි ඒ මාර්ග භාවිතා කලා වුනත් දිය ඇලි හා ලෝකාන්තය පහල කොටස මඟ හැරුනා. තේ වතු අතරින් පෙනෙන එක් දිය ඇල්ලක සුන්දරත්වය විඳිමින් සවස 4.15 පමණ වෙද්දී වතු යායේ ගේට්ටුව ලඟටත් 4.30 පමණ වෙද්දී ප්‍රධාන මාර්ගයටත් එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රධාන මාර්ගයට එන අතරතුර හමුවන ගලගම ඇල්ල එහෙමක් නැතිනම් පහන්තුඩා ඇල්ල බලන්න ටික වේලාවකට නතර වුනා. දෙපැත්තෙන් දිය ඇලි දෙකක් විදිහට ඇවිත් පහලින් එකතුවෙන දිය ඇල්ල බොහොම සුන්දර දිය ඇල්ලක්. සියල්ල අවසානයේ අපි පහලට ආව වුනත් අපේ දවසේ චාරිකාවේ අවසානය තාමත් සිදු වුනේ නෑ. ඒ තවමත් ඉතිරිව තිබුන සමනල වැව ජලාශය බලන්න යන්න ඕන නිසා.

එතැනින් ‍සබරගමුව විශ්ව විද්‍යාලය ලඟින් තියන මාර්ගය දිගේ ආවාම රජවකට එන්න මාර්ගයක් තියෙනවා. එය සමනල වැව ජලාශය ලඟින් තමයි යන්නේ. අපි ඒ මාර්ගය දිගේ ආවා වුනත් සමනල වැව වේල්ල අවට කිලෝ මීටර තුනක් පමණ යනතුරු අධිආරක්‍ෂිත කලාපයක් කරල. ඒ නිසා ඡායාරූප ගන්න තියා නවතින්නත් තහනම්. ජලාශයේ සුන්දරත්වය ඇස් වලින් පමණක් දකිමින් රාත්‍රී වෙන්න කලින් වනාන්තර මායාමෙන් පිටවෙන්න අපි වේගවත් ගමනක යෙදුනා. ඒ වන අලි මාර්ගයට පැමිණෙන නිසාවෙන්. නමුත් ජලාශයේ සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් තිබේදැයි නිරතුරු සොයමින් තමයි ආවේ. අපේ වානසාවකට සුන්දර කඳු ගැටයක් දෙසට නැගුනාම සමනල වැව පේන තැනක් හමුවුනා. එනැතින් අපූරුවට සමනල වැවත් ලෝකාන්තය පැත්තත් සොයාගන්න අපහසු වුනේ නෑ. නමුතු මීදුමින් වැසුනු නිසාවෙන් කඳ මුදුන නම් පැහැදිලි වුනේ නෑ. විනාඩි කීපයකින් එතැනින් පිටවුන අපි රජවකින් ගොඩකවෙලටත් එතැනින් රක්වාන හරහා සූරියකන්දටත් ආව. වංගු 10 හරහා දෙනියායට එද්දී රාත්‍රී 11ත් පහුවෙලා. ඒකට හේකු වුනේ සූරියකන්ද පැත්තෙන් එන මාර්ගය අබලන් වීම හා අපේ මහන්සිය. කොහාම වුනත් ගැටබරු පාමුල බස් නැවතුමේ විනාඩි කීපයකට විවේක ගත්තා. රාත්‍රී 1.30 විතර වෙද්දී නිවෙස් බලා ආව අපි නිදද්දී රාත්‍රී 2ත් පහුවෙලා.
 
 
 
පැය 24ක සම්පූර්ණ ගමනක් නිමාවෙද්දී නොනිදා සම්පූර්ණ දවසක් ඇවිදපු එකම ගමන් බිමන් විස්තර පොත අපූරුවට මේ විදිහට හැඩ කරනවා. දවස් දෙකක් භාවිතා කරල යන්න ඕන ගමනක් එක පැය 24ම බයිසිලයත් පැදගෙන ඇවිදල ආව එකෙක් ඇති කියල මම නම් හිතන්නේ නෑ. කොහෙම වුනත් විස්තර පොත සරසන්න අමතක කරන්නේ නෑ වගේම මේ වගේ ගමන් යන්න ඒත් ඒ තැන් විනාශ කරන්න එපා කියන එල්ලීම කරන්න කැමතියි. තවත් ලස්සන ගමනක් එක්ක හමු වෙනකම් ගමන් බිමන් ලියන මම සමුගන්නවා. ස්තූතියි !

තව පින්තූර බලන්න මෙතැනින් යන්න....