ලංකාව වටේ ඇවිදිමින් යන අතරේ මගේ සහෘදයකුගේ හැඳුනුම්කම නිසා හමුවුන මේ වටිනා ස්ථානය තියෙන්නේ කොහෙද, බලන්න පුළුවන්ද යන දේවල් නම් අහන්න එපා. මගේ ලිපි වල පළවෙනි වතාවට ගියපු තැනක විස්තර නොලියන්නේ. ඒ පිළිබඳව සමාව අයදිනවා වාගේම එහෙම කරන්න හේතුවත් කියන්න ඕන කියල මට හිතෙනවා. මම මේ තැනට ගියේ මහ ලොකු දැනුමක් දැනගෙනවත් මුදල් පිළිබඳ දැනුමක් ඇතිවවත් නෙවෙයි. ඒ වගේම මේ තරම් විශාල වටිනකමක් හා හොඳ එකතුවක් ඇති කියලවත් දැනගෙන නෙවෙයි. වෙනත් ගමනක් යන අතරේ සිදුවුන අහම්බයක් නිසාවෙන් මේ පිළිබඳ ගොඩක් ඉගෙන ගන්න වෙලාව නොතිබුනත් අප නොදන්න ගොඩක් දේ දන්න මහත්මයෙක් තමයි මට එතැනදී හමුවුනේ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVCRK2_l-d8FgiezVuTqSgONLmP9e5n7ttFY326zoQ2m-4tuNC2slbpJbrgtF2ne60rseFXynfaPByyGngGdPIyF_RMObQD1TSKzmb7oM9t3tOfaKmsvcSXvGzUeMJjNGevmkkyECJjcs/s1600-rw/DSC_0215+copy.jpg)
මෙතැනින් පස්සේ මම කියන්නම් ඔහු ගැන. එහු එක්තරා අපූරු පුද්ගලයෙක්. ඔහුගේ විනෝදාශය වන්නේ මුදල එකතු කිරීම. එයත් ලංකාවේ පැරණි කාලයේ සිට වර්තමානය දක්වා භාවිතා වුන මුදල්. එහෙමත් නැතිනම් ඔහු කියන්නා සේම "සල්ලි". අනිත් දේ තමයි ඔහු සතුව ඇති මුදල් පිළිබඳ ඇති ඉතිහාස දැනුම. මම අත්දුටුව හැටියෙන් කතාව කියන්නම්. මුලින්ම ම මගේ හිතවතා මාර්ගයෙන් ඔහුගේ නිවසට ඇතුළු වෙද්දී සාදරයෙන් අප පිළිගත් ඔහු අප පැමිණි කාරණාව කිව්ව සැනින් ඇසුවේ "අපූරුයි! නමුත් ඔබ මොනාද මුදල් ගැන දන්නේ?" කියායි. "මම මොකුත් දන්නේ නෑ සර් මම ඒ ගැන උනන්දු වෙලා තිබුනේ නැහැ" මම කිව්වා. "ඉතින් එහෙනම් මට මුල ඉඳන් කියන්න වෙනව. හොඳයි ඔබ අහල තියෙන පරණම සල්ලි එහෙම නැත්තම් මුදල මොකක්ද?" ඔහු ඇහුවා. මම එක්වරම කීවේ "කහවණු" කියලයි. එතැනින් පස්සේ සිහින් සිනාවක් ඇඳුනු මුහුණක් සහිතව "අපි යමු උඩට" කියමින් අප සමඟ උඩ තට්ටුවට යන්න වුනා. ඔහුගේ නිවසේම තිබුණු අපූරු කෞතුකාගාරය දකින්න ලැබුණේ එතැනදියි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjYk65G9TypdUKK9B4Gixr3IP6EZEJNZJqLa2UWcE8V3_4-tx_uQx1bJf7vsF9UMJIjbQjzpB-1J0KQDycON6R78hXdQybo2PZY9eQ5PJvv2q7uxVbRt7hz93H4NATSkLoVUajUkEoHH80/s1600-rw/DSC_0181+copy.jpg)
අතීතයේ ඉඳන් වර්තමානය දක්වාම වර්ගීකරණය කල සල්ලි සහ වර්තමානයේ භාවිත වන සල්ලි විශාල ප්‍රමාණයක් තිබුණා. එතැනදී කහවණු සත්‍ය වශයෙන්ම දැක්කා වාගේම අහල විතරක් තිබුණ මසුරන්, අගුටුමස්ස, තුට්ටුව, දොයිතුව වගේ කාසිත් මම නම් දැක්කේ මෙතැනදී විතරයි. ජාතික මුදල් කෞතුකාගාරයෙන් පත්තර වල දැන්වීම් දමමින් සොයන කාසි මොහු ලඟ තියෙනවා දැකීමෙන් මා තුල උනන්දුව වාගේම ඔහුගේ ධෙර්යය හා කැපවීම පිළිබඳ ගෞරවයක්ද ඇති වුනේ නිතැතින්මයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiiaZxs63gX3elUXpBydKupgSt82ytCud8cylkPDeOsBb1crhFwQFmIIe2-AXn7aPM30QnzSPsoPETL7NR8zdCWTd4jkljbDxZNkHNzCwGp7xQDIYKez0e70jC_3GIO2Yaq3yUqopUurEE/s1600-rw/DSC_0203+copy.jpg)
ඒ විතරක් නොවෙයි අතීත රජ දවස භාවිත කල ඇඳන්, පළමුව ලංකාවේ භාවිත වූ ප්රක්ෂේපණ යන්ත්‍ර, මහණ මැෂින් හා කැමරා පවා හුගේ එකතුව තුල තිබුණා. ලංකාව තුල දක්නට නොලැබෙන ගෝත්‍රික මුහුණු හා ඉතා වටිනාකමක් ඇති පුරාවස්තු රැසක් ඔහු විසින් එක්රැස් කරගෙන තිබුනා. ඔහු ඒ දේවල් ඉතා පරෙස්සමින් සුද්ධ පවිත්‍ර කරමින් රැක බලාගන්නේ මහත් වූ ආදරයෙන්. එහිදී මා දුටු දේ ඔහුගේ අවසරයෙන් ඡායාරූපගත කරන්න ලැබීමත් ඉතා භාග්‍යයක්. නමුත් ඔහුගේ ඉල්ලීම වූයේ කිසිවිටෙකත් ඔහුගේ අන්‍යතාව හෙලිකමින් ලිපි ලියන්න එපා යන්නයි. එයට හේතුව මේ දේවල් වල ආරක්ෂාව හා මේ දේවල් බලන්න මිනිසුන් ආවොත් ඔහුගේ අධ්‍යයනයන්ට සිදුවන බාධාවයි. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලීම නිසාවෙන් මට ඒ දේවල් නම් හෙලිකරන්න බැහැ. පළවෙනි වතාවට ඔහුගේ කෞතුකාගාරයේ ඡායාරූප ගැනීමට අවසර ලැබුණේත් මට විතරක් වුනේ මා හා ගිය මිතුරාගේ ඇඳුනුම්කම් ප්‍රමාණය නිසාවෙන්මයි.