මගේ ගමන් බිමන් එකසිය දහනමවන කොටස - දෙගල්දොරුව රජ මහා විහාරය

මහනුවර සිට කිලෝමීටර 7ක් ගිය පසු හමුවන අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා ඇති දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලැබේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා ඉතා පහසුවෙන් දෙගල්දොරුවට ළඟා වීමට පුලුවන්. මෙය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන ලෙස සකස් කරන ලද ලෙන් විහාරයක් බැවින් දෙගල්දොරුව නමින් ප්‍රසිද්ධ වී ඇත.


විහාරය ඉදිකරනන් පටන් අරන් තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඒ (1747 – 1782) කාලෙදි. මේ කාලෙදි මහනුවර ගල්මඩුව විහාරය ඉදි කරමින් සිටි රජතුමාටඒ ලඟ තියෙන විහාරයකට කදිම ලෙනක් ගැන දැනගන්න ලැබිල තියෙනවා. පසුසේ ගල්මඩුව කරවීම පැත්තක තියලා අලුත් ලෙනේ විහාරය කරවීමට නියෝග කරල. ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී කරවන ලද දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් වූ පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ බව සැලකෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය කරවීම ආරම්භ කලා වුනත් එහි අවසානයක් දකින තුරු ඔහු ජීවත් වුනේ නැහැ. ඒ අසුපිටින් වැටීම නිසා මිය යාමෙන්. ඊට පස්සේ රජකම ලැබෙන ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු (1782 – 1798) විහාරය නිම කරලා මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ඒ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කරලා තිබෙනවා. ඒ බව රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙහි සටහන් කරල තියෙනවා. කොහොම වුනත් මේ විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී. මේ විදිහට සකස් කල වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බව පැවසේ. දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.