අම්පාරේ දවස් - පළමු කොටස

මේ කතාව ආරම්භය මෙතකැයි නොකීවද මාගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වීමත් සමඟ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා වැනිය. එයිනුත් වසර කීපයක් අතිශය විශේෂිතය. "අම්පාරේ දවස්" ආරම්භයේ සිට අවසානය තෙක් ලිවීම අපූර්ව විය හැකි වුවත් සිත දුවන්නා වූ විශේෂිත මතකයන් අතරින් පතර මාගේ සිතිවිලි දැහැන බිඳ දමන්නේ වරක් දෙවරක් නොවේ. මා සිතම මෙලෙස සිදු කරන්නා වූ මතක හරඹයන් හමුවේ පිලිවෙලින් ලිවීම සිදු කල නොහැකය. එනිසාම ලිපි ලිවීමද ප්‍රමාද වේ. එනයින් හුදෙක් මතකය මතුපිටට ඉපිලී ඒන මතකයන් කොටස් වශයෙන් ලිවීමට තීරණය කලෙමි.

ඒ වර්ෂ දෙදහස් දහ හතර වන වර්ෂය බව පවසන්නේ මගේ මතකයට වඩා මගේ මතක එකතුව වූ ඡායාරූප ගොන්නයි. කලකට පෙර අම්පාර ප්‍රදේශයේ වසර කීපයක් ජීවත් වූ මා ගෙන ආ සුන්දරම මතකයන්ගෙන් එකක් බව නැවත නැවතත් සිහිපත් කරමි. එකල අප කුඩා පිරිසක් වශයෙන් එක්ව රාත්‍රී අහස නිරීක‍්ෂණ වැඩසටහන් පවත්වන්නට වීමු. එය පාසල් ලමුන් වෙනුවෙන් විශය මාලාවේ ඇති පාඩම් කොටස් අලලා විශේෂිතව සකස් කරන ලද වැඩසටහනකි. එය කොටස් දෙකක් ලෙස 3, 4, 5 වසර වල ළමුන් සඳහා එක් වැඩසටහනක් ද 9,10,11 වසර වල ලමුන් සඳහා තවත් වැඩසටහනක් ද වශයෙන් පැවැත්වීය.

මා මොරගහපල්ලම විද්‍යාලයට යන්නේ මේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක කොටස්කරුවෙක් වශයෙනි. අම්පාර මොරගහපල්ලම විද්‍යාලය යනු දමන ප්‍රාදේශිකයට අයත් කුඩා පාසලකි. පාසල එකල අතිශය දුශ්කර ලෙස සලකන ලද පාසලකත් විය යුතුය. පාසල වටා කුඩා කැලෑ ප්‍රදේශයත් ප්‍රදේශය පුරා විසිරුණු කුඩා වැව් පද්ධතියත් හේතු කරගෙන ගම්මානය නිරන්තර අලි ආක්‍රමණයන්ට ලක්වන්නකි. නමුත් පාසලේ තරමක සිසු පිරිසක් අධ්‍යාපනය ලබන බව පෙනෙන්නට තිබිණි. ඒ පාසලේ ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් ක්‍රමවේද නිසා විය යුතුය.

අප පාසලට රැගෙන යන්නේ කුඩා දරුවන් වෙනුවෙන් සකස් කෙරුණු වැඩසටහනක් වෙනුවෙනි. සවස 4.00 පමණ විට පාසල වෙත ලං වූ අප විදුහල්පතිවරයා සහ විශය භාර ආචාර්යවරයා සමඟ සුහද පිලිසඳරකින් පසු අපගේ කාර්යය ආරම්භ කරන්නට වීමු. අපගේ වැඩසටහනේ පලඹු කොටස ඩිජිටල් තිරයක් මත ප්‍රක්ශේපනය කරන ලද පාඩම් ඉගැනවීමකි. එහිදී අදාල පාඩම් කොටස් සහ එදින රාත්‍රී අහසේ අපට දැකිය හැකි වස්තූන් සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබේ. තවද රාත්‍රී අහස නිරීක්‍ෂණ ක්‍රම පිලිබඳවද විස්තර කරනු ලැබේ. පාඩම් කොටස අතර වාරයේ ලමුන්ට පැන නඟින ගැටලු අපවෙත යොමු කල හැකි වන අතර ඒවා සඳහා පිලිතුරු ලබා දීමද සිදුවේ. මේ සියල්ල සාමාන්‍යායෙන් පැය 2-3 අතර කාලයක් ගත වන අතර ඉන්පසු ලමුන්ට රාත්‍රී ආහාරය ලබා ගැනීමට අවස්ථාව ලබා දී දුරේක්‍ෂ මගින් අහස නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දෙනු ලැබේ.