මගේ ගමන් බිමන් එකසිය තුන්වන කොටස - ඔහියේ ඉඳන් කලුපහණට යකාගේ පඩිපෙළ දිගේ

ආයුබෝවන් හැමෝටම... කාලෙක ඉඳන් ඇවිදින්න තියා ඇවිදපු ටික ගැන වත් ලියා ගන්න වෙලාව නැතුව හිටියේ.. නමුත් ඔන්න ආයෙත් ගමන් බිමන් ලිපියකින් අලුත් කරන්නයි හදන්නේ...

කාලයක් තිස්සේ යන්න හිටි ගමනක් ඔෆිස් එකේ සෙට් එකත් එක්ක යන්න තීරණය වුනේම අහම්බයකින්... කතාවක් අස්සේ කොහේ හරි යමුද? කියල අහන්නත් ඒක යකාගේ පඩිපෙල යන්න තීරණය වෙන්නත් ගියේ මිනිත්තු කීපයක් විතරයි.. කොහොමත් දවස් ගනන් සැලසුම් කරන ගමන් කවදාවත් යන්න බැහැ කියලත් කියනවානේ.. විවිධ අයගේ අපහසුතා නිසා කට්ටිය එහෙ මෙහෙ වෙලා අවසානයේ 12 දෙනෙක් එක්ක යකා‍ගේ පඩිපෙල යන්න තමා මේ සූදානම් වුනේ... යකාගේ පඩිපෙල ගමන පහල ඉඳන් ඉහලට එක පාරක් බයික් එකේ ගියා මතක ඇතිනේ... 
රාත්‍රී තැපැල් දුම්රියෙන් කොළඹ කොට‍ුවෙන් පිටත් වෙද්දී රෑ 8.00ට විතර ඇති. ඔහියට ආවේ පාන්දර 4.30 විතර වෙද්දී.. එතැනින් "පැටියා" හෝටලේට රිංගුවේ මොනා හරි දෙයක් බඩට දා ගන්න. සෙට් එක එක්ක හනිකට රොටි ටිකක් බඩට දාගෙන ප්ලේන්ටියක් එහෙම බීල අපි ගමන පටන් ගනිද්දී උදේ 6.00ට විතර ඇති.