Graffiti, Mural සහ Wall Arts

පසුගිය කාලය පුරාවට ලංකාවේ තරුණ තරුණියන් විවිධාකාරයේ රැළි ඇති කරමින් සිටී. එයින් බොහෝමයක් ඇති කරන්නට මාධ්‍යය ලෙස භාවිතා වූයේ මුහුණු පොතයි. මෙසේ ඇති වූ අලුත්ම රැල්ල ලෙස ඇත්තේ මාර්ග දෙපස පොස්ටර් වලින් වසා තිබූ තාප්ප සහ බිත්ති පුරා සිතුවම් කිරීමේ රැල්ලයි. මේ පිළිබඳව ලිපියක් ලිවීම සඳහා කීප වාරයක් උත්සාහ කලද මාගේ රාජකාරි කටයුතු සහ විවිධ ගැටලු හේතුවෙන් කාලයක් සොයා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ වේවා ලිපිය ලිවීම සඳහා මෙසේ කාලය සොයා ගතිමි.

මම මුලින්ම කියන්නම් Graffiti කියන්නේ මොකක්ද කියලයි. හූරන ලද යන වචනයේ අරුත ලබා දෙන Graffitiato  නැමැති ඉතාලි වචනයෙන් බිඳී ආ Graffiti කියන වචනයෙන් හඳුන්වන කලාව වචනයේ පරිසමාප්තියෙන්ම සූරන ලද අකුරු වලින් සමන්විත පණිවිඩයක් ලබා දීම සඳහා නිර්මාණය වූ කලාවක්. අතීත ඊජිප්තුව, අතීත ග්‍රීසිය සහ රෝමාණු අධිරාජ්‍යයේ ඉතිහාසය දක්වා විහිදෙන මෙම කලාව අප රට තුල සීගිරියේ කුරුටු ගී වශයෙන්ද පවතී. පාලකයන්ගෙන් අවසරයකින් තොරව පණිවිඩක් ලියා දැක්වීමේ ක්‍රමයක් ලෙසද භාවිතා වන මෙම කලාව අතීතයේ අකුරු වලට වඩා පමණක් සීමා වූ නමුත් අද ඒ වටා විවිධ හැඩතල හා රෑප භාවිතා කරමින් සහ විවිධ වර්ණ භාවිතා කරමින් සිදු කිරීම දක්වා විකාශනය වී තිබේ. මෙකී කලාව භාවිතා කරමින් පාලක පන්තිය විවිධ වැරදි තීරණ සම්බන්ධයෙන් ද පරිසර හානි හෝ විවිධ පන්ති සඳහා සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් බලපෑම් ඇති කිරීමට මේ හරහා නිර්මාණකරුවන් පෙළඹී තිබේ. ඒ හෙයින් මෙකී කලාව සඳහා බොහෝ විට පාලක පන්තියේ අප්‍රසාදය පල කරනු ලැබේ. එබැවින් මෙකී නිර්මාණකරුවන් තම අනන්‍යතාව සඟවා ගනිමින් කටයුතු කරනු දැකිය හැකි වේ. විවධ අනවර්ථ නාමයන්ගෙන් මෙම නිර්මාණ වල අයිතිකරුවන් තමාව නිර්මාණය හරහා හඳුන්වා දෙනු ලැබේ. තවද කිසිදු පෙර සූදානමකින් තොරව මෙම නිර්මාණ සිදු කරනු ලැබීමත් කෙටි කාලයක් තුලදී මෙම නිර්මාණ සිදු කිරීමත් විශේෂ ලක‍ෂණ වශයෙන් දැකිය හැකිය.