මගේ ගමන් බිමන් හැත්තෑ නමවැනි කොටස - ගනේගම විහාරය පැල්මඬුල්ල



රත්නපුර - පැල්මඬුල්ල මාර්ගයේ ගනේගම තියෙන පැරණි සිද්ධස්ථානයක් තමා මේ කියන ගනේගම විහාරය කියන්නේ. රත්නපුර පැල්මඬුල්ල මාර්ගයට මුහුණලා තියෙන නිසාවෙන් මේ මාර්ගයේ ගමන් කරන ගනේගම හිටිවන පිලිමය නොදැකපු කෙනෙක් නම් නොමැති ගානයි. අරමොණපොල විහාරය, දෙනවක විහාරය යන නම් වලින් පවා හැ‍ඳින්වෙන්නේ මේ විහාරයමය. චෝල ආක්‍රමණ වලට පසුව ශ්‍රී පාදය වන්දනාවේ පැමිණි අරමණ දේශයෙන් එනම් බුරුමයෙන් පැමිණි භික්‍ෂූන් වහන්සේලා නවාතැන් ගෙන ඇත්තේ මේ වාහාරයේය. එනිසා අරමණ පොල ලෙස ව්‍යවහාරයට එක්ව ඇතැයි ඉතිහාසයේ කියවේ. කිරිබත්ගල කඳු ශිඛරයටත් කුට්ටාපිටිය කඳු ශිඛරයටත් මැදින් ඇති නිසාවෙන් දෙනවක විහාරය ලෙස පොලොන්නරු යුගයේ සිටම මෙය හඳුන්වා ඇතැයිද ඉතිහාසය සක්‍ෂි දරයි. තවද පසු කලෙක බටහිර ආක්‍රමණ හමුවේ ලක්දිව බුදු සසුන විනාශ වෙද්දී ගණින්නාන්සේලා යනුවෙන් හැඳින්වෙන භික්‍ෂු කොට්ඨාශයක් මේ ප්‍රදේශයේ වාසය කර ඇත. විහාරයේ නඩත්තුව හා පාලනය සිදු කිරීමද ගණින්නාන්සේලා විසින්ම කර ඇත. එනිසා මෙය ගණේගම ලෙස ව්‍යවහාරයට එක්ව ඇතැයි සිතිය හැක.

මෙහි ඇති බෝධීන් වහන්සේ සංඝමිත්තා තෙරණින් වහන්සේ ගෙන හා ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාකාවෙන් හටගත් දෙතිස්ඵල බෝධීන් වහන්සේලාගෙන් එකක් මෙහි රෝපණය කර ඇති බවද ඉතිහාස පොත්පත් වල සඳහන්වේ. විහාරගෙය තුල ඇති දාරුමය බෝධීන් වහන්සේ සඳුන් ලීයෙන් කරවා ඇති බවට විශ්වාස පවතින අතර තවත් කෙනෙකු එය හික් ලීයෙන් කරවා ඇති බවද විශ්වාස කරයි. එය මෙම විහාරයේ ඇති පැරණිම ප්‍රතිමාව වේ. විහාර පිට මලුවේ ඇති ගල් කුලුණු 24කුත් ගල් උළුවහු 3කුත් සඳකඩ පහණ හා ගලින් කල භාජන දෙකකුත් දැනට ඇති පැරණි ගල් කැටයම් අතර වේ. කෝට්ටේ යුගයේ වූ දක්‍ෂ ගල්වඩුවන්ගේ දක්‍ෂතාව මැනෙවින් පිළිබිඹු කරන්නා වූ ගල් උළුවස්සක් මෙහි දැකිය හැකි අතර උළුවස්ස පාමුල ඇති උක්කුටුක ඝන රූප හා පලාපෙති මෝස්තර වලින් ලැබෙන සංකීර්ණ නිර්මාණ වල අපූර්වත්වය වචන වලින් විස්තර කල නොහැකි තරම්වේ.
අනුරාධපුර පොලොන්නරු යුග වලින් පසුව ලංකාවේ ගලින් කල නිර්මාණ ප්‍රමාණය අඩුවන්නට පටන් ගත්තද ගනේගම විහාරය නැවතත් අනුරාධපුර පොලොන්නරු යුගයන් සිහිපත් කරවයි. රත්නපුර දිස්ත්‍රික්කයේම වැඩිම ශෛලමය නිර්මාණ ඇත්තේ ගණේගම විහාරයේය. මෙහි නිර්මාණ සම්පූර්ණයෙන්ම පාහේ කෝට්ටේ යුගයේ කල නිර්මාණ යැයි පුරාවිද්‍යාඥයන් තහවුරු කරයි. කෝට්ටේ යුගයේ හයවන පරාක්‍රමබාහු රජතුමා විසින් මෙම විහාරය නිර්මාණය කරවා පැපිලියානේ සුනේත්‍රාදේවි පිරුවෙනට පිලිගැන්වූ බවද සඳහන්ය. පසුව පෘතුගීසි සමයේ මේ විහාර විනාශ වී ඇති අතර මහනුවර සමයේදී කොට්ටිඹුල්වල අනොමදස්සී ස්වාමිපාදයන් වන්සේ මෙය ප්‍රතිසංස්කරණය කරන්නට පටන්ගෙන ඇත. එයින් පැහැදුනු කන්ද උඩරට රජ ශ්‍රී විකුම රාජසිංහ රජතුමා මෙම විහාරය හා ගම්වරයක් කොට්ටිඹුල්වල අනොමදස්සී ස්වාමිපාදයන් වහන්සේට පූජා කර ඇත.

පසුකලෙක අඳුරු කාලච්ඡේද අවසන් කරමින් බුදුලෙන රංමහා විහාරාධිපති කර්මාචාර්ය සන්නස්ගම ශ්‍රී රතනපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයෙන් පිලිසකර කරවා පාලනය කර ඇත. විහාරගෙන හා බෝධීන් වහන්සේ වටා වූ ප්‍රාකාරය පසුව නිර්මාණය වූ අතර අවුකන පිළිමය ආකාරයට නිමවූ හිටි පිළිමයත් පොලොන්නරුව ගල් විහාරයේ ආකෘතියට ඉදිවූ නිර්මාණයත් නිසාවෙන් මේ විහාරය වන්දනාමාන කරන්නවුන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නට සමත්වී ඇත

ඉතිහාසයේ සිට වර්තමානයට වේගවත් ගමනක් ආව ඔයාලට කියන්න තිනේනේ මේ ලංකාවේ පෞඩ ඉතිහාසය කියාපාන තැන්. ඒ ඒ තැන් වලට ගිහින් වන්දනාමාන කරල. දැකබලානෙ අපේ හෙල සම්ප්‍රදායන් කලාකෘතීන් නිර්මාණය වුන හැටි ගැන ටිකක් හොයල බලන්න. මෙන්න ගියපු තැන තියෙන මගේ පින්තූර ගොන්න. ටිකක් වුනත් අනිත්වා දවසක මේ ඇල්බමයේම පල කරන්න බලාපොරොත්තු වෙනවා.

Facebook එකෙන් ඉගෙන ගන්නත් පුළුවන්

මෙන්න අදත් මතභේද වලට තුඩු දෙන මාතෘකාවක් අරන් ආවා. අද අපේ හැමමෝම කතා කරන හා එපා කියන දෙයක් තමා facebook එහෙමත් නැතිනම් මුහුණුපොත කියන්නේ. මම කලින් ලිපියක් ලියුවා මතක ඇති සමාජයික ජාලයන් හා මුහුණු පොත කියල. ඒකට ලියැවුණු කරුණු හැරෙන්නට තවත් කරුණු කීපයක් වෙනුවෙන් මගේ අත්දැකීම් අඩෙවියේ ඉඩ වෙන් කරන්න තමයි මේ සූදානම් වෙන්නේ.

කවුරු කොහොම කිව්වද අද කාලයේ ගොඩක් දෙනාට මූණු පොතේ තැනක් තියෙනවානේ. ඒත් ඒ දේ හරියට පාවිච්චි වෙනවද කියන එක නම් ගැටලුවක්. හැබැයි ඉතින් මමත් තාම ඒ ගොඩේම තමයි. මොනවා වුනත් කියන්න නම් තියෙන්නේ අපූරු දේවල් ගොඩක් දේ කරන්න පුළුවන් තැනක් තමා මූණු පොත කියන්නේ. මම ටිකක් දේ කියන්නම්. අපි කියමු අපි බුකියේ හදාගන්නවා account එකක්. ඒක මොනා කරන්නද ගන්නේ. ගොඩක් දෙනාට කියන්න දෙයක් නෑ. අමාරුවෙන් යාලුවෙක්ට කියල හදාගන්න account එක මාස ගානකට පාවිච්චි කරන්නේ නැති අය අනන්තයි. සමහර අය බුකියේ පින්තූරයක් දානවා, තව වටේ ඉන්න කීප දෙනෙක් එක්ක chat කරනවා, යාලුවෝ දාන ඒවට like දානවා comment කරනවා කියන්න ඇරෙන්න වෙන කියන්න දෙයක් නෑ.

ඒත් බලන්න බුකියේ pages හදන්න පුලුවන්. ඒ දේ කරන්නේ ඒ දේ කරන්නේ තමන් හදන පිටුවේ මාතෘකාවට එහෙම නැතිනම් පිටුවේ අඩංගු කරන දේ සම්බන්ධව ප්‍රසිද්ධිය හා එයට ඇති කමැත්ත අකමැත්ත ගැන තම මිතුරු සමාජය තුලින් දැන ගන්න. ඉතින් අපි ඒ දේ හරහා ගමන් හෝ තමන් කරන දේවල් සඳහා හොඳ දේවල් දැන ගන්න පුළුවන්. ඒ සඳහා ලැබෙන අදහස් වලින් දැනුම හා තමන්ගේ පිටුව අඩංගු දේ සම්බන්ධව වැඩි දියුණු කර ගන්නත් පුළුවන්.

අනික් දේ තමා අපි හදන groups. මේ දේ නම් අද මහා පරිමානයෙන් දකින්න පුළුවන්. එකක් පරද්දල තවකෙක් හදන  සමූහ තියෙනවා. නමුත් ඒ හදන සමහර ඒවා ගොඩක්ම මන්දගාමී ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. මම නම් හිතන හැටියට හදන කෙනා සහ ඒ හා සම්බන්ධ වෙන අය ඒ ඒ සමූහ තුල ක්‍රියාශීලී විය යුතුයි සහ ඒ ඒ දේවල් තුලින් සමාජයට වැදගත් දෙයක් දිය යුතුයි කියන එක. මතකයේ තියාගන්න අපි එකතුවෙන පිටු හා සමූහ තුල ක්‍රියාශීලී වීම හා ඒ තුල ගැටෙමින් සිටීම තුලින් අපට ඒ සමූහයේ අඩංගු දේ ගැන ඉගෙන ගන්න පුළුවන් වෙනවා. අපි සමූහයක් හා එක්විය යුත්තේ ඒ සමූහයේ අඩංගු වෙන දේවල් හා සමූහයේ නීති රීති තමන්ට අනුකූල වෙනවානම් හෝ තමන් ඒ විශයපථය පිලිබඳ කැමැත්තක් තියෙනවා නම් විතරයි.

තමන් කැමතකි නැති තමන්ට ආසාවක් නැති දෙයකට එකතු වෙන්නේ නැතිව තමන්ට ප්‍රයෝජනවත් දෙයක් එක්ක එකතු වුනාම ගොඩක් දේවල් ඉගෙන  ගන්න පුලුවන්. ඒ තුල තමන්ගේ අදහස් එක්ක සාකච්ඡා කරන්න, වාද කරන්න හා තමන්ගේ දැනුම පිලිබඳ නිවැරදි කිරීම් කරගන්න පුළුවන්. දවසක් පුරා කවුරු හරි කෙනෙක් දෙන්නෙක් එක්ක කාපු බීපු දේවල් ගැන කතා කරනවාට වඩා ඒ වගේ සමූහයක් එක්ක එකතුවෙලා මොනාහරි දෙයක් ඉගෙන ගත්තා නම් ගොඩක් ජීවිත වලට වටීවි කියල හිතෙනවා.

තවත් දෙයක් තමා facebook හරහා එකතු කරගන්නා පිරිස පවා තමන්ගේ රුචිකත්වයට හෝ තමන්ගේ සත්‍ය මිතුරකු නොවන්නේ නම් එයිනුත් වැඩක් නැහැ. ඒ වගේම අනන්‍යතාවයක් නැති අය ඇතුලත් කරගනිද්දී වුනත් පරිස්සම් වෙන්න ඕන. මේ වගේ දේවල් එක්ක පරිස්සමින් තේරුම් අරන් ගනුදෙනු කලා නම් සම්පූර්ණ විශයයක් ගෙදර ඉඳන් නොමිලයේම ඉගෙන ගන්න පුළුවන්. කියවන්න තරම් දෙයක් ලියන තේරුම් ගන්න පුලුවන් තරම් දෙයක් බෙදාහදා ගන්න අය මහ ගොඩක් බුකියේ ඉන්නවා. අපි ඒ අයගෙන් වැඩක් ගන්න සහ අපි දන්න දේ වෙන අය එක්ක බෙදා ගන්න නම් අපි සමාජයික ාලයක් පාවිච්චි කරන්න ඕන. ඒ අතරේ තියෙන ප්‍රසිද්ධ වුන එක තමා facebook. ඒ නිසා මතක තියා ගන්න අපිට facebook එකෙන් ඉගෙන ගන්නත් පුළුවන් විනාශ වෙන්නත් පුලුවන්.

මගේ ගමන් බිමන් හැත්තෑ අටවන කොටස - පාහියංගල ලෙන

ඔන්න ගමන් බිමන් විස්තර එක්ක පලවෙනි වතාවට බස්නාහිර පලාතට ආවා. කළුතර දිස්ත්‍රික්කයේ පස්හයාදුන් කෝරළයේ යටගම්පිටිය ගම්මානයට තමා මේ විදිහට යන්නේ. බුලත්සිංහල හංදියෙන් නික්ගහ පාරේ කිලෝමීටර 5ක් ආවාම අපට පාහියංගල ලෙන තියෙන තැනට එන්න පුළුවන්. මුහුදු මට්ටමේ ඉඳන් අඩි 400ක් විතර උසින් තමා මේ ස්ථානය තියෙන්නේ. වාහනයක ආවත් අපට ගල් පඩි 496ක් නගින්න වෙනවා මේ ලෙන බලන්න යන්න නම්. ලෙන නයි පෙනයක හැඩයෙන් අඩි 468 උසින් තිබෙන ගල් පර්වතය දකින්න පුපුළුවන්. එහි ඇති ලෙනේ කට අඩි 150ක් පමණ උසින් හා අඩි 175ක් පමණ පළලින් යුතු වෙනවා. ලෙනෙහි වැඩිම දිග අඩි 282ක් වන අතර උපරිම පළල අඩි 160ක් විතර වෙනවා. ඉතින් මේ සා විශාලත්වයෙන් තියෙන ගල් ලෙන ලංකාවේ ඇති විශාලතම ස්වභාවික ගල්ලෙන විදිහටත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. එනම් අති විශාල දඹුලු ලෙනේ ප්‍රමාණය මෙන් තුන් ගුණයක් විතර විශාල ලෙනක් මේක. ගල්ලෙනෙහි නොතෙමී සිටිය හැකි මිනිසුන් ගනන 3000ක් විතර කියල තමා කියන්නේ.
panaroma එකක්
මෙතැනට නම වැටුනු විදිහ ගැන විවිධ ජනප්‍රවාද තිබුනත් වඩාත් පිලි ගන්නා මතය වෙන්නේ මෙන්න මේක. ක්‍රි. ව. 5වන සියවස ආරම්භ වෙද්දී ඒ කියන්නේ  අනුරාධපුරයේ රජකල මහානාම රජ දවස ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් නම් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටියායැයි සැලකෙන නිසාවෙන් නම් දැරූ බවයි. සුප්‍රකට දේශ ගවේශකයෙකු වන මේ පාහියන් භික්‍ෂූන් වහන්සේ ලංකාවේ විවිධ පලාත්වල සංචාරය කර ත්‍රිපිටක ධර්මය හා වෙනත් ඓතිහාසික තොරතුරු රැස් කරගෙන සිය රටට ගිය බැව් ඉතිහාසයේ කියවේ.

1986/87 කාලයේ ආරම්භ කල පාහියංගල කැණීම් වලදී මතුවූ මානව ඇටසැකිලි වලින් කාබන් කාල නිර්ණ පරීක්‍ෂාවක් සිදු කල අතර එයින් ලැබුණු පිලිතුර අනුව සියල්ලෝ මවිත විය. ඒ හමුවූ ඇටසැකිලි වල වයස අවුරුදු 37000ක් පමණ වුන නිසාවෙනි. එනිසා ලංකාවේ පැරණිම යැයි විශ්වාස කල බලංගොඩ මානවයාගේ තැන පාහියංගල මානවයාට හිමිවිය.
මෙම විශාල ලෙනෙහි දකුණට වන්නට කුඩා විහාරයක් තනවා ඇති අතර එය වෑවල ධම්මජෝති හිමියන්  වැඩ වාසය කරන සමයේදී තනවන ලද්දක් බව කියවේ. එකල කරවූ මහනුවර යුගයේ චිත්‍ර කරවා ඇතත් අද නම් ඒවා විනාශය පත්වී ඇත. පිලිසකර කටයුතු කරමින් පැවතියත් එකල ස්වභාවිකව ලබාගත් වර්ණයන්ගෙන් වර්ණවත් කල පින්තූර අද කෙසේ වර්ණ ගන්වන්නේදැයි පැණයක් ඉතිරිව ඇත.
පාහියංගල කල කැණීම් වලින් තහවුරු වී ඇති ආකාරයට එහි වසර ගනනාවක් තිස්සේ කඩා වැටුනු ගල් පොතු කැබලි වලින් පොලව ඉහලට එසැවී ඇති අතර මානව ක්‍රියාකාරකම් නිසාවෙන් ඒවා පිලිවෙලකට තැන්පත්ව ඇති බවයි. තවද එහි මීටර 2ක් යටින් පවා ගින්දර දල්වා ඇති බවට සාක්‍ෂි හමුවී ඇත. තවද හමුවූ විශාල අස්ථි කොටස් වලින් රයිනෝසිරස් හා හිපපොටේමස් සතුන් පවා මේ අවට ජීවත් වූ බවට සාක්‍ෂි හමුවී ඇතැයි කියවේ. සමහර අස්ථි කොටස් පිලිස්සුම් හා කැපීම් වලට නකතු වී ඇති නිසා මේවා මානව ක්‍රියාකාරකම් වල අවශිෂ්ඨ කොටස් බව සිතිය හැක. ලෙන තිබෙන තැන සිට සෘජුව මුහුදට ඇති දුර 50km පමණ වන නිසාවෙන් එවකට මානවයන් මුහුද දක්වා පවා ආහාර සොයා ගිය බැව් කිව හැකි යැයි පුරා විද්‍යාඥයෝ පවසති. ගුහාවෙන් විවිධ සතුන්ගේ ඇට කැබලි හා දත් වර්ග හමුවී ඇති අතර එයට කුඩා විශාල යැයි භේදයක් නොමැත. ඒ සියල්ල ආහාරයට ගත් සතුන්ගේ යැයි සාක්‍ෂි පවතී. ඒ අතර කිඹුලා, වලි කුකුලා, හම්බාවා, ඉත්තෑවා, විවිධ මිරිදිය මතස්‍ය වර්ග හා සර්ප විශේෂ පවා මොවුන්ගේ ආහාර රටාවේ තිබී ඇතැයි සාක්‍ෂි පවතී.
 
අවසානයේදී මම දැක්ක දේ නම් කියන්න ලැජ්ජයි ඒත් ඒ ගැන කිව යුතුම යැයි කියලත් හිතෙනවා. ඒ තමයි විහාරයේ පිලිමය පිටිපස්සේ තිබුණ කුණු ගොඩ. ඒක පොලිතීන් එක්ක එකතු කරලා ලෙනේ පැල්මක් තුල පුරවලා තිබීම නම් කණගාටුවට කරුණක්. ඒ දේවල් බලධාරීන්ගේ ඇස් වලටත් පේන්න ඇති නොබලා ගියාට කියලයි මම නම් හිතන්නේ. කොහොම වුනත් සැකවින් කියපු විස්තරයක් එක්ක මේ තැන ගිහින් බලනවා නම් ‍ගොඩක් වටිනවා කියල කියන්න පුළුවන්. කෙසේ වුනත් මෙන්න මම ගත්ත පින්තූර ගොන්න.


මගේ ගමන් බිමන් හැත්තෑ හත්වන කොටස - හිනිදුම කල්වාරි සිද්ධස්ථානය

ගාල්ල නගරයේ ඉදන් කිලා්මීටර 49ක් විතර ගියාම අපට හිනිදුම මේ කියන කල්වාරි පුදබිමට එන්න පුළුවන්. කඳු පන්තියකින් වටවෙලා තියෙන මේ පුදබිම වසර 60කට අධික තිහසයකට හිමික් කියන තැනක්. මෙහි ඉතිහාසය වසර 1948දී තමා පටන් ගන්නේ. එවකට එහි තිබූ හිනිදුම ක්‍රිස්තියානි පල්ලියේ සිටියේ සිරිල් එදිරිසිංහ පියතුමා. 1948 වසරේ මහ සිකුරාදා දවසට සතියකට පමණ පෙර සවසක් පල්ලිය ඉදිරිපිට ඇති කන්දේ ගින්නක් හටගෙන තියෙනවා. පල්ලියට අයත් බිම් කඩ නිසාවෙන් පියතුමා තවත් බැතිමතුන් සමග එක්ව එම ගින්න නිවා දාන්න රාත්‍රිය පුරාම කටයුතු කරලා තියෙනවා.
කෙසේ වෙතත් උදේ බලද්දී කන්ද කොල පාටින් දිස්වෙනවා වෙනුවට අඟුරු වෙලා ගිය කන්දක් තමා දැකල තියෙන්නේ. ඒ අතරේ පියතුමා විශේෂ දෙයක් දකිනවා. ඒ තමයි කන්දේ ගිණිගත් ගස් අතරේ ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසූ ආකාරයෙන් දිස්වීම. මෙය දැකපු පියතුමා තවත් බැතිමතුන් අරන් කන්ද නැගලා ඒ කුරුසය වගේ දිස්වුන ගිණිගත් ගස් තිබුන තැන් ලී කුරුස වලින් සලකුණු කරල තියෙනවා. පස්සේ මේ පියතුමා මේ පුදේශය භාරයේ පත්වෙද්දී ඔහුට හමුවන බුදු පිළිම නෙලන දක්‍ෂ ශිල්පියෙක් වුන සෝමදාස මහත්මයා එක්ක එකතු වෙලා ඔහු සටහන් කල කුරුස ලකුණු ඇති තැන් වල ජේසුස් වහන්සේගේ ජීවන චරිතයේ අවස්ථා නිර්මාණය කරන්න පටන් ගන්නවා. 1958දී මෙය ඩියොසිසන් පුදබිම ලෙසින් නම් ලබනවා. නමුත් ඒ වෙද්දිත් කඳු පාමුලින් ගලන්නා වූ ගිංගඟ හරහා ගිහින් තමා බැතිමතුන්ට වන්දනාමාන කරන්න වෙලා තිබුනේ. වන්දනා කරන කාලයේදී ගඟ හරහා පාලමක් සෑදුවද ගඟ පිටාර ගලන කාලයේදී එය විනාශ වුනා. මෙසේ කාලය ගතවීමත් එක්ක 1994දී ගඟ හරහා කොන්ක්‍රීට් පාලමක් සාදන්නට වුනා. එය සිදු වුනේ බෙඩී ද සිල්වා පියතුමා‍ගේ අධීක්‍ෂනය යටතේ. නමුත් 2003 දී ඇතිවූ ගංවතුර නිසාවෙන් එයද විනාශයට පත්වුනා. පසුව බොනිෆේස් පෙරේරා පියතුමාගේ අනුදැනුමින් දැන් තිබෙන කල්වාරි පාලම සකස් කරල බැතිමතුන්ට වන්දනා කරන්න පුළුවන් තත්ත්වයට පත් කරලා තියෙනවා.




කන්ද තරණය කරන එක නම් ඒ තරම් ලේසි කාර්යයක් නොවුනත් භක්තිය නිසාවෙන් නම් ඒ දේ කරන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස. කොහේම වුනත් අපූරු වටපිටාවක් දකින්න පුළුවන් තැනක් නිසා වරක්වත් දැකගන්න කියල තමා කියන්න තියෙන්නේ. මෙන්න මම එකතු කරගත්තු මතක සටහන් ටික.