Extension Tube එකක් ගෙදරදීම හදා ගන්නේ කොහොමද? දන්න සිංහලෙන් Macro Photography - දෙවන කොටස

Extension tube එකක් හදන හැටි එක්කම මම මේක කරන්න අඩිතාලම දාපු හැටිත් කියන්න හිතුනා. මොකද මේ වගේ දෙයක් කරන එක වගේම එහෙම දෙයක් හිතන එකත් ලොකු වැඩක් නිසා. මගේම කියල DSLR කැමරාවක් අරන් අවුරුද්දක් විතර ගතෙවද්දී මට හිතන්න පටන් ගන්නවා අලුත් දෙයක්. ඒක අලුත් වෙන්නේ කැමරාව හා එහි තාක්ෂණික පැත්ත අධ්‍යයනය ආරම්භ වීම හා භෞතික විද්‍යාවේ මම ඉගෙන ගත්තු කාච හා ආලෝකය පිළිබද පාඩම් මතකයට එද්දී. එදා ඉදන්ම භෞතික විද්‍යාවට ආස වුනේ ඒකෙ තියෙන ප්‍රායෝගික පැත්ත නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතන්නෙ.
කැමරාවේ සාමාන්‍ය ලෙන්ස් එක වුන 18-105mm ලෙන්ස් එකත් 55-300mm කියල ලෙන්ස් එකකුත් තිබුන මට අරමුණ වුන වස්තුවට ලංවෙන එකට තවමත් සීමා තිබුනා. මම බැලුවේ අරමුණට ලංවෙන එක ගැන සහ අරමුණේ විශාලනය වැඩි කරන්න. ටිකෙන් ටික පුංචි උන්ගේ ලෝකයට ලංවෙන්න හිතුනත් කැමරාව ඒකට හරස් වුනා. Macro Photography කියල දෙයක්වත් හරිහැටි නොදැන හිටි නිසා හොයල බලන්නවත් විදිහක් තිබුනේ නැති තරම්. මේ අතරේ මට හිතෙනවා මෙන්න මේ වගේ දෙයක්. තාරකා සංගමයක ක්‍රියාකාරී සාමාජිකයෙකු වුන මට විශාලනය කියල දෙයක් අහන්න ලැබෙනවා. ඒක කරන්න ලෙන්ස් දෙකක් ඕන. මේ කරුණ ගැන හිතනකොට Single Lens Reflex කියන එක හරහට ඇවිත් කරදර කරනවා. ඉතින් විශාලනය ගැන ඉගෙන ගන්න මට ලෙන්ස් එක හා සෙන්සර අතර දුර වැඩිකිරීම කියල සංකල්පයක් පහල වෙනවා. මේ තමා ආරම්භය. ඒකට ක්‍රම හොයද්දී හමුවුන විසදුම තමයි මම මුලින්ම ඔයාලට කියල දෙන ක්‍රමය. ඊට අමතර ක්‍රම කීපයක් පසුව සඳහන් කරනවා ලිපියේ අග වෙද්දී.
Extension Tubes භාවිතා කරන්න කලින් දැනගන්න් ඕන කරුණක් තියෙනවා. ඒ තමයි Nikon කැමරාවක් නම් ඇපෙචරය භාවිතා වෙන්නෙ ලීවර ක්‍රමයකින්. ලෙන්ස් එක ගලවලා පිටුපස තියෙන ලීවරය තල්ලු කලාම ඇපෙචරය විවෘත කරන්න පුලුවන්. මෙය අවශ්‍ය පරිදි අවශ්‍ය වෙලාවක කරන්න පුලුවන්. ලෙන්ස් එක හා කැමරාව අතර සබඳතාව නැති නිසා අපට මේක වෙනම කරන්න වෙනවා. (දැනට) Canon සමාගමේ නම් මේ සියල්ල ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට තියෙන නිසා නිවැරදිව ලෙන්ස් එක හයි කරල අවශ්‍ය ඇපෙචර අගය දෙන්න ඕනි. කැමරාව on එකේ තියෙද්දීම ලෙන්ස් එක ගලව ගත්තාම අපි නැවත නිවැරදි ආකාරයෙන් ලෙන්ස් එක සවි කරන තුරුම තීරණය කල ඇපෙචර් අගයේ තියා ගන්න පුළුවන්. අපිට ඒක වෙනස් කරන්න නම් නැවත නිවැරදිව සවි කරල ඇපෙචර් අය වෙනස් කරල ගලව ගන්න වෙනවා.

Macro Photography කියන ගැන අවබෝධයක් ගන්න මගේ මුල්ම ලිපිය කියවන්න මෙතැනින් යන්න.
මුලින්ම හොයාගන්න ඕන දේ තමයි අගල් දෙකක් විතර විශ්කම්භය තියෙන කාඩ්බෝඩ් බටයක්, එහෙමත් නැතිනම් ප්ලාස්ටික් වතුර ගෙනියන බටයක්. ලෝහ නම් භාවිතා නොකරන්නයි මූලික අවවාදය. මොකද කැමරා බදේ තියෙන සම්බන්ධක වල ගෑවුනොත් වැඩේ වන වෙනවා. පරණ කඩදාසි රෝල් වල එන කාඩ්බෝඩ් බට එහෙම නැතිනම් ටොයිලට් පේපර් එකක මැදින් එන කාඩ්බෝඩ් බටේ මේ වැඩේට නියම ගාන.
මෙන්න  තියෙනව අවශ්‍ය දේවල් දැන් වැඩේට බහිමු. මුලින්ම මේ බටයෙන් අවශ්‍ය දිග කපා ගන්න ඕනි. මම මුලින් ලිපියේ කිව්ව මතක ඇති විශාලනය ගැන සමබන්ධයක්. අන්න ඒ විශාලන ප්‍රමාණය තීරණය මෙන්න මේ බට කෑලලේ දිග සහ ලෙන්ස් එකේ නාභිය දුර එක්ක. අපි පාවිච්චි කරන කාචය හිතන්න 18-105mm (මම මුලින් භාවිත කල කාචය) නම් අපිට 105 නාභිදුර එක්ක උපරිම වශයෙන් 105mm දිග බට කෑල්ලක් භාවිතා කරන්න පුළුවන්. ඒක වෙන හැටි මෙතැන පැහැදිලි කරන්න යන්නේ නැත්තේ මේක භෞතික විද්‍යාව පාඩමක් නොවන නිසා. හැබැයි. 105mm දිගක් භාවිතා කල ගමන් ලෙන්ස් එක හරි මැද තමයි වස්තුව තියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් උපරිමය 70mm වගේ භාවිතා කරන්න පුළුවන් මේ ලෙන්ස් එක එක්ක.
මතක තියා ගන්න ලෙන්ස් එක එක්ක හයි කරන බටය දිග වැඩි වෙද්දී විශාලනය වැඩි වෙනවා. ඒ එක්කම ක්‍ෂේත්‍ර ගැඹුර අඩු වෙනවා. ඒ නිසා නාභිගත කරගන්න දරන වෙහෙස වැඩියි. ආරම්භය හැටියට 40mm විතර භාවිතා කරල Closeup පින්තූර වලට උත්සාහ කරල ඉන්න. මම මුලින් ලිපියේ කිව්වා වගේම කැමරාව, ටියුබ් එක, ලෙන්ස් එක. මෙන්න මේක තමයි පිළිවෙල වෙන්නේ. දැන් ඉතින් ඇපෙචරය සෙට් කර අපි හදපු ටියුබ් එකයි ලෙන්ස් එකයි කැමරාව එක්ක තියල තද කරල එක අතකින් අල්ල ගන්න. (බය වෙන්න එපා කරන්න පුළුවන් අත්දැකීමෙන් කියන්නේ.) දැන් ඉතින් පින්තූර ගන්න තමා තියෙන්නේ. මම නම් මේ ක්‍රමයේදී යෝජනා කරන්නේ වැඩිම ඇපෙචර විවරයක් භාවිතා කරන්න කියලයි. ඒ කියන්නේ f වල අවම අගය. Nikon අයට නම් ඇපෙචර ලීවරය කඩදාසි කෑල්ලකින් උපරිම විවර තියල හිර කරගන්න පුළුවන්.

දැන් ඉතින් ලෙන්ස් එකයි ටියුබු එකයි දෙකම අතේ තියාගෙන පින්තූරයක් ගන්න කරදරයි කියල පේන අයට කරන්න ක්‍රමයක් තියෙනවා. ඒකට මෙන්න මේ කියන බඩු ටික ඕන වෙනවා. තමන්ගේ කැමරාවට සවිවෙන Body Cap එකක්, ලෙන්ස් එකේ පිටුපස ආවරණය වෙන Lens Cap එකක්, අඟල් කීපයක් දිග හරස්කඩ අඟල් දෙකක් පමණ වූ ඝනකම ටිකක් වැඩි ප්ලාස්ටික් බටයක්. මුලින්ම ප්ලාස්ටික් බටයේ ඇතුලේ සිදුරේ ප්‍රමාණයට Body Cap එක සහ Lens Cap එකේ සිදුරු කපා ගන්න ඕන. මතක තියා ගන්න මේ සිදුර සමබරව හරි මැදින් තියෙන්න හදා ගන්න. නැතිනම් අපි ගන්න් පින්තූරයේ අඩුපාඩු දෙන්න පුලුවන්. (වර්ණ වල හා විකෘති හැඩ බොහෝ විට) දැන් ප්ලාස්ටික් බටය අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන දෙපැත්තට අපි සකස් කරපු cap දෙක අලව ගන්න. මේකට ප්ලාස්ටික් හොදින් ඇලවෙන ගම් එකක් භාවිතා කරන්න. Epoxy වගේ ගම් එකක් නම් වඩා හොදයි.
හොඳට වේලුනාම අපිට ටියුබ් එක භාවිතා කරන්න පුලුවන්. අපට විවිධ ප්‍රමාණ වලින් මේවා කීපයක් හදාගෙන විවිවිධ විශාලන භාවිතා කරන්න පුලුවන්. නැතිනම් Male Female Pipe Connector එකක් හෝ කීපයක් භාවිතයෙන් විවිධ දිග සකස් දෙන විදිහේ Tube කෑලි ටිකක් හදාගන්න් පුලුවන්. බට කෑල්ලක දෙපැත්තට Male එකයි Female එකයි වෙන්න connectors හයි කරල විවිධ දිග තියෙන්න කෑලි කීපයක් සකස් කරනවා. දෙකෙලවරට එක පැත්තක Body Cap එකයි Male Connector එකයි තියෙන එක කොටසකුත් එක පැත්තක Lens Cap එකයි Female Connector එකයි තියෙන්න හයි කලා නම් වැඩේ ගොඩ. මතක තියා ගන්න පද්ධතියේ මුලු දිග අවසානයේ නාභිදුරට බලපානවා. ඒ නිසා ගොඩක් දිග බටයක් ගන්නවානම් වැඩි නාභිදුරක් තියෙන  ලෙන්ස් එකක් භාවිතා කරන්න.
උදාහරණ විදිහට 50mm ලෙන්ස් එකක් අවම නභිදුර 450mm විතර වෙනවා. ඒකට 70mm විතර Extension Tube එකක් හයි කලාම අවම නාභිදුර 35mm විතර වෙනවා. ඒ කියන්නෙ 12 ගුණයක් විතර ළඟට ඇවිත්. අපි තවත් දිග ටියුබ් එකක් භාවිතා කලොත් අපිට ලෙන්ස් එක ඉදිරියේ තියෙන කිසි දෙයක් නාභිගත කරගන්න වෙන්නෙ නෑ. ඒ නිසා මම නම් කට්ටියට උපදෙස් දෙන්නෙ ආරම්භ කරන්න නම් 100mm හෝ 135mm විතර ලෙන්ස් එකකුයි 50mm - 60mm විතර වෙන ටියුබ් එකකුයි හදාගන්න. 50mm වගේ ලෙන්ස් එකක් නම් උපරිමය 50mm ම වෙන ටියුබ් එකක් හදාගන්න. අත්දැකීමෙන් දෙන උපදෙසක් නිසා අහක දාන්න එපා. වැඩේ පුරුදු වුනාම විවිධ දිග එක්ක වැඩ කරල බලන්න. අත්දැකීම් ලැබෙයි. පටන් ගත්තු ගමන් අසාර්ථක උත්සාහ කරන්න යන්න එපා අපරාදේ කාලය.
Extension tube හදාගන්න මේ ක්‍රමයම වෙනස් කරල වෙනස් උපකරණ භාවිතා කරල පුලුවන් ක්‍රම ගොඩක් තියෙනවා. මේ තමයි ලේසිම ක්‍රම දෙක.

මම ටියුබ් එකක් භාවිතා කරල ගත්තු මැක්‍රෝ පින්තූර ඕන තරම් බලන්න පුලුවන් මගේ පිටුවට ගියානම්.

http://www.facebook.com/sulakkhanaphotography/

තියෙන ගැටලු ඕන දෙයක් කමෙන්ට් එකක් විදියට දාන්න. හොද පින්තූර ටිකක් ගන්න. අනිත් අයටත් බලන්න අපටත් එවන්න. Macro Photography පලවෙනි කොටසට පහල ලින්කුවෙන් යන්න පුලුවන්.

සියල්ලන්ටම ජය...

ක්‍ෂුද්‍ර ඡායාරූපකරණය එහෙමත් නැතිනම් දන්න සිංහලෙන් Macro Photography - පළමු කොටස 

ඉදිරියේ ලිපි ලියනකම් මගේ පින්තූර මතක facebook පිටුවෙන් එහෙමත් නැතිනම් Instagram එකේ මගේ ඡායාරූප බලන්න. Like කරන්න follow කරන්න. පහලින් මගේ පින්තූර බලන්න පුලුවන් ලින්ක් කරන්නම්.

7 comments:

  1. ස්තූතියි. මගේ කැනොන් 1200 Macro මොඩ් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ වැඩේ ඔය කැමරාවෙනුත් පුළුවන්. මැක්‍රෝ මූඩ් එකක් ඕන වෙන්නේ නෑ. මැක්‍රෝ මූඩ් එක නැති අයට තමා මේ වැඩේ තරන්න ඕන වෙන්නේ.

      Delete
  2. අනේ මන්දා බන්..මත හරි ආසයි ඔය ජාතියේ ෆෝට් වලට. ත් මට ඔය ටෙක්නික් වැඩිය තේරෙන්නේ නැහැ.අපිට ඔය DSLR වගේ ලොකු ලොකු බඩු නැහැ.
    තියෙන්නේ සැම්සුන් කාරයා දීපු ෆෝන් එකේ තියෙන කැමරාව විතරයි. මොනා වුනත් ඉතින් පොස්ට් එක නම් බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. කලබල වෙන්න එවා බ්ලොග් එක එක්ක ඉන්න
      ඉදිරියේ ෆෝන් වලින් වැඩ දාන්නත් කියා දෙනවා. පිළිවෙලාන් යමු.. ලිපි කියවන්න කරුණු ඔලුවේ තියා ගන්න

      Delete
  3. Try kara. sarthakai 95% ma.stuthyi adahasata.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!