මගේ ගමන් බිමන් පනස් නමවන කොටස - වනවාස පුරාණ රජමහා විහාරය

මා කලින් ලියූ ගලපාත රජමහා විහාරය නම් ලිපියේ සඳහන් විහාරය වැඳපුදා ගත් අයට මේ කියන විහාරස්ථානයට යන්නත් පුළුවන්. මේ විහාරය තියෙන්නේත් ගලපාත විහාරස්ථානය ආසන්නයේමයි. ඒ ගාල්ල කොළඹ පාරේ ඇල්පිටිය පාරට හැරෙන තැනින් ටිකක් කොළඹ පැත්තට යද්දී තියෙන අතුරු පාරෙන් කිලෝමීටරයක් විතර ගියාම. නමුත් ගලපාත රජමහා විහාරයට ගිය පාරත් මේ කියන පාරත් එකට සම්බන්ධ නිසා කොයි පාරෙන් ගියත් මේකට යන්න පුළුවන්.

දේවානම් පියතිස්ස රජදවස කරවූ මෙම විහාරය ඇතුලු විහාර 5ක් ගැන ඉතිහාසයේ කියවෙනවා. ඒ පංච මහා විහාරයන්ය. ඒවා නමින් බෝධීන් වහන්සේ පිහිටි තැන බෝධි මළුව රජමහා විහාරයත්, ත්‍රිවිධ චෛත්‍ය වහන්සේ පිහිටි තැන ගලපාත රජමහා විහාරයත්, වෙහෙර ඉදිවූ තැන බෙන්වෙහෙර රජමහා විහාරයත්, අතිරේක බෝධීන් වහන්සේ පිහිටි තැන බෝධි සමීප රජමහා විහාරයත් පිහිටා ඇත. ඒ අනුව රහතන් වහන්සේ වැඩසිටි තැන පිහිටා ඇත්තේ වනවාස රජමහා විහාරයයි. අනුරාධපුරයට අටමස්ථානය වටින්නේ කෙසේද මේ ප්‍රදේශයට පංච මහා විහාරයන්ද ඒ හා සමාන වේ.

අතීතයේ මේ පංච මහා විහාරයන් එකිනෙක හා උමං මාර්ග වලින් සම්බන්ධව පැවතුන බවත් දැන් ඒවා වැසී ඇති බවත් මූලාශ්‍ර මගින් කියවේ. නමුදු මේවා පිළිබඳ කාව්‍ය සංදේශ වල මෙසේ සඳහන්ව ඇත.
පරෙවි සන්දේශයේ
ගොසින් තොසින් බෙම්තොට වනවාසයට
වඳු මිතුරිඳු රෑ දින වනවාසයට

ගිරා සන්දේශයේ

වඳිනා සේ මතු සඟමොක් සැප නොමඳ
වනවාසේ වෙහෙරට ගොස් වැඳ සබඳ

තිසර සන්දේශයේ

නඳු සිතින් ගොස් රෑ දවසැ ලැගු මට
වඳු මිතුර බෙම්තොටැ වන වාසයට

කෝකිල සන්දේශයේ

වන වාසය බවයෙහි නොවනුව තොපට
වනවාසය වෙහෙරෙහි වඳුව මුනිඳුට

කලින් මා සඳහන් කල උමං මාර්ග වලින් එකක් මෙහි සොයා ගෙන ඇති අතර එය මඳක් දුර සෘජුව ගමන් කල හැකිය. නමුදු එතැනි ඉදිරිය නම් වැසී ගොස් ඇති සෙයකි. අනුරාධපුර. පොලොන්නරු යුග වලදී සඳහන් අෂ්ඨ මූල (වියපත් අට ගණය) නම් ආශ්‍රම සංකීර්ණයක් රහතන් වහන්සේලා වෙනුවෙන් මෙහි පැවති බවත් ඒවා අතර ගමන මේ උමං මාර්ග මගින් සිදුකල බවත් කියවේ.

නමුදු පිටරැටියන්ගේ ආක්‍රමණ හමුවේ විනාස වුන මේ විහාර ගණින්නාස්සේලා විසින් රැකගෙන ඇති අතර නව ප්‍රතිසංස්කරණ හමුවේත් වෙනස් කල ආකාර දකින්නට ලැබේ. උමං මාර්ග හා ශෙලමය ජල පෙරණය එක් යුගයක්ද, ලී පුවරුවක සිතුවම් කල බුදුන් වහන්සේගේ රුව තවත් යුගයක්ද, ඉහල මාලයේ ඇති වාහල්කඩ තවත් යුගයක්ද පෙන්නුම් කරයි. මෙසේ යුග ගණනක් තිස්සේ රැකෙමින්, රකිමින් පැවති මෙම ඓතිහාසික විහාරස්ථානය වැඳ පුදා ගන්න යන්න බෞද්ධයන් විදිහට යා යුතුම තැනක් කියලයි හිතෙන්නේ. හැබැයි ඉතින් ගියාට කමක් නැහැ අප්‍රකට තැන් සුප්‍රකට කරල විනාස කරන්න නම් එපා.


*************************************************
********************************
****************

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!