ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය (Digital Transformation) යනු එක රැයකින් සිදු වූවක් හෝ හදිසියේ මතුවූවක් නොවේ. එය වසර තිහකට ආසන්න කාලයක් පුරා ක්‍රමානුකූලව, එකිනෙකට වෙනස් පියවර ඔස්සේ ගෙඩනැගෙමින් පවතින දීර්ඝ ක්‍රියාවලියකි. "අපි තාමත් දියුණු වෙමින් පවතින රටක්" යන සාම්ප්‍රදායික නිදහසට කරුණ මෙන්ම, අපගේ ඩිජිටල්කරණයද තවමත් පවතින්නේ අසම්පූර්ණ, පරිණාමය වෙමින් පවතින මට්ටමකය.
අතීතය දෙස ආපසු හැරී බැලීමේදී, මෙම ගමන මූලික අවධි කිහිපයකට බෙදා වෙන් කර හඳුනාගත හැක:
- 1990 - 2005 (ආරම්භක අවධිය): රාජ්‍ය සහ පෞද්ගලික අංශයට ICT සංකල්පය හඳුන්වා දීම, මූලික අන්තර්ජාල සහ විදුලි සංදේශ යටිතල පහසුකම් ඇති කිරීම, ICTA (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය) පිහිටුවීම සහ "e-Sri Lanka" වැනි ජාතික මට්ටමේ දැවැන්ත ව්‍යාපෘති සඳහා මුලපිරීම සිදුවූයේ මේ කාලයේදීය.
- 2005 - 2015 (ව්‍යාප්ති අවධිය): රාජ්‍ය සේවාවන් මාර්ගගත (Online) කිරීමේ ප්‍රථම අඩිතාලම දැමීම, Lanka Gate යටිතල පහසුකම්, රාජ්‍ය වෙබ් අඩවි (Government Portals) ආරම්භ කිරීම, පාසල් සහ විශ්වවිද්‍යාල මට්ටමින් ICT අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සහ ජංගම දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ් භාවිතය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම සිදුවිය.
- 2015 - 2020 (ආයතනික පද්ධතිකරණය): LankaPay, Mobile Banking වැනි ඩිජිටල් ගෙවීම් පද්ධති සංවර්ධනය වීම, රාජ්‍ය ආයතන තුළ අභ්‍යන්තර MIS සහ HR පද්ධති ස්ථාපිත කිරීම, Google Workspace වැනි Cloud-based සේවාවන් භාවිතය වැඩිවීම සහ Paperless Office (කඩදාසි රහිත කාර්යාල) සංකල්පයේ ආරම්භය සලකුණු විය.
- 2020 - 2022 (වේගවත් වර්ධනය): කොවිඩ් වසංගතයත් සමඟ Remote Work (නිවසේ සිට වැඩකිරීම), Online Education (Zoom, LMS platform) සහ e-commerce භාවිතය වේගයෙන් වර්ධනය වූ අතර, රාජ්‍ය සේවාවන් රැසක් අනිවාර්යයෙන්ම online මාරුවීමට සිදුවිය.
- 2022 න් පසු (නූතන පියවර): e-NIC, GovPay, Digital Economy Strategies, Startups සහ Innovation Ecosystem ප්‍රවර්ධනය වැනි සංකල්ප කරළියට ආ අතර, Data-driven Governance සහ Artificial Intelligence (AI) කෙරෙහි රාජ්‍ය අවධානය යොමුවීමට පටන් ගත්තේය.
නමුත් ප්‍රශ්නය වන්නේ, වසර 30ක් පුරා මෙතරම් තාක්ෂණික පියවරයන් තැබූ රටක සැබෑ ඵලදායිතාව සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ ගොස් තිබේද? යන්නයි.
ආර්ථික අර්බුදයකින් බැටකන, ජනතාව අත්‍යවශ්‍ය බදුවලින් මිරිකී සිටින රටක, ඩිජිටල්කරණය යැයි කියාගනිමින් සංවිධානය කරනු ලබන මහජන මුදල් නාස්ති කරන ‘AI සති’ (AI Weeks) හෝ ප්‍රදර්ශනාත්මක ජෝගි දෙස බලන විට, රාජ්‍ය සේවයේ අත්දැකීම් ලත් පුරවැසියෙකු ලෙස නිහඬව සිටීම ආත්මගරුත්වයට කරන නිගාවකි.
සංවර්ධනය සිදු විය යුත්තේ උඩින් පහළටද? පහළින් ඉහළටද?
දීර්ඝ කාලයක් තිස්සේ මෙම විෂය පිළිබඳ අධ්‍යයනය කරමින් සහ ප්‍රායෝගිකව රාජ්‍ය ආයතන තුළ පද්ධති ගොඩනැගීමට උත්සාහ කළ අයෙකු ලෙස මා ලැබූ ලොකුම අත්දැකීම නම්, අප රටේ රාජ්‍ය සංවර්ධන මොඩලය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වී ඇති බවයි. එ නිසා "උඩින් පහළට (Top-down) සිදු කරන සංවර්ධනය වෙනුවට පහළින් ඉහළට (Bottom-up) සිදු කරන සංවර්ධනය වඩාත් ප්‍රායෝගික බවයි."
වසර 30ක් තිස්සේ රාජ්‍ය නායකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් උත්සාහ කළේ "ඉහළ සිට පහළට" (Top-down Development) සංවර්ධනය ගෙන ඒමටයි. ඔවුන් ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සැකසූහ. මිල අධික මෘදුකාංග සහ උපකරණ මිලදී ගත්හ. නමුත් සිදුවූයේ කුමක්ද? පහළ මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරියාගේ ICT දැනුම, ඩිජිටල් සාක්ෂරතාවය සහ ආයතනික යටිතල පහසුකම් දියුණු වී නොතිබීම නිසා ඉහළින් ගලා ආ ඩිජිටල්කරණය ග්‍රහණය කර ගැනීමට පහළ මට්ටම් අසමත් විය. අප රටේ නිතර සිදුවන්නේ ඉහළ මට්ටමින් විශාල ඩිජිටල් සංකල්ප සහ ප්‍රතිපත්ති හඳුන්වා දීමයි. නමුත්, ඒ සංකල්ප ග්‍රහණය කර ගැනීමට තරම් පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරීන්ගේ ICT දැනුම, ඩිජිටල් සාක්ෂරතාවය සහ යටිතල පහසුකම් දියුණු වී නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළින් කෙරෙන සැලසුම් පහළදී සම්පූර්ණයෙන්ම බිඳ වැටේ.
නමුත් සැබෑ සාර්ථකත්වය රැඳී ඇත්තේ "ඉහළ සිට පහළට" සංවර්ධනය සිදු කරන අතරවාරයේ දීම එම ඉලක්ක වෙත ගමන් කල හැකි ආකාරයෙන් වූ "පහළ සිට ඉහළට" (Bottom-up Development) කෙරෙන සංවර්ධන රටාවකය. අනාගතයේ සිදුවිය හැකි තාක්ෂණික වෙනස්කම් අධ්‍යයනය කරමින්, පහළ මට්ටමේ රාජ්‍ය නිලධාරියාගේ සාක්ෂරතාව සහ ආයතනික පරිසරය සූදානම් නොකර, කෝටි ගණන් වැය කර හඳුන්වා දෙන කොතරම් උසස් පද්ධතියක් වුවද අවසානයේ අසාර්ථක වේ.
රාජ්‍ය ඩිජිටල්කරණය අසාර්ථක වන සැබෑ බාධක
වසර ගණනාවක රාජ්‍ය සේවා අත්දැකීම් ඇසුරෙන් මා හඳුනාගත් ප්‍රධාන අභියෝග කිහිපයකි:
1. යටිතල පහසුකම් පරතරය (Infrastructure Gap): ප්‍රධාන කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ රාජ්‍ය ආයතන අතර පවතින තාක්ෂණික සහ සන්නිවේදන පහසුකම්වල පවතින විශාල අසමානතාවය.2. ඩිජිටල් සාක්ෂරතාවයේ අඩුව (Digital Literacy): වසර ගණනාවක් රාජ්‍ය සේවයේ නිරත නිලධාරීන් අතුරින් බහුතරයකට නූතන මෘදුකාංග හෝ ඩිජිටල් මෙවලම් හැසිරවීමට ඇති නොහැකියාව.
3. වෙනස්වීම් වලට දක්වන ප්‍රතිරෝධය (Resistance to Change): සාම්ප්‍රදායික කඩදාසි සහ ගොනු මත පදනම් වූ ක්‍රමවේදයන්ගෙන් මිදී නව තාක්ෂණයට මාරුවීමට රාජ්‍ය සේවකයින් තුළ පවතින මානසික බිය සහ අකමැත්ත.
4. ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ පරතරය (Policy & Implementation Gap): රාජ්‍ය මට්ටමින් කොතෙක්ෂුන්දර circulars, blueprints සහ ප්‍රතිපත්ති සැකසුවද, ඒවා බිම් මට්ටමේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් නොමැතිකම.
5. සයිබර් ආරක්ෂණ අවදානම් (Cyber Security Risks): පද්ධතිවල පවතින තාක්ෂණික දුර්වලතා සහ දත්ත ආරක්ෂණය පිළිබඳ පවතින අවම දැනුවත්භාවය.
6. පද්ධති බිඳවැටීම් සහ සුසංයෝගයක් නොමැතිකම (System Fragmentation): විවිධ ආයතන විසින් තනි තනිව සකස් කරනු ලබන, එකිනෙක හා සම්බන්ධ විය නොහැකි (Interoperability නැති) හුදකලා පද්ධති නිසා මහජන මුදල් අපතේ යාම.
7. මූල්‍ය සහ සම්පත් බාධාවන් (Financial Constraints): නඩත්තු කටයුතු සහ යාවත්කාලීන කිරීම් සඳහා අඛණ්ඩව ප්‍රතිපාදන වෙන් නොවීම.
එයින් ඩිජිටල් සාක්ෂරතාව සහ වෙනස්වීමට ඇති ප්‍රතිරෝධය, ප්‍රතිපත්ති සහ ක්‍රියාත්මක කිරීමේ පරතරය (Policy & Implementation Gap), පරිපාලනමය හා දේශපාලනික බාධා සහ පද්ධති බිඳවැටීම් සහ සුසංයෝගයක් නොමැතිකම (Fragmentation) යන කරුණු ප්‍රමුඛය.
නිලධාරීවාදය, දේශපාලනික හස්තය සහ හුදකලා වූ කැපවීම්
ප්‍රායෝගික අත්දැකීමක් ලෙස, ආයතනික වශයෙන් තිබූ සීමිත පහසුකම් සහ අවම දැනුම සහිත පරිසරයක වුවද, ක්‍රමානුකූලව පද්ධතියක් දියුණු කිරීමට අප උත්සාහ කළෙමු. ඉහළ නිලධාරීන්ගේ අවබෝධය නොමැතිකම, පුහුණුව සඳහා ප්‍රතිපාදන නොමැතිකම වැනි බාධක හමුවේ වුවද, නිවාඩු පවා කැප කරමින්, අමතර ගෙවීම් නොලබා, ජාතික කර්තව්‍යයක් ලෙස සිතා Infrastructure + Skills + Policy + Execution කියන සාධක හතරම සංවර්ධනය කිරීමට පෞද්ගලිකව වෙහෙස මහන්සි වී කටයුතු කළෙමු.
නමුත් ඛේදවාචකය නම්, පරිපාලනය මාරු වන විට හෝ දේශපාලනික තීරණ වෙනස් වන විට, එකී කාර්යයන් හි වටිනාකම නැති වී යාමයි. වෘත්තීය ඇගයීමක් හෝ ආර්ථික ප්‍රගතියක් නැති තැන, වසර ගණනාවක කැපවීමෙන් පසු ඉතිරි වන්නේ ආත්ම තෘප්තිය පමණි. පද්ධති ගොඩනැගීමට දහඩිය හෙලූ අය පිටුපසට තල්ලු වී, අවසානයේ අන් අය කළ කැපවීම්වල ගෞරවය තමන් පිට පටවා ගන්නා පිරිසක් රාජ්‍ය සේවය තුළ බිහිවීම කණගාටුදායක තත්ත්වයකි.
ඉදිරි මඟ: ප්‍රදර්ශනවලින් ඔබ්බට ගිය තිරසාර ඩිජිටල්කරණයක්
ඩිජිටල්කරණය යනු හුදෙක් ප්‍රදර්ශන පැවැත්වීම, සම්මන්ත්‍රණ සූදානම් කිරීම හෝ නවීන AI යෙදුම් පෙන්වමින් ජනතාව මුළා කිරීම නොවේ. සැබෑ ඩිජිටල් පරිවර්තනයක් උදෙසා:
විනිවිදභාවයෙන් යුතු අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබිය යුතුය. මන්ද යත්, ප්‍රගති වාර්තා සහ අධීක්ෂණය නොමැතිකම නිසා වසර ගණනාවක් තිස්සේ බොහෝ ව්‍යාපෘති නාස්ති වී ගොස් ඇත.
පහළ මට්ටමේ රාජ්‍ය සේවකයාගේ සිට සමස්ත පුරවැසියා දක්වා තාක්ෂණික සාක්ෂරතාව උසස් කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තිබිය යුතුය.
තාක්ෂණය හුදෙක් දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් කර නොගෙන, රටේ සැබෑ ඵලදායිතාව සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට භාවිත කළ යුතුය.
විනිවිදභාවයෙන් යුතු අධීක්ෂණ යාන්ත්‍රණයක් තිබිය යුතුය. මන්ද යත්, ප්‍රගති වාර්තා සහ අධීක්ෂණය නොමැතිකම නිසා වසර ගණනාවක් තිස්සේ බොහෝ ව්‍යාපෘති නාස්ති වී ගොස් ඇත.
පහළ මට්ටමේ රාජ්‍ය සේවකයාගේ සිට සමස්ත පුරවැසියා දක්වා තාක්ෂණික සාක්ෂරතාව උසස් කරන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තිබිය යුතුය.
තාක්ෂණය හුදෙක් දේශපාලන වේදිකාවේ සටන් පාඨයක් කර නොගෙන, රටේ සැබෑ ඵලදායිතාව සහ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට භාවිත කළ යුතුය.
දේශපාලනික හා පරිපාලනමය බාධක හමුවේ වුවද, නිවැරදි සැලසුම්, පහළ සිට ඉහළට යන සංවර්ධන මොඩලයක් සහ කැපවීම තුළින් රටට සැබෑ වෙනසක් උදාකර දිය හැක. ජනතාවගේ බදු මුදල් නාස්ති වන තවත් එක් ඵලරහිත ප්‍රදර්ශනයකට සීමා නොවී, රටේ අනාගතය වෙනුවෙන් තිරසාර හා ප්‍රායෝගික ඩිජිටල් සැලැස්මකට අවතීර්ණ වීමට කාලය එළඹ ඇත..




No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!