මගේ ගමන පටන් ගත්තේ අම්පාරෙන්. එතනින් තණමල්විල
හරහා රත්නපුර එන්නයි පිටත්වුනේ. එන අතරතුර උඩවලව වැවේ වැව් බැම්ම මතින් එන විට
ලස්සන දර්ශණයක් දකින්න හමුබවුනා. එතැනින් අපි ගියේ රත්නපුර සංඛපාල පන්සල බලන්න.
එතැන ඉතා අනුහස් ඇති තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතැනට වාර්ශිකව
විශාල සෙනඟක් එකතුවෙන තැනක්. එතැනින් අපි ගියා තවත් පන්සලකට. ඒ කොස්වැටිය ලෙසින්
ප්‍රසිද්ධ පන්සල. එතැන තාමත් පිලිසකර කරමින් පවතින තැනක්. විශාල හිටි පිළිම වහන්සේ
නමක්, සැතපෙන පිළිම වහන්සේ නමක් හා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම ඉදිකිරීමට
යෝජිතයි. දැනට හිටි පිළිමය නිර්මාණය අවසන් කර ඇති අතර අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා
නිර්මාණය කරමින් පවතිනවා. කඳු මුදුනක පිහිටි මෙම පන්සල ඉතා මනරම් ස්ථානයක්.
එතැනින් රත්නපුරයට ගිහින් තවත් දෙදෙනෙක් ගමනට සම්බන්ධ කරගෙන කෙලින්ම දඹුල්ලට යන්නයි අපි බලාපොරොත්තු වුනේ. නමුත්
ඇඳිරි වැටෙන්නට පටන් ගත් නිසාවෙන් පොල්ගහවෙල නවතින්න සිදුවුනා. ඊලඟ දිනයේ උදෙන්ම
පිටත් වෙන්නයි අපේ බලාපොරොත්තු තිබුණේ.
දෙවැනි දවස අළුයමින්ම අපි පිටත් වුනේ කුරුණෑගල
පිහිටි ඇතුගල් විහාරය වඳින්න. මෙතැන තමයි ලංකාවේ දැනට ලංකාවේ ඇති විශාලතම සමාධි
ඉරියව්වෙන් වැඩ හිඳින පිළිම වහන්සේ තිබෙන්නේ. එතැනට මුළු කුරුණෑගල එහෙමත් නැතිනම්
ඇතුගල් පුරවරයම පෙනෙනවා. තවමත් මේ පිළිම වහන්සේ ඇතුගල ජනතාවගේ වැඳුම් පිදුම්
ලබමින් ඇතුගල්පුරවරය දෙස නෙත් යොමා බලා සිටින හැටි නගරයේ ඉඳන් වුනත් බලන්න
පුළුවන්.