මගේ ගමන් බිමන් විසි දෙවන කොටස - රත්නපුර, යාපහුවෙන් මාතලේට....!

මගේ ගමන පටන් ගත්තේ අම්පාරෙන්. එතනින් තණමල්විල හරහා රත්නපුර එන්නයි පිටත්වුනේ. එන අතරතුර උඩවලව වැවේ වැව් බැම්ම මතින් එන විට ලස්සන දර්ශණයක් දකින්න හමුබවුනා. එතැනින් අපි ගියේ රත්නපුර සංඛපාල පන්සල බලන්න. එතැන ඉතා අනුහස් ඇති තැනක් විදිහට තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එතැනට වාර්ශිකව විශාල සෙනඟක් එකතුවෙන තැනක්. එතැනින් අපි ගියා තවත් පන්සලකට. ඒ කොස්වැටිය ලෙසින් ප්‍රසිද්ධ පන්සල. එතැන තාමත් පිලිසකර කරමින් පවතින තැනක්. විශාල හිටි පිළිම වහන්සේ නමක්, සැතපෙන පිළිම වහන්සේ නමක් හා අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිම ඉදිකිරීමට යෝජිතයි. දැනට හිටි පිළිමය නිර්මාණය අවසන් කර ඇති අතර අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා නිර්මාණය කරමින් පවතිනවා. කඳු මුදුනක පිහිටි මෙම පන්සල ඉතා මනරම් ස්ථානයක්. එතැනින් රත්නපුරයට ගිහින් තවත් දෙදෙනෙක් ගමනට සම්බන්ධ කරගෙන කෙලින්ම  දඹුල්ලට යන්නයි අපි බලාපොරොත්තු වුනේ. නමුත් ඇඳිරි වැටෙන්නට පටන් ගත් නිසාවෙන් පොල්ගහවෙල නවතින්න සිදුවුනා. ඊලඟ දිනයේ උදෙන්ම පිටත් වෙන්නයි අපේ බලාපොරොත්තු තිබුණේ.
දෙවැනි දවස අළුයමින්ම අපි පිටත් වුනේ කුරුණෑගල පිහිටි ඇතුගල් විහාරය වඳින්න. මෙතැන තමයි ලංකාවේ දැනට ලංකාවේ ඇති විශාලතම සමාධි ඉරියව්වෙන් වැඩ හිඳින පිළිම වහන්සේ තිබෙන්නේ. එතැනට මුළු කුරුණෑගල එහෙමත් නැතිනම් ඇතුගල් පුරවරයම පෙනෙනවා. තවමත් මේ පිළිම වහන්සේ ඇතුගල ජනතාවගේ වැඳුම් පිදුම් ලබමින් ඇතුගල්පුරවරය දෙස නෙත් යොමා බලා සිටින හැටි නගරයේ ඉඳන් වුනත් බලන්න පුළුවන්.


එතැනින් අපි ගියේ යාපහුව බලන්න. මෙතැන ලංකාවේ කුඩාම කාලයක් තිබුණු රාජධානිය පිහිටවපු ස්ථානය. යාපහුව පිළිබඳ අවධි තුනක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. අතීතයේ කාලිංගමාඝ සොලී ආක්‍රමණ සමයේ සුභ නැමැති සෙන්පතියකු විසින් මෙතැන සිය පාලන මධ්‍යස්ථානය ලෙස තබාගනිමින් ආකුමණිකයන්ට විරුද්ධව සටන් කල බවත්, අනුරාධපුර යුගයේදී මෙය තෙරුන්වහන්සේ නමක් විසින් ආරාම සංකීර්ණයක් විදිහට භාවිත කල බවටත්, පළමු බවනෙකබාහු රජ විසින් මෙය ඔහුගේ රාජධානිය ලෙස සකස් කර ඇති බවටත් ඉතිහාසය සාක්‍ෂි පෙන්වා දී තිබෙනවා. තෙරුන් භිවනා කලා යැයි සැලකිය හැකි කටාරම් කෙටූ ලෙන් 64ක් පමණ මේ ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා. මෙතැන වැදගත්ම වන්නේ පළමු බුවනෙකබාහු රජ සමයයි. එය 13 වන සියවසේදී එනම් වර්ශ 1272 සිට 1284 දක්වා කාලයේදී රජකල බුවනෙකබාහු රජු විසින් පාලන මධ්‍යස්ථානය ලෙස සකසා අවුරුදු 12 කාලයෙන් පසු ඔහුගේ මරණයෙන් පසු මෙහි රාජධානිය ඉවත් වී තිබෙනවා. මේ අවධියේදී විශාල ගල් කැබලි වලින් සොහෙන් සකස් කල බවටද සාක්‍ෂි ඇත. එමෙන්ම රජ දවස වැදගත්ම ස්ථානය වූ දලදා මාලිගාවද මෙහිම ඉදිකර ඇති අතර එම මාලිගාවට යාම සඳහා මාල තුනකින් යුතු පඩි පෙළක් නිර්මාණය කර ඇත. එහි මැද මාලයේ පඩිපෙල අංශක 70ක පමණ ආනතියකින් යුක්තව සකසා ඇත්තේ සතුරු ආක්‍රමණ වලකා ගැනීමටයි. එමෙන්ම මෙම කාලයේදී චීනය සමඟ සම්බන්ධතා තිබූ බවට සාක්‍ෂි ඇත. දළදා මාලිගාවේ ඇතුළු වීමේ දොරටුව අසල ඇති මකර රුව සහිත පිලිරෑ හා එතුනදී ලැබුණු චීන කාසි මේ සඳහා කදිම උදාහරණවේ. තවද මෙහි තොරණේ තිබූ තනි කළුගලින් කල පසාරු කැටයමක් සහිත වාකුවුළු දෙක නිසාවෙන් මෙය විශේෂ වැදගත් කමක් උසුලයි. එහි උඩින්ම හංසයින් පෙලක්ද දෙවනුව නාටිකාංගනාවන්ද තෙවනුව අශ්වයින් පේලියක්ද අවසානයේ ධර්මචක්‍රය හා බහිරව රූප පෙන්වා ඇත. තවද එහි ඇති පෙණ තුනක් ඇති නාග රූප සහිත මුරගල් වලින් එකට මෙය නාල ගෝත්‍රිකයන්ට අයත්ව තිබූ බැව් සිතිය හැක. රජ මාලිගාව තිබනා යැයි සැලකිය හැකි ගල් පර්වතය සීගිරිය ආකාරයේමය. උසින් මීටර 90ක් පමන වන මෙහි උඩට යාම සඳහා ගලින් නෙළු ඉතා දුශ්කර ගමනක් ලෙසින් සැකසුන පඩිපෙල් නෙලා තිබේ. දැනට පර්වත මුදුනේ ස්ථුපයක්, භික්‍ෂු ආරාමයක හා පොකුණක නටඹුන් දැකිය හැකිය. මෙහි අතීතය ගැන 13 වන සියවස යැයි කීවත් එහි හා අවට ඇති ශිලාමය දේවල් වල අතීතය අවුරුදු 28500ක් පමණ පැරණි බව කියවේ. කෙසේ වෙතත් එය අප අසා ඇති හා පිළිගන්නා විජය රජුගෙන් ඔබ්බට ගිය වැලලුණු අතීතයක් බව නම් සැබෑවකි.

එතැනින් පිටත්වුන අපි ගියේ අවුකන පිළිමය බලන්න. ධාතුසේන රජ විසින් කරවූ කලාවැව හා මේ පිළිමය විශාල ලෙස කතාබහට ලක්වන දේවල්. යෝධ කළුගලෙක නෙලා ඇති හිටි පිළිමය සියුම් ලෙස නෙලා ඇති අතර ශරීරය හා සිවුරේ රැලි ඉතා සියුම් ලෙස ස්වභාවිකව නෙලා ඇත්තේ හෙළ කලාකරුවාගේ දක්‍ෂතාවය මැනෙවින් පසක් කරමිනි. එමෙන්ම මෙහි සිවුර ඇඟටම ඇළුනු ස්වරෑපයක් පෙන්වා ඇති අතර එක් අතෙකින් සිවුර සකසමින් අනිත් අතින් අසිස මුද්‍රාව දක්වා ඇත. අඩි 37ක් පමණ උස මෙය ලංකාවේ ඇති විශිෂ්ඨතම නිර්මාණ වලින් එකකි. තවත් කාරණයක් කියන්නම් ඒක මෙම පිළිමය සම්බන්ධ ඉතා කණගාටුදායක සිද්ධියක්. ඒ තමයි බුරුවට පිටුපාමින් ඡායාරෑප ගැනීමට උත්සාහ කල යුවලක්. බෞද්ධ අපේ සංස්කෘතියට අගෞරව නොකරන්න ඒ දේ මම ඒ වෙලාවේ ඒ යුවලට පැහැදිලි කලත් තවත් මේ දේ සිදුවෙනවා ඇති. කරුණාකරල ඒ දේවල් සිදුවෙනවා දැක්කොත් විදේශ ආදායම ගැන හිතන්නේ නැතිව ඒ දේ ඒ අයට පැහැදිලි කරල කියල අපේ සංස්කෘතිය බේරගන්න. ඒ වගේ දෙයක් සිදුවෙනවා දැක්කොත්ඒ දේට විරුද්ධවෙලා අපේ සංස්කෘතිය බේරගන්න එක ඔයාල හැමෝගෙම වගකීමක්. ඒ අයට කියා දෙන්න අපේ සංස්කෘතිය. ඒකයි ගොඩක් වටින්නේ.

එතැනින් රන්ගිරි දඹුලු විහාරය බලන්න ගියත් අපි මහන්සියෙන් හිටි නිසාත් ඒක අපි ඔක්කොම වගේ බලල තියෙන නිසාත් අපි සම්පූර්ණ ප්‍රදේශයේ ඇවිදින්න ගියේ නැහැ. ඒගැන විස්තර වෙනම ලිපියකින් දෙන්නම්. කොහොම වුනත් එතැන මුදුනේ ඉඳන් සීගිරිය බලන්න නම් අපිට පුළුවන් වුනා.

ඊට පස්සේ අපි නාලන්දා ගෙඩිගෙය බලන්නයි පිටත් වුනේ. මෙතැනට යන්න මාතලේ දඹුල්ල පාරෙන් හැරිල කිලෝමීටරයක් විතර යන්න ඕන. මෙතැන ලංකාවේ විශේෂම ස්ථානයක්. ඒ මෙතැන තමා ලංකාවේ මධ්‍ය විදිහට සැලකෙන්නේ. 8 වන හෝ 10වන සියවසට අයත් යැයි සැලකෙන අතර හින්දු හා බෞද්ධ යන දෙපිරිස වෙනුවෙන්ම කල නිර්මාණයක්. මෙතුන හින්දු ප්‍රථිමා හි බුදු පිළිම යන දෙවර්ගයම දකින්නටු පුළුවන්. එහෙම වෙන්න හේතුව විදිහට අපට හිතන්න පුළුවන් දෙයනම් අතීත රජවරුන් තමන්ගේ බිසවුන් වහන්සේලා විදිහට හින්දු කුමාරිකාවන් සරණපාවා ගත්තා. ඒ සියල්ලන්ටම එකට වැඳුම් පිදුම් කරන්න තමයි මේ විදිහට ආගම් දෙක සඳහාම එකම සිද්ධස්ඨානයක් නිර්මාණය වෙන්නේ. තව දෙය් මෙතැන ගැන කියවෙනවා ඒ තමයි රාමියණයේ කියැවෙන සිද්ධිය. බ්‍රහ්ම විසින් දුන් දැනුම අනුව ඉන්‍ද්‍රජිත් විසින් නිර්මිත බලවත්ම වාහනය ක්‍රියාකරවීමට පෙර කල යුතුතාවූ යාගය සිදුකල ස්ථානය මෙතැන කියලයි කියන්නේ. නමුත් යාගය කඩාකප්පල් කරවීම නිසාවෙන් මෙතැනදී ඉන්‍ද්‍රජිත් මැරුම් කෑ බව කියනවා. නමුත් මෙතැන නියම ස්ථානය නම් නොවෙයි. බෝවතැන්න ජලාශය නිර්මාණයේදී මෙහි නියම ස්ථානය එතැනින් යටවන නිසා ස්ථාන මාරුවක් කර ඇති බව කියවේ.
නාලන්දා ගෙඩිගෙය බලල ඉවර වුන අපි ගියේ මාතලේඅළුවිහාරය බලන්න. එතැන විශිෂ්ඨ පුස්තකාලයක් කියලයි කියන්නේ. තුන්වන සියවසේදී දේවානම්පියතිස්ස රජ විසින් කල බැව් කියන මෙහි දැනට ගල්ගුහා 13ක් පමණ තිබේ. මෙම ලෙන් යෝගාචර භික්‍ෂූන් උදෙසා පූජාකල බැව් කියවේ. තවද වලගම්බා රජ සමය ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කරන ලද ස්ථානය මෙය යැයිද මතයක් පවතී. එතැනින් පිටත් වුන අපි නැවතත් ගෙවල් වල එන්න පිටත් වුනේ නුවරට ඇවිත්. එතැනින් මම අම්පාරටත් මාත් එක්ක ගිය අනිත් අය කොලඹ දෙසටත් යන්න පිටත් වුනේ ගමනක ආශ්වාදය එක්ක ඇති ඇඟේ අමාරුවත් අරගෙනමයි. 

ඔයාල හැමෝටමත් ලංකාවේ දුවන්න වෙලාවක් හොයාගන්න. මේ යන දේවල් වලට අමතර දේවල් ගොඩක් තියෙනවා ඒ ඒ ප්‍රදේශ වල බලන්න, දකින්න හා අහන්න. ඔයාල මේ දේවල් ගැන දන්න මොනවා හරි තියෙනවානම් මට ලියන්න. එහෙම නැතිනම් කොමෙන්ටුවක් විදිහට දාන්න.


ගමන් බිමන් වල විසි එක්වන කොටසට.....

3 comments:

  1. දැක්කනේ අපේ පැත්තේ ලස්සන... රැස් වෙහෙර, හච්චිකුච්චි, නාමල් උයන ඒ පැත්තෙත් යන්න තිබ්බනේ,ආයේ එනකොට කියන්නකෝ . :D

    ReplyDelete
  2. යාපහුව හිතේ හැටියට නරඹන්න හැමදාම මගෑරුණු තැනක්.
    ස්තූතියි සටහනට
    සිත්පුරා කියැවීමි

    ReplyDelete
    Replies
    1. අපිට මගෑරුණ තැන් ගොඩක් තියෙනවා. පොඩි වෙලාවකින් යන්න පුළුවන් නම් එහෙම නැතිවෙයි නේද?

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!