මේකත් සරුංගල් කාලයක්....

අපේ මලයගේ කොලුව.. ඌ මට කියන්නේ බාප්ප. අපෙ අයියට කියන්නෙ ලොකු තාත්ත. නෑකම් නම් කොහොන් කොහොම හැදිලද අහන්නේ යන්නේ නැති මට උගෙ ලෙන්ගතුකම නෑ කමටත් වඩා වටිනව. අපේ ගෙදර ඉඳන් ගෙවල් තුනකට එහායින් ඉන්නවා වුනත් මම වැඩ ඇරිල එද්දී රෑ වෙන නිසා මේකාව දකින්නේ සෙනසුරාද ඉරිද විතරයි. හැබැයි ඉතින් දවල් කාලයේ සීයයි ආච්චිය බලන්න ඇවිත් නානා ප්‍රකාරයේ දසවද දීල විසඳා ගන්න බැරිවෙන උභතෝකෝටික ප්‍රශ්න ටික කෝල් එකකින් අහනවා. විසඳා ගන්න බැරි ප්‍රශ්ණ අස්සේ සීයා එක්ක දාගන්න වලි, සීයා කියන කතා වල ඇත්ත නැත්තත් විසඳන්න වෙනවා.

උභතෝකෝටික ප්‍රශ්ණ මාලාව බොහෝවිට කුරුලු කූඩු, සර්පයෝ, සත්තුන්ගේ ආහාර විධි වගේ දේවල් ගැන තමා. කොහොම හරි සීය බැන්නත් සීය බාප්පට බැන්නත් කේලමයි නඩුවයි දෙකම කෝල් එකකින් එනව. දැන් මොන්ටිසෝරි යන්න පටන් අරන් තියෙන නිසා ප්‍රශ්න මාලාවයි, කතා විදියයි වෙනස් වෙලා. ඇහිඳින වචනයි ඇහෙන ප්‍රශ්ණයිත් එකතු වෙලා. ඒත් පහුගිය දවසක ඒකාගේ අම්මයි තාත්තයි ලෙඩ වෙලා. ඉතින් කොලුවා පූර්ණ වශයෙන් ආචිචියි සීයයි ලඟ. මිනිහටත් ලෙඩ. හැබැයි ඉතින් මිනිහට මාර සතුටුයි. ඇයි හැමදාම හවසට බාප්ප ගෙදර. බාප්පට වැඩ ඇරිල එද්දි නඩු කටයුතු. හයියෝ....

මේ අල්ලපනල්ලේ අහල පහල කොලුවෙක් සරුංගලයක් හදල. සරුංගල් කාලේනේ.. ඒ මදිවට දවල්ට අහස පුරාම විවිධාකාර සරුංගල්.

හරි ඔයාලට හිතුන වගේම තමා..

නඩුවයි වැඩයි බාප්පට. ගෙදර එද්දිම "බාප්පේ කයිට් එකක් හදල දෙනවැයි". සතියේ දවස් පහක් කොළඹ දුවල ඇවිත් සරුංගල හදන්න වෙලාවක් නැති නිසා සෙනසුරාද හදල දෙන්නම් කීව. කියද්දිම අපේ අම්ම ඇවිත් කීවේ පොරොන්දු වුනාද දැන් ඉතින් ඉඳල ඉවරයි කියල. එය කීවාක් මෙන්මය. කොලුවාට දින සටහන් කාල වේලාවන් නොමැත. හැමදාම හෙට සෙනසුරාදාද අහන්න පටන් ගත්තේය. කෙලෙසක හෝ සෙනසුරාදාට එළඹිනි. 

සෙනසුරාදා යනු මාර්කට් දිනයයි. ගෙදරට අවශ්‍ය බඩු ටික ගෙනත් දමන්නට අවශ්‍යය. කොලුවාගේ අම්මා තාත්තා යම්කිසි ප්‍රමාණයකින් සුව වී ඇති නිසා ඒකා ඒකාගේ අම්මාට බාර දී අපි ටවුන් ගියෙමු. පැමිණි වහා එකම ගැටලුව දැන් කයිට් එක හදනවාද යන්නයි. ඉඳින් ඉරටු ටිකක් හා කිතුල් පිත්තක් කතා ගත්තද බටපතුරක් සොයාගත නොහැකි නිසා ඉරටු වලින් පමණක් සරුංගලයක් හදන්නට සිතුවෙමි. කෑම කා අවසන සරුංගලය හදන්නට සිතා කෑම කන අතරවාරයේ ඇඳ උඩ තිබූ කැමරාව අල්ලාගෙන බාප්පේ කුරුල්ලෙක් ඇවිත් කියන්නේ ද  ඌමය. ඒත් කෑම කා අවසන් වන විට කෙල්ලා නිදිය. ඇඳ උඩ තිබූ කැමරාවත් අතකින් අල්ලාගෙම.

කොලුවාට පෙනෙන්නම "කයිට්" හදන්නට ඕනෑ නිසා මාද වැඩේ කල් දැම්මේ කොලුවා නැගිටින තුරුය. පැය කීපයකට පසු "කයිට් එක හැදුවද අහගෙනම ඇහැරියේය. හදමු හදමු කෝ ආච්චිගෙන් නූල් බෝලයක් ඉල්ලගෙන එන්න කියාගෙනම මගේ වැඩ ටික කල දමා කොල්ලාගේ කයිට් හදන කාර්යය පටන් ගත්තෙමි.

මට අනුව නම් කොල්ලා ඒ සියල්ල උගත යුතුය. ඒ නිසා ඌට වැඩේ කියා දෙන ගමන්ම සරුගංලය හැදුවෙමි. ඒ හදන අතරවාරයේ අපේ අතීතයට දුවගෙන ගියේ ඒ කාලයේ විවිධාකාරයේ සරුංගල ගමේ උන්ගේ ඕඩර වලට හදා ගෙදර සාලයේ පුටු උඩ තබා අම්මාගෙන් බැනුම් ඇසූ හැටිය. "ගෙදරට කවුරු හරි ආවම කොහේද වාඩි කරන්නේ මං. හැම පුටුවෙම සරුංගල්. අයින් කරනව මේවා." ඒ අම්මාගේ ආදරණීය වදන්ය. මොණරුන්, ඔටුණු, වව්ල්ලු / කපුටෝල මී මැස්සෝ, පෙට්ටි සරුංගල, නයි, සමනල්ලු වාගෙ විවිධාකාර සරුංගල වෙති.

සරුංගල යැවීම වෙනම කලාවක්ය. සරුංගලයට ගැලපෙන සුලඟක් එන එක. සරුංගලයක් උඩ හුලඟට අනලනකන් හරියට මුදුන් කරවන හැටි, නූල් දෙන හැටි, හුලං මාරු වෙද්දී කූරියා ගැහුවොත් නෙච්චියක් දීල ඒක ගොඩ දාගත්ත හැටි. අනෙකකන්ගේ සරුංගල නූල් පටලවන්නේ නැතිව බේරගන්න හැටි. නූල් වල සයිස් එක්ක පැටලුනොත් කැඩෙන හැටි. කඩුගෙන යන සරුංගල වැටෙන තැන් හිතන හැටි. මේ වාගේ නානාප්‍රකාරයේ අධ්‍යයනයක් ඕනෑ විශයක් තමා සරුංගල යැවීම.

කොහොමින් හරි ඉරිද උදේ සරුංගලලේ අලවගෙන කොලුවත් එක්ක සරුංගලය යවන්න ගියා. සරුංගලේ උඩ ගියත් හරි හැටි හුලඟක් නොතිබුන නිසා නූල් පන්දුවෙන් බාගයකට වඩා උඩ ගිය සරුංගලේ නූල තද වුනේ නෑ. ඉතින් ටිකක් වෙලා කොලුවට අල්ලගෙන ඉන්න දුන්නා වුනත් වැඩි වෙලා තියාගන්න බැහැ. පුරුද්දක් නැතිව. ටික වෙලලාවකින් හුලං නැතිව සරුංගලේ සම්පූර්ණයෙන්ම වගේ පහත් වෙන්න පටන් ගත්තා. සරුංගල් යවන්න ආව අයගේ ඇස් මානයෙන් පහත් වෙද්දි කට්ටිය කීවේ "ඒක ඉවරයි" කියල. හැබැයි ඉතින් කාලයක් සරුංගල් යවපු පුරුද්දෙන් නූල ඇදල කරල සරුංගලේ ආයෙත් උඩට ගන්න පුලුවන් වුනා. ඊලඟට වෙන්නේ මොකක් කියල දන්න නිසා ඉක්මනින් සරුංගලේ බා ගත්තා. සරුංගලේ බාන එකත් කලාවක්. නූල හරියට ගොඩ දාන එක සරුංගලේ අතටම බාන එක හරිහැටි කරන්න ඕන.

ආයෙ දවසක යන්න ඕනි. ටිකක් ලොකු සරුංගලයක් හදාගෙන. අතීත මතක විදිහට උදේම සරුංගලයක් යවල ගහක ගැට ගහල. කාව හරි බලාගන්න තියල දවල්ට කන්න ගෙදර ගිහින් ඇවිත්. හවස් වෙනකන්ම ඉඳල සරුගලේ බාගෙන ගෙදර එන්න තියේ නම්.

ඒක වගේම මේකත් සරුංගල් කාලයක්.... 

2 comments:

  1. අජිත් ඩී කීර්ති10 June 2025 at 19:47

    පුංචි දරු පැටව්ට අවශ්‍ය දේ ලබා දෙන කොයිතරම් දෙයක්ද සුලක්ඛනා නංගි

    ReplyDelete
  2. ලස්සන මතක සරුංගලයක්. මේ ඩිජිටල් යුග‍යෙ සරුංගල් යවන බබ්බු ගැන අහන්න ලැබීමත් සතුටක්!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!