සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට..

සෝමතිලක ජයමහ නම් සංගීතවේදියා අතින් ලියැවෙන මෙම ගීතය සඳහා තනුව යොදන්නේද ගායනා කරනනේද ඔහු විසින්මය. මේ ගීතය පසුපස ඇති කතාන්දරය වරක සෝමතිලක ජයමහ ශූරීන් විසින් පවසා ඇත.

ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය.  1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි

ගීතය ලියැවෙන්නට පාදක වූ සිදුවීම කෙසේ වෙතත් මෙතැනදී නම් සැඳෑ අඳුර ලෙස හැඳින්වෙන්නේ ජීවිතයේ සැඳෑ කාලය යැයිය මට සිතේ. සදා තනිකඩ ප්‍රේමවන්තයෙකුගේ ජීවතයේ තරුණ බවේ අවසන් කාලය ගත කරන්නා වූ කාලයක් මතක් කරදෙන පලමු පද පෙල එය තහවුරු කරන්නේ කවුලු පියන්පත් වැසෙන වෙලාවට යන්නෙනි. ඔහු තනි වී ඇතත් ඒ තනිය දැනෙන්නට පටන් ගත් විට ඇය හා ගත කල සමය, ඇයගේ සුසුම් හඬ ඔහුට ඇසෙන්නට පටන් ගනී. දුක් දොම්නස් සිහින වලට ඇති මාර්ගය හරස් කරද්දී ඇගේ මතකයන් ඇවිත් ඔහුට කරදර කරයි. එය ම ඔහුගේ ප්‍රථම ප්‍රේමයෙන් වියෝ වූ පසු දෙවැන්නෙකු වෙනුවෙන් හිතේ තැනක් ඇති නොවීමට හේතු කාරණා වී ඇති බව පෙනේ.

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත
එතෙර වන්න නිබදේ...

කෙළවරක් නොපෙනෙන තැනක් විදිහට උදාහරණ මතක් කරද්දී පළමුව සිතට නැගෙන්නා වූ උදාහරනය වන්නේ මහා සාගරයයි. ඔහුගේ සිතිවිලිද ඒ වැන්නේය. ඒ මෙන්ම ඇයද එසේ සිතුවිලි වල ගිලී ඇති බව එහු උපකල්පනය කර ඇති බව පෙනේ. සමහර විටෙක ඔවුන් වෙන්කර ඇතිතේ ඔවුන්ගේ අභිමතය පරිදි නොවේ විය හැකිය. ඇයද එසේ සිතිවිලි වල ගිලී රැය ගෙවනවා නම් ඔහුගේ සෙනෙහස නැමැති ඔරුවට ගොඩවෙලා නිදා ගන්න කියන එක ඔහු කියනවා. ඒ ඔහු විඳින්නා වූ විරහ වේදනාව ඇයට විඳින්නට නොලැබේවා කියා සිතන සිතිවිල්ලක් සමඟම ඇයව ඒ විරහ වේදනාවෙන් ගලවා ගැනීම සඳහා ප්‍රේමවන්තයා විසින් දරන අසාර්ථක උස්සාහයක්ම පමනක් විය හැක. නමුත් එහු තවමත් ඇයට ආදරය කරන බවට මීට වඩා අපූර්ව ආකාරයෙන් පැවසිය හැකිද?

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ

නිර්මල පැතුම් එක්ක සුවබර නින්දක අවසානයේ ඔබ උදෑසනින් අවදි වෙද්දී ඔබේ ජීවිතය නමැති මල් ගොමුව තුල එක මලක් වෙලා ඉන්නම් කියල ප්‍රේමවන්තයා පවසනවා. ඒ ඇයගේ නින්ද නැති වෙන තරම් ඇයට තමා මතක් නොවී සුවබර නින්දක් ලබන්න යන සැබෑ ප්‍රේමවන්තයෙකුගේ ප්‍රාර්ථනයත් ඇයව නිරතුරු දකිමින් ඔහුගේ සිත සනසා ගන්නට දරන්නා වූ උත්සාහයත් පෙන්නුම් කරමිනි. පරාජිත ප්‍රේමවන්තයෙකුට විරහ වේදනාව මඳක් අස්වසන්නට ප්‍රේමවන්තිය නොදැන ඇය දකින්නට ලැබීම තරම් දෙයක් කොහිදැයි ප්‍රේමවන්තයන්ම දන්නවා ඇත.

ගීතය තුල ඇති ප්‍රේමයේ ගැඹුරු තැන් ස්පර්හ කරන ආකාරයේ අපූර්වත්වය නිසාවෙන්ම නිහඬ නිසල සවසක මේ ගීතය විඳින්නට යැයි මා ඔබට ආරාධනා කරනවා. එහි ඇති සංගීතය සමඟ මුහුව ඇති විරහව හා පාලුව නොදැනෙන්නනේ නම් හේ තුල සංවේදනයන් තිබේ දැයි යන්නද සැක සහිතය.

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට//
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමින් විත්
මගෙ සවනත පාරයි...//
සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට

තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//
මහද සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිබදේ - නිදි ලොව වෙත
එතෙර වන්න නිබදේ...

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට

නිමල පැතුම් සපුරාගෙන හද තුල
සිහින ලොවින් නෙත හැරෙන වෙලාවට...//
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ - ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ...//

සැදෑ අඳුර ලොව ගලන ‍වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට

ගායනය, පද රචනය හා සංගීතය - සෝමතිලක ජයමහ

5 comments:

  1. මගේ ප්‍රියතම ගායකයෙක්. මොකක් හින්දද මන්ද මහා පාලු, දුක්බර හඬක් ඔහුට තියෙන්නේ. මම ඒ උනාට ආසයි. මේ ගීතය මාව නිරුත්තර කරන්න සමත්. සතුටුයි මේ ලියවිල්ල දැක්කම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහස් දැක්වූවාට

      Delete
  2. අපූරු සටහනක් සුලා.... සෝමතිලක ජයමහ මහත්තයා විභාග දෙපාර්තමේන්තුවේ පරිපාලන නිලධාරියෙක් වෙලා හිටියා විශ්‍රාම යනකම්.. මම 2007 විභාග දෙපාර්තමේන්තුවට යද්දි එතුමා විශ්‍රාම ගිහින්. අපරාදේ

    ReplyDelete
    Replies
    1. Thank you..
      And he is one of best singers I I got in my mind

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!