Showing posts with label ගී අරුත්. Show all posts
Showing posts with label ගී අරුත්. Show all posts

පත්තායම වී මනින්න


දමිත් අසංක කියන්නේ වැඩිය විචාරයට පාත්‍ර නොවන ගායකයෙක්. කාලයක් ක්‍ෂේත්‍රෙය් පේනන් නොහිටියත් දැන් දැන් ආයෙත් ගීත වේදිකාවල දකින්න ලැබෙන චරිතයක්. මොකක්දෝ හේතුවක් නිසා ඒ හඬට අමුතු ගතියක් තියෙනවා. ඒ නිසාම ආයෙ ආයෙත් අහන්න හිතෙනවා. මේ තියෙන ගීතයත් එහෙම නැවත නැවත අහන්න හිතෙන ගීතයක්.

විමාලක මුහන්දිරම් විසින් රචනා කරපු මේ ගීතය ඉතිහාස කතාවක් පදනම් කරගෙන සිදු වුනා කියල තමයි කියන්නේ. ඒ ලංකාවේ අවසන් රජු වුන රාංසිංහ රජු සමයේ සිදුවීමක්. ඒ පද වලට ප්‍රියාන් පතිරණ දීපු සංගීතයත් මම කලින් කිව්ව වගේ දමිත් අසංකගේ හඬත් අපූරු සංයෝජනයක්.

ගීතය ගැන කියන්න කලින් ඉතිහාසය ගැන ටිකක් මතක් කලා නම් මේ ගීය තේරුම් ගන්න, මේ ගීයට කොයි තරම් බලවත් ද කියන එක තේරෙනවා. රාංසිංහ රජ්ජුරුවෝ කියන්නේ ටිකක් අමුතු විදිහේ නීතිරීති තිබුන පාලකයෙක් බව හැමෝම දන්නවානේ. ලමයෙක් වණයක දාල කොටන්න තරම් කෘරත්වයත් තිබුනා වගේම සමහර තැනක විහිලු තහලු අහන්න සංගීතය නැටුම් වලින් පිනැවෙන්නත් රාජසිංහ රජු කැමති කෙනෙක්. ඒ නිසාම තමා ඒ කාලෙ රජුට කොයි කවුරුත් බය වගේම රජු මොකක් කරයිද කියන අවිනිශ්චිත බව එක්ක ජීවත් වෙලා තියෙන්නේ.

පත්තායම කියන්නේ වී අරටුවට, වී බිස්සට. රජුගේ ඉඩම් ඒ කියන්නේ ජනයවා භුක්ති විඳින ඉඩම් වලින් අස්වැන්න  ගතාතාම රජුන්ගේ පංගුව වෙන් කරන්න ඕනි. අස්වනු නෙලල පත්තායම් පිරෙව්වට පස්සේ ඒ පත්තායම් වලින් වී මැනල රජුගේ පංගුව ගන්න වෙනම නිලධාරියෙක් ඉන්නවා. බදු නිලධාරියෙක් වගේ. එයාට කියන්නේ පත්තායම් නිළමේ. මේ කාතාව කියන්නේ ඒ නිළමේ කෙනෙක් කතා නායක කරල. මේ නිලධාරියාගේ ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක්. මේ කාන්තාව බිරිඳ වෙන්න තියෙන ඉඩ වැඩියි. නමුත් ආදරවන්තිය වෙන්නත් පුලුවන්.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ
 
පත්තාමේ වී මණින්න පුලුවන් වුනාට තමන්ගේ ආදරේ මණින්න බෑ කියල නිළමේ කියනවා. මෙතැනදී මම නම් හිතන්නේ ඇය මොකක් හරි දෙයක් නිසා ටිකක් අමනාපෙන්. ඉනිත් තමන්ට කිසිම ආදරයක් නැහැ කියල කරපු චෝදනාවකට පිළිතුරක් විදිහට කියන දෙයක් වගේ තමා මේක අරුත් වෙන්නේ.

හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ
 
හන්තානට මුවා වෙලා නෑඹුල් සුසුම් හෙලන්න කියල ඔහු කියනවා. ඒ ඇයට ඔහු නැති නිසා සොවින් හෙලන සුසුම් හැංගිලාම හෙලන්න කියල කියනවා. මේකට හේතුව ඉතිහාසසයෙන්ම ගන්න පුලුවන්. රංජසිංහ රජු ඒ කාලේ ලොකු අන්ත:පුරයක් තියාගෙන හිටි කෙනෙක්. තව රජු ගම් නියම් ගම් වල සැරිසරද්දී දකින සුන්දර කාන්තාවන් පවා ඔහුගේ අන්ත:පුරයට බඳවාගන්නවා. ඒ අයව ගම් වලම රජු වෙනුවෙන් වෙන් කරල තියන්න කටයුතු කරනවා. ඒ ඒ පැති වල යද්දී ඒ ඒ පැත්තේ බිසවක් ඉන්නවා. ඉතින් මේ නිළමේ තමන්ගේ ආදාරයට කියන්නේ හන්තාන වගේ විශාල කන්දක් පාමුල හැංගිලා ඉන්න කියලයි. මොකද රජ්ජුරැවෝ දැක්කොත් අන්ත:පුරයට බඳවා ගන්න තරම් අතිමහත් රූප ශ්‍රීයක් ඇය සතු නිසා. නොයිඳුල් සුසුම් තමන් වෙනුවෙන් ම වෙන් කරගෙන ඉන්න කියල ඇයට කියනවා.

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ

රාසිං දෙයායෝ කියන්නේ රාජසිංහ රජුට කියන නාමයක්. මේ රජුගේ තරම ගැන කියන්න අපූරු යෙදුමක් භාවිතා වෙනවා. ඒ තමයි රජුගේ කැමැත්ත නැතිව ඩර එළිය වැටුනත් ඒක වරදක්. ඒ වරද වෙනුවෙන් කිසිමසමාවක් නැහැ. දඬුවම මරණය වෙන්න පුලුවන්. ඉත්න ඒ තරම් කෙනෙක් යටතේ රාජකාරි කරන මං අතින් වරදක් වුනොත්, ප්‍රමාදයක් වුනොත් වෙන දේ හිතා ගන්නවත් බැහැ. ඒ නිසා දෙවියන්ට කරන කාර්යයක් විදිහට සළකලා තමා රාජකාරි කරන්නේ. එහෙම තමා අපේ ජීවිතේ ගලන්නේ.

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ

පුරුෂ මූලික සමාංයක් වුන අතීතය තුල ගෘහමූලික පිරිමියාට පස්සේ තමා කාන්තාවක් කෑම ගන්නේ. ඒ නිසා හවස් වෙලා කලුවර වැටෙද්දී නුඹට තනිකම සීතල දැනෙන්න ගනීවි.ඒ වුනා කියල නොකා නොබී මම එනකන් ඉන්න එපා. මොකද මම එන වොලවක් කනියන්න බැහැ. ඔය සුසුම් වලින්, වැට මායිම් වලින් එපිට ඉඳන් ගෙට එළිය දෙන සඳ වගේ මමත් දුර ඉඳන් මගේ ආදරය නුඹ වෙනුවෙන් දෙනවා. රාජසිංහ රජුගේ ජීවිතයට සම්පූර්ණයෙන්ම කැප කරපු ජීවිතයක් වුනත් මගේ සිතුවිලි හැම විටම ඔයා ලඟ කියල තමා නිළමේ තමන්ගේ ආදරවන්තියට කියන්නේ.

මේ ගීතය අපූරු ප්‍රේම කතාවක් විතරක්ම නොවී ඉතිහාස කතාවකුත් වෙන්නේ ඒ නිසා. ඉතින් ඔයාලට ආරාධනා කරනවා මේ ගීය ආයෙත් අහල බලන්න කියල.

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසින් දෙවියන්ගෙ රටට
ඉර ආවත් පරිස්සමට
සමාවක් නොවේ
සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ
අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි
තනිකම සීතලට නතුයි
නොයින් හාමතේ නොයින් හාමතේ
සුසුම් පතුල වැට මායිම්
එපිට ඉඳන් ගෙට පායන
සඳයි ජීවිතේ
සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න
ලෙන්ගතුකම් බෑ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න
නෑඹුල් සුසුමක් හෙලන්න
හීන්සීරුවේ හීන්සීරුවේ

ගායනය : දමිත් අසංක
ගී පද : විමාලක මුහන්දිරම්
සංගීතය : ප්‍රියාන් පතිරණ

විකසිත පෙම් පොකුරු පියුම්

විරහව විඳින්න මොන තරම් නම් විධි තියෙනවද? විරහව එක් එක් අය දාරා ගන්න විධියට වෙනස්. අද කාලයේ ඇහෙන ගොඩක් ප්‍රවෘත්ති විරහව දරාගන්න බැරි වුන නිසා සිදුවෙන ඛේදවාචක විදිහට තමයි අහන්න ලැබෙන්නේ. ඒක බොහෝමයක් වෙලාවට සිදු වෙන්නේ විරහව තමා තුල සිරකරගෙ සිටීම නිසා විඳි වීම පසුව මානසික ආතතිය බවට පත් වීම නිසා කියලයි මම ිනම් හිතන්නේ. නමුත් කලාව දන්න මිනිහා, කලාකාරයෙක් ඒ විරහවම තමාගේ කලාව ඇතුලට සම්මිශ්‍රණය කරල සමාජවයටම මුදාහරිනව. ඒ තුල තමාගේ ශෝකය අඩු කරගන්නත් කාට හරි තමන්ගෙ කතාව කියල ලැබෙන සැනසීමත් ඔවුන් ලබා ගන්නවා. ඔය දේ නැති තැනදි වෙනන්න පුලුවන් හානිය අපමණයි. මේ තියෙන්නේ එක් කලාකාරයෙක් තමාගේ විරහව විඳින ආකාරය.

ආචාර්ය අංන්තා රණසිංහයන් අතින් ලියැවෙන මේ පද ඔහුගේම කතාවක් කිලත් සමහර අය විග්‍රහ කරනව. ඒ කොාහම වුනන් කලාවත් එක්ක සම්මිශ්‍රිත විරහව මේ පද ඇතුලෙ අපූරුවට හංගනව. ඒ විතරක් නෙවෙයි ඒ සඳහා ලබා දීපු සංගීතය, කේමදාස මාස්ටර් ඒ හැඟීම් උපරිමයටම තියන්න හදාපු විදිහත් හරිම අපූරුයි. ඒ සංගීතය ආරම්භයම ගම්බද හැඟීමක් තමයි මවන්නේ. මම නම් ගමක වලව්වක පොඩි කුමාරිහාමි කෙනෙක්ට පෙම්බැන්ඳ තරුණයෙක්ගේ කතාවක් කියන තැනට තරම් ගෙනියන්න මේ සංගීතයම ප්‍රමාණවත්.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ

කතානායකයගේ එහෙමත් නැතිනම් තරුණයාගේ හිතෙත් තරුණියගේ හිතෙත් ඇතිවුන ආදරයක්. ඒ ආදරේ නවතින්නේ කාන්තාවගේ පැත්තෙන්. ඇයගේ පයටයි පොඩි වෙලා විනාශ වෙලා යන්නේ. ඒ ඇතුලේ ආදරයට වඩා ඇයගේ තත්වයේ උසස් බවක්‍ පෙන්වනවා කියලයි මම හිතන්නේ.ඇයගේ තත්ත්වය හමුවේ තරුණයාගේ ආදරය පයට පෑගිලා පොඩිවෙන තරමයි. ඔහු කියනවා ඔහුට පිටුපාල පතිකුලයට යනව කියල. එතනත් ඇය ඔහුට වඩා උසස් අයෙක් හා යන බවක් හඟවනවා. නමුත් අවසන් පෙල ඔහු තවමත් ඇය ආමන්ත්‍රණය කරන්නේ "සොඳුරු ලඳුනේ" කියල. ඒ ඇය ගැන තවමත් ඇති ආදරයේ ප්‍රමාණයමයි. ඔහු වෛර කරන්නේ නෑ. ඔහු තේරුම් ගන්නවා ඇය ඔහුට අයිති නැති බව.

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා

ඔහු ඊලඟට කියන්නේ තවත් කතාවක්. ඒ ඇය යන තැන, ඇයගේ විවාහක සැමියා ගැන දන්නවා වගේ හැඟීමක් මතුකරමින්ම මතක් කර දෙන්නක්. ඒ ඇයට දවසක ඉන්න තැනක දුකක් කඳුරක් ආවොත්, කාටවක් කියාගන්න බැරිව අඬන්න වුනොත් අපේ ආදරය මතක්වෙලා විරහ වේදනාව දැනෙන්න එපා කියලයි. ඒ වේදනාව ගින්නක් වගේ දාගන්න බිරි බව ඔහු දන්නව. ඒ වේදනාව කවදාවත් ඇයට දැනෙන් එපා කියල තරුණය ප්‍රාර්ථනා කරනව.

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා

ජීවිතේ පසු කාලයකදී වුනත් ජීවිතේ තනියක් දැනෙද්දී වුනත් ඔයා තෝරගත්ත ඔය සැපවත් ජීවිතය ඇතුලේ ඒ දුක නොදැනෙන්න තරම් දේවල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආයෙමත් මුලින් කියපු ඇය ඔහු වෙනුවට තොරගත්තු සැපවත් ජීවිතය පිලිබඳවත් රචකයා මතක් කරනවා.


තනියම ඉන්න නිශ්ෂබ්ද වෙලාවක, අනිත් සද්දබද්ද වලින් පිරුණු සංකීර්ණ ලෝකෙන් අයින් වෙලා මේ සගීතය අහල බලන්න. ඔයාලට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නේ කියල. හිතනවා ඔයාලගේ අදහස් මේ යටින් ලියැවෙයි කියල.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ...//

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා...//

විකසිත පෙම්...

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා...//

විකසිත පෙම්... //

ගායනය: විශාරද පණ්ඩිත් අමරදේව
ගී පද: අජන්තා රණසිංහ
සංගීතය: ප්රේමසිරි කේමදාස

කඩමණ්ඩියේ දොල අයිනේ

හුඟ කාලෙකින් ලියැවෙන ලිපියකන් වුනත් කාලයක් තිස්සේ හිතින් මිමිණෙන ගීතයක්. හිමි නොවුන ප්‍රේමයක් අපි කාටත් තියෙනවා. එවන් ප්‍රේමයක් අද සමාජයේ වගේ පිහි ඇණුමකින් හෝ ඛේදාන්තයකින් අවසන් නොකර විඳින්නේ කොහොමද කියන්න සාහිත්‍යය අපූරු පාඩම් කියා දෙනවා. මේ එයින් එකක් කියල මම හිතනවා.

සමාජය තුල තියෙන බැමි වලින් එදත් අදත් පෙම්වතුන්ට තහංචි තිබුනා. උස් මිටිකම්, කුල බේද, වත් පොහොසත්කම් වගේ දේවල් ඒවා අදත් තියෙනවා. මේ එහෙම ප්‍රේමවන්තියක් ආදරය තමන්ගේ හිතේ ගුලි කරගත්ත විදිහ කියලයි මම  හැමදාත් වින්ඳේ.

කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතුව හිටියත් ගොළු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී

රෝස මලට කියනවාද

කාලෙකට පස්සේ ආයෙත් ලස්සන ගීතයක් එක්ක. ලියන්න කියල තරම් නොවුනත් කුරුටු ගාපු ගීත ගානක් තියෙනවා. කොහොම වුනත් අද මේ ගීතය ආයෙත් ඇහිල නිතර මිමිණෙන නිසාම ලියන්න හිතුවා.

මේ ගීතය ලියල තියෙන්නේ නව පරපුරේ රචකයෙක් වුන රවී සිරිවර්ධන විසින්. පරිසරයෙන් සොයාගත්ත ආදරය ගැන වුරුත් කතාවෙන් රෑපකයක් තමයි මේක ඇතුලේ යොදාගෙන තියෙන්නේ. "රෝස මලක්". ආදරය සමහර වෙලාවකදී සතුටින් ගලා යනවා වගේම කඳුලකින් අවසන් වෙන්නත් පුලුවන්. බොහෝ වෙලාවල් වලදී ඒ කඳුලු තව කෙනෙක් හෝ පිරිසකට චෝදනාවකින් සමනය කර ගන්න උත්සාහ කරනවා. සමාජය එහෙමයි. නමුත් මේ ගීතය ඇතුලේ රචකයා දෝදනාවක් නොකර අපූර්ව විඳ දරාගැනීමක් කරනවා.

රෝස මලට කියනවාද
මා මිය ගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුණු වග

දෑවැදි දෙන්නට

තවත් එක් අපූර්ව ගීතයක් තමයි මේක. සුනිල් ඒදිරිසිංහයන් විසින් අපූර්ව ආකාරෙයන් ගායනා කරන්නේ මේ ගීතයට කඩහඩකින් දෙන්න පුළුවන් උපරිමය ලබා දීල කියලයි මම නම් හිතන්නේ. ප්‍රේමකීර්ති ද අල්විස් විසින් රචිත ගීත බොහෝමයක් ඔහුගේ ජීවිතය හා බැදුනු සිදු වීම. මේ ගීතයත් ඒ විදිහට බැදුණු ගීතයක් ද කියන එක නම් මම දන්නේ නෑ. හැබැයි බොහෝම ලස්සන කාලීන ගීතයක්.

දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති
ගෙදරට බර වුණු බාල නඟේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නඟේ

රන් කෙන්දෙන් බැඳ

දිවංගත අජන්තා රණසිංහයන් විසින් රචිත අපූර්ව ගීතයක් තමා අද කතාව ලියන්න තෝරා ගත්තේ. මේ ගීතයේ සංගීතය සපයන්නේ සරත් දිසානායකයන් අතින්. ඒ වගේම තමා ගීතයේ අර්ථයට අපූර්ව හැගීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ කටහඩක් තියෙන නන්දා මාලිනී විසින් ගීතය ගායනා කරල තියෙන්නේ. මේ ගීතය දුහුල් මලක් චිත්‍රපටය සදහා කල නිර්මාණයක් වුනත් චිත්‍රපටය නොබලපු කෙනෙකුට වුනත් අපූර්ව ආකාරයෙන් ගීතය විදින්න පුළුවන් විදිහෙන් නිර්මානය වෙලා තියෙනවා. මේ ගීතය රචනා කරන වෙලාවේදී අජන්තා රණසිංහයන්ගේ සිතිවිල් දාමය කොයි ආකාරයෙන් ක්‍රියා කරන්න ඇතිද කියන ප්‍රශ්නාර්ථය හැම වෙලාවේ දී ම දැනෙන කරුණක්. කොයි ආකාරයෙන් ද මේ ගීතයේ කතා නායිකාවගේ සිතිවිලි වචන කලේ කියන එක.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි

ඈත කඳුකර හිමව් අරණේ


 


















ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.

මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අව‌බෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරද‌ේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.

සිංහල සිංදු කියන........

මේ ගීතය සත්‍ය සිදුවීමක් ඇසුරින් රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනා කියල තමයි කියවෙන්නේ. 1992 දී විතර දවසක විශාරද ගුණදාස කපුගේ ශූරීන් රත්න ශ්‍රී විජේසිංහයන්ට කතා කරනවා ඒ් ඒ් කාලේ තිබුන සඟරාවක තිබුන ලිපියක් ගැන කියවන්න කියල සඳහන් කරන්න. අන්න ඒ් ලිපියේ තිබුන කතාවෙන් තමයි මේ ගීතය ලියැවෙන්නේ. ඒ් තිබුන කතාවේ සාරාංශය මෙහෙමයි.

දකුණු පලාතේ කඹුරුපිටියේ කාන්තාවක් වුන විනීතා සමරසිංහ ගුණසේකර නැමැති පොලිස් කාන්තාවක් කොළඹ පොලිස් ස්ථානයක සේවය කරන කාලයේ දී උතුරෙන් ආව දෙමළ තරුණයෙක් වුන ඒස්. නඩේශන් නැමැති තරුණයෙක් ඒක්ක ආදරයෙන් බැඳෙනවා. නමුත් මේ ආදරයට දෙපාර්ශවයෙන්ම විරුද්ධ වෙනවා. විශේෂයෙන්ම තරුණියගේ පවුල් වල උදවිය. නමුත් මේ සියලු බාධක අතරේම මේ දෙන්නා විවාහ වෙනවා. මේ අතරේ 83 කළබල ඇතිවෙනවා. ඒ් ගැටුම්වලින් කළකිරෙන දෙමළ තරුණයා තම අලුත් මනමාලිත් අරගෙන උතුරුට යනවා. මෙන්න මේ කතාව පදනම් කරගෙන තමයි ගීතය ලියැවෙන්නේ.

එදා මෙදාතුර කඳුළට විවරවු

මෙම ගීතය දශක ගණනාවක් තිස්සේ එක සේ ජනප්‍රිය වූ ගීතයක් ලෙස හැඳීන්විය හැකිය. විශාරද සනත් නන්දසිරි විසින් සංගීතය සපයා ගායනා කරන මෙහි පද රචකයා වන්නේ විමල් ජයශාන්ත නම් අප්‍රකට රචකයෙකි. 1975 දී පමණ නිර්මාණය වී ඇති මෙම ගීතය එකි රචකයාගේ අත්දැකීමක් මත නිර්මාණය වී ඇතැයි ද ඔහු විසින් විරචිත ප්‍රචාරය වූ පළමු හා අවසාන ගීතය බවට ද සැලකේ. 

ඉතිහාසය අනුව නම් ඔවුන්ගේ ප්‍රේමයට දෙමාපියන්ගේ විරුද්ධත්වය ඇතිව තිබේ. ඒ නිසා සියදිවි හානිකරන්නා පෙම්වතිය නිසාවෙන් දුක්වන ඇගේ පියා ඔහුට නිවසට ආරාධනා කරයි. කිසිත් නොදන්නා ඔහු පෙම්වතියගේ නිවසට පැමිණෙන්නේ ඇයගේ පියා විරෝධතාවන් පසෙකලා ඔහුන්ගේ ආදරයට එකඟ වී ඇති බව සිතමිනි. නමුත් නිවසේ සුදු කොඩි දකින ඔහු තවමත් සිතන්නේ ඇයගේ ඥාතියෙකුගේ මරණයක් ලෙසයි. නමුත් ඔහු නිවසට ඇතුලුවන විට ඔහු දකින්නේ තම ආදරය නිසොල්මන්ව සිටින රුවයි. ඒ දකින ඔහුගේ සිතුවිලි මේ ලෙසින් ගීතයක් බවට පත්ව ඇත.

තිසර තුඩට තුඩ නගන්න ඉඩ හරින්න රාධා

කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.

ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.

විදුලි මිණි පහන් දැවී

ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි. 

ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.

ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.

ජීවන විල මැද

සුජාතා අත්තනායක විසින් ගායනා කරනු ලබන මෙම ගීතය වත්මන් යෞවනියන්ගේ කතාන්දරයම යැයි කීවොත් වඩා නිවැරදිය. 1963 දී තරගත වූ "මහ රෑ හමුවූ ස්ත්‍රිය" චිත්‍රපටය සදහා ගැයුනු මෙ ගීතය රචනා කරනු ලැබුවේ කරුණාසේන ජයලත් විසිනි. එම්. කේ. රොක්සාමි විසින් සංගීතවත් කරන ලදී.

ජීවන විල මැද වැජඹෙන කැකුළකි
රූබර වූ යුවති
තී මට තී මට කියමින් බිඟු කැල
ඇය අවටම රඟති

තරුණ යුවතියකගේ ජීවිතය පිළිබද කතාන්දරය මෙලෙසින් දිග හැරෙන්නේය. ජීවිතය නැමැති විල මැද සිටින්නා වූ ලස්සන කැකුළු මලකි. මෙය තරුණ යුවතියක් සංකේතවත් කරන්නට ගත් අපූරු යෙදුමකි. ජීවිතයද වරෙක විලකි. තෙරක් ගැඹුරක් නොමැති විලක් මැද ඇති යාන්තම් පිබිදීගෙන එන විට කුමක් නම් දන්නවාද? කැකුළු මලක් පිබිදෙද්දී එහි ඇති නැවුම් රොන් වල රසය දන්නෝ මී මැස්සන්මය. ඔවුන් මේ මළට අයිතිවාසිකම් කියන්නට වෙර දරන්නෝය. ඒ මෙම පිපෙන්නා වූ කැකුළු මලෙහි ඇති රොන් ගන්නටය. ඒ ලෙසින්ම තරුණ යුවතියක් පසු පස කොතරම් තරුණයන් සරන්නේද? ඔවුන් සියල්ලෝ වෙර දරන්නේ ඇය තමාගේ කරගැනීමටය.

මහ වැස්සක පෙර නිමිති

කේ. ඩී. කේ. ධර්මවර්ධන අතින් ලියැවෙන මේ අපූරු ගීතය විශාරද සනත් නන්දසිරි විසින් සංගීතවත් කරනවා. ගායනය කරන්නේ පණ්ඩිත් අමරදේවයන් විසිනි. පණඩිත් අමරදේව ශූරීන් අවසාන කාලයේ මේ ගීතය ගායනා කරද්දී මේ ගීතය තුල ඔහු ජීවත් වූවා යැයි මට සිතේ. මහළුව ගිය බොහෝමයක් අය වෙනුවෙන් මේ ගීතය ලියවී ඇත්තාක් මෙන් දැනෙන්නේ අප සමාජයේ දකින බොහෝමයකගේ ජීවිතය ද මෙයම වන හෙයින් යැයි මා සිතමි.

මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා
කවුලුව අතරින් හිරිකඩ එනවා
මල්පැන් වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත

මහ වැස්සක් එද්දී දැනෙන හැගීම ගැන මා අමුතුවෙන් කිව යුතු නොවන්නේය. එහෙම වෙලාවක තමාට තියෙන කුඩා කාමරයේ කවුරුව අතරින් එන හිරිකඩ සුලග මතකයට නැගෙන්නේ නම් මේ සිදුවීමේ විස්තර කරන අවස්ථාව පිළිබද ඔබට මැවෙනු නිසැකය. එවැනි වෙලාවකදී අප කතා නායකයා වූ මහලු පුද්ගලයා මත්පැන් ටිකක් බීල ශරීරයට උණුසුම ලබා ගන්නට කල්පනා කරනවා. ඒ සදහා කඩමණ්ඩියට යන්නට පිටත් වන්නේ පොද වැස්ස හිරිකඩ වැටෙද්දීමයි. 

වසන්තයේ අග......

කපිල කුමාර කාලිංග අතින් ලියැවුනු මෙම ගීතය තුල බොහෝමයක් පුද්ගලයින් ඩීවත් වන බව මට සිතේ. විශාරද එඩ්වඩ් ජයකොඩි විසින් සංගීතයෙන් හැඩ ගන්වා ගායනය කල මෙම ගීතය තවත් එක් වෙන්වූ ආදරයක සොදුරු තැන් ස්පර්ශ කරන්නේ යැයි සිතමි.

වසන්තයේ අග හමුවෙමු සොදුරිය
ලවැලි තලාවක විපුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සද නැගෙනා හෝරාවේ

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට

අද ලියන්න යන ගීතය සමාජයේ එක පැත්තක දුක් ගැනවිල්ලක් ගැන කියවෙන ගීතයක් කිව්වොත් වඩා නිවැරදියි. ඒ ඇගලුම් කාර්මාන්තයේ නියුතු තරුණියන් සම්බන්ධව තිබෙන්නා වූ ඛේදාන්තය. ඔවුන්ගේ ජීවිත කොයි තරම් දුක් කම්කටොලු වලි පිරී ඇත්දැයි බාහිර සමාජය නොදන්නා තරම් වෙනවා. බන්දුල නානායක්කාරවසම් ගේ පද රචනයත් රෝහණ වීරසිංහයන්ගේ සංගීතයත් එක්ක හැදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහයන් විසිනුයි. මේ ගීතයේ කියැවෙන කතාන්දරයට අතිශය සාධාරණයක් සංගීතයෙන් කරල තියෙනවා කියන එකයි මගේ හැගීම. 

රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹෙ මුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසට
අරුණළු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට

පැන මඩ කඩිති වැව් තාවලු

සුනිල් එදිරිසිංහ විසින් ගායනා කරන පැන මඩ කඩිති වැව් තාවලු ගීතය තැනෙක ගුරු ගීතය ලෙසින් හදුන්වනු අසා ඇත්තෙමි. චිංගීස් ආයත්මාතව් විසින් රචිත රුසියානු නවකතාවක් වන ගුරු ගීතය මෙම ගීතයේ අර්ථය සමග කොරම් ගැලපේ දැයි සිතීම ඔබට බාරය. මහින්ද චන්ද්‍රසේකර විසින් රචිතව රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවූ මෙම ගීතය අපූර්ව වන්නේ මේ සියල්ල කරා සිත දිව යන නිසාවෙන්ම යැයි මට සිතේ.

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

මෙහි කතා නායකයා පැරණි ගුරුවරයෙකි. ඔහු ලමයෙකුව ඉන්නා කල ගුරුවරුන්ට ලැබූ සැලකිල්ලට වඩා අද ඔහු ලබන සැලකිලි වෙනස් වී ඇත. ඔහුද තම ශිෂ්‍යයන්ට සමාජයේ සැලකුම් ලබමින් උගතෙකු වියතෙකු වන ආකාරය කියා දී ඇත. ඔහුගෙන් උගත් සිසුවන් දැන්සමාජයේ ඉහල තැන් වලද ඇත. නමුත් ඔවුන් කිසිවෙකුත් තම ගුරුවරයා පිලිබඳ සොයා බලන්නේ හෝ මගතොට දැක කතා කරන්නේද නැත. පැරැණි වයසට ගිය ගුරුවරයා තවමත් පැරණි පාසලේම අවසන් කාලය උගන්වමින් සිටී. තව නොබෝ දිනකින් ඔහු විශ්‍රාම යනු ඇත. ඔහු ඉගැන්වූ පාසල කෙබඳුද? එහි දරුවනට උගන්වන්නට ඔහු දැක්වූ අපරිමේය වෙහෙස රචකයා ගෙනෙන්නේ පලමු පද පේලි දෙකකිනි. තෙවෙනි පෙල ලමුන් දැන් සිටින තැන පිලිබඳව ගුත්තිල කාව්‍ය ඇසුරින් ගෙනහැර් පායි. සිව්වන පෙල ගුරුවරයා තම අවසන් කාලය වන තුරුත් තම සේවය නොපිරිහෙලා ඉටුකරන බව කියාපායි.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි

ප්‍රේම කීර්ති ද අල්විස් නම් අසහාය ගීත රචකයා අතින් ලැයැවෙන අපූර්ව ගීතයක් ලෙස මෙම ගීතය හදන්වන්න පුළුවන්. දශක තුනක් පුරාවට කාගේත් මුවෙහි රැදුනු පද පෙලක් ඇති මෙම ගීතය සදහා සංගීතය සපයන්නේ හා ගායනා කරන්නේ මර්වින් පෙරේරා විසිනුයි. 

ලෝකය තුල ප්‍රේමය හදුනන අය නොමැත. ඒ මෙන්ම පෙම් නොකල අයද නොමැත්තේය. එයිනුදු පළමු ප්‍රේමයෙන් පරාජය වූ පෙම්වතුන් බහුලය. පලමු ප්‍රේමයම විවාහය තෙක් ගෙන ගොස් ඇති පෙම්වතුන් විරලය. මෙයද එවැනි සමාජ වෘතාන්තයකි. කාටත් මෙවැනි සිදුවීම් වී ඇති නිසා ප්‍රේමකීර්ති ද අල්විස් විසින් තට්ටු කරන්නේ සමාජයේ සිටන ඔබත් මමත් වැනි සමාජ බහුතරය ගේ සිතටය. එයම මෙම ගීතය සමාජය තුල පවතින්නට ජීවය දෙන්නේය.

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි 

පුන්සද රෑට ඇවිදින් හේනේ....

රන්න ශ්‍රී විජේසිංහයන් යනු අපූර්ව කළකරුවෙකි. ඔහු අතින් ලියැවුනු අපූර්ව ගීත අපතුල අදත් වින්දනයක් ඇති කරවන්නට මෙන්ම මතක සටහන් ඇති කරවන්නටද සමත් වන්නේය. නිර්මාණකරුවකු දක්‍ෂයෙකු වන්නට නම් ඔහුගේ නිර්මාණ කා අතරත් කතා බහට ලක්විය යුතුය. විදිය හැකි විය යුතුය. එලෙස ලියැවෙන කන්තාවක් හා ඇයගේ දුක් කනස්සල්ල පිළිබද ලැයැවෙන මේ ගීය සදහා වස්තූ බීජය වන්නට ඇත්තේ කුමක්දැයි මා නොදනිමි. නමුත් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ බොහෝමයක ඔහුගේ අත්දැකීම් තුලම වූ වස්තු බීජයක් තිබේ.

ගීතයේ සංගීතයද අපූර්වය. එය ගීතයේ අරුත අපූර්වට මවන්නට සලස්වනවා පමණක් නොව ගීතයේ සියුම් තැන තුල අප ජීවත් කරවන්නට පවා සමත්වනවා. කාන්තාවගේ දුක කනස්සල්ල හොදින් දැනනෙන ආකාරයෙන් නිර්මිත තනුව සංගීතවේදී ඔස්ටින් මුණසිංහයන්ගෙනි. නිරෝෂා විරාජිනී ගායනා කරන මෙම ගීතය මෙසේ යැයි මා සිතමි.

ගීතයේ කතාව ආරම්භවන්නේ හේන් ගොවිතැනෙන් ජීිතය රැකගන්නා ස්වාමියෙකු හා භාර්යාවකගෙනි. ගීතය තුල කතා නායිකාව වන්නේ ස්වාමියා පැල් රකින්නට ගිය පසු කාන්තාවගේ ඇතිවන සිතිවිලි හා බද්ධ වූ කනස්සල්ල මුසු වූ හැගීම් වලිනි.එහි ආරම්භය මෙසේය.

අහස් විලෙන්

බන්දුල නානායක්කාරවසම් විසින් පද රචනය කල රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවී සෝමතිලක ජයමහ විසින් ගායනා කරන්නා වූ අපූරු ගීතයක් මේ විදිහට අප අතරට එක්වෙනවා. මෙහි ආරම්භක සංගීතයෙන් ගීතයට ලබා දෙන්නා වූ සවිය ගැන කියනවාට ඩා එය ඇසීමම පුමාණවත් යැයි සිතමි.

අහස් විලෙන් හඳ පිටමන් වෙලා
රහස් හඬින් මගෙ දුක අහනවා
අඬන අහස පීරලා තරුද හඳම හොයනවා
මගේ රැයක අඳුර නිවෙනවා
 
අහස් ගඟ යනු අනෝතප්ත විලෙන් ගලා යන ජලයෙන් සැදි ගංගාවයි. නමුත් මෙහි සඳහන්වන අහස් විල යනු එය නොවේ යැයි මා සිත පවසයි. තරු පිරී ඇති රාත්‍රී අහස වේ ලෙස හඳුන්වා ඇති සේය. එහි තිබූ හඳ පිටමං වී ගොස් ඇත. එතැනින් ඉවත් වූ සඳ මා ලඟට විත් මගේ දුක් ගැනවිල්ල අසා සිටින්නේය. නමුත් සඳ අහිමි වූ අහස අඳුරු වලාවන් වලින් වැහිලා අඬමින් සේ දැනෙද්දී වලාකුළු අතරින් තරු සඳ සොයන්නට මෙන් එබී බලන්නෝය. නමුත් මෙලෙස සඳ මා වෙත පැමිණිම නිසාවෙන් මගේ රාත්‍රියේ අඳර නම් ගෙවී යන්නේය.

ප්‍රේමවන්තයෙකුගේ විරහ වේදනා මකන්නට එක් වූ නව ආදරවන්තියකගේ අස්වැසීමක් තනිවුන පෙම්වතාට දැනෙන ආකාරය මෙලෙස විස්තර වූවා විය යුතුය. 

ගැලුවාට ගඟක් බාදක හිරිහැර පෙලා
කවුරුන්ද ගියේ උල්පත කොයිදැයි සොයා
ගගුල සේ ඇදි සයුර හා වෙවී
ඈ ආදරේට නව අරුතක් සොයනවා

ගංගාවක් බාධක අතරින් ගලා යද්දී එහි ලස්සන විඳිනවා මිස කිසි කෙනෙක් ගංගාවේ මූලය එසේත් නැතිනම් උල්පත කොතනදැයි සොයන්නේ නැත. එමෙන්ම ඇයද බාධක අතරින් දුශ්කර වූ ගමනක් ලස්සනට මුහුද වෙත ගලායන්න උත්සාහ කරනවා. මේ විදිහට පැරණි දුක්බර වූ මාර්ගයෙන් තම පෙම්වතාව බේරගන්න ඇය දරන උත්සාහය කෙතරම්දැයි දැනෙන්නට පටන් ගෙන ඇත.

හැමුවාට සුලඟ මලේ සුවඳ පොද දරා
කිසිදාක මලක් දිව ගියේද තටු ලබා
සුළඟ සේ ඇදී සුවඳ ලොවට දී
මුලු ජීවිතේම ඈ සුළඟින් වහනවා

මල්වල සුවඳ අරගෙන සුලං හැමුවා වුනත් ඒ සුවඳ එක්ක මල් පියාඹල යනව දැකල නැහැ නේද? ඒ සුවඳ ඇදෙන්නා වගේ ඇය ලෝකයට සුවඳ දෙනවා. පෙම්වතාගේ මුලු ජීවිතයම ඒ සුවඳින් ඇයගේ ආදරයෙන් වසන්නට තරම් ඇය සමත්. 

හැරගිය පෙම්වතියගේ මතකයෙන් ඉවත්කරල අලුතින් තමා ආලය කරන පෙම්වතා වෙනුවෙන් පෙම්වතියකගේ කැප කිරීම, විරසක වූ පෙම්වතාගේ කැඩුණු බිඳුනු හිතට දැනෙන ආකාරය මෙලෙස අකුරු වුනා යැයි මට සිතේ. කෙසේ හෝ වේවා අපූර්ව සංගීතයකින් හැඩ වූ මෙම ගීතය අහල විඳල දකින්න යැයි මම ඔබට ආරාධනා කරනවා. 


අහස් විලෙන් හඳ පිටමන් වෙලා

සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට..

සෝමතිලක ජයමහ නම් සංගීතවේදියා අතින් ලියැවෙන මෙම ගීතය සඳහා තනුව යොදන්නේද ගායනා කරනනේද ඔහු විසින්මය. මේ ගීතය පසුපස ඇති කතාන්දරය වරක සෝමතිලක ජයමහ ශූරීන් විසින් පවසා ඇත.

ඔහු සංගීත අධ්‍යාපනය ලබමින් සිටි 1960 අගභාගයේදී ලියැවෙන මෙම ගීතය සඳහා පාදක වන්නේ ඔහු නැවතී සිටි නවාතැන අසල නිවසක නවාතැන් ගෙන සිටි විශ්ව විද්‍යාල ශිෂයාවන් පිරිසකි. දිනක් සවසක ඔහු නවාතැන වෙත පැමිණෙද්දී අඳුර වැටෙමින් කලුවර වන විට සෑම නිවසකම පාහේ කෙරෙන කාර්යයක් ඔහු දකිනවා. ඒ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවන් තම නේවාසිකාගාරයේ ජනෙල් වසා දමන ආකාරයයි. මෙය දකින ඔහුගේ සිත තුල "සැඳෑ අඳුර ලොව ගලන වෙලාවට.. කවුලු පියන්පත් වැසෙන වෙලාවට..." යන පද වැල නිතැතින්ම ඇතිවෙයි. එය පාදක කොට ගනිමින් එයට ප්‍රේමය හා විරහව එක් කර ගීතය රචනා වෙද්දී සෝමතිලක ජයමහ ශූරීන් ප්‍රේමවන්තයෙකු වී ද නොමැත්තේය.  1969 වසරේදී ගුවන් විදුලියේ මෙම ගීතය ගායනා කල අතර 197 වසරේදී රටපුරා පැවති භීෂණ වාතාවරණය සමඟ මෙය සෑම දිනකම පාහේ විකාශණය විය. කෙසේ හෝ වේවා මෙම ගීතයේ පද වලට අපූර්ව ආකාරයකින් යෙදුනු තනුව නිසාවෙන් සැඳෑ කාලයක සවන් දෙන්නට අපූරු ගීතයක් ලෙස බිහිව තිබේ.