මගේ ගමන් බිමන් එකසිය හයවන කොටස - තොටහ ඇල්ල

පහුගිය කාලයේ රාජකාරි නිසා කලුතර දිස්ත්‍රික්කයේ ඇවිදින්න අපූරු අවස්ථාවක් මට ලැබුනා. රාජකාරිය සඳහා යන අවස්ථාවලදී හමුවන විවිධ අපූරු ස්ථාන පිළිබඳ සටහන්, එහෙම නැතිනම් ඒ තැන නාමපුවරුවක පින්තූරයක් මම අරගෙන එන්නේ ඉඩහසර ලැබුණු අවස්ථාවන් වලදී ඒ තැන බලන්න යන්න හිතාගෙන. ඒ විදිහට පහුගිය කාලයේ ගිහිපු තැනක තිබුණු නාමපුවරුවක තිබුණ දිය ඇල්ලක් බලන්න තමයි මේ යන ගමන ලියැවෙන්නේ.
කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන තොටහ කියන ප්‍රදේශයේ තිබෙන කුඩා දිය ඇල්ලක්. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ එන කෙනෙක් නම් වැලිපැන්නෙන් එලියට ඇවිත් උතුම්ගම පාරෙන් වලල්ලාවිට හංදියට එන්න පුළුවන් එතැනින් අවිත්තාව පැත්තට ආවනම් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. කුරුඳුගහ හැතැප්මෙන් එලියට ආව නම් එතැනින් අවිත්තාවට ඇවිත් තොටහ ප්‍රදේශයට එන්න පුළුවන්. පැලවත්ත හෝ මීගහතැන්න ප්‍රදේශ වලිනුත් වලල්ලාවිට හංදියට එන්න පුළුවන්. මේ කොයි පාරෙන් හරි ඇවිත් ප්‍රධාන පාර අයිනේ වාහනය නවත්තලා මීටර 500ක් විතර පයින් තමයි දිය ඇල්ල ලඟට යන්න වෙන්නේ.දිය ඇල්ල ලඟට පාර අහනවා නම් දෙයියාගල ආරණ්‍ය සේනාසනය ලඟට කියල ඇහුවා නම් ලේසියෙන් පාර අහගන්නත් පුළුවන්. 
මත්පැන් හෝ සංගීත භාණ්ඩ අරගෙන නම් මේ දිය ඇල්ල බලන්න යන්න වෙන්නේ නැහැ. මොකද ආරණ්‍ය සේනාසනය කිට්ටුව තියෙන නිසා නීතියෙන් ශබ්ද කිරීම හා මත්පැන් භාවිතය නවත්තලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිය ඇල්ල මුදුණෙන් ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සෙලා බීමට ජලය ලබා ගන්න නිසා ඒ පැත්තේ නාන්න නම් දෙන්නේනෑ.
 
දෙයියාගල දොළ පාරෙන් පෝෂණය වන මේ දිය ඇල්ල කොටස් කීපයක් විදිහට තමයි ගලා හැලෙන්නේ. එහෙම එන දොළ පාර අවසන් වෙන්නේ බොන්තොට ගඟෙන්. වැහි කාලෙදි නම් අධික ජල ප්‍රමාණයක් ගලා හැලෙනවා වුනත් සාමාන්‍ය කාලයකදී නම් පොඩි ජල පාරවල් කීපයක් විතරයි තියෙන්නේ. වැසි කාලයකදී ආරණ්‍යයට යන පාරෙ තියෙන පාලම උඩ ඉඳන් දිය ඇල්ල නරඹන්න පුළුවන්. අනිත් කාල වලදී දිය ඇල්ල උඩ ඉඳන් පහලට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. 


අප්‍රසිද්ධියේ තියෙන මේ අපූර්ව දිය ඇල්ල බලන්න ඔයාලටත් ආරාධනා කරන්නේ ඒ තියෙන අපූර්වත්වය විනාශ කරන්න එපා කියන මතක් කිරීමත් එක්කමයි. ඒ විතරක් නෙවෙයි අවට ප්‍රදේශය ගැන අවබෝධයක් ගන්න තරම් කරුණු තියෙන නිසා තව කෙනෙක්ට බලන්න යන්න බැරිවෙන තැනට වැඩ සිදුකරන්නේ නැතිව ඔයාලගෙ ගමන සැලසුම් කරගන්න. 

No comments:

Post a Comment

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!

මූණු පොතෙන් අදහස් දක්වන්න!