මගේ ගමන් බිමන් එකසිය හතර කොටස - මාකෙළි ඇල්ල

බස්නාහිර පලාතේ කලුතර දිස්ත්‍රික්කයට අයත් වුන අපූරු දිය ඇල්ලකින් 2018 වර්ෂය ආරම්භ කරන්න හිතුවා. ඒ තමයි මාකෙළි ඇල්ල. මාකෙලි ඇල්ල බලන්න යන අයට මේ දිය ඇල්ලට ලඟාවෙන්න ක්‍රම කීපයක්ම තියෙනවා. බුලත්සිංහලට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එහෙම නැතිනම් ලත්පඳුරට ඇවිත් එතැනින් මෝල්කාවට එන්න පුළුවන්. එතැනින් කෙලින්කන්ද මාර්ගය දිගේ ආව නම් දිය ඇල්ල ලඟට එන්න පුළුවන්. තිරිවානකැටිය පැත්තේ ඉලඳන් එනවා නම් මහවැව පහු වෙනව එක්ක තියෙන කුකුලේගඟ පාලම පහුවෙලා ටිකදුරක් ගියාම කුකුලේගඟ ව්‍යාපෘතියට යන පාර හමුවෙනවා. ඒක දිගේ ගියාමත් දිය ඇල්ල ලඟට යන්න පුළුවන්.
පාරෙන් ටිකක් පහලට බහිදද්දී නැරඹුම් වේදිකාවක් තියෙනවා එතැන ඉඳන් බොහොම අපූරුවට දිය ඇල්ලේ සුන්දරත්වය විඳින්න පුළුවන්. එතැනින් පහලට බහින්න පුළුවන් කම තියෙනවා වුනත් වැසි කාලයේදී නම් දිය ඇල්ල පාමුලට යන එක ඒ තරම් නුවනට හුරු වැඩක් නෙවෙයි. දිය ඇල්ලේ නාන එක නම් කොහොමටවත් හොඳ වැඩක් නෙවෙයි. ඒකට හේතු වෙන්නේ ජීවිත 40කට ආසන්න ගණනන් මේ වෙද්දීත් දිය පහර විසින් බිලි ගෙන තිබීම.
කලු ගඟේ අතු ගංගංවක් වුන මාකෙළි ඔයෙන් පෝෂණය වෙන මාකෙළි ඇල්ල අපූර්ව සුන්දරත්වයක් මවන ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දිය ඇල්ලේ උස මීටර 10ක් විතර ඇති. මෙම දිය ඇල්ල දුර සිට බැලූ විට මනාලියකගේ වේලය පෙනෙන ආකාරයට දිස්වේ. දිය ඇල්ල අයිති වෙන්නේ පාලින්දනුවර ප්‍රාදේශිකයට. දිය ඇල්ලට නම් වැටී ඇති ආකාරයත් ඉතිහාස කතාවේ සදහන් වෙන්නේ මෙන්න මෙහෙම.

පස්දුන් කෝරළයේ පැරණි අගනුවර වෙන්නේ පාලින්ද නුවර. මේ ප්‍රදේශයේ තියෙන කඳු ගිරිදුර්ග නිසාවෙන් මේ ප්‍රදේශයට ස්වභාවික ආරක්‍ෂාවක් ලැබීම ඒකට හේතු වෙලා තියෙනවා. ඒ නිසාම මේ ප්‍රදේශය වීදියබණ්ඩාර කුමාරය සැඟවිලා ඉන්න භාවිතා කරල තියෙනවා. මේ කාලයේ කුමාරයා දිය ක්‍රීඩා කරන්න දිය ඇල්ලට ඇවිත් තියෙනවා. පසු කලෙක ඔහු මේක අගනුවර කරගෙන ඔහු දිය ක්‍රීඩා කල ස්ථානය "මා කෙළි ස්ථානය" යැයි හඳුන්වා දී තිබෙනවා. පසුව එම දිය ඇල්ල, මාකෙළි ඇල්ල ලෙස ව්‍යවහාරයට එකතු වුනා කියල තමයි කියවෙන්නේ. 
තව පින්තූර බලන්න මෙතැනින්....

අපූර්ව සුන්දරත්වයක් විඳින්න පුළුවන් දිය ඇල්ලක් බලන්න මාත් එක්ක එකතු වුුනේ කවදත් මගේ ගමන් සගයා වුන මහේෂ් අයියයි, අලුතින් ගමනට එකතුවුන සචින්ත මලයයි. මේ සුන්දරත්වය විඳින්න ඔයාලටත් ආරාධනය කරන ගමන් ඒ ඒ තැන විනාශ කරන්න එපා කියන ඉල්ලීමත් කරන්න කැමතියි. ආයෙම ගමනක් එක්ක එකතු වෙනතුරු ඔයාලට ආයුබෝවන්..

2 comments:

  1. මේ ලඟකදී කළුතර ප්‍රදේශයේ සංචාරයක් සඳහා යනවිට මෙම ස්ථානයට යන මාර්ගය නෙත ගැටුනත් එහියමට වෙලා මදිවුණා. එහි ඇති සුන්දරත්වය මෙලෙසින් හෝ දැක ගන්නට සැලැස්වීම පිලිබඳ ඔබට ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. යා යුකුම තැනක් අපූරු සුන්දරත්වයක් තියෙන්නේ

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!