තරූ.....

තරූ....... තරූ......
------------
අයියෝ.... ආයෙත් හීනයක්. උඹ අපිට නිදාගන්න දෙන්නේම නැද්ද තුෂාර. නුවන් ඇහුවේ තුෂාරගේ කෑගැහිල්ලට ඇහිරිලා නිදිමත අමතක වෙද්දියි. ඒත් එතැන අමනාපයක් නම් තිබුනේ නැහැ. ඒ තුෂාර හා තරුෂි ගැන නුවන් හොඳින්ම දැනන් හිටි නිසා.
දැන් ඕවා හිතන්නේ නැතුම නිදාගනින් මචං. නුවන් කිව්වේ හදවතින්මයි. ඒ තුෂාර ගැන තිබුන අනුකම්පාවට.

හ්ම්.. තුෂාර ආයෙත් ඇඳේ පෙරළුනේ එහෙම කියාගෙන. ඒත් නින්ද නම් තුෂාරගේ හිතේ තිබුනේ නැහැ. ඒ ආයෙත් හීන වල අතරමංවෙයි කියලා.

මීට අවුරුදු තුනකට හතරකට කලින් නුවන්, තුෂාර සහ කමල් තුන්දෙනා පරණ යාළුකම් අළුත් කරගත්තා. ඒ අළුත් ඉස්කෝලේ උසස් පෙලට එකම පන්තියට ආව නිසා. තරුෂි, පන්තියේ හිටපු ලස්සනම නිහඬම ගැහැණු ලමයා. කවුරුත් ට්‍රයි කලේ තරුෂි තමන්ගේ කරගන්න. ඒත් තරුෂිගේ හිත ඇදුනේ තුෂාරට. ඒකත් දෛවෝපගත සිදුවීමක් වගේ. තරුෂි බොහෝම ලස්සන කෙල්ලෙක් වුනත් පන්තියේ කියන්න තරම් තැනක් තුෂාරට තිබුනේ නැහැ. ඒත් තුෂාරගේ හිතේත් තරුෂි ගැනත් නොතිබුනාම නෙවෙයි.

තුෂාර කියන්නේ ගමේ ඉස්කෝලේ මහත්තයාගේ පුතා. ඒත් තරුෂි? හ්ම්.... කවුරුත් කිව්වේ එහෙමයි.

අඩේ බං තුෂාර අර බලපන්. අරකි උඹට ලයින්ද කොහෙද? බලපන්කෝ ටිකක්.. නුවන් කිව්වේ තරුෂි නුවන් දිහා බලන විදිහ දැකලා. ඒත් තුෂාර නිතරම කිව්වේ ඒකි කොහෙද අපි කොහෙද බන්. හඳ දිහා බලපන් ඒත් අල්ලන්න යන්න එපා. කරන්න බැහැ කියලයි. ඒත් අන්තිමට තුෂාරටත් නොදැනීම තරුෂි තුෂාරගේ හිතේ ඉඩ ඔක්කෝම අත්පත් කරගෙන.
හිතත් මහ පුදුමයි නේද තරු. තුෂාර කිව්වේ කැන්ටිමේදි කෑම කන ගමන්.

ඇයි තුෂාර එහෙම කියන්නේ?

මම ඔයාට ලංවෙන්නේ නෑ කියල හිතුවත් මටම හොරා මගේ හිත ඔයාට ලංවෙලා.

ඇයි ඔයා මට ආදරේ නැද්ද තුෂාර? ඔයා අකමැතිද මාත් එක්ක ඉන්න?

අනේ නැහැ තරූ මම ඔයාට ආදරෙයි. ඒත් අපිට කවදාවත් එකතු වෙන්න බැහැ. ඒ වගේම මට කවදාවත් ඔයා විඳින සැප සම්පත් දෙන්න පුළුවන් කමක් නැහැ.
 
නුවන් ඒක කිව්වේ බොහෝම හැඟුම්බරව වෙනමම කල්පනාවක ඉඳන්. ඒ නිසා දෙන්නාම විනාඩි කීපයකට ගොළු වෙලා ගියේ වෙනමම ලෝක වල.

මම එයාට ආදරේ කලේ ඔයාගෙන් සැප සම්පත් බලාගෙන නෙවෙයි තුෂාර. මම කවදාවත් හිතුවේ නෑ ඔයා එහෙම කියයි කියලා.

ආයෙත් මතකයන් අතර තනිවෙච්චි තුෂාරගේ හිත එකම වචන පෙලක නතර වුනා.

මම කවදාවත්ම ඔයා අමතක කරල යන්නේ නෑ තුෂාර. සත්තයි...!

දැන් තරුෂි තමාගෙන් වෙන්වෙලා කියල හිතාගන්නත් බැරුව හීන වල අතරමං වෙච්චි තුෂාරට හංදියේ කඩේ පාන්දරම අරින සද්දේ ඇහුනාම තමා හිතුනේ නිදාගන්න ඕන කියලා.

***********************

අඩෝ... නැගිටපාන්..... වැඩට යන්නේ නැද්ද?

නුවන්ගේ කෑ ගැහිල්ලට ගැස්සිලා ඇහැරුනු තුෂාරට එතකොටයි මතක් වුනේ තමා ආයතන ප්‍රධානියෙක් වගේම ආදර්ශමත් නිලධාරියෙක් කියන එක. තරුෂිගේ සමුගැනීමත් එක්ක තමන් වෙනමම පැත්තකට ආව විතරක් නෙවෙයි සාර්ථක නිලධාරියෙකුත් වෙලා. ඒ පරිගණක මෘදුකාංග ශිල්පියෙක් විදිහට. ජීවිතය තනියම ගෙවනවා කියන තීරණය එක්ක තමාගේ දෙමාපියන් රැක බලාගෙන ජීවත් වෙන්න තුෂාර හිත හදාගත්තේ බොහෝම අමාරුවෙන්. ඒත් දැන් ඒ දේ සාමාන්‍ය වුනත් හැමදාම දකින හීන නම් තුෂාරට නිදහසක් දුන්නේ නැහැ.


තුෂාරගේ කතාවේ ඊලඟ කොටස පස්සේ දවසක ලියන්නම්....


මගේ ගමන් බිමන් හතලිස් නමවන කොටස - මුල්කිරිගල

 මුල්කිරිගල කියන්නේ රජමහා විහාරයක්. ඒ විතරක්ම නෙවෙයි ගුහා සංකීර්ණයකින් හෙබි තැනක්. මෙතැනට යන්න නම් බෙලිඅත්ත - වීරකැටිය පාරේ ඇවිත් මුල්කිරිගල හංදියෙන් හැරිල කිලෝමීටර 2ක් විතර යන්න ඕන. සාමාන්‍ය පොලව මට්ටමේ ඉඳන් අඩි 678ක් විතර උසක් තියෙන විශාල ගලක තමා මේ විහාර සංකීර්ණය පිහිටුවලා තියෙන්නේ. මේක පේන විදිහ නිසාවෙන් මේකට පුංචි සීගිරිය කියලත් කියනවා. අද මුල්කිරිගල කියන නමෙන් ව්‍යවහාරයේ තිබුනත් කලින් මේකට ගොඩක් නම් කියල තියෙනවා. ඒ සමුද්ද පබ්බත, මුහන්ද්‍ර ගිරි, මුහුදු ගිර, ගිරිබා වෙහෙර, ගිරිබ ලෙණ, දක්ඛින පබ්බත, දක්ඛින ගිර, මුවතිරිගල, මුකිරිගල්ල, මුල්ලගිරිය විදිහට.
විශාල ගලේ තට්ටු පහක ලෙන් විහාර 7ක් විතර දකින්න පුළුවන්. තවද කටාරම් කෙටූ ලෙන් 11ක්ද දකින්න පුළුවන්. මෙහි තට්ටු පහල ඉඳන් ගත්තාම පහත මළුව, බෝධි මළුව, රජමහා විහාර මළුව, උඩ බෝධි මළුව හා චෛත්‍ය මළුව විදිහට නම් කරන්න පුළුවන්. විශාල ගලේ පිහිටවපු ගල් පඩිපෙල දිගේ තමා මේ කියන උඩ මළුවට වෙනකම්ම යන්න තියෙන්නේ.

අපූරු අහස වැඩසටහන

අහස, තරු, ග්‍රහලෝක අතර තිබෙන දේවල් මොනවාද? මේක අපිට හැමදාම ගැටළුවක් වුනා. ඒත් පුංචි කාලේ තරු රටා, වල්ගා තරු, හඳ අපි බොහෝම ආසාවෙන් බලපු දේවල්. අපි බොහෝම ආසාවෙන් හිටියා ඒවා බලන්න. ඒ විතරක් නෙවේ නිවි නිවි පත්තුවෙන තරු, ඇවිදින තරු බලන්න අපි මෙනෙ තරම් ආස කලාද? මේ දේවල් මොනවාද කියල කියලා දෙන්න පහ වසරේ ශිෂ්‍යත්වය විශය නිර්දේශයේ අහස ගැන පාඩමක් ඇතුලත් කරලා තියෙන්නේ ඒ නිසාම වෙන්න ඇති. මේ විශය කරුනු ඉගැන්වීම සඳහා අපි වැඩසටහනක් යෝජනා කරලා ක්‍රියාවට නංවන්න කටයුතු කලා. ඒ අපූරු අහස වැඩසටහන මගින්. ඒකෙදී අපි දරුවන්ව හැමදාම කොටුවෙලා ඉන්න පුංචි පන්ති කාමර වලින් අරන් එලිමහනක තමයි වැඩසටහන කරන්න කටයුතු සකස් කලේ. සතුට විනෝදය එක්ක ගෙවුන ඒ වැඩසටහන නම් ඇත්තෙන්ම අපූරු වැඩසටහනක්.
2013 පූනි මාසෙ 27 වැනිදා සවස 3.30ට අපි අම්පාර පාදාගොඩ විද්‍යාලයයට එක්රැස් වුනේ මේ අපූරු වැඩසටහන කරගෙන යන්න හිතාගෙන. ඒ  අම්පාර වැව්සිරිගම විද්‍යාලයයේ ගුරුවරයෙකු වන ඩී. එම්. සෙනෙවිරත්න මහත්මාගේ මෙහෙයවීම යටතේ වැව්සිරිගම, පාදාගොඩ හා දේවාලහිඳ යන පාසල් වල 5 ශ්‍රේණියේ ලමුන් එක්රැස් කරගනිමින්. මේ සඳහා විශේෂ ආරාධනාවකින් තාරකා විද්‍යාඥ දයාසිරි පෙරේරා මහත්මා ගෙන්වා ගැනීමට හැකිවීම අප ලද විශාල භාග්‍යයක් වුනා. එතුමා වැඩසටහනේ අරමුණු පැහැදිලි කිරීමත්, අපට දුරේක්‍ෂ හා තාක්‍ෂණික සහාය ලබා දුන්න ආධුනික තාරකා විද්‍යාඥ අම්පාර පොලීසියේ කොස්තාපල් අනුර බන්ඩාර මහත්මාගේ දැනහැඳුනුම් කම යන කරුණු නිසාවෙන් අප සමඟ බොහෝම කැමැත්තෙන් එකතු වුනා. මෙහිදී අනුර බණ්ඩාර මහත්මා කල සේවය ඉතා අගය කල යුතු වෙනවා.

අවධානය පිණිසයි...!

එල්ලවන්නා වූ කම්කටොළු මධ්‍යයේ උපාධිය ගන්නට දරන වෙහෙස මගහරින්නට දේශපාලනය, කඩුපොලු අතට නොගත් සිසු පරපුරක් වෙනුවෙන් ලියැවෙන මේ ලිපිය මතුවටත් නොලියවන්නට කටයුතු සිදුවේවා..!

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල කියන්නේ ගැටලු පිරුණු තැනක් විදිහටයි ප්‍රසිද්ධ වන්නේ. ඒත් ඒ අතරේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයාට හිමිවන තැනත් විනාශයට පත්වෙලා තියෙනවා. උපාධිය වෙනුවෙන් සටන් කරන සිසුන් අවසානයේ සමාජය විසින් මැරයන් විදිහට හඳුන්වන්නේ ඒ ඔවුන් වෙත ලබාදෙන්නා වූ අධ්‍යාපනය නිසාවෙන්ම නොවේදැයි සිතමි. අප රට දේශපාලකයින් හා සමාජය දත් පරිද්ද එසේ වුවද විශ්ව විද්‍යාල කීපයක් පොදුවේ ගත්කල අනෙක්වාට වඩා කතාබහෙන් අඩුව තිබේ. එයට හේතුව ලෙස දක්නට ලැබෙන්නේ රජය වෙත ගැටළු ඉදිරිපත් නොකිරීමයි. එසේ නැතිනම් ගැටළු ඇති නොවීමයි. (පිරිස් ඇති තැන ගැටළු ඇති නොවී තිබෙන්නේ කෙසේදැයි සිතමි) උසස් අධ්‍යාපන අමාත්‍ය ගරු එස්. බී. දිසානායක මහත්මා පවසන පරිදිද එසේමය. නමුදු අප විශ්ව විද්‍යාලයය, ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයය දැනට මාස තුනකට ආසන්න කාලයක් වසා දමා ඇත්තේ ඇයිදැයි කියාද එතුමා නොදන්නා බව සත්‍යයක් විය හැක.

අප දෙවන වසර අවසන් විභාගය අවසන් කර සති දෙකකට නියමිත නිවාඩුව ලද්දේ මාර්තු 27 වනදා සිට අප්‍රේල් 22 වනදක්වා යන නිල නොලත් ආරංචි මගිනි. (නිවාඩු දෙන දිනයේදී නැවත ආරම්භ වන දිනය ගැන කීමට තරම්වත් අප විශ්ව විද්‍යාල පාලකමණ්ඩලයට නොහැකි නිසාවෙන්) එය මැයි 6වනදා දක්වාත් එතැනින් මැයි 22 දක්වාත් පසුව ජුනි 10 දක්වාත් කල් දැමුවේ ඇයි දැයි විශ්ව විද්‍යාල සිසුනට ගැටලුවකි. නේවාසිකයින් වෙනුවෙන් ඉදිවන ගොඩනැගිලි නිසා එසේ සිදුකලා යැයි කීවද එම ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමට නියමිත වූයේ මීට සය මසකට පෙරාතුවයි. නමුත් ජුනි 8වන දින දක්වා තීරනය වෙනස් නොවූ අතර නැවත නැවත ලබාදුන් දුරකථන ඇමතුම් වලටද ප්‍රතිචාරය වූයේ ජුනි 10 ලෙසයි. නමුදු සිසුන් පැමිණෙද්දී එය කාටත් හොරා ජුනි 24 දක්වා කල් දමා අවසන්ය. පීඨාධිපතිනයටත් හොරා අත්තනෝමතික ලෙස ස්වයං තීරණ ගැනීමට තරම් විශ්ව විද්‍යාල පාලකයින්ගේ බලතල ප්‍රයෝජනයට ගැනීම නින්දා සහගතය. තම බඩු බාහිරාදිය රැගෙන දුර බැහැරින් පැමිණි සිසුන් නැවතත් ගම්රට බලා යන්නේ තම දුප්පත් දෙමාපියන්ගේ මුදල් කිසිදු වටිනාකමකින් තොරව විනාශ කරමිනි.

තවද අප විශ්ව විද්‍යාලයට (අනෙක්වායේ මෙසේමදැයි නොදනිමි) නවක සිසුන් පිලිගැනිමට පවා දෙවන වසර සිසුන් නොමැති වූ අතර විශ්ව විද්‍යාලයය මගින් පිලිගැනීමේ සැරසිලි සිසුන් වෙත බාර දී තිබුණි. නමුදු උත්සවය සඳහා සිංහල චාරිත්‍රානුකූල පොල්තෙන් පහණ දල්වා ආගමික කටයුතු සිදුකිරීමටවත් නොදීමට තරම් අකාරුණික වූ ඔවුහු සිසුන්ට සලකන්නේ සේවකයින් ලෙස දැයි සිතේ. පාලකයින් විසින් සිසුන්ට අධ්‍යාපනය පමණක් නොවේ අන් සියල්ල එපාකරවමින් දේශපාලනය කඩු පොලු ආදිය අතට ගන්නට සලස්වන්නේ මේ ලෙස යැයි සිතමු. අධ්‍යාපනය අවිය කරගන්නට සිතූ සිසුන් වෙනුවෙන් මෙලෙස සිදු කරද්දී පැමිණෙන මුලාකාරී දේශපාලන අදහස් ඇත්තවුන් සිසුන්ව ඔවුන්ගේ ඉත්තන් කරගන්නේ ශිෂ්‍ය හැඟීම් අවි බවට පත්කරගනිමිනි. අවසානයේ උපාධි අපේක්‍ෂක තරුණ තරුණියන් වෙනුවට අවිගත්තවුන් පිරිසක් බිහිකිරීමට තරම් අප රට උසස් අධ්‍යාපනය සමත් කම් ලබා ගනී. කතාබහට ලක්නොවන්නා වූ විශ්ව විද්‍යාලයක් පවා කතාබහට ලක්වන්නා වූ විශ්ව විද්‍යාල වලට පවා පසුපසින් අධ්‍යයන කටයුතු වලින් සිටින්නේ මන්දැයි නොදනිමු. අවසානයේ සිසුන් මරවමින් මාස හයක අධ්‍යයන පාඨමාලාව මාස තුනකින් හතරකින් නිමා කරන්නට තැත් කරන්නේ පාලකයින්ගේ විලි වසාගන්නට ශිෂ්‍ය මනස විකෘති කරවමිනි.

කෙසේ වෙතත් කිව හැකි තවත් කරුණු කාරණා සඟවමින් ලිපිය අවසානයේ මේසේ සඳහන් කරමි. රජයේ උසස් අධ්‍යාපනය ලබන දුප්පත් දෙමාපියන්ගේ දරුවන් විශ්ව විද්‍යාල තුලම වයසට යද්දී සල්ලිකාරයින්ගේ නූගතුන් උපාධිගෙන රුකියාවල නියුතු වෙති. ලංකාවේ අධ්‍යාපනය මගින් නූගතුන් බිහිකරමින් දැනුම පිරි නව අදහස් ඇත්තවුන් කුඹුරු, පතල් හා අනුන්ට කඹුරමින් දෙමාපියන් හා පවුල ජීවත් කරවීමට ඇද දමා මතු පරපුර වෙනුවෙන් බිහිකරන්නට හදන්නා වූ ශ්‍රී ලංකාව ආශ්චර්යමත් රටක් වනු නොඅනුමානය.

පාලකයිගේ අවධානයට මතු දිනයක වත් යොමුවේවා...! කරත්වා...!

මගේ ගමන් බිමන් හතලිස් අටවන කොටස - උග්ගල් අලුත්නුවර දේවාලය

සබරගමුව පලාතේ ඉමුල්පේ ප්‍රාදේශිකයට අයිතිවෙන මේ දේවාලය උග්ගල් අලුත්නුවර දේවාලය විදිහටත් බලංගොඩ අලුත්නුවර දේවාලය විදිහටත් ව්‍යවහාරයේ තියෙනවා. අතීතයේ මැදගම දේවාලය කියලත් හඳුන්වලා තියෙන්නේ මේ දේවාලයමයි කියලයි කියන්නේ. මගේ ගමන් බිමන් ලිපි පෙලේ එන ඇඳිරිලෙණ කියන තැන බලන්න ගියාම මෙතැන ගැන දැනගන්න ලැබුණේ. කොහොම වුනත් මෙතැන කතරගම දෙවිඳුන් ජීවමානව වැඩඉන්න තැනක් කියලත් විශ්වාසයක් තියෙනවා. බලංගොඩ - බණ්ඩාරවෙල පාරේ කිලෝමීටර 10ක් විතර ගියාම අලුත්නුවර දේවාලයට යන්න නාම පුවරුවක් දාලා තියෙනවා. එතැනින් හැරිල කිලෝමීටර භාගයක් විතර ගියාම දේවාල භූමියට යන්න පුළුවන්.
දේවාලය ගැන විවිධ කතාන්දර තියෙනවා. එහි පුරාණ කැටයම් බාල්ක, උළුවස්ස, පුරාණ සඳකඩ පහණ, පුරාණ ලිඳ හා ඒ අවට තහඩු වල කැටයම් ආදී දේවල් තියෙන බව දැනගන්න ලැබුණත් අපිගිය දවසේ දේවාලය වහලයි තිබුණේ. කොහොම වුනත් පැරණි බෝ ගස, කොස් ගස නම් දකින්න පුළුවක් වුනා. මේකේ පෙරහැර මංලල්‍යයක්ද කෙරෙනවා කියලයි කියන්නේ. ලංකාවේ අනිත් තැන් වලට වඩා විශේෂ විදිහටයි ඒ දේ සිදුවෙනවා කියන්නේ. එකක් තමා පෙරහැර නවාතැන් ගන්නා ස්ථාන දෙකක් තිබීම. විශේෂිත කල