අපේ උරුමයන් අපට අයිති නැද්ද?


මම මේ කියන්න යන්නේ ඉතා කණගාටුදායක මට වුන කතාවක්. මම පසුගිය දවසක (2012/09/13) ගියා සීගිරිය බලන්න. ඒ මගේ හුඟ කාලයක චාරිකා සංවිධාන ප්‍රතිඵලයක් විදිහට. මමත් එක්ක තව යාළුවන් තුන්දෙනෙක් මේ ගමනට සහභාගී වුනා. ඒ ගමන ගැන විස්තර වෙනනමම ලිපියක් විදිහට දෙන්නම්. ඒත් එහි ඇති කෞතුකාගාරය බලද්දී එය බලන්න තවත් කීප දෙනෙක් ආවා. ඒ පොදු රාජ්‍ය මණ්ඩල මන්ත්‍රී මණ්ඩලය හා පිරිසයි.

අපි කෞතුකාගාරය ඇතුලට යද්දීම කැමරා හා දුරකථන විසන්ධි කරන්න. ඇතුලේදී ඡායාරූප ගැනීම තහනම් යැයි කෑගැසීමක් ඇහුනේ කෞතුකාතාර ආරක්‍ෂකයින්ගෙන්. ඒත් අපි ඒය ඇතුලේ ඉන්න විට පැමිණි පොලිස් නිලධාරීන් හා විදේශික නිලධාරීන් ඇතුලු ඒ සමඟ ආ පිරිසට නම් ඒ නීතිය වලංගු බවක් පෙනුනේ නැහැ. ඒ වන විට ඇතුලත සිටි මා සඳහා නීතිය පෙන්වා දුන් පුද්ගලයා පවා මගේ මුහුණ දෙස බලමින් ඉවත්ව ගියේ කල යුත්ත කුමක්දැයි වටහාගත නොහැකිවූ නිසාමදැයි සැක සිතෙන්නට සලසවමිනි.

කෙසේ වෙතත් ලෝක උරුමයක් වුන මෙය ගැන දැන් විවිධ මත පලවෙතත් රාවණ හෝ කාශ්‍යප රජුගේ නිර්මාණයක් වුවත් මෙහි සැබෑ උරුමක්කාරයා හෙළයා නොවේද? නමුත් දුරබැහැරින් අපේ උරුමයන් දකින්නට එන අපට මේවායේ ඡායාරෑපයක්වත් සිහිවටන ලෙස ගෙනයාමට නොදී අපගේ රටේ වන හැමදේටම ඇඟිලි ගසා අවුල් කරන පරදේසක්කාරයින්ට විශේෂ අයුරින් සැලකීම අප රටට කරන අසාධාරණයක් නොවේද? හැකියාවත් ඇති අයෙකු වේ නම් මේ පිළිබඳ නිසි බලධාරීන් දැනුවත් කොට අපගේ සිංහල සාමාන්‍ය ජනතාව සඳහාද සමාන ලෙස සැලකීමට කටයුතු සලස්වාදීම සඳහා උපකාරීවන ලෙස ඉල්ලා සිටිමි.

මගේ ගමන් බිමන් දහතුන්වන කොටස - නෑල්ල රජමහා විහාරය

මේ කියන්න හදන්නේ අපේ තවත් ඓතිහාසික ස්ථානයක් වුන නෑල්ල රජමහා විහාරය ගැන. මෙතැනත් මෑතකදී පුරාවිද්‍යා ආයතනය විසින් සොයාගත් ස්ථානයක්. කලින් ලිපියක කියැවුන විදිහටම මේ අපේ රටේ නැගෙනහිර ප්‍රදේශය කියන්නේ මායා රට. ඒ වාගේම මෙහි සිටි සද්ධාතිස්ස නම් ප්‍රාදේශීය රජු තමයි පාලකයා වුනේ සහ දුටුගැමුණු රජු සඳහා විවිධාකාරයෙන් සහයෝගය දුන්නේ. මේ නෑල්ල විහාරය හා ඒ අවට නිර්මාණයන්ගේ ගෞරවය හිමිවෙන්නේ මේ කියන සද්ධාතිස්ස රජුට.

මුලින්ම කියන්නම් මෙතැනට ලඟාවෙන්නේ කොහොමද කියල. ඒ තමා අම්පාරේ ඉඳන් මහඔය දිශාවට කිලෝමීටර 10ක් විතර ගියාම උහන නගරයට ලඟාවෙනවා. එතැනින් හිමිදුරාව දෙසට ඇවිත් කහටගස්යාය නම් ගම්මානය දෙසට යද්දී නෑල්ල නම් ප්‍රදේශය දකින්න පුළුවන්. එතැන පුරාවිද්‍යා ආයතනයෙන් දාපු නාමපුවරුව දකින්න පුළුවන්. එතැනින් හැරිල කිලෝමීටර 2ක් විතර ගියාම නෑල්ල නටඹුන් සහිත ප්‍රදේශයටත් හැරෙන්නේ නැතිව කිලෝමීටර 2ක් විතර ගියාම පබ්බතගිරිය රජමහා විහාරයටත් ලඟාවෙන්න පුළුවන්. නෑල්ල නටඹුන් ප්‍රදේශයට යන්න නම් ලොකු වාහනයකින් අමාරුයි. ඒක් ජීප් එකක් වගේ නම් යන්න පුළුවන්.

අපි මුලින්ම ගියේ නටඹුන් තියෙන පැත්තට. යද්දී ඇද හැළුනු වර්ශාව අපේ ගමන නවත්තන්න උත්සාහ කලා වගෙයි අපට දැනුනේ. ඒ අතරේ අපි පොලිස් මුරපොලට වෙලා එහි සිටි ග්‍රාමාරක්‍ෂක සෙබළුන් දෙදෙනෙක් සමඟ කතාවට වැටුනේ වර්ශාව අවසන් වෙනකන්. අපිව ටිකක් ප්‍රමාද කල වර්ශාව අවසන් වෙන පොද වැස්සේම අපි පිටත් වෙද්දී ග්‍රාමාරක්‍ෂක සෙබලෙක් අප වෙනුවෙන් මඟ පෙන්වන්න ඉදිරිපත් වුනා. ඔවුන්ගෙන් දැනගත් පරිදි මේ තැන නිදන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වෙලා වාගේම විවිධාකාර උසස් තරාතිරම් වල මිනිසුන් තවමත් මේ ප්‍රදේශයට ඇහැගහගෙන ඉන්නවා. ගමේ වැඩිහිටියන් දන්නා පරිදි මීට අවුරුදු 150ක් 200ක් කාලයේදීත් මේ පන්සල හොඳින් තිබී ඇතත් ඊට පසුව තමා මේ දේවල් වල විනාශය ඇරඹිලා තියෙන්නේ. තවමත් ඉතිරිවුන ප්‍රදේශය පුරා විසිරුණු ගල්කණුත් චෛත්‍ය, විහාරය හා දේවාල නටඹුන් වලිනුත් මේ ප්‍රදේශයේ පෞඩ අතීතය පිළිබඳ සක්‍ෂි ලැබෙනවා. තවද ස්වාමීන් වහන්සේලා භාවනා කල ගල් ගුහා දකින්නත් පුළුවන්. එය තුල විවිධාකාරයේ වැලි චිත්‍රත් ගුහා ගර්භය තුලට වැසි ජලය කාන්දු නොවසේ සකස්කල කටාරම නම් නිර්මාණය අපේ හෙළ නිර්මාණ කරුවාගේ දක්‍ෂතාව මැනෙවින් පෙන්නුම් කෙරෙන දෙයක්. තවද මෙහි ඇති ගල් පඩිපෙළ වලද පැත්තකින් කාණුවක් නිර්මාණය කර ඇතිතේද මේ වැසි වතුර ගලායාමේ කාර්යය සිදු කිරීමටය. තවද මෙහි ඇති සෙල්ලිපිය කියවීමට ඉතා අපහසු යැයි විවිධ සෙල්ලිපි විශේෂඥයින් කියා ඇති අතර පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්‍ද ස්වාමීන් වහන්සේ පවසන අන්දමට මේ ලිපායේ කාල නිර්ණයක් කිව නොහැක. එමෙන්ම මෙහි සමහර අකුරු මෑත සිංහල අකුරු වලට සමානතාවයක් දක්වන බවයි කියවෙන්නේ. ඒ වාගේම තමා මේ නෑල්ල කියන්නේ භික්‍ෂුන් දිය නෑ ස්ථානයක් කියලත් කියනවා. මෙහි දිය ඇල්ල තිබූ පැත්ත සීතල ජලය ගලා ආ අතර අනෙක් පසින් සාමාන්‍ය රස්නයෙන් යුත් ජලය ගලා ආ බව කියවෙනවා. පසුව මේ දෙක එක්ව ගලා ගිය බවයි කියවෙන්නේ.

තවද මුත්‍රා කිරීම සඳහා සිදුරක් සෑදු මුත්‍රාපෝච්චි දකින්න පුළුවන් වාගේම ඒ සිදුරු නල පද්ධතියක් මගින් ඈතට ගෙනයනවා. ගුහා ආසන්නයේ ඇති කුටි වෙන්කල බිත්ති මැදින් ගල්කණු යොදමින් සකස් කල අඩි දෙකක් පමණ ගනකමින් යුත්තයි. අද වන විට වනසතුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති මේ නටඹුන් පුරා විද්‍යා අමාත්‍යාංශය විසින් තවමත් වර්ගීකරණය කරල අවසන් නැහැ. තාවකාලික ලෙස මේ ප්‍රදේශයේ කැනීම් කටයුතු නවතා තියෙන්නේ අප දීඝවාපී විහාරය ලෙස ව්‍යවහාර කරන එකල නඛා වෙහෙර ලෙසින් ප්‍රචලිත විහාරයේ කැනීම් කටයුතු ඉක්මන් කිරීම සඳහායි. එතැනින් අපි ගියේ තවත් අප්‍රකට විහාරයක් වුන පුෂ්පාරාම රජමහා විහාරය සොයාගෙන. එතැන සිටි පූජ්‍ය බලංගොඩ මහින්ද ස්ථවිරයානන් වහන්සේ අප කවුදැයි හැඳින්වූ විට මේ පිළිබඳ පුරාතන විස්තර රැසක් සපයමින් අපට උදව් කරන්න ඉදිරිපත් වුනා. මේ විහාරය අවට ප්‍රදේශය විහාර 5කින් යුක්තයි. ඒ පුෂ්පාරාම රජමහා විහාරය, පබ්බත ගිරි රජමහා විහාරය, මඩාන විහාරය, බුලත්වත්ත විහාරය හා නෑල්ල රජමහා විහාරය විදිහටයි. මේ සියල්ල ඉතිහාසයේ දිඝා වැව (දිගින් වැඩි පළලින් අඩු වැව) ලෙසත් අද මහකණ්ඩිය වැව ලෙසත් ප්‍රසිද්ධ වැව හා සම්බන්ධ වුන විහාර ලෙස දක්වන්න පුළුවන්. තවද අද නාමල් ඔය ලෙස හැඳින්වෙන්නේ මේ අවටම ඇති කුඩා කණ්ඩිය ජලාශයයි. මෙහි තමා සත්‍ය දීඝවාපී විහාරය ඇතැයි සලකන්නේ.

ඉතිහාස සාක්‍ෂ අනුව දීඝවාපී චෛත්‍ය තිබිය යුත්තේ දිඝා වැව අසල පබ්බත ගිර හෙවත් කඳුවැටිය පාමුලයි. නමුත් අප දැන් වන්දනා කරන්නා වූ නඛා වෙහෙර අසල එවන් කඳු ප්‍රදේශයක් නම් දක්නට නැහැ. එනිසා වෙනුත් එය නඛා වෙහෙර බවත් මෙහි අවට දීඝවාපී වෙහෙර ඇති බවත් විශ්වාස කරන්න පුළුවන්. මේ සියළු විහාරය ඇත්තේ එදා ජම්බුත්තිමලේ ලෙසිනි හැඳින්වූ කඳුවැටිය පාමුලයි. මේ සියල්ල පිහිටි ආකාරය ඇති සිතියම බලද්දී මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්. තවමත් විශාල වැසි කාලයකදී මේ කුඩා වැව් හා පහත් ප්‍රදේශ යා කරමින් දිඝා වැව සම්පූර්ණ වන බැව් අපට දකින්න පුළුවන්.


ජම්බුත්තිමලේ ලෙසින් හැඳින්වූ කඳුවැටිය තරණය කර විස්තර ලබාගන්න තරම් කාලවේලාවක් ඉතිරිවෙලා තිබුණේ නැති නිසාවෙන් එය තවත් ගවේශණ චාරිකාවක් වේවා යන ප්‍රාර්ථනය හිතැතිව අපි ආපසු හැරුණේ නවාතැන එනන. ඒ පිළිබඳ විස්තරය තවත් ලිපියක් විදිහට ගෙන එන්න බලාපොරොත්තු ඇතිව මේ ලිපියෙන් සමුගන්නම්. මේ පිළිබඳ දන්නා තවත් විස්තරත් ඔයාලට මේ දේවල් ගැන දැනෙන අදහසුත් තියේ නම් හිතේ තියාන ඉන්නේ නැතුව කොටල දාන්න මේ පහල තියෙන ඉඩකඩේ කොමෙන්ටුවක් විදිහට. ජයවේවා!

නෑල්ල ගැන දෙවන කොටස..


ගමන් බිමන් වල දොලොස්වන කොටසට......

මගේ ගමන් බිමන් දොලොස්වන කොටස - ඔවාගිරිය රජමහා විහාරය - අම්පාර

අද මම කතාකරන්න හදන්නේ තවත් අපේ ඓතිහාසික සිද්ධස්ථානයක් වෙන ඔවාගිරිය රජමහා විහාරය ගැන. මේ විහාරස්ථානය නම් මෑත කාලීනව සෑදූ එකක් වුනත් එහි ඇති නටබුන් සහිත කොටස කිස්තු පූර්ව 2 සියවසත් 3වන සියවසත් අතරට යනව කියලයි කියන්නේ. ප්‍රදේශයේ ප්‍රමාණය විදිහට පුරා විද්‍යා අමාත්‍යාංශය පවසන්නේ අක්කර 200ක් කියලයි. ඒ කියන්නේ දුටුගැමුණු රජසමය. මේ කාලයේ ලංකාව කොටස් තුනකට බෙදී තිබුණා කියලයි කියන්නේ. ඒ රුහුණු රට, මායා රට හා පිහිටි රට විදිහට. මෙයින් මේ ප්‍රදේශය අයත් වෙලා තියෙන්නේ මයා රටට. එය පාලනය කරල තියෙන්නේ ප්‍රාදේශික රජෙක් වුන සද්ධාතිස්ස කියන රජතුමාට.

මෙතැනට යන්නේ අම්පාර ඉඟිනියාගල මාර්ගයේ කිලෝමීටර 17ක් පමණ ගියපසු නාමල්ඔය හරහා බිබිල මාර්ගයට හැරවුම් සංධිය හමුබෙනවා. එතැනින් පහලට ගියාම කෙලින්ම යන්නේ මෙම නටඹුන් සහිත ස්ථානයට. පාරෙන් අනිත් පැත්තේ ජලපෝෂක ඇලක් තියෙනවා. එතැනින් අනිත් පැත්තෙන් පෙනෙන්නේ නව රජමහා විහාරස්ථානය.


ඒ කාලයේ මායා රටින් තමා ආහාර අවශ්‍ය පහසුකම් හා වෙනත් දෑ සපයල තියෙන්නේ. ඒ කියන්නේ සොලී ආක්‍රමණ කාලයේදී. එකල මෙහි හිටපු පාලකයා විසින් විහාරයක් කරවල තියෙනවා. ඒ වාගේම තමා ඒකට අවශ්‍ය අනෙකුත් පහසුකම්ද සපයා දීල තියෙනවා. මෙතැන දැනට සොයාගෙන තියෙන්නේ ගරා වැටුණු චෛත්‍යයක් පිළිම හා තැන තැන විසිර ඇති ගල්කණු විශාල ප්‍රමාණයක් තමයි. නමුත් තවමත් කැණීම් සිදුකරමින් තමා තියෙන්නේ.

මෙතැන උන් පුරාවිද්‍යා ආයතනයේ කෙනෙකුගෙන් දැනගන්න ලැබුණු හැටියට චෛත්‍ය යේ මළුව හා පේසා වලලු හා චෛත්‍යයට අදාල කොටස් හඳුනා ගැනීම කරල අවසන්. ඒවා මතුකර ගැනීමේ ක්‍රියාවලිය තමා දැන් කෙරෙමින් යන්නේ.

මෙතැන කෙලවර වන්නේ ගඟකින්. මේ ස්ථානයේ ඇති ගොඩක් දේ අඩි දෙක තුනක පස් තට්ටුවකින් යටවී ඇති අතර ඊට හේතුව ලෙස සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය හසුවූ විවිධ ජලගැලීම් නිසා එකතු වූ පස් තට්ටුව කියායි. මොනවා උනත් මේ අපේ උරුමය හා අපේ පෞඩ අතීතය කියාපාන දේවල්. ඒවා විනාස නොකර ඒ දේවල් ආරක්‍ෂා කරමින් ඒ දේවල් බලන්න කියල තමා ඉල්ලන්න තියෙන්නේ.


තවත් ඔයාල දන්න විස්තරත් එක්ක එකතුවෙන්න. මේ පුංචි රට වටේවත් ඇවිදලා බලන්න. අපි හීන මවන්නේ ලෝකෙ වටේ යන්න ඒත් තාම මේ පුංචි රටේ කරක්ගහල නෑ. යනගමන් කොමෙන්ටුවකුත් දාලම යන්න.

ගමන් බිමන් වල එකොලොස්වන කොටසට....

මගේ ගමන් බිමන් එකොලොස්වෙනි කොටස - පුළුකුණාව රජමහා විහාරය

මේ කියන්න යන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් ලඟදී හොයාගත්තු පුරාවිද්‍යා ස්ථානයක් ගැන තොරතුරු.ඒ තමා පුළුකුණාව රජමහා විහාරය. මේක විහාරස්ථානයක් කිව්වට තාමත් එක් හාමුදුරුනමක් විතරයි ඉන්නේ. ලගදි තමා පුරා විද්‍යා එකෙන් අපිට බලන්න ඉඩහසර දීල තියෙන්නේ. අහ් පටන්ගත්තා නේද මැදින්. ඉන්න පොඩ්ඩක් මම මුල ඉඳන්ම කියන්න.
මුලින්ම කියන්න ඕන අපි කොහොමද මෙතැනට යන්නේ. ඒ මෙහෙමයි. අම්පාර මහඔය මාර්ගයේ පියංගල පහුවෙලා ටිකදුරක් මහඔය පැත්තට එනකොට තියෙනවා පුරාවිද්‍යා එකෙන් දාපු නාමපුවරුව. එතැන ඉඳන් කිලෝමීටර දෙකක් විතර ආවම වමට හැරෙන්න තියෙනවා. ඔන්න එකකොටම පන්සල. පන්සල කිව්වට තාම නම් මේක හදල නෑ. සමාන්‍යයෙන් අපි දකින පන්සලක් විදිහටටම. ඒත් යථාකාලයේ ඒක වෙයි. මමත් ගොඩ බැස්ස ගමන් හෙව්වේ කෝ පන්සල කියල. හරි තැනට ආව කියමුකෝ. අපි නම් කිසිම දෙයක් නොදැන තමා ගියේ. ඒ නිසා ටිකක් විතර පාර වැරදුනා. ආයෙත් යන්නයි හිතාන ඉන්නේ. බලන්න බැරිවුන තැන් බලන්න වැරදි හදාගෙන. එතකොට අළුත් පින්තූර ටිකකුත් දෙන්නම්කෝ.

දැනට මෙන්න නාමපුවරුව

අනුරාධපුර යුගයට අයත්යැයි කියන මේ විහාරයේ දැනට සොයාගෙන තියෙන විශාලතම අසනඝරය සම්බවෙලා තියෙනවා. ඒ වාගේම මේ ප්‍රදේශයම නටබුන් වලින් පිරිල. හැම තැනකම වාගේ ගල්කණු දකින්න පුළුවන්. ඒ වාගේම තමයි මේ ස්ථානය පැරණි ගල්ගුහා වලින් පිරුණු තැනක්. අපි වනාන්තරය මැදින් ගිහින් මතුවුනේ වැවක් ගාවින්. එකේ නම ගූගල් සිතියමේ වත් නැහැ. ගස් ගල් උඩින් පැනගෙන ගිය ගමන් දුෂ්කර වුනත් හිත් නම් ගොඩක් සතුටින් තිබ්බේ අළුත් දෙයක් බලන්න හම්බවුන නිසා. මොනා වුනත් තව විස්තර හොයාන මේකට දාන්නම්. තාමත් පුරාවිද්‍යා එකෙන් මේකේ විශ්ලේෂණ අවසන් කරල නැහැ.


මොනා වුනත් මේ තැන් විනාශ නොකර බලනවා නම් තමා හොඳ.


ගමන් බිමන් වල දසවන කොටසට....

ප්‍රවේශම් වෙන්න මේ දේවල් වලින්.....

අපි දකින දේ වලින් මොන තරම් දේ ඇත්ත කියල අපි හිතනවද? ඒත් ඒ දේවල් කොයි වගේද කියල තේරෙන්නේ අපිත් ඒ දේවල් අත්විඳිද්දිම විතරයි. අහ්... මලා.. මොකද මේ සුලාට වෙලා තියෙන්නේ? ඒක නේද ඔයාලා හිතන්නේ. කියන්නම් කියන්නම් ඉන්නකෝ පොඩ්ඩක්. හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ටිකක් තිබුණා ඒ නිසා නිදහස පොඩ්ඩක් විතර අඩුයි.

දැන් මේ කියන්න හදන්නේ අපි කොයි කාටත් විභාගයක් ඉවරවෙද්දී සාමාන්‍යයෙන් අපි හැමෝටම වෙන, වුන හා ඉදිරියටත් වෙන්න තියෙන දෙයක් ගැන කතාවක්. ඒ තමා විභාගය ඉවර වෙද්දිම අපිට එන අපි කවදාවත් අහලවත් නැති ආයතන වලින් ඒ ආයතන වලින් කෙරෙන්නා වූ වැඩසටහන් සඳහා කොටස් කරුවන් වන්නැයි කියමින් ලැබෙන්නා වූ ලිපි හා ආරාධනා පත්‍ර.

සමහර වේලාවන්හිදී මේ දේවල් ලැබෙන්නේ ශිෂ්‍යත්ව හැටියට. ඒ අය වියදම් දරල ලිපි එවල ශීෂ්‍යත්වයකුත් දෙනවා. ටිකක් විතර අමුතුයි නේද? ඒත් මතක තියාගන්න මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියන එක. කිසිම කෙනෙක් කිසි ලාභයක් නැතිව කිසිම දෙයක් කරන්නේ නැහැ. සමහර විටෙක මේ ශිෂ්‍යත්ව සහතික පත් සැබෑ ස්වරෑපයම එන විදිහට සකස් කලත් හොඳින් බැලුවොත් පෙනේවි මේ සහතික වල කිසිම වටිනකමක් වත් සැබෑ ලාංඡනවත් නැහැ කියන එක. මේ වාගේ ලැබෙන්නා වූ සහතික වල කිසිඳු වලංගුභාවයක් නැති අවස්ථා එමටයි.

ඒ වාගේම මෙවැනි ආයතන වල මුවාවෙන් විවිධාකාර අපයෝජන සිදු වූ අවස්ථා මෙන්ම මුදල් වංචා සිදුවූ අවස්ථාද එමටයි. මකතයේ තියාගන්න දැන් හැමෝම බලන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න හැටි හා තමන්ට වාසියක් ගන්නා විදිහක්. අපි මේ දේවල් වලට රැවටිලා එයාලට උදව් කරනවා විතරක් නෙවෙයි අපේ වටිනා කාලයත් විනාශ කරගන්නවා. මට මේ ලඟදිත් ලැබුනා මේ වාගේ ලිපියක්. ඒවල යොදල තියෙන රබර් සීල්, විද්‍යුත් තැපැල් ලිපින, වෙබ් ලිපින ආදියත් විමසීම සඳහා යොදල තියෙන දේවලුත් එවල තියෙන ස්වරෑපයත් නිසා කෙනෙක් රැවටෙන එක අනිවාර්යයි. නමුත් වෙබ් ලිපිනයන් වල කිසිම සත්‍යතාවක් තියා එවැනි ලිපිනයක් අන්තර්ජාලයේ ඇත්තේවත් නැහැ. ඒ වාගේම ලිපිනය දාල තියෙන්නේ w.w.w.********.com කියල. මේක දැක්ක ගමන් තේරෙනව මේ ආයතනයේ ස්වභාවය. මේ වගේ ආයතනයක ඉගෙන ගන්න ළමයින්ට නම් දෙයියන්ගේම පිහිට තමයි.

මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ මේ වාගේ ආයතන වලට යවන්න කලින් හොඳින් හොයා බලන්න. ඒ වාගේම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පෞද්ගලික ආයතන වලින් සිදුවන දේ හොයා බලල යම් ප්‍රමිතියකට මේ ආයතන ගෙනෙන්න කියන එක. ඒ වාගේම මෙවැනි අධ්‍යාපන ආයතන කරන්නේ අධ්‍යාපනයේ මුවාවෙන් ඉගෙනීමට ආස කරන දරුවන් බිලි බා ගැනීමක් විතරක් කියන එක නම් සක් සුදක් සේ පැහැදිලි කරුණක්. ඒ දේවල් තව ගොඩක් දෙනෙකුගේ අනාගතය අඳුරු කරාවි.

අපි අධ්‍යාපනය කියල ලබාගන්න හදන්නේ මොකක්ද? මේ ක්‍රමයට තවත් ගියොත් අනාගතයේ අපිට ලැබෙන්නේ සහතික මිටි පොදි කරගත් පිරිසක් විතරමයි. ඉගෙනීම කරන්න පුළුවන් කාලයේ මතකයන් ධාරණ ශක්තීන් වැඩි කාලයේ සහතික වෙනුවෙන් ගතකරන කාලයේ තමන් හොඳ දැනුමක් වෙනුවෙන් වැඩ කලොත් අනාගතය ගොඩක් යහපත් කරගන්න පුළුවන් වෙයි. අපි අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය නොවෙයි අපි වැය කරන කාලය වෙනුවෙන් අපිට දැනුම ලෙස ලැබෙන දේ විතරක් ලාභය විදිහට හිතල වැඩ කරන්න. රැල්ල පස්සේ නොගිහින් තමන් හිතල දැනුම පස්සෙන් දුවන්න. එතකොට රැල්ල ඔයාල පස්සෙන් නිකන්ම එයි.

මේ වාගේ දේවල් ඔයාලත් අත්විඳල ඇති. ඒ වාගේම මේ දේවල් ඇත්ත කියල තේරිලත් ඇති නොදන්නා අයටත් තේරුම් කරල දීල. අනාගතයේ වැඩදායි සමාජයක් නිර්මාණය කරන්න උදව් වෙන්න. පුංචි කොමෙන්ටුවකුත් දාල යන්න අනිත් අයට මේ ගැන ඔයාලගේ අදහසත් දැනගන්න.