මගේ ගමන් බිමන් හැත්තෑ දෙවන කොටස - ශ්‍රී සුමනාරාම විහාරය

මේ තැන බොහෝම අප්‍රකට තැනක් වුනත් අපි වන්දනාමාන කරන තැන් අතර විශේෂ තැනක් ගන්නවා. ඒ විශේෂත්ව කීපයක් නිසාවෙන්. ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ දිද්දාලිය ග්‍රාමසේවා වසමේ කරුවල බැද්ද ග්‍රාමයේ ඇති මේ පන්සල වේර‍ගොඩ අමරවංශ නායක ස්වාමීන් වහන්සේ මූලිකත්වයෙන් මීට අවුරුදු 70කට විතර කලින් ඉදිකරපු එකක්. ඒ කාලයේ මේ අවට ප්‍රදේශය වනාන්තරයෙන් වැහිලා තිබුනත් කුඩා අඩිපාරක් මේ හරහා වැටිල තිබිල තියෙනවා. මේ අඩිපාරේ යන එන අයට වෙලඳාම් හා නවාතැන් සපයමින් හිටපු දොලවත්තේ උපාසක නැමැති කෙනෙක් තමා මේ තැන ස්වාමීන් වහන්සේට පූජා කරල තියෙන්නේ. ඒ කාලයේ මෙතැන නිකම්ම පැලක් විතරක් වුනත් අද සිමෙන්තියෙන් කල පන්සලක් නිර්මාණය වෙලා තියෙනවා.
නොයෙක් විස වර්ග වලට ප්‍රතිකාර කරමින් ගමේ අයට උදව් කල නායක ස්වාමීන් වහන්සේ හොඳින් ලිවීම කියවීම කල හැකි අයෙක් වුන නිසාවෙන් බොහෝ තැන් වල බණට හා පිරිත් කියන්න ආරාධනා ලැබුනු ස්වාමීන් වහන්සේ නමක්. ඉතා මිහිරි කටහඬක්ද තිබුනු නිසා කොයි කාගේත් හිත දිනාගෙන පන්සල කරගන ගිහින් තියෙනවා. මල්වතු පාර්ශවයේ සියම් මහ නිකායට අයත් නෙ මේ පන්සල තොටගමුව රත්පත් රජමහා විහාරයෙන් තමයි පාලනය වෙන්නේ.
ගිජ්ජකූඨ පර්වතයේ ආකාරයෙන් හැදුනු චෙත්‍යය ගර්භයක් නොමැතිව එහිද බුද්ධෝප්පත්තිය, ධම්සක්පැවතුම හා ප්‍රථම ධර්ම දේශනාව ආදිය මූර්තියෙන් කරවා සකස් කර ඇත. මේ ආකාරයෙන් ලංකාවේ ඇති එකම චෙත්‍යය මෙය යැයි සැලකෙන බවයි එහි දැන් වැඩ වාසය කරන පන්සලේ භාරකාරීත්වය හිමි කරුවල බැද්දේ ධම්මබුද්ධි ස්වාමීන් වහන්සේ පවසන්නේ. තවත් විශේෂ දෙයක් වෙන්නේ දඹදිවින් වැඩම කරවූ බෝධීන් වහන්සේයි. අවුරුදු 70ක් පමණ වයස වුනත් එය තාමත් විශාල වර්ධනයක් නොපෙන්වන බවත් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ ආකාරයෙන් කොල හැලෙමින් සමෙන් වර්ධනය වන බවත් තමයි කියන්නේ. දඹදිව ඉඳන් මේ බෝධීන් වහන්සේ වැඩමවල තියෙන්නේ අබේවික්‍රම නැමැත්තෙකු විසින්. මේ බෝධීන් වහන්සේ අවට සිටීමෙන් මිනිසුන්ගේ සිත් පහන්වන බවටද විශ්වාසයක් පවතිනවා.
පංච මහා දෙවිවරු වැඩ වාසය කරන්නා වූ දේවාලයද බොහෝ අනුහස් ඇති තැනක් යැයි සැලකෙන අතරම පසුගිය කාලයේ නාගයන් විසින් මේ අවට ආරක්‍ෂා කල බවත් දේවබැල්ම ඇති තැනක් නිසාවෙන් එසේ ‍සිදුවුන බවත් විස්වාස කරන ගැමියන් ඉතාමත් භක්තියකින් යුතුව මෙහි පූජා පවත්වනවා. තවද ඩඩ්ලි සේනානායක මහත්මා විසින් නිර්මාණය කල සේනානායක දහම් පාසලද අද ලමුන් 250ක් පමණ ඉගෙනුම ලබන ඉතා විශිෂ්ඨ ආකාරයෙන් පලාතේ විභාග වලින් ජය ගන්නා දහම් පාසලක් බවත් කියවෙනවා. කෙසේ වෙතත් අපූරු ස්ථානයක් වුන මේ ස්ථානය මනරම් ලෙසින් නිර්මාණය කරල තිබුනත් අද එය ටිකින් ටික වල්බිහි වෙලා තියෙනවා.

3 comments:

  1. කාලෙකින් මේ පැත්තට ගොඩ වුණේ. මම ඉතිං කිට්ටුව පාත මිනිහනේ. පුළුවන් වෙලාවක යන්න ඉඳුරුවේ ලස්සන පන්සලක් තියෙනවා, ස්ටේෂන් එක ගාවින් පහලට යන පාරේ කිලෝ මීටරයක් විතර ගියාම. මට නම මතකෙට එන්නේ නෑ එක පාරට.

    ReplyDelete
    Replies
    1. අහා ස්තූතියි. මම යන්නම් වෙලාවක. ඒ කිට්ටුව කීප තැනක්ම තියේ යන්න. ඒ ගමන් යන්න බලන්නම්.

      Delete
  2. මමත් මේ කිට්ටුව පාත තමයි. මහ දුරක් නෑ. ඒත් මේ පන්සල ගැන අහල තිබුණෙ නෑ. ස්තූතියි සුලා.. පුලුවන් වුණ හැටියෙම බලන්න යන්වා...

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!