මගේ ගමන් බිමන් අසූ හත්වන කොටස - සේර ඇල්ල

ඉලුක්කුඹුර සිට පොත්තටවෙල කඹරාව හරහා නාඋලට යන පාර දිගේ ගිහින් පුවක් පිටිය පාරට හැරිල කිලෝමීටර හත අටක් යද්දී අපට සේර ඇල්ලට ලඟාවෙන්න පුළුවන්. මේ දිය ඇල්ල ලංකාවේ පළල්ම දිය ඇලි අතරට එක්වෙන සිය ඇල්ලක්. උසින් මීටර 10ක් විතර වෙන දිය ඇල්ලේ සැබෑ සුන්දරත්වය විඳින්න නම් වැසි සමයේ යන්න ඕන. නකල්ස් කඳුවැටියෙන් ආරම්භවෙන මේ දිය ඇල්ල කඳුවැටියේ කෙලවරම ඇති මානිගල කන්ද පසෙකින් තමයි කඩා හැලෙන්නේ.
මේ දිය ඇල්ල තවත් විශේෂ වෙන්න හේතුවක් තමයි දිය ඇල්ලේ පිටුපස ගුහාවක් තිබීම හා අපට එතැනට යන්න පුළුවන් කම. මෙතැනට නම් ලැබීමට හේතු ලෙස ජනප්‍රවාදය කියන්නේ අත්ලට සේර ඇට අහුරක් අරගෙන අත්ල දිග හැරල සුලැඟිල්ල පැත්තෙන් ඇර කලාම සේර ඇට වැටෙන විදිහෙන් සේර ඇල්ල ගලා හැගෙන නිසා ඒ නම ලැබුනා කියලයි.
සුන්දරත්වයෙන් විශිෂ්ඨ ස්ථානයක් වුන දිය ඇල්ල බලන්න පාරේ ඉඳන් ටිකක් දුර පහලට බහින්න වෙනවා. දිය ඇල්ල පසෙක ඇති ගුහාවේ ටිකක් විඩා නිවාගන්න තරම් ඉඩ කට තියෙනවා. රැයක් ඉන්නත් කියාපු තැන. හැබැයි ඉතින් අලි වැටක් එහෙම තියෙන පලාතක් නිසා පරෙස්සම ගැන හිතල අවසර අරගෙනම නවාතැන් ගන්න හිතුවොත් හොඳයි.



 
දිය ඇල්ලේ වතුර අඩු කාලය නිසා අනිත් පැත්තට යන්න පුළුවන් වුනා. සුන්දර දිය ඇල්ල විනාශ කරන්නේ නැතිව සිරි නරඹලා ආවට නම් වරදක් නැහැ කියලයි මම හිතන්නේ.

මගේ ගමන් බිමන් අසූ හය වැනි කොටස - යටවත්ත බිසෝ ඇල්ල

මාතලේ කුරුණෑගල පාරේ යටවත්ත පසු කර සැලගම පාරට පැමිණ එතැනින් හීංගොල්ල පාර දිගේ කිලෝමීටර 20කට මඳක් වැඩි ප්‍රමාණයක් පැමිණ අපට මෙම ඇත්ත ඇති ප්‍රදේශයට පැමිණිය හැකිය. මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෙම දිය ඇල්ල යටවත්ත සීමාවේ නැව්ගල කන්දටත් හුලංගල පර්වතයටත් මායිම්ව පවතී. සැලගම කඳු මුදුනේ ඇති දිය උල්පත් වල ජලය එක්වී දිය දහරක් සාදා අඩි දහසක් පමණ උසැති ගල් පර්වතය මතින් ඇද හැලෙන්නේ බිසෝ ඇල්ල නිර්මාණය කරමිනි.
 
මිතුරන් කීප දෙනෙක් එක්ක ත්‍රී රෝද රථයක ගමන් කල අපි එතැනට ලඟ වෙද්දී දවල් වුනා. කොහොම වුනත් සැලගම කඳු මුදුනෙන් ඇවිත් පර්වත මුදුනෙන් දිය ඇල්ල මුදුන තමයි මුලින්ම බැලුවේ. ගැමියන්ගෙන් පාර අහගත්ත අපි ප්‍රධාන දියපාර දිගේ ඇවිත් කඳුමුදුණේ දිය ඇල්ල වැබෙන ප්‍රපාතය අසලට මුලින්ම ආව. එතැනින් පෙනෙන කඳුපන්ති සහ කුඹුරුයාය වල ඇති සුන්දරත්වය විඳි අපි දිය ඇල්ල හා බැඳුනු ජනප්‍රවාද අසමින් පහලට බසින්න වුනා. අපේ දෙවැනි අරමුණ වුනේ දිය ඇල්ලේ පහලට ලඟවීමයි. ඒ වෙනුවෙන් යටවත්ත ප්‍රදේශයේ වෙල්යායවල් අතරින් පැමිණ මාර්ගය අවසානයට ලංවුනා. එතැන් ඉඳන් පයින් තමයි ඉතිරිය යන්න සිද්ධ වුනේ. විශාල කුඹුක් ගසක් ලඟට යනකම් මාර්ගය පෙන්වන්න ගැමියෙක් ආවත් එතැන් සිට ඔහුගේ ගමන අපට විරුද්ධ දිශාවට වැටිල තිබුනා. වනාන්තරය තුලින් පාර හොයාගෙන කෙහොම හරි දිය ඇල්ල පාමුලට එන්න අපි සමත් වුනා. එතැන සුන්දරත්වය විඳි අපි ආයෙමත් පහලට ආවේ වෙනත් මාර්ගයකින්.

ඡායාරූප කලාවේ Focus Stack ක්‍රමය

අපි මුලින්ම බලමු මොකක්ද මේ Focus Stack (එකමත එක නාභිගත කිරීම හෝ ඡායාරූප අතිපිහිත කිරීම) කියන්නේ කියලා. 

ඡායාරූප පසු සංස්කරණයේදී යොදාගන්න මේ ක්‍රමය ඡායාරූපයක ක්‍ෂේත්‍ර ගැඹුර (Depth of Field) එක වැඩි කරන්න යොදා ගන්න ක්‍රමයක්. Telephoto lens හෝ Macro lens භාවිත කරද්දී අපට ඇතිවන ගැටලුවක් තමයි ඡායාරූපයේ Depth එක අවශ්‍ය පරිදි පවත්වා ගැනීමේ අහසුව. Manual Extension tube භාවිතා කරල ක්‍ෂුද්‍ර (Macro) ඡායාරූප ගන්න අය මේ අපහසුතාවට ලක් වෙනවා. මොකද Depth එක වෙනස් කරගැනීමට ඔවුන්ට ක්‍රමයක් නැති වීම නිසා. අපි බලමු මොනවද නිසාද සහ කොහොමද Depth එක වෙනස් වෙන්නේ කියල.

1. නාභි දුර (Focal Length) වැඩි වෙද්දී Depth අඩුවේ.
2. වස්තුවට ඇති දුර (Distance to Subject) අඩු වෙද්දී Depth අඩුවේ. (Macro ඡායාරූප වලදී අධික වශයෙන් සිදුවන දෙයයි)
3. Aperture Value (f අගය) වැඩිවෙද්දී Depth වැඩිවේ.

ඉහත කරුණු වෙනස් කර Depth වැඩි කරගන්නා අවස්ථාවලදී ගැටලු මතු වෙනවා. උදාහරණ විදිහට f වැඩි කල විට අනාවරණය නිවැරදි කිරීමට ISO වැඩි කලහොත් ඡායාරූපයේ Noise වැඩිවෙනවා වගේම Shutter Speed අඩු කලහොත් ඡායාරූපයේ තියුණු බව (Sharpness) අඩුවෙනවා. මේ නිසා Focus Stack ක්‍රමය භාවිතා කිරීම වැදගත් වෙනවා.

ඡ‍ායාරූප කලාවේ ආපු ගමන් මග (තාම පටන් ගත්තා විතරයි)

පින්තූර ගැනිල්ල අපි හැමෝම කරනවානේ. මමත් ඒ වගේ පොඩි එකා කාලේ ඉඳන් ඇවිදින එක තමයි කලේ. තාත්ත එක්ක ඇවිදිමින් කරපු දේවල් වෙනමම ලිව්වා මතක ඇතිනේ... අමතක නම් ගිහින් බලන්න මෙතැනින්.....

පහුවෙද්දී පහුවෙද්දී පින්තූර ගන්න ඕන යන යන තැන පින්තූර ටිකක් එකතු කරගන්න ඕන කියන අදහස ආවා වුනත් කැමරාවක් ගන්න තරම් වත්කමක් තිබුනේ නෑ. මම මේ කියන කාලේ වෙද්දී කැමරා ෆෝන්, ස්මාර්ට් ෆෝන් කියල දෙයක් අහන්නවත් නෑ. තිබුන කැමරාව තමයි film රෝල් දාන ජාතියේ ඒවා. ට්‍රිප් යන අයගෙන් පින්තූර එකතු කරගත්තා වුනත් අපිට ඕන තැන් අපි දැක්ක විදිහට ගන්න විදිහක් තිබුනේ නෑ. අවුරුදු 5කට විතර පස්සේ Kodak KB 10 කැමරාවක් ගත්තා. ඒක පොඩි Offer එකකින් අඩුවට ලැබුනේ.
Kodak KB 10 කැමරාව
Sony w570 Compact කැමරාව
ම‍ගේම කියල පළවෙනි කැමරාව වුනේ ඒක. හැබැයි ඉතින් දැන් වගේ හිතුන හිතුන පින්තූර ගන්න බෑ. මොකද රීල් එකක් දාගත්තාම ඒකෙ පින්තූර 36යි උපරිම. රීල් එක බර ගානක්. ඒ නිසා ඕනම එකක් විතරයි ගන්නේ. දැන් නම් ගන්න බැරියැ ඕන තරම්. පස්සේ පස්සේ ඒකට වැඩ අඩු වුනා. මොකද ඒකට රීල් දාගන්න තරම් මුදලක් හමුවෙන්නේ නැති නිසා. මේ සියල්ලට මම මුදල් හොයාගත්තේ පොඩි කාලේ ආසම වැඩේ වුන ටොපි චොකලට් කෑමට හම්බවෙන සල්ලි එකතු කරල. මොකද ඒ කාලේ අපිට වියදම් කරන්න ඒ තරම් මුදල් තිබුනේ නැති නිසා.

මගේ ගමන් බිමන් අසූ පස් වැනි කොටස - ලෝකාන්තය පහලින් පෙනෙන නන්පෙරියල් වතුයාය හා සමනල වැව ජලාශය


1836 ජනවාරි මාසයේ 01 වැනිදා සිය නම් කෙරුණු හෝර්ටන් තැන්න අතීතයේදී හඳුන්වලා තියෙන්නේ ‘දෙවියන්ගේ කුසුම් උයන’ කියන නමින්. දහනමවැනි සියවස මුල්කාලයේ ලංකාවේ ආණ්ඩුකාරයා වුන සර් රොබට් හෝර්ටන් කියන පුද්ගලයා තමයි නම වෙනස් කරල තියෙන්නේ. 1969 දෙසැම්බර් 05 වැනිදා ස්වභාවික රක්‍ෂිතයක් ලෙසින් නම් කරපු හෝර්ටන් තැන්න ලංකාවේ උසින්ම තියෙන තැනිතලා භූමියද වෙනවා. ආසන්න වශයෙන් හෙක්ටයාර 3160ක් තියෙන මේ භූමියේ එක් කෙලවරක තියෙන ලෝකාන්තය නම් කෙලවර නිසාවෙන් ද එහි තියෙන සුවිශේෂ ජෛව විවිධත්වය නිසාවෙන්ද දෙස් විදෙස් සංචාරකයන්ගේ තෝතැන්නක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආවේණික ශාකයක් වුන මහරත්මල් Rhododendron (Rhododendron arboretum) ශාකය එයින් සුවිශේෂ තැනක් ගන්නවා. ලෝකාන්තය හා හෝර්ටන් තැන්න ගැන කලින් ලිපියක කියවෙන නිසාවෙන් එහි ඇති කරුණු ගැන මෙතැන කතා නොකලත් ඒ ගැන කියවන්න මෙතැනින් ගිහින් පුළුවන් වෙයි.
කාලයක් තිස්සේ ලොකාන්තය බලන්න ගිහින් එතැනින් පහල පෙනෙන නන්පේරියල් වතුයාය හා සමනල වැව ජලාශයත් අවට ප්‍රදේශයේත් සුන්දරත්වය විඳගත්තු නිසාවෙන්ම පහල ඇති තැන් ලගට ගිහින් ලෝකාන්ත‍ය පෙනෙන්නේ කොහොමද කියල බලන හීනය හැබෑ කරගන්නයි මේ ගමන සූදනම් වුනේ. කීප දෙනෙකුටම ගමනට ආරාධනා කලත් ගමනේ තියෙන රළු බව නිසා තොරගත්තු පිරිස පරිස්සම් සහගතවයි සිදු කලේ. නමුත් කවදා කොහොම සූදානම් කලත් අවසානයේ ගමනක් යන්න ඉතිරිවෙන්නේ තනි පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු විතරයි යන කතාව සනාථ කරමින් අපි දෙදෙනෙක් ගමන ආම්භ කලා. හිරු නැගෙද්දී කඳු මුදුනට යන්න හිතාගෙන අම්බලන්ගොඩින් පාන්දර 2ට පිටත් වුනා. අපි තෝරගත්තු මාර්ගය වුනේ කොළඹ බදුල්ල මාර්ගයේ ඇවිත් බෙලිහුල් ඔය 160 කිලෝමීටර කණුව ලඟින් හැරිලා කිලෝමීටර 32ක් ඇති ලෝකාන්තයට යන මාර්ගය. එතැන තියෙන ලෝකාන්තය, නන්පේරියල් වතුයාය හා නගරක් බංගලාව (Nagarak) යන නාම පුවරුව නිසා පාර හොයාගන්න එක ඒ තරම් අමාරු වෙන්නේ නෑ. හිරිකටුඔය අධ්‍යාපන හා තොරතුරු මධ්‍යස්ථායත් තියෙන්නේ මේ මාර්ගයේමයි. එතැනින් කිලෝමීටර 8ක් ආවත් වතුයායට වාහනයකින් යන්න අවසර ගැනීම සිදු කල යුතුයි කියල දැන ගන්න ලැබුනා. නමුත් පයින් යාම සඳහා ඒ තරම් ගැටලුවක් තිබුනේ නැති නිසාත් ආව ගමන ප්‍රයෝජනවත් විය යුතු නිසාත් ඉතිරි කිලෝමීටර 20ක පමණ දුර පයින් යන්න තීරණය කලා. එතැන බයිසිකලය දාල පයින් ගමන ආරම්භ කරද්දී වෙලාව උදේ 8.00ට විතර ඇති. තේ වත්ත ඇතුලේ තියෙන කෙටි මාර්ග ගැන අවබෝධයක් නැති නිසා අපි වාහන ගමන් කරන ගල් බොරලු සහිත මාර්ගයම භාවිතා කලා. මාර්ගය බෙදී ලෝකාන්තයෙන් හරියටම පහලින් තියෙන කොටසට යන්න කිලෝමීටර දෙකක් පමණක් තිබුනත් නගරක් බංගලාව දෙසට එහෙමත් නැතිනම් කඳු මුදුනට යන මාර්ගය තොරා ගත්තේ කාල වේලාව අනුව දෙවෙනි කොටස බලන්න හිතේ තියාගෙනයි.
යන අතර සුන්දර දර්ශන ඡායාරූප ගත කලා වුනත් දිය ඇලි ඡායාරූප ගත නොකලේ එන අතර වාරය වෙනුවෙන් ඉතිරි කරගන්න. හිරු නැගෙන දර්ශන පෙලක වටිනකම එයට වඩා වැඩි නිසා ඉක්මනින් කඳු මුදුනට යෑමේ අවශ්‍යතාවය තමයි තිබුනේ. විශාල වංගු 33කින් සමන්විත මාර්ගයේ වංගු 14ක් විතරයි අපි බයිසිකලයෙන් ඇවිත් තිබුනේ. 23 වැනි වංගුව වුන මුහුදු මට්ටමින් අඩි 5700ක් උසින් තියෙන ‘බේකර්ස් වංගුව’ ලඟට එද්දී වෙලාව දහවල් 11ට විතර ඇති. මගදී මම දාගෙන හිය සෙරෙප්පුව කැඩුනු නිසාවෙන් ගමනේ වේගය සෑහෙන්න පුමාණයක් අඩු වුනා. ලිස්සන සුලු මාර්ගයත් ගල් බොරලු සහිත බව නිසාත් සෙරෙප්පු නැති නිසාත් ඉතිම දුශ්කර ගමනක් වුනා. මාර්ගය අතර තිබෙන දිය ඇලි අපේ පවස නිවද්දී අවට සුන්දරත්වය අපේ වෙහෙස නිවන්නට වුනා. කෙතරම් අපහසු වුනත් ගමනේ අවසානය දකින්න තිබුන අධිෂ්ධානයේ නම් අඩුවක් තිබුනේ නෑ. දහවල් 12.40 විතර වෙද්දී මුහුදු මට්ටමින් අඩි 6990ක සීමාවට ලඟා වුනා. එතැන ඉඳන් අපේ ගමනාන්තයට කිලෝමීටර 1කුත් ලොකාන්තයට කිලෝමීටර 4කුත් තමයි තිබුනේ. නමුත් තිබුන පොද වැස්ස ටිකක් විතර වැඩි වුන නිසා ගමන නවත්තල ලඟ තිබුන වතු නිවාස කීපයක් ලඟ නැවතුනා. ‍තේවත්තේ ආරම්භයේ ඉඳන් මේ වෙනකම් ගමනේ වතු නිවාස දකින්න ලැබෙන දෙවැනි තැන තමයි මේ. අපේ කැමරා ආම්පන්න ආරක්‍ෂා කරගෙන වැහි කබා දා ගන්නකම් නවතින්න තීරණය වුනත් වැහි පොද ටික ටික අඩු වෙද්දී වැහි කබා අස්සේ ගුලිවෙලාම ගමන ආරම්භ කලා. එයට හේතුවුනේ සවස් වෙද්දී නැවත යා යුතු නිසාවෙන්.

 
 
 
 මීදුමෙන් වැසුනු නගරක් බංගලාව ලඟට ඒ කියන්නේ අපේ ගමනේ අවසානයට එද්දී දවල් 2ට විතර ඇති. පැය 12ක ගමන අවසානයේ මඳක් විවේක ගන්න තීරණය වුනත් එය විනාඩි කීපයකින් සීමා කරන්න වුනා. එයට හේතුව අධික මීදුම හා වැසි ස්වභාවය. බංගලාව බලාගන්න පුද්ගලයා එක්ක කතා බහ කරල විස්තර ටිකක් දැනගත්තා. කොහොම වුනත් දවසක් මේ බංගලාවේ නවතින්න බලාගෙන එන්න පුළුවන් නම් අපූරු ගමනක් වෙයි. බංගලාව දැනට 10 දෙනෙකුට නවතින්න පහසුකම් තියෙනවා. උයන්න අවශ්‍ය ද්‍රව්‍ය සපයන්න ඕන. රාත්‍රී 12 වෙනකම් විදුලිය භාවිතා කරන්න පුළුවන්. ගෑස් ලබා දෙන අතර කො‍්කියෙක් දෙනවා. ඔහු ලවා සියලු ආහාර සකස් ගන්න පුළුවන්. දහවල් 12 සිට ඊලඟ දවසේ දහවල් 10.00 පමණ වෙනකම් ඉන්න පුළුවන්. ඒ දවස සඳහා දැනට අයකිරීම වෙන්නේ 15000ක මුදලක් පමණයි. රත්නපුර‍ නගරයේදී මෙහි නවාතන් සඳහා මුදල් ගෙවා වෙන්කරගැනීම කල යුතුයි. අවටින් නැගෙන මීදුම නොමති කාලයේදී දකුණු මුහුදු වෙරළ දක්වා දකින්න පුළුවන් කියලයි කියන්නේ. වැට මායිමකින් වෙන්වුන හෝර්ටන් තැන්න අභය භූමිය එක් පැත්තක තිබුනා වුනත් අනවසයෙන් ඇතුලු වීම නම් කරන්න බැහැ. එතැනින් හෝර්ටන් තැන්නට පිවිසෙන්න නම් වනජීවී එකෙන් විශේෂ අවසරපත්‍ර අරගෙන එන්න ඕන.
 
 
 
 

එතැනින් පිටත් වුන අපි පහලට එන්න තියෙන කෙටි මාර්ග භාවිතා කරන්න වුනා. කඳු ඉහල ඉඳන් බලද්දී කෙටි මාර්ග පැහැදිලිව පේන නිසා සහ සවස් වෙන්න කලින් පහලට යන්න ඕන නිසා අපි ඒ මාර්ග භාවිතා කලා වුනත් දිය ඇලි හා ලෝකාන්තය පහල කොටස මඟ හැරුනා. තේ වතු අතරින් පෙනෙන එක් දිය ඇල්ලක සුන්දරත්වය විඳිමින් සවස 4.15 පමණ වෙද්දී වතු යායේ ගේට්ටුව ලඟටත් 4.30 පමණ වෙද්දී ප්‍රධාන මාර්ගයටත් එන්න පුළුවන් වුනා. නමුත් ප්‍රධාන මාර්ගයට එන අතරතුර හමුවන ගලගම ඇල්ල එහෙමක් නැතිනම් පහන්තුඩා ඇල්ල බලන්න ටික වේලාවකට නතර වුනා. දෙපැත්තෙන් දිය ඇලි දෙකක් විදිහට ඇවිත් පහලින් එකතුවෙන දිය ඇල්ල බොහොම සුන්දර දිය ඇල්ලක්. සියල්ල අවසානයේ අපි පහලට ආව වුනත් අපේ දවසේ චාරිකාවේ අවසානය තාමත් සිදු වුනේ නෑ. ඒ තවමත් ඉතිරිව තිබුන සමනල වැව ජලාශය බලන්න යන්න ඕන නිසා.

එතැනින් ‍සබරගමුව විශ්ව විද්‍යාලය ලඟින් තියන මාර්ගය දිගේ ආවාම රජවකට එන්න මාර්ගයක් තියෙනවා. එය සමනල වැව ජලාශය ලඟින් තමයි යන්නේ. අපි ඒ මාර්ගය දිගේ ආවා වුනත් සමනල වැව වේල්ල අවට කිලෝ මීටර තුනක් පමණ යනතුරු අධිආරක්‍ෂිත කලාපයක් කරල. ඒ නිසා ඡායාරූප ගන්න තියා නවතින්නත් තහනම්. ජලාශයේ සුන්දරත්වය ඇස් වලින් පමණක් දකිමින් රාත්‍රී වෙන්න කලින් වනාන්තර මායාමෙන් පිටවෙන්න අපි වේගවත් ගමනක යෙදුනා. ඒ වන අලි මාර්ගයට පැමිණෙන නිසාවෙන්. නමුත් ජලාශයේ සුන්දරත්වය විඳින්න පුළුවන් තැනක් තිබේදැයි නිරතුරු සොයමින් තමයි ආවේ. අපේ වානසාවකට සුන්දර කඳු ගැටයක් දෙසට නැගුනාම සමනල වැව පේන තැනක් හමුවුනා. එනැතින් අපූරුවට සමනල වැවත් ලෝකාන්තය පැත්තත් සොයාගන්න අපහසු වුනේ නෑ. නමුතු මීදුමින් වැසුනු නිසාවෙන් කඳ මුදුන නම් පැහැදිලි වුනේ නෑ. විනාඩි කීපයකින් එතැනින් පිටවුන අපි රජවකින් ගොඩකවෙලටත් එතැනින් රක්වාන හරහා සූරියකන්දටත් ආව. වංගු 10 හරහා දෙනියායට එද්දී රාත්‍රී 11ත් පහුවෙලා. ඒකට හේකු වුනේ සූරියකන්ද පැත්තෙන් එන මාර්ගය අබලන් වීම හා අපේ මහන්සිය. කොහාම වුනත් ගැටබරු පාමුල බස් නැවතුමේ විනාඩි කීපයකට විවේක ගත්තා. රාත්‍රී 1.30 විතර වෙද්දී නිවෙස් බලා ආව අපි නිදද්දී රාත්‍රී 2ත් පහුවෙලා.
 
 
 
පැය 24ක සම්පූර්ණ ගමනක් නිමාවෙද්දී නොනිදා සම්පූර්ණ දවසක් ඇවිදපු එකම ගමන් බිමන් විස්තර පොත අපූරුවට මේ විදිහට හැඩ කරනවා. දවස් දෙකක් භාවිතා කරල යන්න ඕන ගමනක් එක පැය 24ම බයිසිලයත් පැදගෙන ඇවිදල ආව එකෙක් ඇති කියල මම නම් හිතන්නේ නෑ. කොහෙම වුනත් විස්තර පොත සරසන්න අමතක කරන්නේ නෑ වගේම මේ වගේ ගමන් යන්න ඒත් ඒ තැන් විනාශ කරන්න එපා කියන එල්ලීම කරන්න කැමතියි. තවත් ලස්සන ගමනක් එක්ක හමු වෙනකම් ගමන් බිමන් ලියන මම සමුගන්නවා. ස්තූතියි !

තව පින්තූර බලන්න මෙතැනින් යන්න....