තවත් එක් කතාවක්...

කාල වේලාව හීන වීමත් සමග ලිවීමේ කාර්යයෙන් මදක් ඈත් වීමට සිදු වූ බව සැබෑය. නමුත් විසි වසරක පැතුමක් ඉටු වීම නොලියාම බැරිය. එනිසා තවත් එක් කතාවක් මෙසේ අකුරු කරමි. 

මා මේ කියන්නට යන්නේ සාහිත්‍යකරුවන්ගේ උදාහරණ කතා වල එන මැක්සිම් ගෝර්කිගේ අම්මා හෝ චිංගීස් ආයිත්මානව්ගේ ගුරු ගීතය නොවේ. හුදෙක් මෙය එක් කතාවක් පමණක්මය. ඔබටත් මටත් අමතක වී ගිය එක් අපූර්ව ලේඛිකාවකගේ පුංචිම පුංචි නවකතාවක් පමණක්මය. නමුත් එය පැසසිය යුතුමය. වසර විස්සක් තිස්සේ සෙවූ ඒ පොත මා අතට ලැබී සතියක්වත් ගතවී නැත. නමුත් මේ පිළිබද නොලියා සිටිය නොහැකි අයුරින් මේ ගැන ලිවිය යුතුයැයි මා මනස මට වද දෙන අයුරු පැහැදිලි කරනට තරම් පෝෂිත වචන ප්‍රමාණයක් මා සතුව නොමැත. කෙසේ හෝ වේවා නොනිදා හෝ මා මේ කතාව ආරම්භයේ සිටම ලියමි.

මා කුඩා කල ලගම ඇති පුස්තකාලයෙන් අපට කියවිය හැකි අපූර්ව පොත් සොයා ගෙනැවිත් දෙන්නේ අම්මා ය. මමත් මගේ සහෝදරයනුත් ඒ පොත් කියවන්නට පුරුදු කලේද අම්මා විසින් මය. එලෙස මා අතට පත්වන එක් පොතක් මා සිත ගැමි සුන්දර පරිසරයකට ගෙන ගියේ මන්දැයි මා නොදනිමි. ඒ පොත නමින් "පේ අයියා" ය. 1991 එස් ගොඩගේ සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරුණු මෙම නවකතාව රචනා කර ඇත්තේ මාලිනී විජයවීර නම් ලේඛිකාව විසිනි. වරක් දෙවරක් කියවූ පොත් අතර කුඩා වයසේදීම යලි යලිත් ගෙන්වාගෙන විසි තිස් වාරයකටත් වඩා කියවූ පොතක් ඇත්නම් ඒ "පේ අයියා" විය යුතුය.

පේ අයියාගේ අපූර්ව ජීවිතය, ඔහුගේ සුන්දර ළමා කාලය මා හට අද ළමා පරපුර කරන්නා වූ විවධ ක්‍රියාකාරකම් දකිද්දී මතකයට නැගේ. පේ අයියා කල ත්‍රාස්‍යජනක ළමා දගකාරකම් මතක් වෙද්දීත් දගයකු ලෙස ඔහු කල විවිධ කවටකම් මතක් වන විටත් මා හට ඔහු මෙන් ජීවත් වන්නට සිතේ. ඔහුගේ මරණය තෙක් ලියූ කතාවේ අවසානය එදා මෙන් ම අදත් මාගේ නෙතට කදුලක් එක් කරන්නේ මගේ ජීවිතයේ ඔහු ජීවමාන චරිතයක් ලෙසම සිටින නිසා විය යුතුය. "පේ අයියා" යනු මගේ මනෝලෝකය තුල මැවුනු ජීවමාන චරිතයක්ම වන්නේය.

වසර ගණනාවකට පසු කියවූ පොත පත අතර එවැනි කතා තව තවත් තිබුනද "පේ අයියා" තරම් මා සිතේ රැදුනු පොතක් නොමැති තරම්ය. එ නිසාම පොත් එකතු කරන්නට ගත් මුල් අවධියේ සිටම මාගේ පොත් එකතුවට "පේ අයියා" එකතු කර ගැනීම මාගේ අභිප්‍රායක් විය. නමුත් අභාග්‍යයක මහත ඒ වන විට "පේ අයියා" අපගේ පුස්තකාලයෙන් අතුරුදන් වී ඇත. එය සොරකමක් නොවන්නට ඇත. ඒ එම කාලය වන විටත් පොත කියවූ පාඨකයන් ප්‍රමාණය වැඩි වීම නිසා දුර්වර්ණ වී තිබුණු පොතක් වීමය. ඒ නිසා මා සිතන්නේ එය විනාශ වන්නට ඇත. කෙසේ හෝ වේවා මා එය සොයද්දී මා හට එහි ලේඛිකාව මතක තිබුනේද නැත. දැන් මා දන්නේ පොතේ නම පමණකි. 

නමුත් විසි වසරකට පසු දුම්රියේ මිතුරන් පිරිසක් නිසාවෙන් මා අද "පේ අයියා" පොතේ හිමිකරුවෙක් වී අවසානය. ඒ මා මිතුරු ඉශන්ද වර්ශගේ නිසාවෙනි. මා ඔහුට සදා ස්තූතිවන්ත වෙමි. විසි වසරක් තිස්සේ සෙවූ පොත මා අත තැබූ විට දැනුනා වූ ඒ හැගුම් සමුදාය විස්තර කිරීමට තරම් මා සතු වචන එකතුව ප්‍රමාණවත් නොවේ. විසි වසරකට අධික කාලයකට පසු මාගේ පොත් එකතුවේ ඇති වටිනාම පුස්තකය මා අතට හමුවී අවසන්ය. මාගේ ජීවිත කාලය තුල මා හිමිකරුවකු වන්නට බලාපොරොත්තු වූ පොත් දෙකම අද මා සතුය. ඒ වයි. පෙරෙල්මාන්ගේ ගණිත විනෝදය හා මාලිනී විජයවීරගේ පේ අයියා පොත් දෙකයි. තවමත් අවසන් නැත. පේ අයියා පොතෙහි දෙවැනි පිටපතකුත් අවැසිය. ඔබේ සිතිවිලි නිවැරදිය.. ඇයි දෙවන පිටපතක් යැයි ඔබට සිතෙනු ඇත. ඒ එක් පිටපතක් මාගේ ජීවිතය අවසන වන තුරුත් මා ලග සුරැකිව තබන්නටත් දෙවැනි පිටපත එය කියවා රසවිදින්නට අන් අය අතට ලබා දෙන්නටත්ය. එය ඒ තරම්ම අගනා බව මා දන්කා නිසාවෙනි. 

පේ අයියා සොයා ගොඩගේ පොත් මැදුර ඇතුලු ලංකාවේ විසිර ඇති විවිධ පොත් ප්‍රකාශකයින් වෙත දුරකථන ඇමතුම් දුන්නේ පේ අයියා ලියූ මාලිනී විජයවීර මා හදුනන අයෙකු නිසා නොවේ. පොත් ප්‍රදර්ශනවල ප්‍රදර්ශන කුටියක් පාසා පේ අයියා තිබේ දැයි අසන්නට පමණක් ගියේ අතේ මුදල් ඇතිවද නොවේ. නමුත් ඒ වෙලාවේදී තිබුනොත් අත ඇති දෙයක් දී හෝ පොත රැගෙන ඒමේ චේතනාවෙනි. ජීවිත කාලයක් සෙවූ පොත අද මා අසලය. දුර්වර්ණ වුවද අකුරක්වත් අඩු නැතිව පේ අයියා මා වෙත ලබා දෙන්නට තරම් කාරුණික වූ මා මිත්‍රයාටත් ඔහුට මේ පොත මා වෙත ලැබෙන තුරු වචනයෙන් හෝ උදව් වූ සැමටත් මාගේ කෘතඥ පූර්වක ස්තූතිය මෙලෙස පුද කරමි. 

අවසන ලිවිය යුතුමය "පේ අයියා" තවත් එක් කතාවක් පමණ්ම නොවන්නේය.....

20 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මාත් අවුරුදු 13 දි විතර කියවපු ගොඩක්ම ආසා පොතක්,තවමත් හොයන හොයාගන්න බෑරි උන පොතක්,පේ අයියාගේ ඉස්සො අල්ලන විදි,මිමෑස්සො හදන හෑටි......

    ReplyDelete
    Replies
    1. සොයන්නාට සම්බවේ
      අතාරින්න එපා

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මම ආසාවෙන් කියවපු මුල්ම පොත. ඇත්තටම මගේ පොත් කියවන ආසාව ඇති කලේ ඔය පොත

    ReplyDelete
    Replies
    1. මේක ගැන වචන නෑ

      Delete
    2. Me potha thiyana thanak kiyanna puluwanda.awichhci karapu ekak hari kamak ne

      Delete
  5. one of my most memorable books !

    ReplyDelete
  6. මටත් මේක ආය කියවන්න ඕන..😥

    ReplyDelete
  7. මිත්‍රයා පේ අයියා සොයා ගන්න මට උදවු කරන්න
    මගේ ජිවිතේ කුඩා කල කියවු හොදම පොත

    0777351424

    ReplyDelete
    Replies
    1. මේකෙ ආයෙ කොපියක් ඇති කියල හිතන්න අමාරුයි.. පැරණි පොත්පත් ගොන්නක් අවුස්සල මටත් ඔය පොත ගෙනත් දුන්න කෙනා අරන් ආව කිව්වේ

      Delete
    2. මේ පොත scan කරල online දාන්නකෝ. Free හරි මුදලක් ගෙවල හරි කියවන්න.

      Delete
  8. මමත් අවුරුදු ගානක ඉදන් හොයන පොතක්. මේක ගන්න විදියක් ඇත්තෙතම නැද්ද

    ReplyDelete
  9. පේ අයියා මම සෑහෙන්න හෙව්වා.මාලණී විජයවීර මහත්මියත් ලිවුවා,ගොඩගේ පිරුවා.හම්බ උනේනෑ.පුළුවන්නම් PDF හරි කියවන්න ස්කෑන් කරන්න.කරන්න කෙනෙක් ස්කෑනර් දෙන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. මේ පෙත PDF කරන්න ගැලෙව්වොත් නම් සවුත්තු වෙනව. හැබැයි මරදානේ පරණ පොල් සාප්පු වල හෙව්වොත් තව ඒකක් හොයාගන්න බැරි වෙන ඒකක් නෑ

      Delete
    2. මරදාන පිරුවා, book fair එකේ ගොඩගේ පරණ පොත් සෙට් එකත් කොනක ඉදන් බැලුවා.මාලණි විජයවීර මහත්මියටත් ලිපියක් දැම්මා,එයා ගාවත් නෑ.පොත ගලවන් නැතිව ස්කෑන් කරන්න පුළුවන්.නැතිනම් පොටෝ ගහමු.එක පාරක් පොත කියවන්න පුදුම ආසාවක් තියෙන්නේ.ඔය කියන ඕන පොතක් අරං දෙන්නම්.මුදල් ඕන නම් ඒත් පුළුවන්.අනේ පුළුවන් නම් මේ උදව් ව කරන්න

      Delete
    3. බලමු පින්තූර ටිකක් වත් දාන්න උත්සාහ කරන්නම්.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!