හිස්ටග්‍රම් (Histogram) එහෙමත් නැතිනම් ජාලරේඛනය

අද කියන්න යන්නේ හිස්ටග්‍රම් එක ගැන. අහල තියෙන අය වගේම අහලා නැති අයත් ඇති. ඒ කාටත් ප්‍රයෝජන වෙයි කියල හිතල මම තේරුම් ගත්තු මම උගනිපු හිස්ටග්‍රම් එක, එහි වැදගත්කම හා භාවිතය ගැන ටිකක් කියන්න හිතුනා.

මුලින්ම කතා කරමු මොකක්ද මේ හිස්ටග්‍රම් කියන්නේ කියල. හිස්ටග්‍රම් එක අර්ථ දක්වන්නේ නම් තාන අගයයන්ගේ (Tonal Values) විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. වෙන විදිහකින් කිව්වොත් පින්තූරයේ උපරිම දීප්තිය ඇති තැන සිට අවම දීප්තිය දක්වා පරාසය තුල එක් එක් දීප්ති විචලනය දක්වන ප්‍රස්ථාරය කියලයි. මේක දීප්තියත් එක්ක ගනුදෙනු කරන ප්‍රස්ථාරයක් වෙන්නේ ආරම්භය කලු සුදු ඡායාරූප වලින් පටන්ගත්තු නිසා ‍විය යුතුයි. සාමාන්‍යයෙන් අපට හිස්ටග්‍රම් ප්‍රස්ථාර විවිධ ආකාරයෙන් දකින්න පුළුවන්. Luminosity, RGB, Red, Green, Blue හා Colors කියන ප්‍රස්ථාර වර්ග කීපයම නවීන කැමරාවල වගේම පසුසංස්කරණ සඳහා භාවිතා කරන මෘදුකාංග වල දකින්න පුළුවන්. ඒ එක එකක් ගැන පසුව කතා කරමු. සෑම හිස්ටග්‍රම් ප්‍රස්ථාරයක්ම 0 - 255 දක්වා වූ පරාසයක විචලනය වන අතර අවම දීප්තිය එසේත් නැතිනම් කලු වර්ණය 0 අගයයෙනුත් උපරිම දීප්ත අගය වන සුදු වර්ණය 255 අගයයෙනුත් දක්වනු ලබන අතර ඉතිරි දීප්ති අගයයන් සියල්ල 0 - 255 දක්වා පරාසය තුල පිහිටවනු ලබනවා. හිස්ටග්‍රම් එකක සම්පූර්ණ තාන පරාසය (Tonal Range) 0 සිට 255 දක්වා අගයයන් පරාසය කොටස් තුනකට වෙන් කලාම 0 අගයෙන් පටන් ගන්න කොටස සෙවනැලි තාන පරාසය (Shadows) ලෙසත් 255 අගයෙන් අවසන් වල කොටස දීප්ත තාන පරාසය (Highlights) ලෙසත් මැද කොටස මධ්‍ය තාන පරාසය (Mid tones) ලෙසත් හඳුනා ගන්න පුළුවන්. තව දෙයක් තමයි සෑම විටම මේ හිස්ටග්‍රම් එක එකම ප්‍රමාණයක් තිබීම.එය කැමරාවේ හෝ පරිඝණකයේ හෝ වේවා එහි පරාස ප්‍රමාණය නියත අගයක්. යම් අවස්තාවක එකම තානයක් අනන්ත ප්‍රමාණයකින් ඡායාරූපයේ තියෙනවා උනත් එම තානයේ ප්‍රස්තාරික අගයේ උස උපරිම සීමාවකින් දක්වන ආකාරයෙන් එම අගය හැකිලිලා තමයි පෙන්වන්නේ.

කැරකෙන ලොජික්...

දැන් දැන් ලංකාවේ සෑහෙන්න ඡායාරූප ගන්න අය ඉන්නවා. මේ දවස් වල මාත් ආසාවෙන් ඉගෙන ගන්න විශයයක්. නමුත් අපේ අයගේ රසවිඳීමේ හැකියාව හා පින්තූර ගන්න ඕන අරමුණු ගැන තියෙන ලොජික් එක නම් ඇත්තටම හිතාගන්න අමාරුයි. රසවින්ඳනය ඇත්තටම තියනවාද නැතිනම් වෙන දෙයක්ද කියලත් හිතෙනවා.
ලංකාවේ දිවියන්ගේ පින්තූර ගන්න අලින්ගේ පින්තූර ගන්න අනන්ත අය ඉන්නවා. ඔවුන් දිවියන්ව විවිධ ආකාරයෙන් පින්තූර ගන්නවා. අපියා විවිධ අයුරින් පින්තූර ගන්නවා. නැතිනම් කුරුල්ලන් විතරක් පින්තූර ගන්න අයත් ඉන්නවා. සේ විදිහෙන් එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. හැම සතෙක්ම විශේෂත්වයක් නැතිව ඡායාරූප ගන්න අයත් නැතිවාම නොවෙයි. නමුත් ඒ හැම කෙනාටම විශේෂ ආසාවක් අවධානයක් තියෙන එක සතෙක් හෝ කීපයක් ඉන්නවාමයි.
 පහුගිය කාලේ මගේ විශේෂ අවධානයක් යොමුවුනේ මකුළුවන්ට. හුඟක් අය මගෙන් අහන දෙයක් තමයි මකුළුවන්ගේ පින්තූර අරන් එපා වෙන්නේ නැද්ද? Macro කියන්නේ මකුළුවන් විතරයිද? වගේ ප්‍රශ්ණ ගනනාවක්. මේ ලිපියට හේතුව වෙන්නේත් ඒ කරුණ පැහැදිලි කරන එක.

මැක්‍රෝ ලෙන්ස් එකයි මැක්‍රෝ ඡායාරූපකරණයයි - දන්න සිංහලෙන් Macro Photography සිව්වන කොටස

පහුගිය කාලේ සමාජ ජාල වෙබ් අඩෙවි වල මැක්‍රෝ ඡායාරූපකරණය කරන පිරිස් බොහෝමයක් බිහිවෙලා තිබුනා. පොඩි පොඩි උපකරණ වලින් වැඩ ගන්න හැටි ගැන මම ලියපු ලිපි වලින් වැඩ ගත්තා කියපු අයත් ගොඩක් හිටියා වුනත් තාමත් බ්ලොත් එකේ ලිපි වල ඒ අදහස් පල කරන අය නම් නැති වීම කණගාටුවට කරුණක්. ‍කොහොම වුනත් ඉදිරියේ ලිපි ලියනවාද යන්න තීරණය වෙන්නේ මේ ලිපි වල ප්‍රතිචාර වලින් මොකද ලියන ලිපි වැඩක් නැතිනම් ඒවා දිගින් දිගට ලිවීමෙන් පලක් නැති නිසා.

අපි ආයෙත් මාතෘකාවට එමු. මැක්‍රෝ ලෝකයට එ‍බිල බලන කෙනෙකුට එයින් පිටවෙන්න ලැබෙන්නේ බෙහෝම අමාරුවෙන් තමයි. ඒක ඒ තරම්ම උන්මාදයක්. ඉතින් පුංචි පුංචි දේවල් වලින් මැක්‍රෝ ඡායාරූප ගන්න පටන් ගන්න අය අවසානයේ එන්නේ මැක්‍රෝ ලෙන්ස් එකක් ගන්න තත්ත්වයට. හැබැයි ඉතින් ලෙන්ස් එකක් ගත්තා කියල විතරක් අනිත් අයට වඩා විශිෂ්ඨ වූ ඡායාරූපයක් ලබා ගැන්න බැහැ. එයට හොඳ උදාහරණ අපිට සමාජ ජාලා තුලම දකින්න පුළුවන්. බොහෝමයක් අය වැඩි මුදලක් දීලා ලෙන්ස් එක්ක අරන් අවසානයේ කියනවා මීට වඩා මගේ තිබුණ උපකරණ වලින් වැඩක් කරන්න තිබුනා කියල. ඒකට හේතු වෙන්නේ ඒ ඒ අය තමන් ගන්න ලෙන්ස් එක හා ඒකෙන් කරන්න පුළුවන් පරාසය ගැන නොදන්නා නිසා කියලයි මගේ අදහස වෙන්නේ.

ඡායාරූප කප්පාදු කිරීම (Cropping)

ඡායාරූප කප්පාදු කිරීම, මේක දැන් නම් නොදන්න කෙනෙක් නැහැ. ඡායාරූපයක් ගන්න කෙනෙක් හෝ නරඹන කෙනෙක් “හයියෝ ඕක crop කරන්න තිබුනනේ” කියල කියනවා අහල දැකල ඇති. ඡායාරූප කප්පාදු කරන්නේ ඇයි. මේක තමා තියෙන ප්‍රශ්ණය. ඡායාරූප කප්පාදු කරන්න හේතු කරගන්න ඕන මූලික කාරණා කීපයක් තියෙනවා. ඒ ගැන බලන්න කලින් ඡායාරූප ක්‍රොප් කරද්දී මතක තියා ගන්න ඕන ප්‍රධාන කරුණක් තියෙනවා. ඒ තමයි හැම වෙලාවේදීම ඔයාලගේ මුල් ඡායාරූපයේ පිටපතක් භාවිතා කරන්න.

පින්තූරයක සම්පූර්ණ සංයුතිය පවත්වා ගන්න අපිට crop එකක් කරන්න පුළුවන්. හිතන්න ඉක්මනින් වෙනස් වෙන පින්තූරයක් නම් අපි ඉක්මනින් ඡායාරූපය ගන්නවා. සංයුතිය ගැන හිතන්න වෙලාව මදි නිසා. පසු සංස්කරණයකින් crop කරල සංයුතිය අපට අවශ්‍ය පරිදි සකස් කරගන්න පුළුවන්. හිතන්න කුරුල්ලෙක් ඉගිලෙන එකක් කියල. රාමුව ඉඩ කියල ගත්තා. පස්සේ ‍crop කරල නිවැරදි කර ගන්න පුළුවන්.
ඉහල ඡායාරූපය crop මගින් වෙනස් සංයුතියන් ඇති ඡායාරූප දෙකක් ලබාගතිමි
Photo credit Goes to Dr. Wasiri Rasu Gajaman
දෙවැනි කාරණාව අරමුණ වෙන නිවැරදි නාභිගත කිරීමක් පෙන්වන්න. මේක ගොඩක් වෙලාවට ලොකු ක්‍ෂේත්‍ර ගැඹුරක් (depth of field) තියෙන ඡායාරූපයක් සඳහා භාවිතා කරන්න පුළුවන්. මොකද පින්තූරයේ බොහෝ දේ නාභි ගත වෙලා නිසා නිවැරදි අරමුණ නාභිගත වීම සකස් කරගන්න crop කිරීමකින් පුළුවන්.

මගේ ගමන් බිමන් එකසිය එක් වන කොටස - මීමුරේ යන්න ගිහින් වැරදුනු ගමන

පහුගිය දිග නිවාඩුවට යකාගේ පඩිපෙල දිගේ ඔහියට ආව මතක ඇතිනේ. ඉතින් මේ නිවාඩුවේ තැනක මීමුරේ යන්නත් ඉඩ තියාගෙනයි ආවේ. ඒත් ඉතින් දිග නිවාඩුව හා අපේ සබඳතාවල දුර්වල බවක් නිසා මීමුරේ නවතින්න තැනක් හමුවුනේ නෑ. ඉතින් අපි හිතුවා මීමුරේ උදේ ගිහින් හවස එනවා කියල. මේ ගමනේ මූලික අරමුණ වුනේ මීමුරේ දකින්න සහ එය බලන්න යනවා නම් සබඳතා ටිකක් ගොඩනගා ගැනීම. කොහොම වුනත් අවසානයේ අපි බයිසිකල් දෙකක මාත් තවත් මිතුරන් දෙදෙනෙකුත් එක්ක මීමුරේ බලන්න නුවර ඉඳන් පිටත් වුනා. 
අපේ ගමන හුන්නස්ගිරියට ඇවිත් එතැනින් බයිසිකල් වලින්ම මීමුරේට යන්න තීරණය වුනා. අපේ අවාසනවාට විවිධ වැඩ නිසා සහ මට තිබුනු අසනීප තත්ත්වය නිසා අපි හුන්නස්ගිරියෙන් පිටත් වෙද්දී 11ට ආසන්න වෙලාවක් වෙන්න ඇති. මීමුරේට දුර කිලෝමීටර 37ක් වුනාට පාරේ මුල් ටික හදලා නිසා අපිට ඒ තරම් ගානක් වුනේ නෑ. ඉතින් මඟ ඉන්න සමනල්ලුන්ගේ පින්තූර ගන්නයි, අවට පරිසරයේ පින්තූර ගන්නයි අපේ කාලයෙන් ටිකක් වැඩිපුර වැය කලා. මේ විදිහෙන් අපි මීමුරේට ආසන්න වෙද්දී ටිකෙන් ටික වාහන ප්‍රමාණය වැඩිවෙන බව අපිට ‍දැනෙන්න වුනා. දින හතරක පහක දිග නිවාඩුවක් ආවාම මිනිස්සු ඉන්නේ කොහේද කියල තේරෙන්නේ මේ වගේ පැති වලට ආවම තමයි. කොහොම වුනත් අවසානයේ මීමුරේට යාබද ගම්මානය වුන කයිකාවලට ලඟා වුනා.