මගේ ගමන් බිමන් එකසිය දහනමවන කොටස - දෙගල්දොරුව රජ මහා විහාරය

මහනුවර සිට කිලෝමීටර 7ක් ගිය පසු හමුවන අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා ඇති දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලැබේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා ඉතා පහසුවෙන් දෙගල්දොරුවට ළඟා වීමට පුලුවන්. මෙය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන ලෙස සකස් කරන ලද ලෙන් විහාරයක් බැවින් දෙගල්දොරුව නමින් ප්‍රසිද්ධ වී ඇත.


විහාරය ඉදිකරනන් පටන් අරන් තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඒ (1747 – 1782) කාලෙදි. මේ කාලෙදි මහනුවර ගල්මඩුව විහාරය ඉදි කරමින් සිටි රජතුමාටඒ ලඟ තියෙන විහාරයකට කදිම ලෙනක් ගැන දැනගන්න ලැබිල තියෙනවා. පසුසේ ගල්මඩුව කරවීම පැත්තක තියලා අලුත් ලෙනේ විහාරය කරවීමට නියෝග කරල. ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී කරවන ලද දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් වූ පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ බව සැලකෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය කරවීම ආරම්භ කලා වුනත් එහි අවසානයක් දකින තුරු ඔහු ජීවත් වුනේ නැහැ. ඒ අසුපිටින් වැටීම නිසා මිය යාමෙන්. ඊට පස්සේ රජකම ලැබෙන ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු (1782 – 1798) විහාරය නිම කරලා මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ඒ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කරලා තිබෙනවා. ඒ බව රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙහි සටහන් කරල තියෙනවා. කොහොම වුනත් මේ විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී. මේ විදිහට සකස් කල වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බව පැවසේ. දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.

තවත් විශේෂත්වයක් වන්නේ මෙහි ඇති දහඅට රියනක් දිග සැතපෙල බුදු පිළිමයයි. එය පිහිටි ගලින්ම මතුකර සායම් කරමින් නිර්මාණය කර ඇත. ඒ සඳහා වසර 20ක් පමණ ගතව ඇතැයි පැවසේ. මෙම විහාරයේ සිතුවම් කටයුතු දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රමුඛ උපසම්පදා නොලත් දෙවරගම්පළ සිල්වත්තැන, නීලගම පටබැඳි සහ කොස්වත්තේ සිත්තර නයිදේ ලවා කරවා ඇත්තේ කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පෞද්ගලික අධීක්‍ෂණය යටතේ බවද පැවසේ. දිනක් මෙහි සිත්තරෙකු වු දෙවරගම්පළ සිල්වත්තැන සිතුවම් කරමින් සිටින විට තම ගෝලයා යැයි සිතා රජු අතට දුන් බුලත්හපයක් පවා, රජු අතට ගෙන විසිකර ඇති බවද පැවසේ. මෙයින්ද පෙනෙන්නේ රජු සිතුවම් කෙරෙහි දෑක්වු උනන්දුවයි. ධම්ම බුද්ධ හිමිට රාජාධි රාජසිංහ රජු මෙය පූජා කර ඇත්තේ ගුරු පඬුරක් ලෙසිනැයිද පැවසේ.

ජාතක කතා හයක් දෙගල්දොරුවේ සිත්තම් කර තිබෙනවා. ඒවා නම් මහා සීලව, වෙස්සන්තර, සත්තුභත්ත,ක්ෂාන්තිවාදී සහ අයෝධර යන ජාතක කතායි. ආලවක දමනය, සූවිසි විවරණය, තව්තිසා දෙව්ලොව, සොළොස්මස්ථානය ආදියත් මෙහි බිත්තිවල හා වියනේ ඇඳ තිබෙනවා. ඉහලින් ඇති ගල් වහලයේ සිතුවම් කර ඇති මාර පරාජය සිතුවම වඩා විශේෂිත වන්නේ ඒහි මාරයාට ලබා දී ඇති විහිළු ස්වරූපයත් මාරයන්ගේ දුනු ඊතල හෙලි අතරට තුවක්කු ද යොදා තිබීමත් ය. තුවක්කුව අතින් ගත් මාරයින් කාළීන අධිරාජ්‍යවාදී බලපෑමට සියුම් විරෝධයක් දැක්වීමට යොදාගෙන ඇති බවට සිතිය හැකිය. මෙහි වෙස්සන්තර ජාතකයේ අලි ඇතුන් දන්දීම, භාණ්ඩ දන්දීම, ළිඳ ළඟ කළහය, ජූජක බමුණා සැඟවී සිටීම සහ සුතසෝම ජාතකයේ රුක්දෙවියාට බිළි දීමට බැඳ දමා ඇති කුමරුවන්, සිව්රඟසෙන් පැරදවීම යනාදිය ද අලි ඇතුන් දන්දීම යන අවස්ථාවේ රූප සම්පිණ්ඩණය සහ සමබරතාවය ඉතා උසස් බවක් ගනී. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ ජීවිතයට සම්බන්ධ අවස්ථා ජාතක කතා තුළින් නිරූපිත බවට අනුමාන කෙරේ. තද වර්‍ණ මිටි රූ සහිත මෙම සිතුවම් මහනුවර යුග සිතුවම් කලාවේ විශ්මයකි.
මෙහි ගර්භ ගෘහයට ඇතුළුවීමට නෙළා ඇති කේතු ආකාර සඳකඬ පහනේ ප්‍රධාන මෝස්තරය තිරිඟි තලයයි. මෙයද පිහිටි ගලින්ම නෙළා ඇති අතර නුවර යුගයේ දර්ශනීයතම සඳකඩ පහනකි. අන්තරාලයේ විශාල ගල් කුළුණු 12ක් මතින් පියස්ස දරා සිටින අතර මේවාද බිතුසිතුවමින් අලංකෘතය. විහාරය ඇතුළත දුර්ලභ ගණයේ දැවමය මකර තොරණකි.

තඹ සන්නස දෙගල්දොරුවේ ඉතිහාසය හෙළි කරන වැදගත් සාධකයක්. එයට අනුව මෙම ලෙන ගැන දැන ගැනීමට ලැබී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ පියාටයි. විහාරයක්‌ කරවීමට අවශ්‍ය වන අයුරින් ලෙන විශාල කරවීමට භාණ්‌ඩාගාරයෙන් අවශ්‍ය අලවංගු, යවුල්, කටු, මිටි ආදිය සපයන ලදුව, දිගින් රියන් දොළහක්‌ද, පළලින් රියන් අටක්‌ද, උසින් රියන් තුනක්‌ ද වන සේ ලෙන විශාල කර තිබෙනවා. අනතුරුව සඳකඩපහණ හා ගල්පඩි සකස්‌ කර ගල්ටැම් දොළහක්‌ සිටුවා විහාර ගොඩනැගිල්ල නිමා කර තිබෙනවා. ඊට පසු විහාර බිතු සිතුවම් හා ප්‍රතිමා කරවා අගුල් යතුරු අල්ලා විහාරගෙය නිමා කළ බවත් සන්නසේ අපූරුවට විස්තර වෙනවා. විහාර නඩත්තුවට ගොඩමඩ ඉඩම් අමුණු පනහක් පූජා කර තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. විහාරස්‌ථානයට අවශ්‍ය තිර, වියන්, කුඩ කොඩි, බෙර, දවුල්, පඩික්‌කම්, බුලත් හෙප්පු, පහන් ආදියත් රජු පූජා කර තිබෙනවා. දෙවරගම්පල සිල්වත්තැන, නීලගම පටබැන්දා, කොස්‌වත්තේ හිත්තර නයිදේ යන ඒ කාලයේ සිටි විශිෂ්ටතමයන් මෙම විහාර කර්මාන්තයට දායක වූ බවයි පැවසෙනවා. දොළොස්‌ රියන් සැතපෙන බුද්ධ ප්‍රතිමාව හා එහි දෙපැත්තෙන් තැන්පත් කිරීම සඳහා හිඳි පිළිම හයක්‌ කර වූ බව සන්නසේ සඳහන්. අපට අද විහාරය තුළ සැතපෙන බුද්ධ ප්‍රතිමාව සහ හිඳි බුද්ධ ප්‍රතිමාවක් ද හිටි බුද්ධ ප්‍රතිමා දෙකක් ද දැකගත හැකියි. මේවා උඩරට මූර්ති ශිල්පයට උදාහරණ සපයනවා.
 
ලෙන් විහාරය පිහිටා ඇත්තේ කුඩා කඳුගැටයක් පාමුලයි. එයට නුදුරින් පැරණි සංඝාවාසයත් අපට දැකගත හැකියි. ලෙන් විහාර ගොඩනැගිල්ලට සම්බන්ධව මුලින්ම පිහිටා ඇත්තේ හේවිසි මණ්ඩපයයි. හේවිසිකරුවන් හේවිසි වාදනය කරන්නේ එහි සිටයි. එය ගල් කණු 20 ක් යොදා සාදන ලද බරාඳයක්. බරාඳයේ වියන ලෑලිවලින් නිම කර රෙදිවල අඳින ලද සිතුවම් අලවා අලංකාර කර තිබෙනවා. වියනෙහි බහුලවම දක්නට ලැබෙන්නේ නෙළුම් පෙති මෝස්තර සහ ජ්‍යාමිතික රටා ඇසුරින් නිර්මාණය කරන ලද මෝස්තරයි. මහනුවර යුගයට අයත් සඳකඩ පහණ දෙකක් ද මෙහි දැක ගැනීමට පුලුවන්. විහාරයට ඇතුළුවිය යුත්තේ මකර තොරණින් අලංකාර කළ දොරටුවකින්. දොර පියනද අලංකාර මෝස්තරවලින් පරිපූර්ණයි. පිට මාලයේ සහ ඇතුළු මාලයේ බිත්තිවල සහ ලෙන් වියනේ ද අගනා බිතු සිතුවම් ඇඳ තිබෙනවා.

ආනන්ද කුමාරස්වාමි ප්‍රකාශ කර ඇති පරිදි ඒවායේ අගය රඳා පවතින්නේ ශෝභනත්වය හා සිත්කළු බව නිසාම පමණක්‌ නොව රටේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ඒවා මගින් ප්‍රකාශ වන නිසයි. මේ චිත‍්‍ර නැරඹීම තුළින් එකල ජීවත් වූ විවිධ තරාතිරමේ ගැහැණුන්ගේ හා පිරිමින්ගේ ඇඳුම් පැළඳුම් ආභරණ සහ පොදු සමාජ සිරිත් ගැනද කිසියම් අවබෝධයක් ලබාගත හැකිය. රූප සම්පිණ්ඩනය, වර්ණ සංයෝජනය සහ රේඛා භාවිතය අතින් මෙම සිතුවම් ඉහළ තැනක වැජඹෙනවා.

පියගැට නැග විහාරයේ ඉහළ මළුවට පැමිණි විට කඳුගැටය මත පිහිටි දාගැබ සහ බෝධි වෘක්ෂය වන්දනා කිරීමටත් ඔබට පුලුවන්.



තවද පුරාවෘත ගණනාවක්ම මෙම විහාරය වටා පවතී. ඉන් එකක් නම් මෙහෙ තිබුණා ගල් දෙකක් එකට හාවෙන තැනක්. දවසක් ගමේ මිනිහෙක් මේ ගල් ගේ ඇතුළට ගියා. ඒක ඇතුළෙ රත්තරන් දෑකැති ගොඩක් තියනවා දැක්කා. මිනිහා එක රන් දෑකැත්තක් අරන් ඇවිත් ගොයම් කපලා ආපහු ගල් ගේ ඇතුළෙම තියනවා. ගල් ගෙයින් පිටට ආවම දොර වැහෙනවා. ඔහොම කාලයක් කරගෙන ආවා එක දවසක් මිනිහා රන් දෑකැති දෙකක් අරගෙන ආව. හැබැයි ගොයම් කපලා ගිහින් තිබ්බේ එක දෑකැත්තක් විතරයි. ගල් ගෙට අරක් ගෙන හිටි බහිරවයා බලනකොට එක දෑකැත්තක් අඩුයි. බහිරවයා දැන් දෑකැත්ත ගෙනත් තියාපිය කියලා තරවටු කළා. මිනිහා හොදටම බයවෙලා රෑම දෑකැත්තත් අරන් ගල් ගෙට ගියා. බහිරවයා, ගිහින් තියාපිය දෑකැත්ත ඇතුළෙන් කියලා මිනිහට සැර වුණා. මිනිහා ගල් ගේ ඇතුලට ගියා විතරයි ගල් ගේ වැහුණා. බහිරවයා කොහෙ ගියාද දන්නෑ. ඒ ගල් දොර වැහුණ තැනට තමයිලු දෙගල්දොරුව කියලා කියන්නේ. එතන තමයි විහාරෙ හදලා තියෙන්නේ. ඊට පස්සෙ මේ සිද්ධිය ගමේ මිනිස්සු රජතුමාට සැලකළා. රජතුමා මෙතන විහාරයක් කරවන්න හොදයි කියලා කල්පනා කරලා ගමට මිනිස්සු එවලා ගිනි ගහලා බේත් දාලා ගල් ගේ හෑරුවා. මෙහෙම හාරලා ගල් ගේ ලොකු කරලා දොළොස් රියන් පිළිමයක් කපලා ඉතුරු හරිය පස් වලින් පිරෙව්වලු. මේකෙ ගල් ටැම් දොළහකුත් තියනවා. මේ කටයුත්ත කරන ආකාරය රජතුමත් ඇවිල්ලා බලන් හිටියලු.

කොහෙම වුනත් විශේෂ සිතුවම් හා කලාත්මක දේ නිසා පොත පතේ සඳහන් දෙගල්දොරුව ගැන කතාව මෙහෙමයි.  



ආයෙ ගමනකින් හමුවෙනකන් ආයුබෝවන්.

2 comments:

  1. ඔබගේ ලිවීම අනාගතයට කරණ්නාවූ ආයෝජනයක්. තව කලක් යන විට මේවා සියල්ල නටබුන්ව පවතීවි!

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!