අම්පාරේ දවස් - පළමු කොටස

මේ කතාව ආරම්භය මෙතකැයි නොකීවද මාගේ විශ්ව විද්‍යාල ජීවිතය ආරම්භ වීමත් සමඟ ජීවිතයේ නව පිටුවක් පෙරලුවා වැනිය. එයිනුත් වසර කීපයක් අතිශය විශේෂිතය. "අම්පාරේ දවස්" ආරම්භයේ සිට අවසානය තෙක් ලිවීම අපූර්ව විය හැකි වුවත් සිත දුවන්නා වූ විශේෂිත මතකයන් අතරින් පතර මාගේ සිතිවිලි දැහැන බිඳ දමන්නේ වරක් දෙවරක් නොවේ. මා සිතම මෙලෙස සිදු කරන්නා වූ මතක හරඹයන් හමුවේ පිලිවෙලින් ලිවීම සිදු කල නොහැකය. එනිසාම ලිපි ලිවීමද ප්‍රමාද වේ. එනයින් හුදෙක් මතකය මතුපිටට ඉපිලී ඒන මතකයන් කොටස් වශයෙන් ලිවීමට තීරණය කලෙමි.

ඒ වර්ෂ දෙදහස් දහ හතර වන වර්ෂය බව පවසන්නේ මගේ මතකයට වඩා මගේ මතක එකතුව වූ ඡායාරූප ගොන්නයි. කලකට පෙර අම්පාර ප්‍රදේශයේ වසර කීපයක් ජීවත් වූ මා ගෙන ආ සුන්දරම මතකයන්ගෙන් එකක් බව නැවත නැවතත් සිහිපත් කරමි. එකල අප කුඩා පිරිසක් වශයෙන් එක්ව රාත්‍රී අහස නිරීක‍්ෂණ වැඩසටහන් පවත්වන්නට වීමු. එය පාසල් ලමුන් වෙනුවෙන් විශය මාලාවේ ඇති පාඩම් කොටස් අලලා විශේෂිතව සකස් කරන ලද වැඩසටහනකි. එය කොටස් දෙකක් ලෙස 3, 4, 5 වසර වල ළමුන් සඳහා එක් වැඩසටහනක් ද 9,10,11 වසර වල ලමුන් සඳහා තවත් වැඩසටහනක් ද වශයෙන් පැවැත්වීය.

මා මොරගහපල්ලම විද්‍යාලයට යන්නේ මේ වැඩසටහනේ තවත් එක් වැඩසටහනක කොටස්කරුවෙක් වශයෙනි. අම්පාර මොරගහපල්ලම විද්‍යාලය යනු දමන ප්‍රාදේශිකයට අයත් කුඩා පාසලකි. පාසල එකල අතිශය දුශ්කර ලෙස සලකන ලද පාසලකත් විය යුතුය. පාසල වටා කුඩා කැලෑ ප්‍රදේශයත් ප්‍රදේශය පුරා විසිරුණු කුඩා වැව් පද්ධතියත් හේතු කරගෙන ගම්මානය නිරන්තර අලි ආක්‍රමණයන්ට ලක්වන්නකි. නමුත් පාසලේ තරමක සිසු පිරිසක් අධ්‍යාපනය ලබන බව පෙනෙන්නට තිබිණි. ඒ පාසලේ ක්‍රියාකාරකම් හා ඉගැන්වීම් ක්‍රමවේද නිසා විය යුතුය.

අප පාසලට රැගෙන යන්නේ කුඩා දරුවන් වෙනුවෙන් සකස් කෙරුණු වැඩසටහනක් වෙනුවෙනි. සවස 4.00 පමණ විට පාසල වෙත ලං වූ අප විදුහල්පතිවරයා සහ විශය භාර ආචාර්යවරයා සමඟ සුහද පිලිසඳරකින් පසු අපගේ කාර්යය ආරම්භ කරන්නට වීමු. අපගේ වැඩසටහනේ පලඹු කොටස ඩිජිටල් තිරයක් මත ප්‍රක්ශේපනය කරන ලද පාඩම් ඉගැනවීමකි. එහිදී අදාල පාඩම් කොටස් සහ එදින රාත්‍රී අහසේ අපට දැකිය හැකි වස්තූන් සම්බන්ධයෙන් දැනුවත් කරනු ලැබේ. තවද රාත්‍රී අහස නිරීක්‍ෂණ ක්‍රම පිලිබඳවද විස්තර කරනු ලැබේ. පාඩම් කොටස අතර වාරයේ ලමුන්ට පැන නඟින ගැටලු අපවෙත යොමු කල හැකි වන අතර ඒවා සඳහා පිලිතුරු ලබා දීමද සිදුවේ. මේ සියල්ල සාමාන්‍යායෙන් පැය 2-3 අතර කාලයක් ගත වන අතර ඉන්පසු ලමුන්ට රාත්‍රී ආහාරය ලබා ගැනීමට අවස්ථාව ලබා දී දුරේක්‍ෂ මගින් අහස නිරීක්‍ෂණයට අවස්ථාව ලබා දෙනු ලැබේ. 

පාසලට අලි එන බව අප සක්සුදක් සේ දනිමු. නමුත් පාසල තුල සිටි කිසිවෙක් ඒ පිලිබඳ කලබලවන අයුරු හෝ බියක සේයාවක්වත් නොපෙනේ. නමුත් මේ ක්‍රමවේදයන් නුපුරුදු මා සිත තුල බියකි. කුඩා ලමුන්, අලි කඩා වැදුනොත් ලමුන් කල යුතු දෙයක් නොදන්නවා වෙන්නට පුලුවන. ආරක්‍ෂාකාරී ස්ථානයක් තිබේද? මොනවුන් ඒ සඳහා පියවයර ගෙන ඇත් ද? මෙවන් ප්‍රශ්ණ දාමයක් සමඟ අප වැඩසටහන ආරම්භ කලෙමු. 

අප වැඩසටහනේ පලමු අර්ධය අවසන් වෙද්දී රාත්‍රී අඳුර ගලා එන්නට විය. කුඩා ලමුන්ගේ වැඩසටහන පරිගණක මෙහෙයවීම හා තාක්‍ෂණික උපකරණ සකස් කිරීමත් විවිධ අවස්ථා ඡායාරූප ලබා ගැනීමත් මා විසින් සිදු කරනු ලැබේ. හාත්පසින් අඳුර ලඟා වෙද්දී මා සිත දෙගෙඩියාවෙනි. නමුත් අඳුරු වැටෙන්නට පටන් ගද්දී පිට්ටනිය වටා විලක්කු දැල්වෙන්නට විය. කීප තැනක ඇවිදින විලක්කුද පෙනුනි. හොඳින් නිරික්‍ෂණය කල විට විලක්කු අතින් ගත් දෙමාපියන් පිට්ටනිය කෙලවර විලක්කු නිවෙන්නට නොදී තබා ගැනීම හා අලි පැමිණීම පිළිබඳ අවධානයෙන් සිටීමත් සිදු කරනු දැකිය හැකි විය. පුදුමය එතැනින් අවසන් නොවීය.

රාත්‍රී ආහාරය සඳහා කාලය එලැඹිනි. සාමාන්‍යයෙන් ලමුන් ආහාර ගන්නා අවස්ථාවේදීම අප ද අහාර ලබාගෙන ඉක්මනින් නිරීක්‍ෂණ උපකරණ සකස් කර වැඩසටහනේ දෙවනි අර්ධයට සූදානම් වෙමු. නමුත් එදින, එදින වෙනස් ය. ආහාර ලබා ගැනීමට ඇත්තේ බුෆේට් ක්‍රමයටයි. පන්ති කාමරයක් තුල වෙනුවට එලිමහනේය. වට පිටාව කුඩා බල්බ කීපයකින් පමණක් ආලෝකමත් කර ඉතිරිය සම්පූර්ණයෙන්ම ගස් වල බැඳි විලක්කු වලින් ආලෝකමත් කර ඇත. කුඩා පන්ති වල ඇති ඩෙස්ක් දෙකක් බැගින් එකට තබා ඒ වඩා පුටු හයකි. සෑම ඩෙස්ක් එකක් මතම ඉටිපන්දම් දැල්වේ. සැබැවින්ම එලිමහන් ආපන ශාලාවකි. පුදුමය එතැකින්ද අවසන් නැත.

කුඩා ලමුන් පිලිවෙලින් ගොස් තම පිඟානට ආහාර බෙදාගෙන පැමිණේ. ආහාර බෙදා දීම සඳහා දෙමාපියන් කීප දෙනෙකි. තවත් කීප දෙනෙක් ලමුන් තම ස්ථානයට යාමේ දී අනතුරක් නොවීමට සීරුවෙනි. ලමුන්ගේ ආරක්‍ෂාව සඳහා පිට්ටනිය වටා සිටියවුන් තවමත් එසේමය. ලමුන් පිලිවෙලින් පැමිණ ආහාර ලබා ගනී. ඉන්පසු තමාගේ ස්ථානයෙන් අසුන් ගෙන මේස ආචාර විධි පිලිපදිමින් ආහාර ලබා ගනී. සියල්ල ක්‍රමාණුකූලය. මා ආහාර ගත යුතු බව අමතකය. සියල්ල අමතක කල මා ඡායාරූප ලබා ගැනීම සිදු කලෙමි. මතකයත් අත්දැකීමත් උපරිම වශයෙන් සිහි තබා ගැනීම පමණක් මට ප්‍රමාණවත්ය. ආහාර පසුව ලබා ගත හැක. පුදුමය තවත් එතනමය. වසර නමයකට පසුවත් ඒ මතකය සිහිවන විට මා ශරීරය පුරා විදුලියක් යන්නා වැනි හැඟීමකි.

ආහාර ලබා ගැනීමෙන් අනතුරුව අතුරුපස වෙනුවෙන් අයිස්ක්‍රීම් ය. කුඩා ලමුන් හා අයිස්ක්‍රීම් යනු අතිශය සුන්දර බැඳීමකි. මා සිතුවේ ඔනවුන් අයික්‍රීම් වෙනුවෙන් පොරකනු ඇත කියාය. නමුත් පුදුමයකි. මොවුන් පෙර සේම තම බඳුන සමඟ පෙලක් සැදී පැමිණේ. පිලිවෙලින් තම අතුරුපස ලබාගෙන වාඩි වූ ස්ථානයන්හිම අසුන් ගෙන අතුරුපස රස විඳින්නට විය. ඔවුන් කල යුතු ආකාරයන් පිළිබඳ උපදෙස් මිස අණ දීම් ඇසෙන්නට නැත. කිසිවෙකු ලමුන් "දක්කන්නේ" නැත. මොවුන් ලමුන් දෙස සකස් කල රොබෝවන් දැයි මට සිතේ. අතුරුපසින් පසු අප වැඩසටහනය. කටට දෙකට මාගේ ආහාරය ලබාගෙන කඩිනමින් මාගේ කණ්ඩායම සමඟ එකතු වීමි.

වසර ගණනාවකට පසුවද අද මෙන් මතකයේ ඒ සිදුවීම් දාමය ගැවසේ. මේ මතකය මා වඩා පුදුමයට පත්කලේ වසර ගණනාවකට දකුණු පලාතේ පහසුකම් සහිත පාසලක මා අප වැඩසටහන සිදුකිරීමට ගත් උත්සාහයේ දීය. වැඩසටහන යෝජනාවක් පමණක් වූවා මිස සිදු කෙරුණේ නැත. එකඟතාවය අනුව අවශ්‍ය තාක්‍ෂණික උපකරණ සමඟ මා පාසලට ගිය ද පාසලෙන් ලැබුණ පිළිතුර නැවත ඒ පාසල වෙනුවෙන් මාාගේ දායකත්වය නොදෙන්නට තරම් සිත කලකිරවන සුලුය. ලමුන් රාත්‍රියට පාසලට ගෙන්වා ගැනීමට හෝ එසේ ගෙන්වා ගැනීමේ වගකීම භාර ගන්නට ගුරුවරයෙකු නොමැත. දෙමාපියන් නොමැත. ක්‍ෂණයකින් මා සිත මොරගහපල්ලමට දිව ගොස් නැවත පැමිණියේය. ඒ ලමුන් ගේ වගකීම හා සැසඳු කල මොවුනට කුමන වගකීම් ද? 

මොරගහපල්ලම විද්‍යාලය ආදර්ශයක් නම් එහි ගුරුවරුන්, හා දෙමාපියන් වෙනුවෙන් කිව යුතු දේ කුමකත් දැයි සිතමි. නිරීක්‍ෂණ වැඩසටහන අතර ගැමියන් අසන ගැටලු, ලමුන්ගේ ගැටලු නගරබද ලමුන්ගේ චින්තනයේන හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ට තමමත් තරු ග්‍රහලෝක මැජික් එකකි. එය දුරේක්‍ෂය මගින් දැක ගැනීමෙන් පසු මුහුණේ ඉරියව් වෙනස් වීම් අපූර්වය. 

තවත් දිනක ලමුන්ගේ අදහස් හා ගැටලු වල සුන්දර තැන් ගැන "අම්පාරේ දවස්" තවත් කොටසක් ලියන්නම්. එතෙක් ඔයාලගෙ අදහස් කමෙන්ට්ස් හැටියට ලියන්න කියල ආරාධනා කරනවා. අදහස් තමා මට ලියන්න කාලය වැය කිරීමේ වනටිනකම කියා දෙන්නේ.

ඒ කාලෙම තියපු කෙටි සටහනක් සහ පින්තූර ගොන්න මෙතැනින් බලන්න.

එහෙනම් ආයුබෝවන්.


6 comments:

  1. Milan_Lovesblack6 May 2023 at 14:15

    Wish I could participate one of these soon since i was so curious about solar system and these planetary stuff.

    ReplyDelete
  2. හේෂාන් දමින්ද6 May 2023 at 17:27

    ඔය මේ කානිවල් වල රේකොඩින් කර කර උඩ බලාගෙන ඉදලා හරියන්නේ නැහැ. ඕවා ඉගෙන ගත්තයි කියලා රස්සා හම්බෙන්නේ නැහැ. තරු තමයි පේන්නේ පස්සේ කාලේ, අනික් අය ඉංජිනේරුවෝ දොස්තරලා වෙලා ඉද්දි.

    දකුණේ මිනිස්සු එක දන්නා නිසා තමයි ඔය පලක් නැති දේ ගැන වෙහෙස වෙන්නේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. හෑ ඒ කොයිද? 
      මේක තමා ආරම්භය. පල නොමැත කියල හිතන කිසි දෙයක් නෑ.

      Delete
  3. ඇත්තටම ඔය සමහර දුෂ්කර පාසල්වල ළමයි සහ පාසල හොඳින් මෙහෙයවන්න පුලුවන් ගුරුවරු ඉන්නව. ඒක ඒ ළමයින්ගෙ වගේම දෙමව්පියන්ගෙත් වාසනාව.

    ඔච්චර විලක්කු දල්වගෙන තරු බලන්න පුලුවන්ද?

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. පිට්ටනිය කෙලවර විලක්කු. ආහාර ගද්දි විතරයි ඔය පෙන්වන විලක්කු

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!