කොණ්ඩෙයි මායි....!

මේක මම කාලයක් කතා කරන්නෙම නෑ කියල හිතපු මාතෘකාවක් වුනත් දැන් මේක කතා කරන්න තරම් සුදුසු කාලයක් කියල හිතනවා. මේකේ මාතෘකාව මෙහෙම දැම්මේ මේ කතාව කියන්න පටන් ගන්න සහ මේ ගැන හොයන්න හිතන්න පටන් ගන්න ප්‍රධාන හේතුව වුනේ ඔය මාතෘකාව නිසා. නමුත් මාමේ තුල කතා කරන්නේ එලියෙන් මිනිස්සු පේන විදිහ සහ මිනිස්සු මනින විදිහ ගැන.

මාතෘකාවට එන්න හේතුව විදිහට කාලීන මාතෘකාවක් වුන ගුරු ඇඳුම පවා හේතුවක් වුනා කියලයි මම දැන් මේ ලියන වෙලාවේ දී නම් හිතන්නේ. 

Image from Internet

පාසල් කාලය අවසාන වීමත් එක්ක මගේ පෙනුම මට ඕන හැටියට වෙනස් කරන්න මගේ තාත්තගෙන් තිබුන සීමාවන් අයින් වුනා. පාසල් කාලයේදී කොණ්ඩය ටිකක් දික්වෙද්දී පාසලෙන්ම ඇති කරන "විනය" කියන රාමුවෙදී පාසල් ගුරුවරයෙක් වුන තාත්තට මගේ පැත්තට තහංචි දාන්න වුනා. නමුත් ඒ තහංචියෙක කෙලවර වුනේ ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම ඕන දෙයක් කරගන්න කියන සීමා ඉවත් කිරීමයි. ඉතින් මම පාසල් කාලෙ "පිලිවෙලට" ඉදල පස්සේ නරක් වුන එකෙක්. 

කොහෙම හරි උසස් පෙ පලමු වර පෙනී හිටියට පස්සේ කොණ්ඩේ වැව්ව කැමති විදිහට ඇන්ඳ පැලඳුවා පස්සේ දෙවන වර විභාගය කරන්න විශය මාරුකරද්දි ප්‍රාදේශීය අධ්‍යාපන කාර්යාලයට යන්න වුනා. ඒ කපපු කොණ්ඩේ ආයෙ කැපුවේ විශ්ව විද්‍යාලයට යද්දි, විශ්ව විද්‍යාල දෙවන වසර සිසුන් නවයතාවයට හුරු කිරීමේ වැඩසටහන ඉවර වෙද්දිම ආයෙ වවන්න පටන් ගත්ත. ආයෙත් විශ්ව විද්‍යාලය අවසන් වෙද්දි කොණ්ඩේ කැපුව.

මොන හේතුවක් නිසාද මන්ද මට කොණ්ඩය වවල ඉද්දි මාර සනීපයක් නිදහස් බවත් සහ මම ය කියන හැඟීමක් දැනෙනව. හැබැයි ඉතින් මම අවට ඉන්න "බහුතරයකට" මාවත් ඒ කොණ්ඩේ කැපූ ගොඩේ තියන්න ඕන වෙලා තියෙනවා. මොනව කරත් කොණ්ඩේ වවල රස්තියාදුකාරයෙනක් වගේ. බලනව හැටි. තැනකට යන්න බෑ. එකී මෙකී නොකී සුවහසක් දේ කියනවා.

හැබැයි ඔය සියල්ල අස්සේ මාත් එක්ක වැඩ කරන මගේ කොණ්ඩය නොවෙයි වන මොන දේ මෙන විදිහෙන් වුනත් වැඩ කරන්න කැමති අය ඕනෑ තරම් ඉන්නව. 

මගේ කොණ්ඩය ගැන මම කිව්වා වුනත් මේක අනිත් අය සම්බන්ධයෙන් විවිධාකරයෙන් වෙනස් වෙන්න පුලුවන්. කරාබු දාන අය, ටැටූ කරන අය, කොණ්ඩය කපන, තට්ටය ගාන, කොණ්ඩේ පාය කරන වගේ විවිධ අය. 

හර දැන් ආයෙ එමු මුලට. පිටත පෙනුම හා වැඩ කරන විදිහ. පිට පෙනුම තියෙන තමන්ගේ කාර්ය ටික, වගකීම් ටික, භාරගත්ත දේ වෙලාවට නොදෙන වගේ විවිධ දේ කරන නමුත් ඔය මහලොකුවෙන් කියන "පෙනුම" හා "පිළිවෙල" තියෙන අය කොයි තරම් නම් ඉන්නවද? මම දන්න ගොඩක් අය ඉන්නව තමන්ගේ වැඩ ටික කරන්නේ නැති, කිසිම අවංකභාවයකින් වැඩක් කරන්නේ නැති, සමාජ සම්මතයේ පිලිගත් වැරදි හැමෝම දන්න රහස් විදිහට කරගෙන යන අය. මේ කියන අය වෙනුවෙන් ඔය කියන කිසිකෙනක් කට ඇරල කියන්නේ නෑ හපෝ හැටි විතරක්. ඔයා අරහෙමත් කරල නේද? මෙහෙමත් කරල නේද? මහ බේබද්ද වගේ බොනව නේද?මේවා කිසිවක් කියන්නේ නෑ විතරක් නෙවෙයි මම හිතන්නේ අපි වගේ අය කතා නොකරන නිසා අපිට ඔය කරුණු කියනවා. නැතිනම් ඔය සමාං සම්මතයේ වරදි කරන නිසා ඒ වලට අපිටත් එන්න කියනවා විය යුතුයි.

කොහොම වුනත් මම දකින විදිහට පෙනුව නොවෙයි තමන්ගේ කාර්යයන් හිරියට කරනවා නම්, වගකීම් යුතුකම් හරිවිදිහට ඉටු වෙනව නම් පෙනුම කියන්නේ නිකම්ම නිකන් දෙයක් විතරයි. 
 
පහුගිය කාලය පුරාමට කොණ්ඩය කපන්න කියල කියපු හේතු කීපයක් මම ලියන්නම්.
 
1. කොණ්ඩේ වවල උසාවියකටවත් යන්න බෑ. මේකට මට කියන්න තියෙන්නේ කරුණු දෙකයි. එක මට වැරදි කාරයෙක් විදිහට උසාවි යන්න කිසිම ආසාවක් නෑ සහ එහෙම වෙයි කියල බය වෙන්න ඕන දේවල් කරලත් නෑ. දෙක එහෙම යන්න බැරි කමක් හෝ තරනමක් නෑ. එහෙම යන අයට විදියක් තියෙනවා. හදුනාගැනීමට අපහසුවක් නොවන ආකාරයෙන්, මුහුණ ඇස් කණ් ආදිය පෙනෙන විදිහට කොණ්ඩය සකස් කරාම යන්න පුලුවන්. මොකද උසාවියක අනන්‍යතාව හදුනාගත ආකාරයෙන් හිටියාම ඇති.

2. කුඩුකාරයො ගංජකාරයෙ වගේ උන් ගෙවල් වලට වත් ගන්නේ නෑ. මේකට නම් කියන්න තියෙන්නේ ටිකක් වටපිට බලපන් කොණ්ඩේ වවන්නේ ගංජකාරයො කුඩුකාරයො කියල සම්මතය හදාගෙන තියෙන්නේ උඹලමයි. මේ ලෝකේ කොණේඩේ වවපු ඔක්කොම ඒ කුලකයේ නම් ලිස්ට් එකක් දෙන්නම් එහෙම නෑ කියන්න. අනික එහෙම හිතන උන්ගේ ගෙවල් වලට මම එන්නෙ නෑ. කලින් කියල තියන්න අපි එහෙමයි හිතන්නේ කියල මොකද මට එහෙම එන්න ඕනම කියල තැන් නෑ.

3. පිට පෙනුමෙන් තමා මිනිස්සු බලන්නේ, අපි දන්නව ඔයා කවුද කියල. ඒත් මෙතැන්ට එන අය දන්නේ නෑ. ඒ අය පෙනුමෙන් බලලයි කෙනා තෝරගන්නේ. - මේකට කියන්න තියෙනනේ මගේ පෙනුම මෙහෙමයි. මම ගාවට එන්නේ නැතිව වැඩේ කරගන්න පුලුවන් නම් ඒ තැනකින් කරන්න. ඒ ගැන තරහක් නෑ. මම ගාවට ආවේ නෑ කියලවත්, මම එක්ක කතා කලේ නෑ කියලවත් මට වෙනසක් වෙන්නේ නෑ. මාව දන්න මාව අදුනත්ත අය ඔය ප්‍රශ්ණේ අහන්නෙ නෑ වගේම තමා ඔය ප්‍රශ්නේ හන ඔයාටත් වෙන සුදුසු තැනකට යන්න බාධාවක් මගේ නෑ. කරුණාකරල මාව වෙනස් කරන වෙලාවේ තමන්ගේ හැකියාවන් දැනුම හදාගෙන තවකෙනෙක්ට රටට දෙයක් කරන්න බලන්න. 

මේක මහ දිගට යන කතාවක්. කොහොම වුනත් කෙටි තැනකට මම මේක ගේන්නම්. ඔය ඉන්න විවිධ තරාතිරම් වල අය එ එක්කෙනාගේ පෙනුම වෙනස් කරන්න මහන්සි වෙන හේතු කීපයක් තියෙනවා. එයින කීපයක් තමයි,

1. තමන්ගේ පොඩි කාලෙ ඔය කියන "විච්චූරන" කරන්න එපා කියල තමන්ට වැටුන තහංචිය අනිත් අයට තමන්ගේ බලය හිතවත් කම හෝ වෙන බලපෑමකින් කරන්න උත්සාහ කිරීම

2. තමන්ගේ ආශාවන් වල විදිහට අනෙකා තබා ගෙන පාලනය කිරීමට උත්සාහ ගැනීම. 

2. තමාගේ ජීවන පරිසරය තුල තමන්ට නොලැබුන නිදහසක් භුක්ති විඳින කෙනෙක් දැක්කාම ඇතිවෙන ආත්මාර්තකාමී හැඟීම

Image from Internet
ඔයාල කවද හරි තව කෙනෙක් අදින පලඳින විදිහ ගැන හෝ ජීවත්වෙන විදිහ ගැන සීමා දාන්න උත්සාහ කල තියෙනවා නම් දැන්ම යන්න කාමරෙකට, දොරවහගෙන තනියම හිතට තට්ටු කරල අහන්න මම ඒ සීමාව දාන්න හේතු වුනේ ඇයි කියල. ඔය "ඇයි?" කියන ප්‍රශ්ණයට පිලිතුරු ලැබෙද්දී ඔයාට තේරෙයි ඔයා ඉන්නේ මම කිව්ව තැන් වලින් කොතනද කියල. ඒ එක්කම අහන්න ඔයාගෙන ඉටු වෙන්න ඕන වගකීම්, රාජකාරි හරියට කලා කියල සතුටු වෙන්න පුලුවන්ද? ඔයා වංචනිකද? වරප්‍රසාද අයිතිවාසිකම් විදිහට භුක්ති විදිනවද?.
 
සීමා දාන්න, පන්නලට එද්දි සුදු අඳින්න, පල්ලියට පද්දි මෙහෙම යන්න, වගේ දේවල් වලට එවිට කැමති අය එයි එහෙම බැරි අය නවතීවි. හැබැයි මතක තියා ගන්න ඒ සීමාවන් පොදු කරුණු වෙනස් කරන්න දැම්මොත් කිසි කෙනෙක් එන්නේ නැති වෙයි. 
 
මගේ සේවය ගන්න, දැනුම ගන්න හෝ ඕනම දෙයක් කර ගන්න එනවනම් තියෙන්නේ එක සීමාවයි. එන්න. අවශයතාව පැහැදිලිව කියන්න. වැඩේ කරගෙන යන්න. ඇදුම කොහෙම වුනත් පෙසුම කොහොම වුනත් උස, මිටි, කලු , සුදු, කැත, ලස්සන, සෞඛ්‍යසම්පන්න, අබල දුබල, පච්ච ගහපු, කොණ්ඩේ වවපු, කරාබු දාපු නොදාපු එකී මෙකී නොකී ඕන කෙනෙක් එන්න ඔය කාටත් මගේ ප්‍රතිචාරය එකයි. 
 
ඔය කියන කිසි දේකින් තමන් ඉන්න මතය වෙන් වෙන්නේම නැත්තම් හිතන්න එක ක්‍රමයක් ඉතිරියි. අපි හැමදාම විවිධ ක්‍ෂේත්‍ර සදහා සමානාත්මතාවයක් ගැන කතා කරනවා. ඒ නිසා හිතන්න මේකත් අපේ එක මානසික ව්‍යාධියක්, ආබාධයක් විදිහට. එහෙම අයටත් සමාජයේ සමානාත්මතාවය ඉදිරියේ අවස්ථාවක් තියෙනවා කියල අපට පාඩුවේ වැඩ ටික කර ගන්න දෙන්න. මොකද අපි අදින පලඳින විදිහෙන් අපේ කාර්යය වෙනස් නැතිව දෙනවනසම් අපේ දායකත්වය අපේ උපරිමයෙන් කරනවා නම් මේ ව්‍යාධිය ගැන අමතක කරන්න. ශාරීරික ආබාධ ඇති අයට සලකනව  වගේ සලකන්න. මොකද අපිත් ඔයාලව ඒ විදියෙන්ම දකිනව. ඕනම කෙනෙක් තමන්ට සාපේක්‍ෂව මිනුම් කරන අතර ඒ මිනුම් වලින් අපගමනය වන අන්සියල්ලෝ සම්මතයෙන් පිට ලෙස සලකයි. එය ලස්සන කැත, උස මිටි ආදී සියලු කරුණු සම්බන්ධයෙන් සත්‍ය වේ.

ඔය කියන ඕනම සීමාවක් දාල සමාජ මිම්මෙන් මනින ඕන කෙනෙකුට පුලුවන් මාව මගඇරල පාඩුවෙ යන්න. මම නැතුව මගෙන් කරගන්න ආව වැඩේ කරගන්න පුලුවන් කෙනෙක් මේ වර්ග කිලෝමිටර හැටපන්දහස් හයසීය ඇතුලේ ඉන්න මිලියන 22 ඇතුලේ ඔයාට හොයා ගන්න පුලුවන්. එහෙම බැරිනම් ට්‍රයි කරන්න එතනින් එයා තිබෙන බිලියන 7.8න්. අන්න එහෙමත් බැරිනම් ඔය සමාජ මිම්ම පැත්තට විසි කරල එහෙම නැත්තම් අපේ ගේට්ටු කණුව පාමුල තියල එන්න අපි වැඩේ කරමු.

සම්මත හදාගන්න එපා කරන දේ හරියට,අවංකව කරන්න. එතකොට ගොඩක් දේ පහසු වෙයි. දැනුත් ආයෙම කියන්නේ. මම නිසා ඔයාල වෙනස් වෙන්න ඕන නෑ. එහෙම අයටත් ඔය උඩ ඡේදේ වැඩේ කරන්න පුලුවන්. මම ඔයාල වෙනස් කරන්න හදනවා කියල හිතෙනවා නම් මේ ලිපි කියනව එකත් නවත්තල, මාවත් බ්ලොක් කරල දාල යන්න නිදහස ඔයාලට තියෙනවා.

හැමෝටම ජය.

4 comments:

  1. රසික සුරියාරච්චි23 November 2022 at 07:25

    මහත්තයා කවුද? නිච්චියක් නෑ.

    ReplyDelete
  2. කතා කරලා වැඩක් නෑ. ඇදුම උනත් ඔච්චර තමා. හොදට ටයි එක දාලා කොණ්ඩෙ පීරලා එන සමහර දොස්තරලා ඉන්නවා මෙළෝ වැඩක් කරන්නැතුව බොරුව දාලා යන. හැබැයි කැන්ටිමේ තේ බොන ගමං ලොරි ටෝක් දෙනවා දොස්තර ඉමේජ් එක මේන්ටේන් කරන්න පිළිවෙලට අදින්න කියලා

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ගොඩක් තැන්වල එහෙමයි‍. ඒ් ක්‍රමය වෙනස් වෙලා ගිය කාලෙක මීට වඩා වේගෙන රට ඉස්සරහට යයි.

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!