කවුරුත් අහල තියෙන රාධා හා ක්‍රිශ්ණාගේ කතාව පාදක කරගනිමින් ලියැවෙන ශ්‍රී ජයදේවයනගේ ගීත ගෝවින්දය මේ ගීතය සදහා වස්තු බීජය සපායා ඇති සෙයකි. මේ ගීතය ගැන මාගේ අවධානය යොමු කලේ මාගේ මිතුරෙක්.. ඒ පිළිබද ඔහුට මම ස්තූතිවන්ත විය යුතුයි. මේ ගීතය තරම් ශෘංගාරය කැටි කල ගීතයක් තිබේද යන්න හිතන්නවත් බැරි තරම්.. ගීතය පුරාවට කියැවෙන කතාන්දරය පිළිබදව හාංකවිසියක්වත් නොදැන මේ ගීතය විදින්න පුළුවන් තරම් අපූර්ව සංගීතයක්ද මේ ගීතය සතු වෙනවා. ඩබ්ලිව් ඩී ආරියසිංහයන්ගේ හඩින් ගැයෙන මේ ගීතය සදහා සංගීතය සපයා තියෙන්නේ ගුණදාස කපුගේ ශූරීන් විසිනුයි. රත්න ශ්‍රී විජේසිංහයන් මේ ගීතය ලියන්න පාදක කරගෙන තියෙන කතාවත් එහි ඔහු තෝරාගෙන ඇති කොටසකත් අපූර්වත්වය වැඩි කරන්න සමත්වෙලා තියෙනවා.
ගීතයේ තතු කියන්නට මත්තෙන් රාධා හා ක්‍රිශ්ණා කතාවේ ගීතය සදහා පදනම් වූ කොටස මතක් කල යුතු යැයි සිතමි. රාධා හා ක්‍රිශ්ණා දෙපලගේ ආදරය පිලිබද කතා අපමණ තිබේ. ක්‍රිශ්ණා යනු වසදඩු වයන ගොපලු තරුණයෙකි. මේ වන විට රාධා ඔහුගේ බිරිද බවට පත්ව ඇත. ක්‍රිශ්ණා ගොපලු රැහේ අනෙකුත් ගෝපිකාවන් හා ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. ඔවුන් වෙන් වූ පසු දෙදෙනාම එකිනොගෙන් වෙන්ව තම ආදරයේ සොදුරු නිමේශයන් මතක් කරමින් කාලය ගත කරයි. නමුත් එකිනෙකා වෙත දෙවැනි වීමේ අකමැත්ත නිසාවෙන්ම ඔවුන් තවමත් විරසක පෙම්වතුන්.. ඇය, ඔහු කල දෙය නිසා නොදෙවෙනි වන අතර ඔහු පුරුෂයෙකු නිසා නොදෙවෙනි වූවා විය යුතුය.