මගේ ගමන් බිමන් - පලමුවැනි කොටස නවගිරියාව වැව

             මේ ලිපිය පළමුවැනි කොටස වෙන්නේ මම බ්ලොග් එකේ ලියන්න පටන් ගත්ත පළමු ගමන් මේක නිසා නැතුව මගේ ගමන් වල ආරම්භය නම් මෙතන නෙවේ. මම ඇවිදින්ට පටන් ගන්නේ පාසල් අවධියේ 6 වන ශ්‍රේණියේ ඉන්න කාලේ ඉඳලා මගේ තාත්ත එක්ක. ඒ කාලේ මුලින්ම හොඳින් මතකම ඇති Tour එක තමා ලෝකාන්තය බලන්න බදුලු-බණ්ඩාරවෙල ගිය ගමන. ඒ කාලේ ඉඳල තාමත් මම ඇවිදිනව. ලංකාව වටේම ඇවිදල සියලු තැන්වල වගවිස්තර බලන්න තමා හිතාන ඉන්නේ. ඒත් ඉතින් තාත්ත එක්ක ගිය ගොඩක් tours ගියේ බදුලු-බණ්ඩාරවෙල තමා. ඒකට හේතුව ඉස්කෝලෙ ලමයි කැමති සීතල පලාතකට trip එකක් යන්නනේ.
මේ ලියන්න යන්නේ අම්පාරෙ ඉන්න මගේ යාලුවො තුන්දෙන්නෙක් එක්ක මමයි මගේ මල්ලියි ගිය පොඩි සවාරියක් ගැන. ඒ ගියේ මාළු අල්ලන්න හිතාන නවගිරියාව වැවට. මේ දවස්වල වැවැ හිඳිලා. මගේ බ්ලොග් එක නිතර කියවන අය දැකල ඇති වැව් උතුරන කාලේ මම දාපු ලිපියක්. ඒකේ තිබුණු උතුරන නවගිරියාව වැව දැන් බාගෙට හිඳිල. අපි මාළු අල්ලන්න උපකරණත් අරන් වැවට ගියේ මෝටර් බයිසිකිල් වලින් හවස තුනට විතර. වැව් තාවුල්ලේ ඒ කියන්නේ හිඳුනු වැව ඇතුලේ බයිසිකල් පදින එකත් මාර ජොලි වැඩක්. බයිසිකල් වලින් වැව හිඳුනු තැන් බලන් එරෙන්නේ නැති තැන් හොයාගෙන ගිය ගමන නම් තියල වැඩක් නෑ. මරු. යද්දී සමහර තැන් වග මිනිස්සු ගඩොල් කපනවා. මෙහෙම වැව ඇතුලෙ හාරල ගඩොල් කපන එක නම් තහනම් වැඩක්. ඒත් ඉතින් මේ මිනිස්සු ඒ දේ තාමත් කරනවා. දරු පවුල් පිටින් ඇවිත් ගිනි කාස්ටක අව්වේ, කූඩාරම් ගහගෙන ගඩොල් කපන්නේ ඒ අයගේ එදා වේල හොයා ගන්න.  මේ අය අපි ඇවිත් නැවැත්තුවාම හිතුවේ අපි බලධාරීන් කියල. ඒත් මගේ යාළුව ඒ අය අඳුනනවා. තේරුම් කලා අපි බලධාරීන් නෙවේ. මේ යාළුවො ටිකක්. විනෝදෙට මාළු අල්ලන්නයි ඇවිත් ඉන්නේ කියල.
අපේ ගමන වැටිල තිබුනේ ගඟ හරහා. ඉතින් අපි සෙව්වා ගඟ හරහා යන්න ක්‍රමයක්. අපි හිතුව තරම් වැව හිඳල තිබුනේ නැහැ. අපි මේ ගඩොල් කපන අයගෙන් ඇහුවා මේකෙන් එතෙර වෙන්න තැනත් තියෙනවද කියල. ඒ අය පෙන්නුව තැනකින් අපි එතෙර වෙන්න හිතාන අපි යා යුතු පැත්තට විරුද්ධ පැත්තට වැව අයින දිගේ කිලෝමීටරයක් විතර ගියා. ගව පට්ටි අතරින් මඩ සහිත තැන් බේරමින් ගිය ගමන නම් විනෝද ජනකයි. අපි එතෙර වෙන්න ගිය තැන අපි හිතුව තරම් හිඳිල නැහැ. අමාරුවෙන් අඩුවෙන්ම එරෙන තැන සොයාගෙන ගියාම එතැනත් අපිට යන්න පුළුවන් ඒත් බයිසිකල් එතැනට බර වැඩියි. උපරිම ආසන්නයට බයිසිකල් අරන් හතරදෙනෙක් එක්ක බයිසිකල් උස්සල වගේ තමා ගත්තේ. එලියට ඇවිත් බලද්දි අපි හැමෝම මඩ නාල. බයිසිකලුත් එහෙමමයි.
එතැනින් පස්සේ ආපහු අපි අපි යායුතු පැත්තට කිලෝමීටර දෙකක්, දෙකහමාරක් විතර ගියා. ගල්තලා උඩින් ගව පට්ටි මැදින් යද්දී වැව මැද හදපු මී හරක් ගාලක් හම්බුනා. ඒක අතරින් ගිය අපි අවසානෙදී හොයා ගත්තා මාළු අල්ලන්න හොඳයි කියල හිතුනු තැනක්. එතැන පැය දෙකක් විතර උත්සාහ කරල යන්තම් පුංචිම පුංචි මාළු හතර පස් දෙනෙක් අල්ලගත්තා. ඒ වැඩෙත් එපා වුන අපි වැව රව්මෙන් ගියා ඒ පැත්තෙන් එතෙර වෙන්න තැනක් සොයාගෙන. කැලේ අතරින් ගිය අපි ගියේ තවත් බලාපොරොත්තුවකිත් ඒ තමා මේ වැව හිඳෙන කාලෙට වැව් දෙකක් බවට බෙදෙන බව අහල ඒක බලන්නත් එක්ක. ඒත් අපේ ගමන් මග කෙටි දුරකින් අවසන් කරන්න අපිට සිද්ධ වුනා. ඒකට හේතුව ගමන්මග හරස්වෙන විදිහට තිබුණු මහා ගල් පර්වතයක්. වැව හිඳිල මදි නිසා ඒක අයිනටම වතුර ඇවිත්. ඉතින් අපේ ගමන එතැනින් නවත්තල අපි ආව වෙනින් දවසක වෙන පාරකින්  මේ දේ මොකක්ද කියල බලන්න යන්න හිතාගෙන.




පුරුදු විදිහටම පාර හොයාගෙන අපි ආව. එදිදී නම් ගමන ඒතරම් දුෂ්කර වුනේ නැහැ. මොකද අපි ආව අපේ ටයර් සළකුණු දිගටම තිබුනු නිසා ඒ මාර්ගයේ ලේසියෙන්ම අපි ආව. වැවෙන් එලියට එනකොට හතරවලින් කළුවර වැටෙන්න පටන් අරන්. රෑ වෙද්දි නම් ටිකක් ගමන් බිමන් අමාරුයි. මොකද කුඹුරු වලට එන මැස්සො ඇස්වල වදිද්දි බයිසිකලය අරන් එන්න අමාරුයි. ටිකක් දුර එදිදී ග්‍රාමාරක්‍ෂක පිරිසක් අපි නැවැත්තුවා පරීක්‍ෂා කරන්න. අපි විශ්වවිද්‍යාල සිසුන් කිව්වාම නම් අපිට ගොඩක් හොඳින් සැලකුවා. අපේ හැඳුනුම්පත් පරීක්‍ෂා කල ඔවුන් අපිට මාර්ගය පෙන්වා දුන්නා. අපි පිටින් ඇවිත් මේ වැව් වලට ඇතුල් වෙනවානම් ඔවුනට දැනුම් දියයුතු බවයි ඔවුන් කීවේ. ඒක ඒ වෙනතුරුත් අපි දැනගෙන හිටියේ නැහැ.කොහොම වුනත් රාත්‍රී 7 පමණ වෙනකොට අපි අපේ යාළුවගේ ගෙදරට ආව. මේකත් හොඳ අත්දැකීමක් මගේ ජීවිතේට එක් ගමනක් විඳින්න ලැබුණු.
ඔයාලත් මේ වගේ අත්දැකීම් විඳින්න. ඒත් ඒක පරිසරය විනාස කරල, වෙනත් වැරදි වැඩ කරමින් ජීවිතේ විඳවන්න එපා. තවත් ගමනක රසමුසු තැන් එක්ක දෙවන කොටසකදී නැවත හමුවෙමු.

4 comments:

  1. මාළු කීදෙනෙක් ඇල්ලුවද?

    ReplyDelete
  2. පස් හය දෙනෙක් ඇල්ලුවා..

    ReplyDelete
  3. අදයි බ්ලොග් එක දැක්කේ.. බූක් මාර්ක් කරා... එකින් එක මුල ඉඳන් කියවන්න ඕන... ගමේ කෙනෙක් බ්ලොග් අවකාශයේ අඳුනගන්න ලැබුන එක සන්තෝසයි...

    ReplyDelete
  4. සදරෑ තමයි පාර කිව්වේ..

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!