නංගිලා මල්ලිලා 2013 විභාගේ ලියපු හැටි...............

මගේ අත්දැකීම් අඩෙවිය එක්ක එකතු වෙලා ඉන්න අය දන්නවා මම කවුද කියන එක නම්. මගේ තාත්තා ගැනත් දන්නවා ඇති. මේ කතාව ලියන්න කලින් කියන්නම් පොඩි දෙයක් එයා ගැන. මගේ තාත්තා උසස් පෙල විද්‍යා ගුරුවරයෙක්. ජීව විද්‍යාව හා රසායන විද්‍යාව තමයි උගන්වන්නේ. උත්තර පත්‍ර පරීක්‍ෂකවරයෙක් විදිහට අවුරුදු ගානක අත්දැකීම් තියෙනවා. 2013 විභාගයේ උත්තර පත්‍ර බලද්දී හමුවුන උත්තර පත්‍ර වල තිබුනු යම් යම් දේ සටහන් කරගෙන ඇවිත් තිබුනේ මතක සටහන් විදිහටයි. මේ ඒ වගේ සටහන් කීපයක්. ‍ෙමහෙම ලියන ලමයි අනන්ත් ඉන්නවා. ඒත් විභාගය වෙනුවෙන් ටිකක් හරි මහන්සි වුනානම් මේ දේවල් ලියන්න වෙන්නේ නම් නැහැ.

***************
"මට S එකක් දා ගන්න උදව් කරන්න මිස්. රජ වෙන්න නෙවි විශයයන් 03ක් ගොඩදාගෙන රස්සාවකට යන්න. මම වෙනුවෙන් දුක් විඳින මගේ තාත්තට කන්න දෙන්නයි ඊලඟ පාර exam කරන්න පන්ති යන්න සල්ලි හොයා ගන්නයි. තාත්තට අවුරුදු 65යි. අනුරාධපුරයේ හෝටලයක වැඩ කරනවා. හරියට කන්නවත් නැහැ. තාත්තට දැන් වයසයි. ගෙදර ඉන්න ඕන කාලේ එයා මම නිසා දුක් විඳිනවා. අම්ම නම් නෑ මගේ. නැතිවුනේ චූටි දවස්වල. පන්ති තුනටම යන්න සල්ලි නෑ මට. විශයයන් දෙකකට වත් අමාරුවෙන් සල්ලි හොයා ගත්තේ. ලබන පාර exam කරන්න class යන්න සල්ලි හොයාගන්න මට ජොබ් එකක් කරන්න මේ විශයයට S එකක් විතරක් දෙන්න මිස් පිං."

*****************
මේ තවත් එකක්.....

**************

පන්ති නොයා කට් කර කර වල බැස්සා
පාඩම් නොකර පොත්පත් ටික ගොඩ ගැසුනා
අම්මා තාත්තා කී දේ ගැන නොම ඇසුනා
අද මම මුළු exam එකම කා ගත්තා

දෙසැම්බරේ කල කී දේ පිට වෙද්දී
නෑ හිතවතුන් ප්‍රථිඵල ගැන විමසද්දී
අනේ මමත් උන්හිටි තැන් නැති වෙද්දී
අද මට කන්න වෙන්නේ මී පාසානන් ගෙදරදී

පන්තියේ ඉඳ ගත්තේ පොලිමේ අන්තිම පැත්තෙන්
ගන්නේ ජංගමයයි කලිසමේ සාක්කුව අස්සෙන්
ඉන්නේ කොට කෙටෙයි කිසි ගානක් නැතිව ඉතින්
සර් ඉගැන්වූ දේ දන්නේ කවුද ඉතින්

සයන්ස් සයන්ස් කියමින් රට හැම තැන පන්ති ගියා
තාත්තාගේ මොණරුයි සිහිනයි සිහිනයි මන් අතින් වතුරෙ ගියා
අම්මා සිටියේ නිතරම පුතා පාස්වෙයි කිය කියා
මා දුන්නේ අන්තිමේ සුසුමයි ඒ දෙන්නට යන්න ගන්න කියා

සිටියත් යාළුවො රොත්තක් කියමින් අනේ පනේ
පේපරයයි මායි විතරයි අන්තිමේ තනි වුනේ
අම්මයි තාත්තයි මං වෙනුවෙන් නේද කැප වුනේ
කඳුලෙනුයි සුසුමෙනුයි පමණයි මේ නිකිණි මස ගෙවුනේ

**********************

ISON ධූමකේතුව

මේ දිනවල වැඩිපුරම තාරකා විද්‍යාඥයන් අතරේ කතාබහට ලක්වෙන මාතෘකාවක් විදිහට අයිසන් (ISON) ධූමකේතුව හඳුන්වන්න පුළුවන්. තරෙකා විද්‍යාඥයින් මෙය ශතවර්ශයේ ධූමකේතුව විදිහටත් සලකනවා. සම්මත තාරකා නාමකරණය අනුව C/2012 S1 විදිහට දක්වන්න පුළුවන්. 2012 සැප්තැම්බර් 21 වනදා මුලින්ම මෙය සොයැගනු ලැබුවේ අන්තර්ජාතික ප්‍රකාශ විද්‍යාත්මක ජාලය (International Scientific Optical Network) නම් ආයතනයේ රුසියන් තාරකා විද්‍යාඥයින් දෙදෙනෙකු වන විටාලි නෙවස්කි (Vitali Nevaski) හා ආර්ටියොම් නොවිචොනොක් (Artyom Novichonok) විසිනුයි. එම ආයතනයට ගෞරවයක් විදිහට එය අයිසන් යන නමින් ප්‍රසිද්ධියට පත්වුනා.
මෙම ධූමකේතුව පිලිබඳ විවිධ මත පලකල අතර සියළු තාරකා විද්‍යාඥයින් මෙය පිලිබඳ අවධානයෙන් පසුවුනා. කලක් තිස්සේ බලාසිටි අයිසන් ධූමකේතුව 2013 නොවැම්බර් මාසය වෙද්දී පෘඨිවියේ කක්‍ෂයට ඇතුළුවුනා. ඒ නිසා දැන් තාරකා විද්‍යාඥයින්ට පහසුවෙන් මෙය ඡායාරූපගත කරන්න වගේම පියවි ඇසින් දකින්නත් හැකියාව ලැබිලා තියෙනවා. නොවැම්බර් 20න් පස්සේ ශ්‍රී ලංකාවාසීන්ට පාන්දර 4.30ට විතර නැගෙනහිර අහසේ කන්‍යා රාශියට (Virgo) අයත් දීප්තිමත් තාරකාව වන ස්පිකා (Spica) නම් තාරකාව අසල දකින්න පුළුවන්. අයිසන් ධූමකේතුව තම කක්‍ෂෙය් තවදඅරටත් යද්දී හිරුගේ රශ්මිය නිසා දීප්තිමත්ව දිලිසෙනු දැකිය හැකි බව පැවසෙන අතර මෙය දෙසැම්බර් මුල සති දෙකක කාලයක් අපට දැකිය හැකි වෙනවා.
2013 නොවැම්බර් 28 වනදා පමණ වන විට හිරුගේ පෘෂ්ඨයෙන් කිලෝමීටර 1,165,000ක් පමණ දුරින් තිබෙන මෙය කිලෝමීටර කීපයක විශ්කම්භයෙන් යුක්ත වෙනවා. මෙහි වේගය පැයට කිලෝමීටර 1,360,000 පමණ වන බවට විස්වාස කරනවා. මේ සියවසේ අවසන් ධූමකේතුව වන මෙය තව තවත් හිරුට ලඟාවෙද්දී වේගය වැඩිවන අතර හිරුගේ රශ්මිය නිසා හා ඇකිවන ඝට්ඨනය නිසා මෙය පුපුරා යා හැකි බවටත් අනාවැකි පලකෙරෙනවා. කෙසේ වෙතත් මෙය පුපුරා ගියහොත් එහි බලපෑම පෘථිවිවාසීන්ටත් ඇතිවිය හැකි බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

මගේ ගමන් බිමන් පනස් එක්වන කොටස - උදයගිරිය රජමහා විහාරය - උහන

අම්පාර උහන සිට කිලෝමීටර කීපයක් නුවර පැත්තට වෙන්න කුඹුරු යායක් මැද තියෙන පන්සලක් තමයි උදයගිරිය රජමහා විහාරය කියන්නේ. පැරණි චෛත්‍යය කුඹුරු යාය මැද විරාජමානව තිබුනත් පාසි හා මඩ නිසා දුර්වර්ණ වෙලා තියෙනවා.
පරාක්‍රම බාහු රජ හා සුගලාදේවිය අතර බටහිර සටනේදී මේ ප්‍රදේශය සොල්දාදුවන් පලමු සටන් සිදුවුන ප්‍රදේශය විදිහට විස්වාසයක් පවතිනවා. අවට ඇති ගල්කණු හා පුරාතන සලකුණු අනුව මෙම ප්‍රදේශය විශාල වශයෙන් පැතිර තිබූ බව කිව හැකිය. කැටයම් කල ගලුකුළුණ වල ලියැවුන සෙල්ලිපි අනුව පන්සල අවට භූමිය දහවන සියවස රජකල උදය රජුගේ සෙන්පති දෙදෙනකු විසින් බදුසහන වශයෙන් දෙන ලද්දක් යැයි කිව හැක.
 
නටඹුන් ලෙස හමුවූ ආසනඝර දෙකක් හා බුදු පිලිමයක් එකට බුදුන්ට කුල වැඳුම් පිදුම් පෙන්වන අතරම තිබු කොරවක්ගල් හා අනේ නිර්මාණයන් අතීතයේ පෞඩ නිර්මාණයන්ගේ විභූතිය පිලිඹිඹු කරයි. කුඩා ගල් පර්වතයක් මත පිහිටි බුදුන්ගේ හිඳි පිලිමයකි. එය පාමුල ඇති සංකීර්ණව නිර්මිත නෙලුම් මලකි. පිලිමයේ වැඩි ප්‍රමාණයක් විනාශ වෙමින් තිබුනද තමවත් අතීත කලාකරුවාගේ දක්‍ෂතාව මනාව පෙන්වයි. එක හා සමාන සරළව පිලිවෙලකට සිටුවන ලද අඩි අටක් පමණ උස ගල්කණු අතිතයේ තිබූ සංඝාවාසයක නටඹුන් යැයි සැලකිය හැක. මෙහි ක්‍රමය අනුව ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට පලමු සියවසට අදාල නිර්මාණ ශිල්පය පෙන්වයි. තවද විස්වාසයන් අනුව මෙය උදනගිරි නමින් උහන ප්‍රදේශය පුරා පැතිර තිබු බවත් සියළු ඉගැන්වීම් හා වෙදහෙද කම් කල ස්ථානයක් බවත් නැගෙනහිර රාජධානියේ බිඳ වැටීමත් සමඟ වනාන්තරයට යටවී ඇති බවත් සැලකේ.

සිපිරි ගෙයක තතු

අපි ජිවිතයේ කවදාවත් යන්න ප්‍රාර්ථනා නොකරන තැනක් තමයි සිපිරි ගෙයක් එහෙමත් නැත්තම් හිර ගෙදරක් කියන්නේ. ඒත් මට පුංචි අවස්ථවක් ලැබුනා මේ අත්දැකීමත් විඳින්න. එතැනදී තමයි මම දැනගත්තේ එතැන ඉන්න සියල්ලන් වැරදි කල අයම නෙවෙයි කියල. දැන් ඔයාල බලනවා ඇති අත්දැකීම් ලියන සුලාට මොනවා වෙලාද කියල. ඇත්ත මටත් අවස්ථාව ලැබුනා හිරගෙදරට යන්න. කතාවේ වටපිටාව නොදැන මම එතැනට ගිය හැටි නොදැන කතාව ඇහුවොත් ඔයාල මම ගැන වැරදියට හිතන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කතාව ආරම්භ කරන්නම් මම ඇයි එතැනට ගියේ කියන තැනින්.

මම එතැනට යන්න හේතුව පටන් ගන්නේ අප විශ්ව විද්‍යාලයයට දේශපාලනය එන්න උත්සාහ දැරීමත් එක්ක. ලංකාවේ ගැටුම් නැති ලෙස සලකන විශ්ව විද්‍යාල එකක් ලෙස සිටීමේ ආඩම්බරය අප සතුව තිබුනත් අද ඒ දේ අපෙන් නැතිවෙලා තියෙන්නේ දේශපාලනය විශ්ව විද්‍යාලයය තුලට එන්න උත්සාහ කිරීමත් එක්ක. අප මුල සිටම කිසිඳු දේශපාලනයක් අප විශ්ව විද්‍යාලය තුලට ගෙන ඒමට විරුද්ධ වුනා. පුද්ගලික දේශපාලනය විශ්ව විද්‍යාලයයෙන් පිටතට තියන්න තරම් අප කටයුතු කලා. නමුත් කීප දෙනෙකුගේ වුවමනාව නිසාවෙන් මේ විදිහට විශ්ව විද්‍යාලය තුලට දේශපාලනයේ අදිසි හස්තය යොමුවුනා. අවසානයේ සටනක තත්ත්වයට පත්වුනේ මේ ආරම්භයේ ප්‍රථිඵලයක් විදිහටම තමයි. ගැටුම ගැන මාධ්‍ය වලින් දුන් වැරදි මත නිසා මේ දේ නොලියා බැහැ නමුත් ඇත්ත මේ දේ කියල හැමෝම දන්නවා. සටන අවසානයේ කලහකාරී ලෙස හැසිරීම කියන චෝදනා මත අපි 53 (පිරිමි ලමයි 49 ගැහැණු ලමයි 4) දෙනෙක් රක්‍ෂිත බන්ධනාගාර ගත කලා. ඒ ලංකාවේ එකවර වැඩිම පිරිසක් රක්‍ෂිත බන්ධනාගාර ගතකිරීම විදිහට. කොහොම වුනත් අපි පුංචි කාලේ අසාවෙන් හිටි බන්ධනාගාර බස් එකේ යන ආසාව නම් ඉටුවුනා කියන්න පුළුවන්. දවස අවසානයේ අපි ලංකාවේ තියෙන පුංචිම බන්ධනාගාරයක් වුන මඩකලපුවේ රක්‍ෂිත බන්ධනාගාරයේ කාමරයකට දැම්මා.
අපි 41 දෙනෙක් සාඩින් පැක්කරන්න වගේ එකම කාමරය හිටියේ. අපිට මොන මොන විදිහේ සිතිවිලි තිබුනත් එතැනදී නම් හිරගෙදර විදිහට හැඩගැහෙන්න සිද්ධ වුනා. හැබැයි ඉතින් අනෙක් රැඳෙවියන්ගෙන් වෙන් කරපු පුංචි වෙලාවක් අපට ලබාදෙන්න තරම් එහේ හිටපු ජේලර් කාරුණික වුනා. උදේ 6ට දොර ඇරියාට පස්සේ ඇතුලේ ඉන්න ගාන ගනන් කරලා පැය භාගයයි දෙන්නේ නාන්න, මූණ සෝදන්න හා වැසිකිලි යන්න. ආයේ ගනන් කරලා ඇතුලට දානවා. ආයෙමත් දොර අරින්නේ 8.00ට උදේ කෑමට. ඊටත් පස්සේ ආයෙමත් 12ට කාලක් තියෙද්දි වහලා දවල් කෑමට දොර අරිනවා. කෑම දීලා වැහුවාම ආයෙම දොර අරින්නේ 2.00ට. හවස නාන්නත් පැය භාගයයි. අයෙමත් හවස 6 වෙද්දී වහන දොර අරින්නේ උදේ 6ට තමයි. සමහර අයට කෑමට, නාන්න, වැසිකිලි යන්න තියෙන්නේ එකම එක අයිස්ක්‍රිම් කප් එකක් විතරයි. ඒ අයගේ ජීවිත දැක්කම අපේ අය මොන තරම් සැප විඳිනවද කියල හිතෙනවා. දවල් කෑම කද්දී උඩ තට්ටුවෙන් වැලි වැටෙන එකයි දාන එකයි දෙකම සිද්ධ වෙනවා. අමාරුවෙන් තමා කෑම එක වැලි වලින් බේරගන්නේ. පිටතින් බලන්න එන අය ගේන දේවල් වලට තියෙන ඉල්ලුමත්, බීඩි වලට තියෙන ඉල්ලුමත් ගොඩක් වැඩියි.
කොහොම වුනත් හවස 6න් පස්සේ තමයි අමාරුම ටික. මොකද ආයේ දොර අරින්නේ උදේ 6ට. ඉතින් වැසිකිලි යන්නවත් ආයේ දොර අරින්නේ නම් නැහැ. චූ කරන්නවත් ඕන නම් ඇතුලේ තියෙන බාස්කට් එකකට තමා. අපි 41ක් නිසා ඒ වැඩේ ඇතුලේ ඉඳන් නම් කරන්න බැහැ. මොකද 41ක් කියන්නේ පොඩි ගඳක් නෙවිනේ. ඉතින් අමාරුවෙන් හිර කරන් වතුර බොන එකත් අඩු කරගෙන ඉන්නේ බොහෝම අමාරුවෙන්. නිදාගන්න පැදුරු දිලා තිබුනත් බිත්ති දිගේ පහලට එන මකුණන්ගෙන් බේරෙන්න නම් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ඉහලින් මකුණන් වැටෙන්නේ බඩ උඩට. රෑ මැදියමේ ඇහැරගෙන මකුණෝ මරන එකනම් අපි එපි වෙනකම් මාරුවෙන් මාරුවට කලා. රෑ කීප වරක් බන්ධනාගාර නිලධෘරීන් ඇවිත් අපි සියල්ල ඉන්නවද කියල බලල යනවා. එලිය වැටෙන්නේ කීයටද කියල ඇඟිලි ගනන් කරමින් ජනෙල් දිහා බලන් ඉන්නේ ගෙවුන පැය ගානවත් ගෙවෙන්න තියෙන පැය ගානවත් නොදන්න නිසා.
අවසානයේ එලිය වැටෙද්දී දුවන්න බලන් ඉන්නේ කෙලින්ම ටොයිලට් වලට. ඒක ඇතුලේ විවිධාකාර මිනිස්සු එකිනෙකාට උදව් කරගන්න විදිහ දැක්කාම හිතෙනවා ඇයි එලියට ඇවිත් මේ විදිහටම ඉන්න බැරි කියලා. කොහොම වුනත් කැම්පස් එකෙන් දුන්න රැග් එකේ වටිනාකමනම් හොඳින්ම තේරුනේ ඒ දවස් 4දී තමයි. කොහොම වුනත් 41 වෙනකම් දෙමලෙන් ගනින හැටි ඉගෙන ගත්තෙත් හිරේදිම තමයි. =D නිදහස් වෙන දවසේදී අපිව බලන්න ආව ගෙනාව බිස්කට් අපි පෙට්ටියකට දාලා හිරේ හිටි අය අතරේ බෙදලා දුන්නා ඒ වෙලාවේදී ඒ අයගේ හිත් වල අපි දැක්ක සතුට බොහෝම වැදගත් වුනා තවමත් මතක්වෙන ඒ සුන්දර සිනාවන් අපිට ගොඩක් දේ කිව්වා. සමහර අයට හිරේ ආවට පස්සේ බිස්කට් එකක් ලැබුනමයි. මොකද ඒ අය බලගන්න කිසිකෙනෙක්  එන්නේ නැහැ. ඒ අයට මොනතරම් දේවල් නැතිවෙලාද කියල හිතෙද්දී දැනෙද්දී තමා හිරගෙදර ඇත්තම දඬුවම තියෙන්නේ එතැන කියල තේරුනේ.
කොහොම වුනත් මේ දේ දැන්මම ලියන එක මට අවාසි වෙන්නත් ඉඩතියෙනවා. හැබැයි ඉතින් මලත් මොකෝ සක්කරයට වුනත් කියන්න තියෙන දේ කියන එකෙක් විදිහට කියල දාන එක මගේ යුතුකම. මගේ අත්දැකිම් වල මේ දේවල් ලියවුනේ නැත්තම් අත්දැකීම් පිටුවට මම කල අසාධාරණයක් වෙනවා. කොහොම වුනත් එකී මෙකි නොකී සියල්ල අතරේ සිදූවීම් අනන්තයි. ඒ ඔක්කොම ලිව්වොත් මේ ලිපිය කියවන්න බැරි තරම් දිග එකක් වෙයි. ඒ නිසා ඇති නේද මේ ටික. තවමත් අවසන් නැති නඩුවක හිටියත් ඇත්ත ඇති සැටියෙන් ලියන එක මගේ යුතුකම නිසා මෙන්න ලිව්වා එහෙනම් සිපිරිගෙයි තතු....

ආයෙ ලිපියකින් හමුවෙනකම් හැමෝටම ආයුබොවන්.....

මගේ ගමන් බිමන් පනස්වෙනි කොටස - ගැටබරු පන්සල

අකුරැස්ස දෙනියාය මාර්ගයේ හමුවන කොටපොල ප්‍රදේශයේදී හමුවන පන්සලක් විදිහට මේ කියන ගැටබරු පන්සල හඳුන්වන්න පුළුවන්. නමුත් මේ පන්සල වඩා ප්‍රසිද්ධියක් උසුලන්නේ ගැටබරු දේවාලය නිසාවෙනි. බාරහාර ඔප්පු කරන්න, සාප කිරීම් ආදිය සඳහා පැමිණෙන පිරිස්ද බොහෝමයක් වෙනවා. විශ්වාසයන්ට අනුව ගැටබරු දෙවියන් යනු කතරගම දෙවියන්ගේ අඳුරු පැත්ත හෙවත් නපුරු පැත්ත ලෙසත් සැලකිල්ලක් තියෙනවා.
ප්‍රධාන මාර්ගයේ ඉඳන් කිලෝමීටර එකහමාරක් විතර කන්ද උඩට නගින්න ඒන මේ කියන පන්සල ලඟට යන්න නම්. මුහුදු මට්ටමෙන් අඩි 1500ක් විතර උස තැනක තමා පන්සල තියෙන්නේ. ඒ නිසාවෙන් කාලයක් තිස්සේ මෙතැන සැඟවුන තැනක් එහෙමත් නැතිනම් මිනිසුන්ගේ වන්දනාමානයට ලක් නොවුන තැනක් විදිහට තිබිලා තියෙනවා. පසු කාලීනව පාර හදලා පන්සල ලඟටම යන්න පුළුවන් විදිහට. දැන් නම් පන්සල ලඟ වාහන නවත්තන තැන් කීපයක්ම තියෙනවා. කන්ද ඉහලදී ලෙන් විහාරයත් තවත් පඩි කීපයක් ඉහල හෙවත් කඳු මුදුනේදී චෛත්‍යයත් දකින්න පුළුවන්.
හුලන්දාව ප්‍රදේශයේ ඉන්න මගේ මිතුරන් කීප දෙනෙක් එක්ක මමත් ගැටබරු විහාරය බලන්න ගියා. අපි බයිසාකල් වලින් එන්න පුළුවන් උපරිම තැනට ලඟා වෙද්දී පහල තිබුන දේශගුණය වෙනස් වුන බව හොඳින්ම තේරුම් ගියා. එන්න තියෙන මාර්ගය නම් සීඝ්‍ර බෑවුම් එක්ක වංගු සහිත මාර්ගයක්. බයිසිකලයෙන් වුනත් ඒ මාර්ගයේ යන එක ටිකක් විතර අවධානම්. කොහොම වුනත් එතැනින් ඉහලට යන ඉතිරිය නම් පඩිපෙල නැගීමක්ම තමා. ලෙන් විහාරයට යන අතර තුර වැඩ සිටින මාලිගාව දකින්න පුළුවන්. තවත් ඉහලට යද්දී අපට ලෙන් විහාරය දකින්න පුළුවන්. ඒක ඇතුලේ කෙලවරක රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් දේවාලයකුත් අනිත් කෙලවරේ විශ්ණු කතරගම දෙවියන් වෙනුවෙන් දේවාලයකුත් හදලා පූජා පවත්වනවා. ඒ එක්කම රියන් 18ක් විතර දිග සැතපෙන බුදු පිලිමයකුත් එහි හිස අසල සැරියුත් තෙරුණුවෝත් පා අසල මුගලන් තෙරුණුවෝත් නිර්මාණය කරලා තියෙනවා. මේ ලෙණ අඩි 30ක විතර දිගක් තියෙන එකක්. තවත් පඩි කීපයක් නැංගාම අපිට කඳු මුදුන හෙවත් චෛතයය පිහිටි තැනට යන්න පුළුවන්.









ජනකතා වලට අනුව අනුරාධපුරයේ රජකල වලගම්බා රජුගේ සමයේදී සිදුකල නිර්මාණයක් විදිහට සැලකෙන ගැටබරු විහාරය රජ්ජුරු බණ්ඩාර දෙවියන් වෙනුවෙන් නිමවූවක්. ඒ විතරක්ම නෙවෙයි රුහුණු හා මායා රට අතර වලගම්බා රජු සැඟව සිටිමින් රට එක්සේසත් කිරීමට වෑයම් කරන සමයේදී ඔහුට ආරක්‍ෂාව සැපයීමත් මේ ප්‍රදේශයේදී සිදුවිය. ගැටබරු විහාරයේ සොයාගැනීම සිදුවීම ක්‍රිස්තුවර්ෂ 1834 දී සිදුවිය. කොටපොල ප්‍රදේශයේ ජීවත් වූ එලියසාමි නම් පුද්ගලයකු විසින් දඩයම සඳහා ගැටබරු කන්ද නගින ලද බවත් එහිදි දඩයම ලෙස මුවකු දඩයම් කර එන අතර තුර ලෙණ තුල වූ 18 රියන් සැතපෙන පිලිමය දැක බියවී දඩයමද එහි දමා ගමට දිව ආ බව කියැවේ. එහිදී ආරංචිය රැගත් මොරවක කැටගොඩ නම් පුද්ගලයාගේ මෙහෙයවීම යටතේ ගම්වැසියන් එක්ව එය පිරිසිදු කර සකස් කරන ලදී. එම අවුරුද්දේදීම වීරසිංහකන්දේ සුමංගල හිමියන් ගම්වැසියන්ගේ ආරාධනයෙන් පන්සල භාරගත් බව කියවේ. අනුරාධපුර යුගයේ බිතුසිතුවමින් අලංකෘත වූ ලෙන කටාරම් කෙටු ලෙණකි.
කන්ද ඉහල ඇති සෞම්‍ය කාලගුණය හා නිදහස නිසාවෙන් කන්ද තරණය කල මහන්සිය නම් නැතිවෙලා යනවා. කොහොම වුනත් බලගතු හාස්කම් හා විශ්වාසයන් හා පුද පූජා සාර්ථක වීම් ඇතැයි යන කටකතා නිසාවෙන් මෙය ඉතා පුකට තැනක් වෙලා වාගේම දකුණු ප්‍රදේශයේ කතරගම පෙරහැර උත්සවයට පමණක් දෙවැනිවූ උත්සවයක් මෙහිද සිදුකෙරෙන නිසාවෙන් ගැටබරු උත්සව සමය ඉතා විශේෂිත තැනක් ගන්නවා වාගේම ඉතා විශාල සෙනඟක් මේ ප්‍රදේශයට එන කාලයක් වෙනවා.

අනිත් පින්තූර බලන්න.....

ගමන් බිමන් වල හතලිස් නමවන කොටස......