බාප්පා සරුංගලයක් හදලා...
පුංචි එකා කෑ ගැහුවේ එහෙම. පුංචි එකෙක් ගේ ලමා කාලයක් ලස්සන වෙන්න සරුංගලයක් යවන්නම ඕන. සරුංගලයක් හදන තැන ඉඳලා උඩ යවල ඒක ආයේ උඩ යවන්න නැතිවෙන තැන වෙනකම්ම ඉගෙන ගන්න පාඩම් එමටයි. ඉතින් අපේ චුට්ටං එකාටත් මම සරුංගලයක් හදල දුන්න. ඌට දැන් හතරක්. සරුංගලයක් යවන්න කෙසේ වෙතත් සරුංගලයක් උඩ යවල එකේ නූල අල්ලගෙන ඉන්න හොඳම වයස.
ඒ කාලේ සරුංගල කිව්වාම අද වගේ නෙවෙයි. අද නම් කොහේවත් පිට්ටනියක සරුංගලයක් නැතිම ගානයි. ඒත් ඉස්සර අවුරුදු පහුවෙද්දීම සරුංගල් කාලේ පටන් ගත්තා කියනහැඟීම අපි තුලට ආවේ නිතැතින්ම. ඒ කාලේ සරුංගල් දහ පහලොවක් පිට්ටනියක, වෙල්යායක තියෙනවාමයි.
මම පුංචිම කාලේ මට සරුංගලයක අවශ්‍යතාවය ආවේ ගෙදර ඉඳන් බැලුවාම අහස පුරාම තියෙන සරුංගල් දැක්කාම. ඒ කාලේ මට සරුංගලයක් හදන්න තියා හිතන්නවත් බෑ. ඉතින් කොහොමින් කොහාම හරි පිට්ටනියේ කරක් ගහන්න ගත්තාම අනුන්ගේ සරුංගල් වල නූල් අල්ලගෙන ඉන්න හම්බුනා. හැබැයි ඉතින් විනාඩියක් දෙකක් ඇතුලේ අයිතිකාරය ඒක ගන්නව. මොකද සරුංගල් යැවිල්ලේ රසම හරිය තියෙන්නේ එතැන නිසා. කොහොම හරි මටත් සරුංගලයක අවශ්‍යතාව හොඳින්ම දැනෙද්දි සරුංගල් හදන්න දන්න කෙනෙක් හෙව්ව. අපේ තාත්තට සරුංගලයක් හදන්න පුලුවන් වුනත් ජීවන යුද්ධෙත් එක්ක එයාට කියල සරුංගලයක් හදා ගන්න එක කරන්න බැරි වැඩක්.
කොහොම හරි පහල ගෙදරක අයිය කෙනෙක් සරුංගලයක් හදා දෙන්නම් කොළ අරගෙන එන්න කිව්ව. වෙසක් එකට ගෙනාව සව් කොළ ටිකකුත් අරගෙන සරුංගලයක් හදාගෙන පිට්ටනියට ගියේ රටක් රාජ්ජ්‍යයක් දිනුවා වගේ. තමන්ගේම සරුංගලයක් කියන්නේ පිට්ටනියේ තැනක් තියෙනවා. අපි පුංචි කාලේ ස්ටේටස් හැදෙන්නේ එහෙම.
සරුංගලයක් උඩ යවන්න ලේසි නෑ. හුලඟ එන පැත්ත, වේගය, ඒ එන හුලඟ පවතින්න පුලුවන් කාලය පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕන. එහෙම නැතිවුනොත් නූල ඇදගෙන ගියත් සරුංගලය අහසේ පවතින්නේ නෑ. ආයෙත් බිමට එනව. ඒ විතරක් නෙවෙයි උඩ හුලඟට අහුවෙනකන් නූල ඇද ඇද සරුංගලය ගුවනේ තියා ගන්නත් ඕන. තව ටිකෙන් ටික නූල දීල සරුංගලය ඉහලට යවන්නත් ඕන. උඩ හුලඟට අහුවුනාට පස්සේ සරුංගලය අහසේ තියා ගන්න පුලුවන්. හැබැයි සරුංගලයේ විදිහ අනුව ඒක ආයේ ආයේ පහතට එද්දි ආයෙත් ඉහලට ගන්න ඕන. ඒ විතරක් නෙවෙයි සරුංගල් ගොඩක් ලඟ ලඟ තියෙද්දි අනිත් සරුංගල් වල පැටලැවෙන්නේ නැති වෙන්න තියා ගන්නත් ඕන.
ආහ් කතාව ගියා දුරට. ඉතින් ඔය පහල ගෙදර අයියට කියලත් සරුංගලයක් හදා ගන්න එක ටික ටික අමාරු වෙන්න පටන් ගත්ත. සරුංගලයක් හදන්න බාර දුන්නට ඒක ලැබෙන්න කල් ගියා. සමහර විට අපි කරදරයක් වුන නිසා මඟ හැරිය වෙන්නත් ඇති. කොහොම හරි මේ වැඩේ මෙහෙම කරන්න බෑ කියල හිතපු මං මම ම සරුංගලයක් හදා ගන්නව කියල තීරණය කලා. ඉතින් ඉරටු ටිකකුත් කපාගෙන වැඩේට බැස්ස. මුලින්ම හදපු සරුංගලේ කොළ ඇලෙව්වනම් කුල්ල වෙනුවට ගන්න තිබුන. තාත්ත ගෙදර ඇවිත් හිනාවුනෙත් එහෙම කියල. හැබැයි ඉතින් වරද හදන්නවත් වරද තියෙන්නේ කොතනද කියලවත් කිව්වේ නෑ. පට්ටම දුකක් දැනුනත් මුල් ඒක පාඩමක් කරගෙන ආයෙ ආයේ හැදුව. තුන හතරක් හැදුවත් කැල්ල වගේ ගතිය ගොඩක්ම අයින් කරන්න වුනේ නෑ. අන්තිමේ වෙන දෙයක් වෙච්චාවේ කියල ඒකක් අලවල බලන්න හිතුව.
දැන් තමා ප්‍රශ්නේ පටන් ගන්නේ කෝ සරුංගල් අලව අලව බලන්න සව් කොළ. මේක අලවල හරි ගියේ නැත්තම් ආයේ ආයේ කොළ ගන්න සල්ලි එක ඕන. තියෙන කොළවලින් අලවන්න පුලුවන් එක සරුංගලයයි. ඒ කාලේ සව් කොළයක් ගන්න වියදම් කරනවා කියන්නේ අපිට සෑහෙන අමාරු වැඩක්. ආර්ථිකය එහෙම තිබුන නිසා කරන්න තිබුනේ වෙන මොනවායින් හරි එකක් අලවලා බලන එක. ඉතින් විසඳුම වුනේ පත්තර කොළ. පත්තරේකුත් අරගෙන වැඩේට බැස්ස. අලවල ඉවර වෙලා ගේ ඉස්සරහ පාරේ ඇදගෙන දිව්ව. සරුංගලේ පස්සෙන් ආව. හැබැයි බිම දිගේ..
එතනිනුත් නොනැවතී උත්සාහයෙන් සරුංගල් කීපයක් හැදුවට පස්සේ සරුංගලයක් හදන එක ඒ තරම් වැඩක් වුනේ නෑ. කොහොමින් හරි සාමාන්‍ය පෙළ ලියන කාලේ වෙනකොට ගමේම අයට ඕඩර් වලට සරුංගල් හදන්නේ නූල් සහ කොළ අරන් ඒන්න කියල. මොකද ඒවාට වියදම් කරන්න තරම් ආර්ථිකයක් ඒ වෙද්දිත් නැති නිසා. සරුංගල් කතාලෙට මම හදපු සරුංගල් දෙක තුනක් පිට්ටනියේ තියෙන ගානට සරුංගල් හැදුවා. වවුලෙක්, කාක්කෙක්, ඔටුන්නක්, මොණරෙක්, මකුළුවෙක්, මාලුවෙන්, මීසමැස්සෙක් වගේම පෙට්ටි සරුංගල් හදන්නත් ඉගෙන ගත්ත. තාමත් පිට්ටනියක සරුංගලයක් යනවන්න ඕන කියන හැඟීම තිබුනා වුනත් විවිධ දේ නිසා අපි හරි බිසී.
ඉතින් පොඩි එකාට හදපු සරුංගලේ උඩ යවන්න වෙයිද නම් දන්නේ නෑ. වැස්ස අවසන් වෙද්දි පොඩි එකා ඒක නොකඩා තිබිල මට නිවාඩුවකුත් අහු වෙන්න ඕන සරුංගලය යවන්න නම්. ඒකත් අර කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ වෙයිද දන්නේ නෑ. බලමු ඉතින්.
කොහොමින් කොහෝම හරි පොඩි එකාට හදපු සරුංගලේ මාවත් ආය් පොඩි කාලෙට අරං ගියා.
කලකින් නොලියපු බ්ලොග්කාරයෝ එළිබහින එකත් වෙසක් කාලේ හොඳ දෙයක්!
ReplyDeleteස්තූතියි ඔබට. ලියන්න ඔ්න වුනත් කියවන්න අය නැති නිසා ලිවිල්ල අඩු වෙනව.
Deleteඅම්මෝ...! සරුංගල් ගැන මටත් කියන්න තියෙනව මාගලක් විතර ලියන්න.
ReplyDeleteඅමාරුවෙන් කොට කරල ලිව්වේ
Deleteසරුංගල් ගැන බ්ලොග් සටහනකුත් මතක් වුණා ලියන්න. මේ පරණ බ්ලොග් ආයෙ ලියැවෙන එක කොයිතරම් මිහිරක්ද!
ReplyDeleteThank you
Delete