ලංකාවේ ගීත අතරේ බොහෝමයක් අප දකින්නේ ස්ත්‍රී වර්ණනා කිරීම්ය. ස්ත්‍රීත්වය වර්ණනාවේ දී විවිධාකාරයේ යෙදුම් භාවිතා කරනු දැකිය හැකි වේ. නමුත් සංස්කෘතිමය හෝ කලාත්මක වශයෙන් පුරුෂ වර්ණනාවක් දැකිය හැකි වන්නේ කලාතුරකිනි. මා එවන් අවස්ථා දෙකක් සිහි කරමි. ඉන් එකක් නම් යසෝධරාව විසින් බුදුන් වහන්සේ වර්ණනා කිරීමයි. දෙවැන්න නල දමයන්ති කතාව තුලයි.
මා මෙහි සඳහන් කරන්නේ එකී දෙවැනි කතාව තුලින් නිර්මිත ගීතයේ කතාවයි. ගීතයේ අරුත පිලිබඳ සිතන්නට කලින් ගීතයේ කතාව පිලිබඳ අවබෝධයක් ලබා ගැනීම සුදුසු යැයි මා සිතමි. මහා භාරතයේ එන් නල දමයන්ති කතාව ඇසුරින් චිත්‍රසේනයන් නිර්මාණය කල නල දමයන්ති මුද්‍රා නාටකය ඇසුරින් නිර්මිත මෙම ගීතයේ කතා නායකයා වනුයේ හංසයෙකි. මහගම සේකරයන් විසින් රචිත ගීතයට තනුව ලබා දෙන්නේ ආචාර්ය ලයනල් අල්ගමයන් විසිනුයි. පණ්ඩිත් අමරදේවයන් විසින් ගායනා කරන මෙම ගීතය ඉතා අපූර්ව අයුරින් පුරුෂයා වර්ණනා කරයි.