ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි.
ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.
ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.