පාස්පෝට් සහ පූස්පාට්

මේ ලියන්න යන්නේ කාලෙකින් අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා සිදුවෙන අසාධාරණයක් ගැන විස්තරයක්. මේ වගේ දේවල් ගැන ලියන එක කාලයක් නවත්තලා තිබුනත් මේ වගේ දෙයක් නොලියාම බැරි නිසා ලියන්නේ තවත් කෙනෙක් වැඩක් ගනී කියලා හිතලයි.

ලෝකය තොරතුරු තාක‍ෂණික ක්‍රම භාවිතය සම්බන්ධයෙන් වේගයෙන් ඉදිරියට ගිහින් තියෙනවා වුනත් අපේ රට යන්නේ සෑහෙන්න පස්සට. එහෙමත් නැත්තම් හරිම හෙමින්. ඉතින් මේ හෙමින් යන ගමනේ ප්‍රයත්නයක් විදිහට වසර ගාණක් තිස්සේ උත්සාහ කරල (මගේ මතකකය හරි නම් වසර 10කට අධික කාලයක්) යන්තම් ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ගේ සේවාවන් මාර්ගගත ක්‍රමයට දෙන බව ප්‍රකාශ කරල තියෙනවා. නමුත් ඒක ඇත්තටම කියන තරම් කඩිනම් ද කියන එක නම් ගැටලුවක්.

ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් ආකාරයට අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව අංකිත ඡායාරූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු අනුමත ඡායාරූප ශාලාවකින් හෝ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායාරූප ශාලාවලින් ලබා ගත හැකි බව තියෙනවා. ඒ සඳහා ගාස්තු අය කරන්නේ මාර්ග ගත විදිහටමයි. නමුත් ශාඛා කාර්යාල වල ඉන්න නිලධාරීන්ට ඒ සඳහා හරියාකාරයෙන් පුහුණුවක් ලබා දීල නැහැ. ඒ විතරක් නෙවෙයි එහෙමතැන් වල ඡායාරූප ගන්න බැරිනම් ඒ තැන් වල නිලධාරීන්ට තමන්ගේ ශාඛා කාර්යාල තාවකාලිකවත් පද්ධතියෙන් ඉවත් කර ගන්න විදියක් තියල නැහැ. සමහර විටක ඒ ඒ නිලධාරීන් තමන්ගේ හිතවත් ඡායාරූප ශාලා සඳහා වාසියක් වෙන විදිහට උවමනාවෙන්ම මේ කාර්යය කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ඒ විතරක් නෙවෙයි එතැනින් අදාල කාර්යය සිදු නොවන්නේ නම්එමුදල් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් සතුව නැහැ.

මීට අමතරව ඔවුන්ගේ පද්ධතිය තුල ප්‍රගතිය බලා ගැනීමේ තීරය පවා යාවත්කාලීන වීමක් සිදු වෙන්නෙැ නැහැ. විශේෂිත විමසීමකින් හෝ හිතවත්කම් ඔස්සේ සිදුවන විමසීම් වලින් පසුව ඒම යාවත්කාලීන වීම් සිදු වෙනවා. නමුත් මේ විමසීම් ඔවුන්ගේ ක්ෂණික ඇමතුම් හෝ වෙබ් අඩෙවියේ සඳහන් අංක වලින් විමසීම් කිරීම සිදු කල නොහැකියි. එයට හේතුව එම දුරකථන සෑම විටම කාර්යය බහුල හෝ පිළිතුරු නොදීමයි.

මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීම නම් අතිශය කණගාටුදායකය. ප්‍රාදේශීය කාර්යාලය ලෙස කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඡායාරූප ලබා ගැනීමට රු. 350.00 ක මුදලක් අමතර ගෙවීමක් ලෙස සිදු කල ද එතැනදී ඒම නිලධාරියා අදාල ඡායාරූප ගැනීමට අවශ්‍ය උපකරණ සකස් කිරීමටත් ප්‍රථම ඡායාරූප ලබා ගැනීම මෙම ස්ථානයෙන් කල ද සාර්ථක නොවන බවත් අයදුම්පත ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාවක් පවතින බවත් ප්‍රකාශ කරනට විය. එවිට මා ඒ බව ළිඛිතව ලබා දෙන ලෙස කී පසු අකමැත්තෙන් වුවද රැගෙන ආ බල්බයක් හා වෙබ් කැමරාවක් සකස් කරන්නට විය. ලබාගත් ඡායාරූපය පද්ධතිය වෙත උඩුගත කරද්දී පවා ඔහු ඡායාරූප ලබා ගැනීම සඳහා ඒ අවට පෞද්ගලික ඡායාරූප ශාලාවක් නිර්දේශ කරන්නට විය. මා ඒ වන විටත් ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකු හා රාජ්‍ය සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකු බව ඔහු නොදැන සිටියා විය යුතුය. නමුත් ඔහුගේ ඡායාරූප ලබා ගැනීම අසාර්ථක බැව් මා දැන සිටියේ ඔහු ආලෝකය හැරිරවූ ආකාරයේ දීමය. නමුත් රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරියට බාධා කිරීම වරදක් බැවින් කිසිත් නොකියා සිටියෙමි.

දින සති ගෙවී ගියේ ය. විදේශ ගමන් බලපත්‍රය නැත. කිහිප වරක් ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් දුරකථන අංක ඇමතීමට උත්සාහ ගතිමි. කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. පිළිගැනීමේ නිලධාරියා ඇමතීමේ දී අදාල අංශය වෙත දුරකථනය සම්බන්ධ කලද එම ස්ථානයේ දුරකථනයට පිළිතුරු දීමට කෙනෙකු නොමැත. කිහිප වරක් උත්සාහ කර මාගේ දුරකථන බිල්පත වැඩි කර ගැනීමෙන් පසු එම උත්සාහයටද අත්හැර දෑමුවෙමි. වෙනත් කාර්යයක් සඳහා මා මිතුරෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියෙමි. එවිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නේ මන් දැයි කියා සිදු කල විමසීමට පිළිතුර “අංශ වල සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් දුරකථන සබඳතා නොමැත” යන්නයි. අහෝ ඛේදයකි එකම ආයතනයේ පිළිගැනීමේ නිලධාරියා අංශ අතර අලුත්වැඩියාවන් පිළිබඳ දැනුවත් නැත.

තවත් මස කීපයක් ගතවූ පසු මා පෞද්ගලික හිතවත් නිලධාරියෙකුගෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කලෙමි. එවිට එම නිලධාරියා පද්ධතිය පරීක්ෂා කර මාගේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් සතියේ දිනයක කාර්යාලයට පැමිණියහොත් අදාළ කාර්යයන් සිදු කර විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවත් පවසන ලදී. හිතවත්කම් භාවිතයෙන් අදාළ කාර්යය සිදු කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මා නැවත රු. 600.00ක් වියදම් කර ඡායාරූපයක් ලබාගෙන පද්ධතිය වෙත උඩුගත කලෙමි. නැවත මාසයකට අධික කාලයක් ගත වුවද කිසිඳු ප්‍රතිචාරයක් නොමැත. නැවත මා මිතුරා ඇමතුවේ ප්‍රගතිය බලා ගැනීම සඳහා පමණක්මය. ප්‍රථිපලය පෙර ලෙසමය.

කෙසේ වුවද සියලු අකටයුතුකම් සම්බන්ධයෙන් සඳහන් කර පාලක වෙත හා අදාළ අංශ ප්‍රධානීන් සම්බන්ධ කරරමින් පැමිණිලි සහගත ඉල්ලීමක් සිදු කලෙමි. දීර්ඝ විද්‍යුත් ලිපියක් ලෙස යොමු කරන ලද ඒහි මා වෙත සිදු වූ අසාධාරණය හා මාගේ කාලය, මුදල් සම්බන්ධයෙන් විමසීම් කලෙමි. ගත වූයේ දින තුනකි. විදේශ ගමන් බලපත්‍රය මා අතට පත්විය. එතැන් සිට අද දක්වා තවත් මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මාගේ විද්‍යුත් ලිපියේ සඳහන් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෝ විමර්ශනයක් පිළිබඳ නොමැත. මෙය රාජ්‍ය අංශයේ ආයතනයක් සඳහා විද්‍යුත් තැපැල් ලිපියක් ලැබී දින තුනක් ඇතුලත පිළිතුරු ලිපියක් ලිවිය යුතුය යන චක්‍රලේඛය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පුරවැසියෙකුගේ හිමිකම සම්බන්ධයෙන් වූ තව තවත් චක්‍රලේඛ හා නීති අණ පණත් ගණනාවක් උල්ලංඝනය වී ඇති අතර වැදගත්ම කරුණ මේ සම්බන්ධයෙන් මාගේ ලිපිය මා අදාල ආයතනයේ නීති නිලධාරීන් වෙත ද යොමු කර ඇති වීමයි.

මේ ලෙසින්ම මාගේ ජාතික හැඳුනුම්පත සඳහා ද මා හට විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කිරීමට සිදු වූ අතර එයින් දින කීපයකට පසු මාගේ හැඳුනුම්පත තැපැල් කර තිබුණි. පුරවැසියෙකු වශයෙන් මෙවන් සිදුවීම් මා ලියා නොතැබීම වරදක් සේ හැඟෙන බැවින් මෙලෙස අකුරු කරමි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදු කරදීම සඳහා “කාක්කන්” සිටින බව බොහෝ වාරයක් විමර්ශන මාධ්‍යවේදීන් විසින් හෙලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් සිදු කර නොමැත හෝ විමර්ශන නිලධාරීන් ද මේ සා විශාල කූඨ ව්‍යාපාරයේ පාර්ශවකරුවන් විය යුතුය. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගත කල යුතු කාලය සම්බන්ධයෙන් එම අදාල ආයතනයන් හි වෙබ් අඩෙවි තුල ගතවන කාලය ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව හැ‌ඟේ. එසේ නොමැති නම් පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා අදාළ කාලයන් ගත කරමින් පුරවැසි අයිතීන් උල්ලංඝනය කර ඇත.

කෙසේ වුවද සාමාන්‍ය ජනතාවගෙන්, මාගේ පාඨකයන්ගෙන් සිදු කරන් ඉල්ලීම නම් මේ වෙන කොටත් ඔයාලගේඨවිදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුපත්‍ ඔයාලට හම්බෙලා නැත්තම් විද්‍යුත් තැපෑල හරහා විධිමත් පරිදි ලිපියකින් ඉල්ලීම සිදු කරන්න. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න තොරතුරු පණත හරහා පුලුවන්. ඉතින් නීති රීති තියෙනවා. හැබැයි ඔයාල දැනුවත් වෙන්න.

මගේ ගැටලුව අවසන් වෙන්නේ සාවද්‍ය තොරතුරු දාපු වෙබ් එකක් නිසා මට අහිමි වුන කාලය සහ සුදුසකම් නොමැති නිලධාරීන් නිසා මට අහිමි වුන මුදල් ප්‍රතිපූරණය කිරීමට පස්සේ. එතෙක් මේක විවෘත නඩුවක්. උසාවියක නොවුනට. මම තාම බලන් ඉන්නවා මේ සම්බන්ධයෙන් අදාල ආයතන ගන්න පියවර සම්බන්ධයෙන්.