මගේ ගමන් බිමන් තිස් දෙවන කොටස - කිරිඳි ඇල්ල

රත්නපුර පැල්මඬුල්ල පරේ යද්දී දකින්න පුළුවන් ලස්සන දිය ඇල්ලක් තමා මේ කියන කිරිඳි ඇල්ල. ලංකාවේ උසින් සත්වන තැන හිමි මෙම දිය ඇල්ල මීටර 116 ක් උසයි. මීටර 940ක් උස කුට්ටාපිටිය කන්දෙන් ආරම්භ වූ මෙම දිය ඇල්ල බොහෝම ලස්සන තැනක්. රත්නපුර පැල්මඬුල්ලෙන් කුට්ටපිටිය පාරේ කිලෝමීටර 5ක් විතර යද්දී මේ කියන ඇල්ල අපිට දකින්න පුළුවන්. එතැන සඳහන් නාමපුවරුව ලඟින් හැරිල පඩිපෙලක් දිගේ පහලට බැහැලා දිය ඇල්ල පාමුලටම යන්න පුළුවන්.

 
පඩි පෙල පටන් ගන්නේ දිය ඇල්ලේ මුදුන මට්ටමින්. පඩිපෙළ බහිද්දී නම් ටිකක් විතර පරෙස්සම් වෙන්න ඕන. මොකද පඩිපෙල් ගමන් මාර්ගයේ සෑහෙන දුරට කැලේ වැවිලා විතරක් නොවෙයි ඒක වැසි කාලේ එද්දී දිය පාරවල් ඇතිවෙනවා. අනික බොහෝම ලිස්සන සුළු ගල් අඩිනුත් යන්න වෙනවා. පඩි 450ක් විර බැහැල ගියාම අපිට දිය ඇල්ල පාමුලට යන්න පුළුවන්. ආමාරුවෙන් පහලට බැස්සාට පාඩුවක් නෑ කියල තේරුණේ දිය ඇල්ල පාමුලට ආවාමයි. වැසි කාලය නිසාවෙන් දියඇල්ල වතුරෙන් පිරිලා. ඇල්ල පාමුලටම වගේ යන්න අවස්ථාව හම්බුනා. මේ ප්‍රදේශයේ විෂකුරු සර්පයන් විතරක් නෙවෙයි ඒක දේශික මත්‍ස්‍ය වර්ග පවා ජීවත් වෙන තැනක්.
 





 




පින්තූරයක් ගන්න අමතක වෙච්චි දේකුත් ලැබුණා. ඒ තමා දියඇල්ල මුදුණේදී වතුරට වැටිලා මැරිච්චි බල්ලෙක්. උඩින් පහලට වැටිලා. කොහොම උනත් ඒ සියල්ල බලාගෙන අපි දිය ඇල්ලේ සිරි නරඹලා එන්න පිටත් වුනා. ලස්සන දිය ඇල්ලක් බලල එන හිතේ සතුට එක්කම ආපහු එන්න තියෙන මාර්ගය දැක්කාම නම් ටිකක් විතර එපා වීමක් ඇතිවුණා. හැබැයි මහන්සි විඳගෙන ආපහු පාරට ආවාම නම් හිතට මහා නිදහසක් එක්ක සංතෝසයක් දැනුනා.
 යන්න ගිහින් බලන්න අපේ දේවල්. මේ පුංචි ලංකාව ලෝකයේ තියෙන විශිෂ්ඨ රටක් කරන්න තරම් දේවල් මේ ලංකාවේ තියෙනවා කියන එක  තේරෙන්නේ මේ වගේ තැන් වලට ගිහින් ඒ අසිරිය විඳිද්දියි. හැබැයි ඉතින් කාරුණික ඉල්ලීමක් තියෙනවා. පොලිතින් වගේ අපඳ්‍රව්‍ය විතරක් නෙවෙයි මත්ද්‍රව්‍ය පවා නැතිව මේ වගේ තැන් වලට යන්න. විනාශ නොකර පරිසරයත් ආරක්‍ෂාවෙන විදිහට මේවා බලන්න.

ඉතිරි පින්තූර වලට.....

ගමන් බිමන් වල තිස් එක්වන කොටසට...

මගේ ගමන් බිමන් තිස් එක්වන කොටස - බුද්ධංගල තපෝවනය



බුද්ධංගල තපෝවනය, අම්පාර නගරයේ ඉඳන් කිලෝමීටර 7ක් විතර ඇතුලේ තියෙන ප්‍රදේශයක්. අක්කර 1200ක ප්‍රමාණයක විහිදුන මෙම ප්‍රදේශය පුරා ලෙන් විහිද ඇති බව පෙනේ. ක්‍රිස්තු පූර්ව 4වන සියවස සිටි දීඝායු කුමරුවන්ගේ දිගාමඬුල්ල රාජධානියට අයත් යැයි කීවද, ඇල්ලේවෙල මේධානන්ද තෙරුන් වහන්සේ පවසන ආකාරයට නම් මෙ ඊටත් වඩා පැරණි යැයි සැලකිය හැකියි.

1964 ඉඳන්ම වනාන්තරයට යටවුන මෙම ප්‍රදේශය කළුතර ධම්මානන්ද නම් නිර්භීත ස්වාමීන් වහන්සේ නමක් විසින් නැවත මෙහි භාවනා කරන්නට සුදුසු ආකාරයට සකස් කරන ලදී. පැරණි ස්තූපය අසල කල කැණීම් වලදී සමුවූ නටඹුන් වලින් ඒවා බුදුන්ගේ අගසව් දෙනම වූ සාරිපුත්ත හා මොග්ගල්ලාන තෙරුණුවන්ට අයත් යැයි සැලකිය හැකි සාකෂ මතුව තිබේ. නමුදු මේ ප්‍රදේශයට කියන සත්‍ය නම හඳුනා ගැනීමට නොහැක.

ත්‍රස්තවාදී සමයේදී ඔවුන් මෙය විනාශ කිරීමට තැත්කල අතර ද්‍රවිඩයන් හා මුස්ලිම්වරුන් කීපවරක් මෙය විනාශ කර එතුන හිජ්රා නැමැති වැව සෑදීමට සැලසුම් සකස් කර තිබේ. මෙහි ඇති ගල්පර්වතය බුදුන් වහන්සේගේ සඅතපෙන ඉරියව්වෙන් ඇති නිසාවෙන් දුවිඩ හා මුස්ලිම් ජාතාකයින් විසින් මෙයට බුද්ධං කැලේ ලෙස ව්‍යවහාර කර ඇති අතර පසු කලෙක එය බුද්ධංගල ලෙස ව්‍යවහාරයට පත්ව තිබේ.
වනය පුරා විසිරුණු විශාල ප්‍රමාණයක නටඹුන් තිබුනද ඒ සියල්ල මගේ ගමන් බිමන් අතර තුර දැක බලාගැනීමට අවස්ථාවක් තාම ලැබුණේ නම් නැහැ. තවත් දවසක ඒ පලිළිබඳ විස්තර දාන්න බලාපොරොත්තු වෙනවා.

මගේ ගමන් බිමන් තිස්වන කොටස - පරෙයියන් ඇල්ල

හුඟක් කිලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. විශ්ව විද්‍යාලයයේ දෙවන වසර අවසන් විභාගය තමා හේතුව. විභාග කාලෙත් තැන් තැන් වල නොගියාම නොවුනත් ඒ ගැන විස්තරයක් ලියන්න බැරිවුණේ විභාගේ ගොඩදාන්න ඕන නිසාමයි. කොහොමෙන් කොහොමෙන් හරි විභාගේ ඉවර වෙද්දීම වැල්ලවාය ඉන්න යාළුවෙක්ගේ ගෙදරට සෙට් වෙලා එතැනින් ගියා මේ පරෙයියන් ඇල්ල බලන්න. යන්න ගියේ වෙනනම පන්සලක් බලන්න. ඒ කටුගහගල්ගේ පන්සල. ඒත් එදා පන්සලට මහඇමති තුමා ඇවිත් කියන ආරංචිය නිසා අපි ගමන අතෑරල දැම්මා. පස්සේ මේ කියන දිය ඇල්ල බලන්න ගියේ ගිය ගමනින් ප්‍රයෝජනයක් ගන්න හිතාගෙන. ගමනට මාත් එක්ක යාළුවෙකුයි මගේ මල්ලියි එකතු වුනා.

මේ දියඇල්ල තියෙන්නේ බුත්තල බඩල්කුඹුර මාර්ගයේ බඩල්කුඹුර නගරයට කිලෝමීටර 4ක් විතර තියෙද්දී. මෙන්න මේ නාම පුවරුව දක්න්න පුළුවන් ඔයාලට. එතැනින් ගොවිබිම් අතරින් වැටුණු පාරක් දිගේ මෙන්න මේ කියන දිය ඇල්ල ලගට යන්න පුළුවන්.
ඇල්ල ගාවට යන්න පිඩිපෙලක් තිබුණා වගේම ඒක බැස්ස ගමන් මට හිතුනේ මොකක්ද මේ ඇල්ල කියල. ඒකට හේතුව අඩි දෙකක විතර දිය ඇල්ලක් දකින්න ලැබීම. පස්සේ යාළුවටත් කලින් මම ගියේ ඇල්ල හොයන්න. ගඟ දිගේ පහලට ගිහින් කොහොම හරි ඇල්ල හොයා ගත්තා. මෙන්න මම මුලින් ආව තැන. එතැනින් පාර හොයාගෙන පහටල ඇවිත් ගල්පර්වත දිගේ බඩගාගෙන තමා පාරක් හොයා ගත්තේ දිය ඇල්ල හොඳින් පේන. ලස්සන දිය ඇල්ලක්. දෙකට බෙදිල. මෙන්න ඇල්ල.
ලස්සන වටපිටාවක් එක්ක තියෙන මේ තැන දැන් නම් පෙම්වතුන් සැරිසරන තැනක් වෙලා. කොහොම වුනත් පෙම් කෙලින එකට වරදක් නොකීවත් ගස් ගල් අස්සේ රිංගන එක නම් හොඳ නැහැ විශේෂයෙන් මේ වගේ තැන් වල. මොකද මිනිස්සු මේ දේවල් බලන්න එනවා විතරක් නෙවේ සුන්දරත්වය විඳින්න කුඩා දරැවන් පවා පැමිණිය හැකි නිසා. යන්න විඳින්න මේ වගේ තැන් තවත් ලංකාවේ තියෙනවා. ඉඩ තියෙන හිටියට ඒ දේවල් විඳලා මේ විදිහට පුංචි විස්තරයක් සපයන්න උත්සාහ කරනවා.

ආයේ හමුවෙනකම් ආයුබෝවන්...!

මෙන්න අනිත් පින්තූර ටික...

ගමන් බිමන් වල විසිනම වන කොටසට....