මෙන්න කාලෙකට පස්සේ මම ආයෙත් ඇවිදින්න ගත්තා. පහුගිය කාලයේ මට කාලවේලාවේ අඩුකම් නිසා බ්ලොගට ලිපියක් දා ගන්න බැරිවුනා.ඒත් මෙන්න ආයෙත් ඔයාලට කියවන්න ලිපියක්. මේ 2012 වෙසක් පෝය දවසේ මම ගිය ගමනක් ගැන විස්තරයක්. මේ ගමනට මගේ යාළුවන් දෙන්නෙකුත් මගේ මල්ලිත් එකතු වුණා. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශය අවට ඇති ඓතිහාසික ස්ථාන කීපයක් බලන්න ගිය ගමන් විස්තරයක්.
|
විහාර මහා දේවියගේ පිළිරුව |
අපි අම්පාරෙන් පිටත් වෙද්දී උදේ 10ට විතර ඇති. අම්පාර කල්මුණ මාර්ගයේ ගිහින් කාර්තිව් වලින් හැරී අක්කරපත්තුව හරහා පොතුවිල් වලට ගිය අපි එතැනින් දකුණට හැරී කිලෝමීටරයක් විතර යද්දී තියෙන මුහුදු මහා විහාරයට තමා මුලින්ම ගියේ. මෙතැන අවුරුදු 2300ක් පමණ පැරණි ඉතිහාසයක් ඇති බව කියවෙන ස්ථානයක්. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් කියන විදිහට නම් මෙතැන තමා විහාර මහා දේවිය ගොඩබට ස්ථානය කියල හැඳින්වෙන්නේ. කිරින්ද ප්‍රදේශයේ ඇති ගල්පර බහුල මුහුදු තීරයෙන් පැමිණීමට නොහැකි නිසා මෙතැනට ගොඩබට බැව් තමා කියවෙන්නේ. මෙතැන ඇය පැමිණියා කියන ඔරුව හා බඩුබාහිරාදිය නිධන් කර චෛත්‍යයක් ගොඩනඟා තිබෙනවා. දහවල් කාලයේදී නම් මෙතැන නරඹන්න ටිකක් විතර අමාරුයි. ඒකට හේතුව මේ ප්‍රදේශයේ පවතින අධික උණුසුම් කාලගුණය. වෙරළ තීරයේ වැල්ල උණුසුම් වීමත් එක්ක අධික උණුසුමක් ප්‍රදේශය පුරා පවතිනවා. අලංකාර මුහුදු තීරයක් තිබුණත් මේ ප්‍රදේශයේ බිලිගැනීම් වැඩි බවයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ.නටඹුන් අතර ඇති පිළිම විහාර මහාදේවිය කාවන්තිස්ස රජු හමුවූ අවස්ථාව කියලත් බුදුන්වහන්සේ හා බෝසත් රුව දෙකක් කියලත් අදහසක් පවතිනවා. මේ ප්‍රදේශයේ ගොඩබැස්ස කුමාරිය රජු එනවිට ඔරුවේ සිට නැති අතර "කෝ කුමාරිය" කියා රජු අසා තියෙනවා. එතැන අද කෝමාරිය ලෙස හැඳින්වෙනවා. කුමාරිය සමඟ ආ පිරිසට අක්කරය බැගින් ඉඩම් 10ක් ප්‍රදානය කල ස්ථානය අක්කරපත්තු ලෙසත් නින්දගම් ලෙස ප්‍රදානය කල ප්‍රදේශය නින්දවූර් ලෙසත් ව්‍යවහාරයට එක්වූ බවයි කියන්නේ.
|
බෝසත් පිළිම |
|
බෝසත් පිළිම |
|
බුදු පිළිමය |
|
බෝසත් පිළිම |
එතැනින් පානම ප්‍රදේශයටත් එතැනින් කුමන අභයභූමියට මායිම්ව ඇති කුඩුම්බිගල ආරණ්‍ය බලන්න තමා ගියේ. 1994 දී කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසාවෙන් අත්හැදමා තිබුණත් දැන් නැවතත් ඒ භූමියේ ආරණවාසී මහණුන් වැඩසිටිනවා. එතැන ඇති බැලුම්ගල නමින් හැඳින්වෙන විශාල ගල් පර්වතය මුදුනට නැගුනු කල අවට ප්‍රදේශයේ කිලෝමීටර ගණනාවක් දුරට අංශක 360ක දර්ශනයක් ලබා ගන්න පුළුවන්. මුහුද දෙසින් ආරුගම් බොක්ක පවා මෙහි සිට බලන්න පුළුවන්. මෙහි ඇති මහා සුදර්ශන ලෙන නමින් හැඳින්වෙන ලෙන දුටුගැමුණු රජතුමාගේ යෝධයෙක් පුජා කලා යැයි සැලකෙනවා. ඒ වාගේම අක්කර ගණනාවක ප්‍රදේශයක් පුරා පැවත ඇති මෙහි ඇති ස්තූපය ධර්ම චක්‍ර ස්තූප ආකාරයට බරණැස ඉසිපතනාරාමයේ හැරුණු විට ලංකාවේ ඇති එකම ස්තූපය විදිහටත් සැලකෙන බවයි කියවෙන්නේ. මෙතැනින් කිලෝමීටර 4ක් පමණ ගිය තැන ඔකඳ දේවාලය ඇති බව අසන්නට ලැබුණත් ඒක වන්දනාමාන කරන්න තරම් වෙලාවක් අපට තිබුණේ නැත්තේ වටින් ගොඩින් කළුවර වැටෙන්න කලින් පොතුවිල් වලට යා යුතු වුන නිසයි. මේ දේවාලය කතරගම දෙවියන් වැඩ වාසය කල ස්ථානයක් විදිහට තමා අහන්න ලැබුණේ. මේතැනින් පිට වෙලා එද්දී ආරුගම් බොක්ක මුහුදු තීරය බලන්න ගියේ එතැන දර්ශනීය වෙරලක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබුණු නිසා. ඒ කතාව ඇත්ත කියල තේරුණේ එතැනට ගියාම.
|
|
|
සුදර්ශන ලෙන |
|
බැලුම්ගල මුදුනට ප්‍රදේශය පෙනෙන හැටි |
|
අත්හල බමර වදයක් |
|
ආරුගම් බොක්ක වෙරළ තීරය |
එතැනින් ආව අපි මඟුල් මහා විහාරය වන්දනාමාන කරන්න නම් අමතක කලේ නෑ. ඒක තියෙන්නේ පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ පොතුවිල් වලින් කිලෝමීටර 11 පමණ යද්දී. මෙතැන විශේෂත්වය විදිහට දක්වන්නේ කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ විවාහය සිදුවූ ස්ථානය වීම. මෙතැන ඔවුන්ගේ විවාහය සිදුවූ ගලින් කල මඟුල් පෝරුවත්, ලංකාවේම මෙතැන පමණක් ඇති විශේෂිත සඳකඩ පහණත් තවත් විශාල නටඹුන් ප්‍රමාණයකුත් දකින්න පුළුවන්. මේ සඳකඩ පහණේ විශේෂත්වය නම් එහි ඇතුන් පේලිය සළකුණු කර ඇති ස්ථානයේ ඇතුන්ගේ පිට ප්‍රදේශයට වන්නට ඇත්ගොව්වකු සළකුණු කර තිබීම. අක්කර 10000ක පමණ ප්‍රදේශයක් පුරා විහිද ඇති මේ ප්‍රදේශය පුරාම මුරගල්, චෛත්‍ය ගල්ගුහා, බෝමළුව හා තවත් නටඹුන් විශාල ප්‍රමාණයක් විහිද පවතිනවා. විහාර මහා දේවිය හා කාවන්තිස්ස රජුගේ විවාහය සිදුවුනු ස්ථානය නිසාවෙන් පසුව විහාරස්ථානයක් කරවා ඇති බවයි කියවෙන්නේ. අපි මේ දේවල් නරඹල ආයෙත් අම්පාරට එද්දී රාත්‍රී 9ට විතර ඇති.
|
මඟුල් මණ්ඩපය |
|
මඟුල් පෝරුව තිබූ තැන |
|
ස්තූපයක නටඹුන් |
|
සඳකඩ පහණ |
|
ඇත්ගොව්වා සහිත කොටස |