මම මේ අද කියන්න යන කරුණ ඔබත් මම වාගේම අත්දැකල ඇති. මම මේ දෙය ලියන්න හේතුව වුනේ මගේ යාළුවෙකුගේ ගෙදර යනවෙලාවේ මම දැකපු දෙයක්. හැම දෙනෙක්ම ජීවිත කාලයේ කවදාම හරි දවසක බස් රථයක ගමන් කරල ඇති. ඒ යන වෙලාවේදී බස් එකට වයසක මනුස්සයෙක් බොහොම අපහසුවෙන් නැග්ගොත් මොකද කරන්නේ? ඒහෙම නැත්තම් පොඩි ළමයෙක් වඩා ගත්තු අම්මා කෙනෙක් හරි ළමයෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් හරි නැග්ගොත් මොකද කරන්නේ? මොකද කළේ? ඒ දවසේ ඒ වෙලාවේ තමන්ගේ හිතට අවංකව ඒ ආසනය ඒ තැනැත්තාට හෝ තැනැත්තියට දුන්නාද කියල තමන්ම හිතන්න. තමන්ගේම හදවතෙන්ම අහල බලන්න.
දවසක් නැග්ග මම ගිය බස් එකකට බඩදරු අම්මා කෙනෙක්. ඒ වෙලාවේ කිසිම කෙනෙක් තමන්ගේ ආසනය ඒ අම්මට දෙන්න උත්සුක වුනේ නැහැ. ඒ ලඟ තිබුනු ආසන ගොඩකම සිටියේ කාන්තාවන්. කොන්දොස්තරවරයා කොපමණ කෑගැහුවත් ඒ ආසන නම් හිස් වුනේ නැහැ. ඊට මඳක් ඉදිරිපස අසුනක සිටි තලතුනා පුද්ගලයෙක් තමා තමන්ගේ අසුන ඒ අම්මාට දුන්නේ. දරුගැබක් දරා සිටිමේ අපහසුව ඒකේ තියෙන වේදනාව, ඒ වේදනාව විඳපු අම්මලාටම නොතේරෙන තරමටම මේ සමාජය දියුණුවෙලාද? ඒ අම්මා විඳින වේදනාව දැනුනේ අර පුද්ගලයාට විතරද? හිතන්න ඔබ තරුණියක් නම් ඔබත් දවසක මේ වාගේම අවස්ථාවකට මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්. ඔබ පිරිමියෙක් නම් හිතන්න මේ ඔබේ බිරිඳ නැත්තම් සහෝදරිය වුනානම් ඔබ මොකද කරන්නේ. මේ වාගේ අවස්ථවන් අනාගතයේ සිදුනොවෙන්න වගබලාගන්න. ඒ වාගේම ඒ ලබාදෙන ආසනය ඒ පුද්ගලයා සඳහා සුවපහසුද කියලත් මඳක් හිතන්න.
දෙවන කාරණය තමා බස් රථ වලට ගොඩවෙන විරිඳුකරුවන්, පොත් පත් විකුණන පුද්ගලයන් හා හිඟන්නන් ගැන කාරණය. මොවුන් ඇත්තටම කවුද? හිඟාකෑම හා විරිඳුනීම තමා දැනට මුදල් සෙවීම සඳහා හොඳම රැකියාව. හැබැයි ඉතින් ගෞරවය නම් ලැබෙන්නේ නැහැ. හිඟන සමාජය කියන පොත කියවලා බලන්න. ඒකෙ තියෙනවා ඒ අය ගැන කල පරීක්ෂණ සටහන් විශාල ප්‍රමාණයක්. ඒ වාගේම ලඟදී පළවුනු පුවත්පතක තිබුණා බස් රථයට විරිඳු කියන මුවාවෙන් පැමිණ මගියෙකුගේ ජංගම දුරකථනයක් සොරකම් කල අවස්ථාවක්. මේ දේවල් ගැන හිතන කොට මේ පුද්ගලයන්ගේ තිබෙන්නේ දුප්පත්කමමද විරැකියාවද නැතිනම් කම්මැලිකමද? හිතල බලන්න.
මේ වාගේ අවස්ථාවකටත් උදාහරණයක් මගේම අත්දැකීමක් ඇසුරින් දෙන්නම්. දවසක් බස් රථයට නැංගා පුද්ගලයෙක් ඔහු අපස්මාර රෝගියෙක් වගේ මුළු ශරිරයම වෙව්ලනවා. ඉහෙන් කනින් දාඩිය දාල. බස් රථය ඉදිරියෙන් නැගල කියනවා කතාවක්. ඒක එයා ගැන කියන දුක් අඳෝනාවක්. ඒ කියල හිඟාකනවා. ඊට පස්සේ බස් එකෙන් බැහැල බස් එකේ පිටිපස්සට යනකොට වෙව්ලීම අවසන්. සාක්කුවෙන් ගන්න ලේන්සුවෙන් දාඩිය ටික පිහදාගෙන සාමාන්‍ය ගමන් විලාසයෙන් යනවා වෙනත් බස් රථයකට. මේක තමා අද හිඟන්නන්ගේ සැබෑ තත්ත්වය.
මම දන්න තවත් කාන්තාවක් අවුරුදු විස්සකට අධික කාලයක් හිඟාකමින් ජීවත්වෙනවා. මේ කන්තාවගේ නිවස ජල විදුලිය සහිත නිවසක්. දරුවන් හොඳ රැකියාවන් කරනවා. ඒත් තවමත් මේ කාන්තාවගේ රැකියාව තමා පුරුදු හිඟාකෑම. මේ රැකියාව කරන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමා ලැබෙන අධික ලාභය. අනික තමා කාලයක් තිස්සේ මේ රැකියාවේ යෙදීම නිසා වෙනත් රැකියාවක් කිරීමට නොදැන සිටීම. කොහොම වුනත් බස් රථයට ගොඩවෙන පුද්ගලයෙකුට මුදල් දෙන්න කලින් දෙපාරක් හිතනවානම් තමා වඩා හොඳ. මොකද ඒ දෙය වරදක් කිරීමට අනුබල දීමක් වෙන්නත් පුළුවන්. ඒ දෙන මුදල පින් සලකා දෙනවා නම් ඒක අනාත නිවාසයකට වගේ දෙයකට ලබා දීමෙන් ඊට වඩා පිනක් ලැබෙයි කියල තමා කියන්න තියෙන්නේ. හැබැයි ඉතින් ඇත්තටම තමන්ගේ අසරණකමකට මුදල් එකතුකරන පුද්ගලයන්ටත් මේ දෙයින් පහර වදින එක නම් ෂුවර්. ඒත් අවසානයේ හිතන්න තමන් කරන දේ තව කෙනෙක් ගේ සුභ සිද්ධිය තකා ද නැත්තම් කෙනෙකුට බොරු කරන්න උල්පන්දම් දීමක්ද කියන එක.