Showing posts with label ගමන් බිමන්. Show all posts
Showing posts with label ගමන් බිමන්. Show all posts

මගේ ගමන් බිමන් එකසිය විසි දෙවෙනි කොටස - සීගිරිය, පිදුරංගල හා කණ්ඩලම වැව

මගේ ගමන් බිමන් කොලම දැන් දැන් සෑහෙන්න අඝාදයකට ලක්වෙලා. මොකද දැන් මම වැඩිය ඇවිදින්නේ නැති නිසා. ලංකාවේ බොහෝමයක් තැන් වල ගිහින් තියෙන නිසා දැන් ඇවිදින්න යන එක උත්තේජනයක් වෙන්නේ නෑ සමහර වෙලාවකදී. කොහොමින් කොහොම වුනත් ආයෙත් ගමන් බිමන් වලට පණ දෙන්න හිතාගෙන ගිය ගමනක් තමා සීගිරිය.

ඓතිහාසික වංශකතාවන් ගණනාවක් දරාගෙන ඉන්න මේ පර්වතය පිහිටලා තියෙන්නේ දඹුල්ලේ ඉඳන් කිලෝමීටර 18ක් විතර දුරින්. මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ කිඹිස්ස ප්‍රදේශයේ පිහිටලා තියෙන මෙම පර්වතය ආසන්න වශයෙන් අඩි 600ක් විතර උසයි. මේක ඛාදනයට ලක්වූ ගිණිකන්දකින් පිටවී සිසිල් වුණු ආග්නේය පාෂාණ යන්ගෙන් නිර්මාණය වුනා කියල තමා කියවෙන්නේ. ශේෂ වූ කඳුපන්තියක් මත පිහිටා ඇති මෙය සෑම දිශාවකින්ම ගත්තාම ප්‍රපාතයක් විදිහට තමයි තියෙන්නේ. අන්න ඒ නිසාම තමා සීගිරිය බලකොටුවක් වශයෙන් තෝරගන්න හේතුව වෙන්න ඇත්තේ. දිගින් කිලෝමීටර 3ක් හා පළලින් කිලෝමීටරයක ප්‍රමාණයේ විහිදී ඇති මෙහි මුදුන අක්කර තුනක වපසරියකට හිමිකම් කියනවා. ඓතිහාසික පොතපත සඳහන් කරන ආකාරයට සීතිරිය 5වන සියවසේ අග භාගයේ නිර්මාණය කරන ලද්දක් වුනත් දැන් දැන් එහි ඉතිහාසය රාවණ රජුන්ගේ යුගය දක්වා විහිදෙන බව කියැවෙනවා.

පොතපතෙහි සඳහන් ඉතිහාසයේ හැටියට මේ පර්වතයේ ඉතාහාසය අවධි පහක් විදිහට වර්ග කරනවා. කාශ්‍යප යුගය (ක්‍රි.පූ.3-ක්‍රි.පූ.5 දක්වා), කාශ්‍යප යුගය (ක්‍රි.පූ.475-497 දක්වා), පසු කාශ්‍යප යුගය(ක්‍රි.ව.6-13 දක්වා), අප්‍රකට යුගය(ක්‍රි.ව.13-17 දක්වා), මහා නුවර යුගය(ක්‍රි.ව.17-19 දක්වා) සහ නූතන යුගය (ක්‍රි.ව.19-අද දක්වා) විදිහට. තැනිතාලාව මත උතුරට නෙරා තියෙන පර්වතය පැරැන්නන්ගේ බිය ගන්වන සිංහයෙකුගේ ආකාරයෙන් තිබෙන නිසා එය සිංහගිර පසුව සීගිරිය වුනා කියල කියනවා. පැරැන්නන් වගේම නූතන යුගයේ පුරා විද්‍යාඥයින්ද මේක දැක්කාම වශිකෘත වුනා කියල 1898 දී තමයි බෙල් මහතා කියන්නේ.ඒ ගැන සීගිරියේ ලියවිලා තියෙන මේ ගීයෙන් කියවෙනවා.

"නැඟී ඇති බලනට - බැලීමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි - බලන රිසිව බෙයන්ද්"

  
පුරාණ ශ්‍රී ලාංකේය වංශකථාවක් වන කුලවංශයට අනුව, මෙම ප්‍රදේශය විශාල වනාන්තරයක් වූ අතර, පසුව කුණාටු සහ නායයෑම් නිසා එය කන්දක් බවට පත් වූ අතර, කාශ්‍යප රජු (ක්‍රි.ව. 477-495) විසින් ඔහුගේ නව අගනුවර සඳහා තෝරා ගෙන ඇතිබවයි. ඔහු මෙම පර්වතය මුදුනේ තම මාලිගාවක් ගොඩනඟා එහි පැති වර්ණවත් බිතුසිතුවම් වලින් සරසා ඇත. මෙම පර්වතයේ අඩක් පමණ ඉහළට කුඩා සානුවක ඔහු දැවැන්ත සිංහයෙකුගේ ස්වරූපයෙන් දොරටුවක් ඉදි කළේය. මෙම ස්ථානයේ නම මෙම ව්‍යූහයෙන් ව්‍යුත්පන්න වී ඇත. රජුගේ මරණයෙන් පසු අගනුවර සහ රජ මාලිගය අත්හැර දමන ලදී. එය 14 වන සියවස දක්වා බෞද්ධ ආරාමයක් ලෙස භාවිතා කරන ලදී. සීගිරිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි. එය පැරණි නාගරික සැලසුම්කරණයේ හොඳම සංරක්ෂිත උදාහරණයකි.


ක්‍රි.ව. 5 වැනි සියවසේ කාශ්‍යප රජු විසින් තනන ලද පුරාණ මාළිගයක් සීගිරියෙහි ඇත්තේය. කාශ්‍යප රජු සීගිරිය මුදුනේ මාළිගාව තනද්දී රාවණ රජුගේ මාළිගයෙහි නටඹුන් හමුවූ බවට කතාවක්ද පවතී. පර්වතයේ සමතලා මතුපිට එම මාළිගයෙහි නටඹුන් තිබේ.

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී කල සීගිරියේ චිත්‍ර පසුව ජගත් පූජිත කලා නිර්මාණ බවට පත් විය. සීගිරිය ශ්‍රී ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා 10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
 

පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ. මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින් තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

තවද සීගිරි බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ. සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සාහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි, සිහිනිඟ, මස්පිඩු පිරුණු පුළුලුකුල, වට වූ පුන්පියයුරු, දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ. දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි. ක්‍රි. ව. 8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502 කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.

තවද සීගිරි චිත්‍ර පිළිබඳව එච්.සී.පී.බෙල් මහතා මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත්  ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බවද කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත. ආනන්ද කුමාරස්වාමිගේ මහතා සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවත් ප්‍රකාශ කර ඇත. නන්දදේව විජේසේකර මහතා "රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බව ද මාර්ටින් වික්‍රමසිංහයන් මෙම චිත්‍රවලින් දිය කෙළියක් දැක්වෙන බවත් මහාචාර්ය සෙණරත් පරණවිතාණ මහතා විසින් රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බවත් ප්‍රකාශ කර ඇත. සිරි ගුනසිංහ විසින් තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි.

සීගිරියේ විශේෂ ලක්ෂණ විදිහට නාගරික සැලසුම්කරණය, ආරක්ෂාව පිළිබඳ උපක්‍රම, පාරිසරික නසම්බන්ධතාවයේ ඇති දායකත්වය, ලෙන් නිර්මාණය, ගොඬනැඟිලි ඉඳිකිරීමේ වාස්තු විද්‍යාව, නිර්මාණකරණය සඳහා ගල් භාවිත කිරීමේ ස්වරූපය, හුණුගල් භාවිතය, ගඩොල් භාවිතය, ක්‍රි. ව. 5වන සියවසේ පැවති නාගරික සැලසුම් ක්‍රම හා භූමි නිර්මාණ ක්‍රම, ඉංජිනේරු විද්‍යාව, ජල තාක්ෂණය (ජල උද්‍යානය,වතුර මල්,පොකුණු), ගෘහ නිර්මාණ ශිල්පය, කලා ශිල්ප හා සාහිත්‍ය (කැටපත් පවුර, සීගිරි බිතු සිතුවම්, සිංහ පාදය) හා එකල පැවති ජන ජීවිතය (කැණීම්වලදී හමු වූ දෑ, සීගිරි සිතුවම්වල ඇති ආභරණ, ඇඳුම් ආයිත්තම්) ආදිය දක්වන්න පුලුවන්.

1938 දී සීගිරිය මුද්දරයක පසුබිම් කරල තියෙනවා. ඒ ඉංග‍්‍රීසි පාලනය පැවැති එකල ප‍්‍රධානියා වූ හයවන ජෝර්ජ් රජුගේ රූපය සමග සිගිරි ගල තියෙන විදිහට. 50, 60, 80 දශක වලදී ශ්‍රී ලංකාවේදී ද ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදි රටවල් මෑත අතීතයේද සිගිරිය බළකොටුව සංකේතවත් කල මුද්දර ලොවට හදුන්වාදීල තියෙනවා. එදා සිලෝන් වල ශත දහයට මිලකරල අදවන විට යුරෝ ශත 95ක් හෙවත් රුපියල් 170 කට විතර මිළ වෙනව. ඒ සිගිරි බළකොටුවෙන් සැරසූ යුනේස්කෝ ලාංචනය පසුබිමට එක් කළ මිලිමීටර් 40×26 තිරස් හැඩති කුඩා මුද්දරය යුරෝ ශත 95කට. එය එක්පත් ඉරුවකට මුද්දර 50ක් ලෙස සකස් කොට මුද්දර ලක්ෂ හයක් ප‍්‍රංශ තැපැල් පොලට නිකුත් කලා.


සීගිරියේ ඉඳන් පොළව යටින් ජල මාර්ග ගමන් කල හැටි, ඒ වගේම උද්‍යාන හා එම උද්‍යාන වල තවමත් ක්‍රියාත්මක වෙන වතුරමල් ක්‍රියාත්මක වෙන හැටි වගේ දේවල් එක්ක තාමත් මේ පර්වතය හංගපු රහස් ගොන්නක් තියෙනවා. සීගිරියේ එක පැත්තක විතරයි තාම කැනීම් කරල හොයාගෙන තියෙනානේ. අනිත් පැත්තේ වැඩ සෙමින් ආරම්භ කරල තියෙන්නේ. ඉතින් එක පැත්තක කල කැනීම් විතරක් සීගිරිය 8 වෙනි ලෝක පුදුමය කරල තියෙනවා නම් හිතන්න සීගිරිය සම්පූර්ණ කැනීම් කරල ඉතිහාසය ගොඩ ගද්දී ඒකේ තාක්‍ෂණික රහස් එලියට එද්ද මොන තරම් වටිනකමක් ලැබේවිද කියල. සීගිරිය ගැන මහා පරිමාණයෙන් ලියන්න ගියොත් පොතක් ලියන්න ඕනි.

දවස දෙවනි අදියරට වුනේ සීගිරිය එක්ක ගසට පොත්ත වගේ බද්ධ වෙලා තියෙන පිදුරංගල කන්ද. මේක  මුහුදු මට්ටමේ සිට මීටර 340ක් පමණ උස්වූ කන්දක ඉදිකරනු ලැබූවක්. ජනප්‍රවාදගත තොරතුරු අනූව පළමුවන මුගලන් රජු, කාශ්‍යප රජු සමග යුධ වැදිමට පෙර මෙම විහාරයේ වැඩ කටයුතු නිමකිරීමට රන් පිදූ බවත්, ඒ අනූව රන්+පිදූ+ගල යන්න පසුකාලීනව පිදුරංගල බවට පත්වූ බවට විශ්වාස කරේ. තවත් ජනප්‍රවාදයකට අනූව භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පූජා කොට ඇති මෙම ආරණ්‍ය සහිත ගලට, පිදූ ආරණ්‍ය ගල යන්න ව්‍යවහාර වූ බවත්, පසුකාලීනව එය පිදුරංගල වූ බවත් පැවසෙනවා. තවද ඒ වගේම ශිලා ලේඛන වල සඳහන් වෙන විදියට කාශ්‍යප නිරිඳුන්ගේ දියණිවරුන් සහ රජුගේ නමද යොදාගනිමින් ඈත අතීතයේදී මේ විහාරය බෝධි උත්පලවන්නා කාශ්‍යප ගිරි විහාරය හෙවත් බෝ උපුල්වන් කසුප්ගිර වෙහෙර නමින් ද හඳුන්වා තිබෙනවා. සීගිරියේ ඉඳන් කිලෝමීටර 2.5ක් විතර ගියාම ඉනාමලුව ප්‍රදේශයේ පිදුරංගල පිහිටලා තියෙනවා.  පිදුරංගලට වසර දහස් ගණනක් ඈතට විහිදුණු ඉතිහාසයක් තිබෙනවා. මෙහි ඉතිහාසය සීගිරියටත් වඩා අතීතයකට දිවයන අතර ක්‍රි. පූ. දෙවන හා පළමුවන සියවස කාලයේ පටන් පැරණි බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වී තිබෙනවා. ක්‍රි .ව. 477 – 495 අතර කාලයේ දී සීගිරිය සිය පාලන මධ්‍යස්ථානය කරගෙන රජකම් කළ කාශ්‍යප රජු මෙහි විශාල සංඝාවාසයක් හා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ඉදිකර එය රහතන් වනහ්සේලාට පූජා කළ බැව පතපොතෙහි දැක්වෙනවා. එහිදී පිදුරංගල නැගීමේ ගමන ආරම්භ කරන ස්ථානය වම්පස කාශ්‍යප ස්ථූපය නම් ගරාවැටුණු චෛත්‍යයක නටඹුන් බලන්න පුලුවන්. මෙය කාශ්‍යප රජුගේ මරණයෙන් පසු ඔහුගේ ආදාහන පූජ්‍යෝත්සවය සිදුකළ ස්ථානය ලෙස සැලකෙනවා. පිදුරංගල පර්වතය පාදමේ පිදුරංගල රජමහ විහාරය හමුවෙනවා. ලෙන් විහාරයක් වන මෙහි සීගිරියේ මෙන්ම පැරණි චිත්‍ර දැකගත හැකියි.

ගමනෙහි පළමු කොටසෙහි ගල් පඩි හා අත්වැට ඉදිකර තිබෙන අතර එහි අවසාන කොටස මඳක් අපහසු නැගීමක් ඇති තරමක් තීව්‍ර එකක්. ඓතිහාසික වටිනාකමකින් යුතු තවත් ඉපැරණි ලෙන් විහාරයක් ගමනේ අතරමඟ දී හමුවන අතර, වර්තමානය වන විට මෙහි ඉතිරිව ඇත්තේ නටඹුන් කිහිපයක් පමණයි. මෙහි මීටර 12.5ක දිගකින් යුතු සෙල්මුවා සැතපෙන බුදු පිළිම වහන්සේ නමක් ඇති අතර එහි ගරා වැටුණු සමහර තැන් මෑත යුගයේ නැවත පිළිසකර කර තිබෙනවා. මෙහි හිස සහිත කොටස මීට වසර 50කට පමණ පෙර නිදන් සොරුන් විසින් විනාශ කර ඇති අතර, මෑතක දී ප්‍රතිසංස්කරණය කර ඇති දේවලට එයත් අයත් වෙනවා. පර්වතය මුදුනට ළඟා වූ පසු හාත්පස මනස්කාන්ත දර්ශනයක් පෙනීමට පටන්ගන්නවා. විශේෂයෙන් ම මෙහි සිට සීගිරිය ඉතා අලංකාර ලෙස දිස්වෙනවා. මෙහි උස ම ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් හමුවෙනවා. පිදුරංගල මුදුනතට සීගිරිය පෙනෙන්නේ යම් සේ ද, සීගිරිය මුදුනටත් පිදුරංගල එලෙස ම පෙනෙන අතර කාශ්‍යප රජ සමයේ දී කාශ්‍යප රජු මාළිගයේ සිට ම පිදුරංගල වැඳ පුදාගැනීම සිදුකළ බැව් කියැවෙනවා. සීගිරි චිත්‍රවල ඇති ළඳුන් මල් රැගෙන පිදුරංගල වැඳීම සඳහා යන ලෙස දක්වා ඇති බැව් සැලකෙනවා.

පිදුරංගල අවසානයේ අපි කණ්ඩලම බලන්න හිටියා වුනත් මහ වැස්සක් එක්ක කණ්ඩලම බැම්ම උඩට එද්දි රෑ වෙන්නත් ඇවිත්. ඒත් එතනට පේන පිදුරංගල සීගිරිය වගේම වැස්සත් එක්ක හැඩ වුන කණ්ඩලමත් අමුතු හැඟීමක් ඇති කරනවා. ඒ තැන නම් මට ලස්සනම ලස්සන හවසක්. ඉතින් එතැන ඉඳන් ටිකක් වෙලා වැස්ස බලපු අපි නවතැනට පිටත් වුනා.

එහෙනම් ඉතින් ආයෙත් පුලුවන් විදිහට ලිපියක් ලියනකන් ආයුබෝවන්.....

මගේ ගමන් බිමන් එකසිය විසි එක්වෙනි කොටස - ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය

කොළඹ සිට මහනුවර දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ පිලිමතලාව නගරයෙන් දකුණට හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1 1/2ක් පමණ ගිය විට හමුවන ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින්, තවත් කිලෝමීටර් 4ක් පමණ ඉදිරියට ගිය විට හමුවන හියරාපිටිය ගම්මානයේ ඇති පැන්හල්ගල නම් වූ ගල්පර්වතයේ මුදුණේ ශ්‍රී ලංකාතිලක රජ මහා විහාරය පිහිටා තිබේ. 

ගම්පොළ යුගයට අයිති යැයි සැළකෙන මෙම විහාරය ක්‍රි:ව: 1344 දී පමණ 4 වන බුවනෙකබාහු රජුගේ ඇමතියෙකු වු සේනාධිලංකාර විසින් කරව ඇතැයි සැළකේ. රමණීය වටපිටාවකින් සමන්විත මෙම ස්ථානයේ ඉදිකරන ලද මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.
ජනප්‍රවාදයේ සදහන් වන අන්දමට පර්වතය පාමුල සංඝාවාසයක් තිබී ඇත. එහි වාසය කල එක් භික්ෂූන්වහන්සේ නමක් ගුරුවර භික්ෂූන්වහන්සේ නම හා උරණවී ගල මුදුනට නැග එහි තිබූ ජම්බු ගසකින් ගෙඩි කඩාකමින් ගල මිදුනේ තිබූ පොකුණ දෙස බැලූ කල්හි රන් කලයක් පාවෙනු දැක තිබේ. පොකුණට බැස එය ගැනීමට උත්සාහ කරද්දී එය වෙනත් තැනකින් යළි මතුවී තිබේ. මෙය අද්භූතජනක සිදුවීමක් වූ බැවින් එය තම ගුරු භික්ෂූන් වහන්සේහට දන්වා ඇත.  ගුරු භික්ෂූන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙහි සත්‍යතාවයක් ඇතිබව තේරුම් ගෙන ගම්ප්‍රධානීන් මගින් සිව්වන බුවනකබාහු රජුට මේ පිළිබදව සැළකර සිටින ලදී. රජතුමාගේ මහඇමති වූ සේනාධිලංකාර විසින් මෙම ස්ථානය ජයබිමක් ලෙසට හදුනාගෙන මෙහි රජමාළිගයක් ඉදිකිරීමට සුදුසුයැයි සැළකර සිටියද, සිව්වන බුවනකබාහු රජු විසින් මෙහි විහාරයක් සහිත දේවාලයක් ඉදිකිරීමට අණ දී එය සංඝයාවහන්සේට පූජා කර ඇත. තවද විහාරය නිර්මාණය කිරීමේ කටයුතු වෙනුවෙන් මසුරන් තුන් කෙල ලක්ෂයක් වැය වූ බව ඉතිහාසයේ සඳහන්ය.
ලංකාතිලක විහාරයේ ඵෙතිහාසික වැදගත්කම සම්බන්ධයෙන් විමසා බැලීමේ දී මෙහි දක්නට ලැඛෙන කලා නිර්මාණ අමතක කළ නොහැකි ය. ඉන්දියානු ආභාසය ද සමගින් නිර්මාණය කර තිඛෙන මෙහි නිර්මාණ දකුණු ඉන්දීය ශිල්පියෙකු වන ස්ථාපතිරායර් විසින් කරවන ලදී. විහාරස්ථානයේ නැගෙනහිර දෙසින් බුද්ධ ප‍්‍රතිමා සහිත පිළිම ගෙය, බටහිර දෙසින් දේවාලය පිහිටා තිඛෙන අතර, ගල් තලාව පාමුල විහාරගෙය පැත්තෙහි සංඝාවාස ඉදිකර තිබේ. මෙම විහාර භූමියේ ම චෛත්‍ය, බෝධිය, බණ මඩුව සහ දෙවියන් වෙුනවෙන් ආහාර පිසීම සදහා යොදා ගන්නා ලද මු¨තැන්ගෙය යනාදි ගොඩනැගිලි දක්නට ඇත.


 
බුදු මැදුරට පිවිසෙන අවස්ථාවේ දී දක්නට ලැඛෙන මකර තොරණ වැදගත් ස්ථානයක් හිමි කරගනී. විහාර ගෙයි දක්නට ලැඛෙන විශාල බුදු පිළිමය ලාංකීය ශිල්පියාගේ අනන්‍යතාව මනාව විද්‍යමාන කරවන අතර, නුවර යුගයේ කලා ලක්ෂණවලින් මෙය පරිපූර්ණත්වයට පත් වේ. ඇත් රූප 16කින් සහ කුඩා මකර තොරණ් 05 කින් සමන්විත වූ රූ කැටයම්වලින් විහාර ගෙයි පිටත බිත්තිය අලංකාර කර තිබේ. විහාරයට පිවිසෙන විට හමුවන සඳකඩපහන ද මෙම යුගයේ කලාකරුවාගේ කලා කෞශල්‍ය මනාව විද්‍යමාන කරවයි. අනුරාධපුර සහ පොළොන්නරු යුගවල මෙන් නොව මෙහි බිත්ති අලංකරණය උදෙසා යොදා ගෙන තිඛෙන චිත‍්‍ර ද මෙරට කලාකරුවාගේ කෞශල්‍ය මනාව විදහා දක්වයි.
 

මගේ ගමන් බිමන් එකසිය විසිවෙනි කොටස - ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය

කොළඹ - නුවර මාර්ගයේ ගොස් පිළිමතලාව නගරයෙන් හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගිය පසුව ගඞලාදෙණිය විහාරයට ළඟා විය හැකිය. ගම්පළ රාජධානි සමයේදී නිර්මාණය කරන ලද ගඞලාදෙණි රජමහා විහාරය සිව්වන බුවනෙකබාහු රජුගේ අනුග‍්‍රහයෙන්, පළමු වැනි ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සේනාධිලංකාර ඇමතිවරයා යන තිදෙනාගේ සුසංයෝගයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. නිකාය සංග්‍රහයට අනුව සද්ධර්මතිලක නමින් හදුන්වා ඇති මෙය ක්‍රි.ව. 1344 දී ගොඩනංවන ලදී. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවද දැකිය හැක. පසුකාලීනව එනම් ක්‍රි.ව. 1412-1467 රජ පැමිණි දස වන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණයන් සහිතව හුණු පිරියම් කිරීමක්ද සිදුකර ඇති බැව් පැවසේ. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පවරා තිබේ.
විහාරයට නම් ලැබීම සම්බන්ධයෙන් විවිධාකාර මත පලවුවද ප්‍රධානකොටම ජනප්‍රවාද කතා දෙකක් ඉස්මතු වෙයි. එනම් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නම් වූ ස්ථානයෙන් විහාර කර්මාන්තය සඳහා අවශ්‍ය ගල් කඩාගෙන පැමිණි බවත් ඒ හේතුවෙන් මුල් කාලයේදී කඩලාදෙණිය නමින් ව්‍යවාහාර කරන නමුත් පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවත්ය. එමෙන්ම විහාරය ඉදිකිරීමට තෝරාගන්නා ලද දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ නිසාවෙන් ගඩොල ආ දෙණිය ගඩොලාදෙණිය වූ බවත්, පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවද ජනප්‍රවාදය පවසයි.

විහාර භූමියේ ඇති සෙල්ලිපි මගින් ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැලසුමකට අනුව මෙය නිර්මාණය කරන ලද බවත් සඳහන්ය. ඒ වන විට ගම්පළ රාජධානිය දක්ෂිණ භාරතීය බලපෑම් එල්ල වන්නට වූ හෙයින් හින්දු ආභාසය ගඬලාදෙණිය රජමහා විහාරයේ ද දැකිය හැක. මෙහි මූලික ඉදිකිරීම් සහ කලා අංග දකුණු ඉන්දීය විජයනගර් සම්ප‍්‍රදායේ ආභාසය සහිතව නිර්මාණය කර ඇත. මෙම කාලයය වන විට පාලකයන් සරණ පාවා ගැනීම උදෙසා බිසෝවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එබැවින් එසේ ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම හේතුවෙන් මෙම විහාර වල හින්දු අභාසය ලැබී ඇති බව සිතිය හැකිය.

අඩි 40ක් පමණ වන මෙය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින් නිර්මාණය කර ඇති මෙහි ගම්පළ රාජධානි සමයේ කලා ලක්ෂණ මනාව විද්‍යමාන කරවන සුවිශේෂී සඳකඞ පහනක් ද ඇත. එහි සත්ත්ව රූප කිසිවක් යොදා නොගනිමින්, ලියවැලක් සහ නෙළුම් මලක් පමණක් කැටයමට නඟා තිබේ. පියගැට සතරකින් සහිත මං පෙතක් නිමවා ඇති අතර, මෙහි දාර අලංකාර කරනු වස් නාටක, වාදක යනාදි කැටයම් උපයුක්ත කරගෙන තිබෙනු දක්නට ලැබේ. මනඃකල්පිත රූපයක් ලෙසින් සලකනු ලබන ගජසිංහ රුව ද මෙහි කැටයම් අතර නිරූපණය කර ඇත.

විහාරගෙය නිර්මාණය කිරීමේ දී විශාල ගල් කුළුණු දෙකක් හා ඊට බැඳි කුඩා කුළුණු දෙක බැගින් යොදා ගෙන තිබීම විශේෂත්වයකි. මෙම නිර්මාණය ත‍්‍රිත්ව කුළුණ ලෙසින් හැඳින්වෙන අතර එකල නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාව මනාව පිළිබිඹු කරමින් එම කුළුණු ද කැටයමින් අලංකාර කර ඇත. කුළූණු හිස සිංහ රූප ද කළස සහ පද්ම යන බොරදමින් ද අලංකාර කර ඇත. ප‍්‍රධාන කුළුණ පේකඩ යටිකුරු කරන ලද නෙළුම් පොහොට්ටුවක් සහිත දඟර ලිය වැලකින් සමන්විත වේ. නමුත් ප්‍රධාන කුළුණේ කලා ලක‍්ෂණ වලට වඩා දෙපසින් ඇති කුළුණු වල කලා ලක‍්ෂණ වෙනස්ය. එබැවින් මෙම ප්‍රධාන කුළුණ ගනේශ්රාචාරී ශිල්පියා විසින් නිර්මාණය කරන්නට ඇති බවත්, අනෙක් කුළුණු දෙක මොහුගේ දක්ෂතම ගෝලයින් දෙදෙනා විසින් නිර්මාණය කරන්නට ඇති බවට සැළකේ. පිටත මණ්ඩපයෙහි දක්නට ලැඛෙන කැටයම් සහ චිත‍්‍ර නිර්මාණ දක්ෂිණ භාරතීය ලක්ෂණ පෙන්නුම් කරයි.

විහාර මන්දිරයේ තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සහ වීරාසනයෙහි වැඩ සිටින මෙම පිලිම වහන්සේ දෙනමකි. මේ සම්බන්ධ තොරතුරු සෙල්ලිපියෙහි සඳහන් පරිදි ශක, බ‍්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත‍්‍රී ආදි දෙවිවරුන් විසින් පිරිවරන ලදුව වජ‍්‍රාසනාරූඪව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සධාතුක මහ පිළිම වහන්සේ ය. එසේම මෙය ශෛලමය පිළිම වහන්සේ නමක් වන බවටද බුදු පිළිම වහන්සේ ලාංකීය සම්ප‍්‍රදායන්ට බැහැරව නිර්මාණය කර ඇති බවත්, මෙහි ලක්ෂණ හින්‍දු දේව රූපවලට සමාන වන බවට ද මතයන් පවතී. මෙහි සිවුරේ රැළි ගංගාවක දිය රැළි ආකාරයෙන් නිමවා ඇති අතර, නේත‍්‍රා යොදා ඇත්තේ විවෘතභාවයකින් යුක්තවය.

විජයෝත්පාය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගඬලාදෙණි විහාරයට ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අලංකාරයක් ලබාදීමට සමත් ව ඇත. අඩි 40ක් පමණ උස්වන මෙම චෛත්‍ය උස් වූ කුළුණු සතරක් මත පියස්සක් සාදවා ඉදිකර ඇත. මෙම පියස්ස නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ ගම්පළ රාජධානියෙහි සිටි පස්වන පරාක‍්‍රමාහු රජුට බව සඳහන්ය. චෛත්‍ය වටා සතර දිශාවෙහිම චෛත්‍ය ඉදි කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ සතර වරම් දෙවිවරු පිරිවරා සිටින බව විය හැක. ශෛලමය ගල් ප‍්‍රාකරයකින් වටකොට ඇති බෝධි ප‍්‍රාකාරය නිසා බෝධීන් වහන්සේ ආරක්ෂා වේ. තවද විහාර භූමියේ පිහිටා තිඛෙන විෂ්ණු දේවාලය සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ද ගම්පළ යුගයේ ඵෙතිහාසිකත්වය මනාව විද්‍යමාන කරයි.

මගේ ගමන් බිමන් එකසිය දහනමවන කොටස - දෙගල්දොරුව රජ මහා විහාරය

මහනුවර සිට කිලෝමීටර 7ක් ගිය පසු හමුවන අමුණුගම නම් ග්‍රාමයේ පිහිටා ඇති දෙගල්දොරුව රජමහා විහාරය මහනුවර යුගයේ සිතුවම් කලාවේ සාරය කැටිවූ කලාගාරයක් සේ සලකනු ලැබේ. මහනුවර සිට ලේවැල්ල පාලම හරහා ඉතා පහසුවෙන් දෙගල්දොරුවට ළඟා වීමට පුලුවන්. මෙය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන ලෙස සකස් කරන ලද ලෙන් විහාරයක් බැවින් දෙගල්දොරුව නමින් ප්‍රසිද්ධ වී ඇත.


විහාරය ඉදිකරනන් පටන් අරන් තියෙන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් ඒ (1747 – 1782) කාලෙදි. මේ කාලෙදි මහනුවර ගල්මඩුව විහාරය ඉදි කරමින් සිටි රජතුමාටඒ ලඟ තියෙන විහාරයකට කදිම ලෙනක් ගැන දැනගන්න ලැබිල තියෙනවා. පසුසේ ගල්මඩුව කරවීම පැත්තක තියලා අලුත් ලෙනේ විහාරය කරවීමට නියෝග කරල. ලෙන් විහාරය පිහිටා ඇති පර්වතය මත මුලදී තිබී ඇත්තේ ගම්පොළ යුගයේදී කරවන ලද දුම්බර ප්‍රදේශයට අධිගෘහිත දෙවියන් වූ පිටියේ දෙවියන්ගේ දේවාලයක්‌ බව සැලකෙනවා. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විහාරය කරවීම ආරම්භ කලා වුනත් එහි අවසානයක් දකින තුරු ඔහු ජීවත් වුනේ නැහැ. ඒ අසුපිටින් වැටීම නිසා මිය යාමෙන්. ඊට පස්සේ රජකම ලැබෙන ඔහුගේ සොයුරු රාජාධිරාජසිංහ රජු (1782 – 1798) විහාරය නිම කරලා මොරතොට ධම්මක්‌ඛන්ධ හිමියන් ඇතුළු ඒ හිමියන්ගේ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට පූජා කරලා තිබෙනවා. ඒ බව රාජාධිරාජසිංහ රජුගේ දෙගල්දොරුව තඹ සන්නසෙහි සටහන් කරල තියෙනවා. කොහොම වුනත් මේ විහාරය නිම කර තිබෙන්නේ ක්‍රි. ව. 1786 දී. මේ විදිහට සකස් කල වෙහෙරෙහි ඇතුළු දො‍රෙහි මැණික් ඔබ්බවා ඒවායින් පරාවර්තිත ආලෝකයෙන් එකල වෙහෙර නැරඹූ බව පැවසේ. දොරටුව ඉහළින් මැණික් ගල් එබ්බවු බවට සළකුණු ද ඇත.

මගේ ගමන් බිමන් එකසිය දහඅටවන කොටස - හඳපානාගල වැව

මගේ අත්දැකීම් වල ගමන් බිමන් ලිපි පෙල කාලෙකින් යාවත්කාලීන කරන්න බැරිවුන තැනක්. රටේ පැවතිච්ච වසංගත තත්ත්වය හා ආර්ථික ව්‍යසනය නිසා දැන් දැන් ඇවිදින්න යනව කියන්නේ හරිම අමාරු වැඩක්. කොහොම වුනත් තාරකා නිරීක‍ෂණ කඳවුරක් වෙනුවෙන් එලියට බැහැපු මට (ඒ ගැන වෙනම ලිපියකින් ලියන්නම්) ලැබුණු විවේකයේ දී තැන් කීපයක ඇවිදින්න ලැබුණා. ඉන් එකක් බුදුරුවාගල. එතැනට මම කලින් ගිහින් තිබුනත් මාත් ඒක්ක ගිය මිත්‍රයාට ඒක අලුත් තැනක්. කොහොම වුනත පින්තූර නොතිබුන කලින් ගිහිපු, ලිපියක් නොලියවුන හඳපානාගල වැව ගැන තමයි අද ලිපිය.

හඳපානාගල වැවට යන්න තියෙන්නේ වැල්ලවාය - තණමල්විල පාරේ වැල්ලවායේ ඉඳන් කිලෝමීටර අටක් විතර ගියාම හමුවෙන හඳපානාගල හංදියෙන් හැරිල කිලෝමීටර හතරක් ගියාම වැවට යන්න පුලුවන්. කාලයක් තිස්සේ නටබුන් වෙලා තිබුන මේ වැව දැන් නම් නවීකරණය කරල තියෙනවා. වැව හා බැඳුනු ඉතිහාස කතාවක් ද තිබෙනවා.

වැලිමඩ ප්‍රදේශයේ පිහිටි උළුගල ග්‍රාමයේ ඇති සෙල් ලිපියක සඳහන් වන විදිහට අනුරාධපුයේ රජකම් කරපු දුටුගැමුණු රජතුමාගේ මව වුන විහාරමහා දේවියට උපහාර පිණිස වෙල්ලස්සේ ඉදිකල එකක් කියලයි කියන්නේ.

ප්‍රධාන වශයෙන් කිරිඳි ඔයෙන් තමයි වැව පෝෂණය වෙන්නේ. ලංකාවේ තුන්වෙන උසම දිය ඇල්ල උන රාවණා ඇල්ලෙන් පහල මිටියාවතට වැටෙන ජලය කුඩා ඔය එක්ක එකතුවෙලා කොස්ලන්ද කඳු වලින් වැල්ලවාය හරහා ඇවිත් තමා හඳපානාගල වැවට වැටෙන්නේ.

ලංකාවේ තියෙන අනිත් ඓතිහාසික වැව් එක්ක සසඳද්දී මේක විශාල වැවක් නොවුනත් අක්කර දහසකට ආසන්න ගොවිබිම් ප්‍රමාණයක් යල මහ දෙකන්නයම වගා කරන්න ජලය සපයන්න තරම් මේ වැව ප්‍රමාණවත්. කාලයක් නටබුන් වෙලා තිබුනත් 1964 දි ගොවි හමුදාව ඇළක් කපල වතර ගෙනත් තියෙනවා. උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ අක්කර අඩි 5000ක් වුන වැව අක්කර අඩි 15000ක් වෙනකන් වැඩි කරල තියෙනවා. හඳපානාගල, නෙළුම්ගල, පැල්වත්ත, මහආරගම, වන්දම, හා දෙමළිය ආදි වූ වැව අවට ප්‍රදේශවාසීන් මේ දෙකන්නයම අස්වද්දන්නේ මේ වැව් ජලයෙන්.

කිලෝමීටර් භාගයක් විතර වැව් බැම්මේ ඇවිද යන විට හමු වන්නේ තරමක උස පර්වත සමූහයකින් පිරි ගල් තලාවකි. එහි උඩට නඟින විට බදුලු, බණ්ඩාරවෙල, පස්සර සහ නමුණුකුළ කඳු පංති මෙන්ම කොස්ලන්ද, පූනාගල උමා ඔය ව්‍යපෘතිය ක්‍රියාත්මක වන කරඳගොල්ල රාවණා කඳු පංති ඇතුළු බොහෝ අවශේෂ කඳු වැටි රැසක් දැක ගන්න පුලුවන්. කාලෙකට කලින් මෙතැන ඉඳන් ලස්සන බැලුව වුනත් මේ වතාවේ ඒ් පැත්තට යන්න තරම් විදිහක් තිබුනේ නෑ.ඒකට හේතුව මේ දවස් වල තියෙන රස්සන සහ අපි ගිය වෙලාව ඉර මුදුන් වෙලාවක් නිසා.

හඳපානාගල වැව බලන්න යන අයට විශේෂයෙන් කියන්න තියෙන්නේ මේක අලි ඇතුන්ගේ පාරාදීසයක්. උන් නිදහසේ ජලය බොන්න එන තැනක්. ඉතින් එයාලට කරදර වෙන්නේ නැති වෙන්න ඔයාලගේ ගමන පරිස්සමින් සිදු කරන්න.

ඇලබමයක් විදිහට නොවුනත් මම ගාව තියෙපින්තූර ටික හෙමි එහෙමින් දාන්නම්. එතකන් මේ තියෙන පැනොරාමා පින්තූරය රස විඳින්න

 

මගේ ගමන් බිමන් එකසිය දහහත්වන කොටස - නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අලුත් ගමනක් යන්න ලැබුනා. දැන් රටේ තියෙන තත්ත්වය එක්ක ආයේ කවදා ඇවිදින්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා කවදත් මාත් එක්ක ඇවිදින අයත් එක්ක ඇවිදින්න යන්න තීරණය කලා. මේ වතාවේ මිතුරෙක්ගේ මාර්ගයෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය බලන්න යන්න අවස්ථාවක් ලැබුනා. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සාමාන්‍ය ජනතාවට වහල තිබුන බලාගාරය දැන් ආයෙත් විවෘත වෙලා. නමුත් කලාන්ට වඩා ආරක්‍ෂාව නම් තද කරලයි කියලයි මට නම් හිතුනේ. 

කවදත් වගේ මගේ ගමන පටන්ගත්තේ කොලඹ කොටුවෙන්. පැය ගණනාවකට පස්සේ පුත්තලමින් බැස්ස අපි තවත් මිතුරෙකුගේ උදව්වෙන් නවාතැනක් වෙන් කරගෙනයි තිබුනේ. ඒ නවාතැනට ඇවිත් කෑමත් කාල කට්ටිය එක්ක මුලින්ම ගියේ පුත්තලම් කලපුවේ තියෙන සුලං බලාගාර ටික බලන්න. ඔව් අර කලපුව වටේට තියෙන කැරකෙන රූං පෙති ටික. කිලෝමීටර තුනක් විතර තිබුන නිසාත් ඒ පාරවල් වල බස් එකක් යන්නේ නැති නිසාත් අපි පයින්ම තමා ඒවා බලන්න යන්න තීරණය කලේ. කැමරාව අසනීපෙන් හිටිය නිසා හරි හැටි පින්තූර ගන්න නොලැබුනත් ලැබෙන පොඩි පොඩි අවස්ථාවල ගත්ත පින්තූර ටිකක් තියෙනවා. 

මගේ ලිවිල්ල

ලක්‍ෂ තුනක් කියවපු බ්ලොග් එකක් කියන සතුට ඒ කාලේ  නම් පට්ටයි. නමුත් අද ඒ තරම් දැනෙන්නේ නැත්තේ මිනිස්සු දැන් දැන් වැඩිය කයවන්නේ නැති නිසා. මීට අවුරුදු 10 කට කලින් පළවෙනි බ්ලොග් පෝස්ට් එක ලිව්ව දවසේ ඉදන් අද වෙනකන් පෝස්ට් 350කට ආසන්න සංඛ්‍යාවක් ලියල තියෙනවා. ඒ කාලේ නම් බ්ලොග් එකක් කියන්නේ සම්පතක්. දැන් දැන් Youtube එක ඒ තැන අත්පත් කරගෙන. මිනිස්සු කියවනවට වඩා කරන දෙයක් බලන් ඉන්න ආසයි. අනික දැන් වීඩියෝ එකක් හදන්න ඉස්සර තරම් අමාරුවක් නෑ. අවශ්‍ය කරන බඩුත් අඩු ගානට ගන්න පුලුවන් නිසා.

මාව ලිවිල්ලට ඇදල ගත්තේ මගේ අයිය. (දැන් ඌ ලංකාවේ නෑ. :P) එයා නම් සම්මානලාභී බ්ලොග්කරුවෙක්. ශාකුන්තලගේ සටහන් පොත කියන නමින් තාක්‍ෂණික බ්ලොග් එකක් තමා ලියුවේ. මට මතක විදිහට 2009 හොඳම තාක්‍ෂණික බ්ලොග් අඩෙවිය සම්මානය ගත්ත. ගෙදර කතා කරන දේ සහ මගේ අත්දැකීම් ගැන කතා කරද්දී අයිය තමා කිව්වේ "ඔය කියන ටික බ්ලොග් එකක ලියනවකෝ" කියල. කොහොම හරි එයාගේ බල කිරීම ම කීප පාරක් කියද්දි මාත් පටන් ගත්ත ලියන්න. තියෙන ටෙම්ප්ලේට් එකකින් පටන් ගත්ත බ්ලොග් එක ක්‍රමාණුකූලව මම ම ඉගෙන ගෙන ටික ටික සංවර්ධනය කලා. 

බ්ලොග් එක නිසා ලැබුන ලස්සනම අත්දැකීමක් ලැබුනේ මට මතක විදිහට 2011 හෝ 2012 අවුරුද්දේ අම්පාරෙදි. ඒක වුනේ මෙහෙමයි. 

මගේ ගමන් බිමන් එකසිය දහසයවන කොටස - වලපනේ

ආයුබෝවන් හැමෝටම.. කාලෙකට පස්සේ ලිපියක් ලියන්න වගේම ගමනක් යන්න ලැබුනේ කොරෝනා නිසා ඇතිවුන බලපෑම නිසා. නමුත් දැන් දැන් ටිකෙන් ටික කොරෝනා බලපෑම අඩුවෙන නිසාත් අපිටත් ගෙවල් වල ඇතිවුන නිසාත් ආයෙමත් ඇවිදින්න හිතාගත්තා. මේ විදිහට පටන් ගත්ත ගමනක් ගැන විස්තරයක්.

කාලයක් තිස්සේ සැළසුම් කල කිසිම ගමනක් යන්න වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. අපි හැමදාම සැලසුම් කල ගමන් අභාවයට ගියේ සිතිවිල්ල එක්කමයි. කාලෙක ඉඳන් එකට එකතුවෙලා ගමන් බිමන් ගිය මගේ ගමන් සගයන් අවසානයේදීඋඹ අපිව එක්කන් යනවද නැද්ද?” කියල අහන තරමට ආව. ඉතින් අපේ මිතුරෙක් කලින් රාජකාරි කල වලපනේ පැත්තෙ ඇවිදින්න තීරණය කලේ රටේ තියෙන වසංගතය ටිකක් අඩු ගම්බද නිදහසේ ඉන්න පුලුවන් පළාතක් වුන නිසයි. සතියක් වගේ ඇතුලත සැලසුම් කල ගමන සඳහා කට්ටියම එකතු වෙන්න තීරණය කලේ මහනුවර නගරයට

ගමන යොදාගෙන තිබුණේ පෙබරවාරි මාසේ අන්තිම සතියේ දින තුනක නිවාඩුවට. සිකුරාදා උදේ 9.00 වෙද්දී මහනුවරට එකතුවුන වැඩිහිටියෝ 7 දෙනෙක් සහ මගේ මිතුරෙකුගේ පුංචි එකත් හිටියාමහනුවර ඉඳන් රන්දෙණිගල මාර්ගයේ ඇවිත් කන්දේ හන්දියෙන් හරවල හඟුරන්කෙත රිකිල්ලගස්කඩ හරහා පදියපලැල්ලට ආව. පදියපැලැල්ලේ බස්නැවතුම ලඟින් දවල් කෑම පැකට් කරල ගත්තේ කාලය ඉතිරි කරන්න සහ අපි මන්දාරම්නුවර කොළපතන ඇල්ල බලල එතැන ඉඳන් කමු කියන තීරණයක් තිබුන නිසා. පදියපැලැල්ලෙන් එලමලේ හන්දියෙන් හැරිල කිලෝමීටර 11 ආවමමන්දාරම්නුවර. මන්දාරම්නුවරටබස්රථයේයනඅතරෙදෙපස ඇති සුන්දරත්වය විඳිනනත් අමතක කලේ නැහැ. මාර්ගය දෙපස හෙල්මලු ක්‍රමයෙන් වගාකරන කුඹුරු සකස් කරල තිබුනා. දිනකීපයක්ඇතුලතවගාකරන ස්වභාවයකින් තිබුණු කුඹුරු සහ මේ වන විටත් වගාවන් ආරම්භ කරපු කුඹුරුඅතර තිබුනා

මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා. 

මගේ ගමන් බිමන් එකසිය දහහතරවන කොටස - දෙහෙන ඇල්ල

රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන සුන්දර වූත් අප්‍රකට වූත් දිය ඇලි අතර දිය ඇල්ලක් ගැන කලින් ලිපියක ලියුවා මතක ඇති. ඒ් බේරුවත්ත ඇල්ල. මේ ලියන්න යන්නේ ඒ් පැත්තේම තියෙන තවත් දිය ඇල්ලක් ගැනයි. ඒ් තමයි දෙහෙන ඇල්ල. රත්නපුර ඉඳන් බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කිලෝමීටර 18ක් විතර ගියාම පහලගම සහ අමුණුගම කියන ගම් දෙක අතරේ පාර අයිනේම දෙහෙන ඇල්ල දකින්න පුළුවන්.
මීටර 73ක් පමණ උස මේ දිය ඇල්ල ස්ථර දෙක් විදිහට තමයි ගලා බහින්නේ. ගම් වැසියන් ගස්ලබු ඇල්ල කියන නමින් හඳුන්වන්නේත් මේ ඇල්ලම තමයි. නමුත් ඒ් නම හැදෙන්න විදිහක් ගැන කිසි සටහනක් නැහැ. අතීතයේ ප්‍රාදේශීය රජ කෙනෙක් විසින් දඩුවම් පමුණුවන්න භාවිතා කල නිසා දමන ඇල්ල නමින් හඳුන්වා පසුව දෙහෙන ඇල්ල බවට ව්‍යවහාරයට ආවා කියල මතයක් තියෙනවා. තවත් මතයක් නම් ප්‍රදේශයේ ඈපා තනතුර ලැබූ පාලකයෙක් නීතියේ රැහැනට හසුකර ගත් වැරදිකරුවන් දිය ඇල්ල පාමුලට තල්ලු කල නිසා දෙහෙදු ඇල්ල ලෙස ප්‍රකට වී පසුව දෙහෙන ඇල්ල ලෙස ලෙස ව්‍යවහාරයට පැමිණ ඇතැයි ද කියවේ.

මගේ ගමන් බිමන් එකසිය දහතුන්වන කොටස - ඇඩිසම් බංගලාව

කාලෙකට පස්සේ ආයෙත් ආවේ අපූර්ව ස්ථානයක් ගැන ලිපියක් අරගෙන.. ඒ තමයි හපුතලේ තියෙන ඇඩිසම් බංලගාව ගැන.. හුගක් අය හපුතලේ පැත්තෙන් යනවා නම් මේ තැන බලන්න අමතක කරන්නේ නෑ.. ඒ මේ තැන හරි අපූර්ව මනස්කාන්ත ස්ථානයක් නිසා.
හපුතලේ ඉදන් වැලිමඩ පාරේ කිලෝමීටර 3ක් විතර ගියාම ඇඩිසම් බංගලාවට ලගාවෙන්න පුළුවන්. ගම්වැසියන් ගල් බංගලාව කියන නමින් හදුන්වන මෙහි අද තියෙන්නේ සිල්වෙස්ත්‍රෝ - ‍බෙනදිකාන නිකායේ ඉගැන්වීම ්සිදු කරන තාපසාරාමයක්. ඒ නිසා මහ සිකුරාදා සහ නත්තල් දිනය හැර සියලු සති අන්ත වලත් පෝය සහ රජයේ නිවාඩු දවස් වල විතරක් උදේ 9.00 ඉදන් සවස 4.00 වෙනකම් මේක බලන්න යන්න පුළුවන්. තංගමලේ අභය භූමිය මධ්‍යයේ තියෙන නිසා බලන්න යද්දී කැලේ මැදින් සකස් කරපු මාර්ගයක් දිගේ තමයි යන්න ඕනි.

මගේ ගමන් බිමන් එකසිය දොළොස්වන කොටස - රාවණ රජු සීතා දේවිය රැගෙන ගිය “චැරියට් පාත්”

ලංකාවේ තියෙන අපූර්වත්වය සොයා යන ගමන් වලින් එකක් විදිහට මේ ගමන සූදානම් වන්නේ මා හා මාගේ මිතුරන් සදහා කදවුරක රාත්‍රිය ගත කිරීමේ අත්දැකීම විද ගැනීම පෙරදැරිවයි. මේ සියල්ලේ එකම රැකියාවක එකම තනතුරකට බදවා ගත් අය වුවත් අද වෙන් වෙන් රැකියා සදහා ඉවත්ව ගිය අයයි. මේ අපගේ සිව්වන ගමන වන අතර එක් තැනක එක් වූ අප නැවත නැවතත් මිතුදම් අලුත් කරන්නේ මෙවැනි සුන්දර ගමනකිනි. මේ එවන් ගමනක සුන්දරත්වය අප විදගත් ආකාරය පිළිබදව කතාන්දරයයි. 

වර්ෂ 2019 මාර්තු මාසයේ නුවර එළිය දිස්ත්‍රික්කයට වර්ෂාව පවතින බව කියවුනා වුනත් අපේ නිවාඩු එක්ක අපිට තිබුනේ මේ දිනය විතරයි. ඒ නිසා වර්ෂාව කොහොම වැටුනත් යනවා කියන අධිෂ්ඨානය එක්ක අපේ ගමන තීරණය වුනා. ඒ පිදුරුතලාගල කන්දේ එක් කෙලවරක තියෙන Chariot path එහෙමත් නැතිනම් කරත්ත පාර දිගේ යන්න. අපි චැරියට් පාත් කියන නමින් මේක හැදින්නුවා වුනත් ගම් වැසියන් නම් මේ තැනට කියන්නේ පිට්ටනි කියලයි.

මගේ ගමන් බිමන් එකසිය එකොලොස්වන කොටස - පැට්නා

හැමදාමත් මගේ ගමන් බිමන් එක්ක එකතුවෙලා හිටි මිතුරු මිතුරියන් වෙනුවෙන් ලියන්න තරම් කාලයක් නොමැති නිසා පොඩි ප්‍රමාදයක් තිබුනා වුනත් ඕන ආයෙමත් ලිපියක් එක්ක ආව. ඒ කොයි කවුරුත් ආසාවෙන් යන්න දලන තැනක් ගැන විස්තරයක් එක්ක. ඒ තමයි පැට්නා.
 
දෙනියායේ තියෙන හරිම අපූරු විනෝද වෙන්න පුළුවන් තැනක් තමයි පැට්නා කියන්නේ. එනසල්වත්ත වතුයායේ පැට්නා කියන කොටසට අයිති මෙම ස්ථානය වඩා ප්‍රසිද්ධ වෙන්නේ "බුරුස් ගල" නමින් හඳුන්වන දිය සීරාව තියෙන ලිස්සා යා හැකි කොටස නිසාවෙන්.  දෙනියායේ ඉන් විහාරහේන මාර්ගයේ ඇවිත් එතැනින් එනසල්වත්ත මාර්ගයට හැරෙන්න ඕන. ඒ පාර දිගේ ගියාම පැට්නා නැරඹුම ලගට එන්න පුළුවන්. එතැනින් පස්සේ තේවත්ත මැදින්  පොඩි දුරක් පයින් යන්න වෙනවා. එවිට පැට්නා "බුරුස් ගල" නමින් හඳුන්වන තැනට එන්න පුළුවන්.

මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන දෙවන කොටස

මන්නාරම් ගමනේ පුංචි පුංචි සුන්දර තැන් ටිකක් ගැන පළවෙනි ලිපියේ තිබුනානේ. මේ ඒකේ ඉතිරි ටික...

ලූර්දු මාතා දේවස්ථානය ගාවින් ආව අපි දවල් කෑම කන්නත් වෙලාව ඉතිරි වෙලා තිබුන නිසා මඩු දේවස්ථානය බලන්න යන්න තීරණය කලා. 

මරද මඩු දේවස්ථානය

මඩු දේවස්ථාය ඉදිවන්නේ කන්‍යා මරියතුමිය වෙනුවෙනුයි. මාත්තෙයි වල තිබූ මරියතුමියගේ දේවමාතා ප්‍රතිමාව පළමුව තබා තිබුනා යැයි සැලකෙන්නේ ලූර්දු මාතා දේවස්ථානයේය. නමුත් ලන්දේසි ආක්‍රමණ සමඟ පෘත්‍රගීසින්ගෙන් පාලනයෙන් ගිලිහුණු ලංකාවේ කතෝලික, හින්දු හා බෞද්ධයන් ගේ ජීවිත වලට තර්ජන එල්ල විය. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මඩුමාතා පිළිරුවද වඩම්මවාගෙන මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා පිටත් විය. එම පිරිස ලන්දේසීන්ගෙන් හා වන සතුන්ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අසල නැවතී ඇත. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්තානයේ බදු නිලධාරියාගේ උදව් ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි විය. එම ගම හඳුන්වා ඇත්තේ මරද මඩු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙන්නකි. එම කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක වන හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි.
මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එකී බදු නිලධාරියා සමඟ විවාහ වීමෙන් පසු සෙසු පිරිසද වනය හෙළිකොට නව ගම්මානයක් තනාගනිමින් එහි නැවතී ඇත. ඉන් අනතුරුව හෙලේනා සිය සැමියා ඇතුළු සෙසු පිරිස සමග එක්ව කුඩා ස්ථිර ගොඩනැඟිල්ලක් සාදා මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකොට තිබේ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එය බව පැවසේ. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ එම මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් තරමක විශාල මැදුරක් තැනවීය. ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට ධර්මදූත කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ ජුසේවාස් පියතුමාද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. වත්මන් මඩු දේවස්ථානය වර්ෂ 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරදගුරු තනතුරට පත් බොන්වින් නමැති පියතුමෙකි. නයි, පොළොන් ආදී විසකුරු සර්පයන් සේම රුදුරු වග, වලස්, කොටි, සිංහයන් ගහන වනපෙතක දිවි ගෙවමින් මඩු මාතාවන් ඇදහූ බැතිමතුන්ගේ විශ්වාසය සපල කරමින් මඩු මාතා දෙව්මැදුර ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට විය. 1868 වසරේදී නිර්මල මරිය නිකාය පාලනයට භාරවූ මඩු පුදබිමේ ප්‍රථම මංගලෝත්සවය පවත්වා ඇත්තේ 1870 වසරේ ජුලි 02 වැනිදාය.

මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන පළමු කොටස

කාලෙකට පස්සේ යාලුවෝ ටිකත් එක්ක ඇවිදින්න යන්න හිතුවා. ඒ මන්නාරම.. මම පය නොතිබ්බ ලංකාවේ තිබුන එකම දිස්ත්‍රික්කය. කොහොම වුනත් ඒ හීනයත් හැබෑ කරගෙන ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලට පය තැබීමත් එක්ක මන්නාරම් යන්න හිතුවා. මේ මන්නාරමේ ඇවිදපු එක ගැන කතාව.... යන්න පිටත් වුනේ ජොබ් එක නිසා එකතු වුන දැන් සමහරු ඒ ජොබ් එකේම නැතත් තවමත් ඉතිරිව ඇති අපූරු මිතුරු හවුලක්..

අවුරුදු ගානක් කොටි ත්‍රස්තවාදය නිසා හැංගිලා තිබුන මන්නාරම කියල කිව්ව ගමන් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ කරවල. හැබැයි ඉතින් කරවල වලටත් වඩා මන්නාරමේ ඓතිහාසිකව වැදගත්කමක් තියෙන තැන් ගොඩක් තියෙනවා බලන්න. ඒ වගේමයි ලස්සන තැන්. මුලින් මන්නාරම අරාබිවරුන්ගේ වෙළඳ නගරයක්. පසු කාලෙක පෘතුගීසීන්ද දෙවනුව ලන්දේසීන්ද අවසානයේ ඉංග්‍රීසීන්ද අත්පත් කරගෙන පාලනය කරල තියෙනවා. ත්‍රස්තවාදය නිසා බොහෝ දෙනෙක් වෙනුවෙන් වැහිල තිබුන මන්නාරම අද ආයෙමත් හැමෝම වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.
අපේ ගමන ආරම්භ වෙන්නෙ කොළඹින් රාත්‍රී තැපැල් දුම්රියේ... මගදී දුම්රියේ කාර්මික දෝශයක් නිසා සෑහෙන වෙලාවක් ප්‍රමාද වුනා.. කොහොම හරි අපේ කට්ටිය 10 දෙනත් එක්ක පාන්දර 6 වෙද්දී අපි මන්නාරම් දුම්රිය ස්ථානයෙන් බැහැගත්තා. අපේ නවාතැන වුනේ හමුදාවේ නිවාඩු නිකේතනයක්. ඒ තල්ලඩි වල. අපේ ගමන අපි සැලසුම් කරල තිබුනේ තල්ලඩි වල ඉඳන් වාහනයක් අරන් ඇවිදින්න යන්න. ඒ නිසා කොච්චියෙන් බැහැල කෙලින්ම ආවේ නවාතැනට. අපේ බඩු මලු පැත්තකට දාල කෂණික නූඩ්ල්ස් වලින් උදේ කෑම සම්පූර්ණ කරගෙන මුලින්ම යන්න හිතුවේ මන්නාරමේ තියෙන ලන්දේසි කොටුව බලන්න.

මගේ ගමන් බිමන් එකසිය නමවන කොටස - ඩෙල්ෆ්ට් දූපත සහ කැලෑ අශ්වයෝ

යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ්ට් දූපත වනාහි අපූර්ව ස්ථානයකි. වර්ග කිලෝමීටර 49.5ක් පමණ වූ මෙම භූමි ‍ප්‍රදේශය සම්පූර්ණෙයන්ම වාගේ සැදී තිබෙන්නේ හිරිගල් පාෂාන වලින් එසේත් නැතිනම් කොරල් වලින්. දිගින් කිලෝමීටර 8ක්ද පළලින් කිලෝමීටර 6ක්ද පමණ වනවා. අවට මුහුදු තීරයද නොගැඹුරු කොරල් පර වලින් පිරුණු මුහුදු තීරයක්. අතීතයේ මෙය නෙඩුන්තිව් ලෙස ව්‍යවහාර වූ බවත් පසුව පෘතුගීසි ආක්‍රමණයෙන් පසු ඩෙල්ෆ්ට් ලෙස භාවිතා වුන බවත් කියවෙනවා. අර්ධ ශුෂ්ක නිවර්තන කලාපීය දේශගුණයකට හිමිකම් කියන මෙම දූපතේ වාර්ෂික වර්ෂාපතනය 500-700mm පමණ වන අතර උපරිමය අප්‍රේල් - නොවැම්බර් කාලයේදී වෙනවා. Equus caballus යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඩෙල්ෆ්ට් අශ්වයින් ලංකාවේ ස්වභාවිකව ඇති එකම ස්ථානය ලෙස හැඳින්වෙන්නේ මෙම දූපතයි. මෙහි දැනට අශ්වයින් 500කට ආසන්න ප්‍රමාණයක් සිටින බව ගණන් බලා තිබෙනවා. 
 
මේ දූපත බලන්න යන්න සූදානම් වෙද්දීම සාමාජිකයින් 15ක් විතර හිටියා වුනත් අවසානයේ ගමන පිටත් වුනේ සාමාජිකයින් 7 දෙනෙකුගෙන්. ලංකාවේ විවිධ ප්‍රදේශ වල ඉන්න මේ සාමාජිකයින් හැමදෙනාම එකතු වෙන්නේ CPC නමින් හැඳින්වෙන ඡායාරූප සමාජය හරහා. ප්‍රධාන වශයෙන් අශ්වන්ව ඡායාරූපගත කරන්න වගේම කුරුල්ලන් ඡායාරූපගත කිරීම කරගත් අපි 30 උදේ පාන්දර යාපනය ප්‍රධාන බස් නැවතුම්පල ලඟදී එකතු වුනා. එතැන ඉඳන් අපේ ගමන පහසු කරන්න වාහනයක් ගත්තා.