මගේ ගමන් බිමන් අනූ දෙවැනි කොටස - බටතොට ලෙන (දිවා ගුහාව)

කාලයක් තිස්සේ හිතාගන හිටි ගමනක් යන්න ලැබුනා. ඒ තමයි එරත්න පාරෙන් සිරිපා කරුණා කරන්න. ශ්‍රී  පාදය කියන විස්තරය කලින් ලිපියක ලිව්වා මතක ඇතිනේ. මේ එරත්න පාරෙන් ශ්‍රි පාදය වන්දනා කරන්න යද්දී හමුවෙන ලෙනක් පිලිබඳ විස්තරයක්. රත්නපුර කොළඹ පාරේ කුරුවිටින් හැරිල එරත්තන පාරේ  කිලෝමීටර 7ක් විතර යන්න ඕන. එතැනින් වමට හැරිලා ‍කිලෝමීටර 1.5ක් විතර ගියාම ලෙනට යන්න හදපු පඩි පෙල දකින්න පුළුවන්. සෙනඟ වැඩි කාලයේදී නම් ටිකක් පහලින් වාහන නවත්තන්න වෙනවා. එතැන ඉඳන් පඩි පෙල දිගේ ඉහලට ගියාම ලෙන ඇතුලට යන්න පුළුවන්.
මෙම ලෙන තුල නිශ්ශංකමල්ල රජ යුගයෙන් ඇරඹි, පොලොන්නරු ,ගම්පොළ ,මහනුවර රාජධානි යන්ද පසු කලෙක යටත් විජිත සමයේදීද වරින් වර විහාරයක් ඉදිකිරීමට තැත් කල බවට ඉපැරණි බිතු සිතුවම් සාක්ෂි දරයි .එහෙත් එසේ උත්සාහකල කිසිම අවස්ථාවක වැඩ නිම කිරීමට නොහැකිව ඇත. දිගින් අඩි 150ක් ද පළලින් අඩි 70ක් ද උසින් අඩි 50ක් පමණ වන මෙම ලෙන නැගෙනහිරට මුහුණලා ඇත.

මගේ ගමන් බිමන් අනූ එක්වැනි කොටස - අම්බුලුවාව කන්ද

ගම්පොල නගරයේ සිට හෙම්මාතගම මාර්ගය දිගේ කිලෝමීටර 5ක් පමණ යද්දී අම්බුළලුවාව කඳු මුදුනට ප්‍රවේශ මාර්ගයට යන්න පුළුවන්. අක්කර 927ක පමණ භූමි භාගයක විසිර පවතින මේ කඳු ගැටය අනෙකුත් කඳුවැටි වලින් වෙන්ව හුදකලාව පවතිනවා. මුහුදු මට්ටමින් අඩි 3567ක් උස කඳු ගැටය මත පිහිටි චෛතයය නිසාවෙන් මෙය අපූර්ව ස්ථානයක් බවට පත්වී තිබෙනවා. ගම්පොල නගරයේ සිට බලන්නෙකුට පහසුවෙන් මේ චෛත්‍යය දැක ගන්න පුළුවන්.

කන්ද පාමුල ඉඳන්ම පයින් යන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වාගේම චෛත්‍ය පාමුල දක්වාම වාහනයක බන්නත් පුළුවන්. බොහෝමයක් දෙනා අපූර්ව අත්දැකීමක් විඳගැනීම උදෙසා මේ මුලු දුරම පයින් තරණය කරනවා. වටපිටින් හමන සිහිල් සුලඟ නිසාවෙනුත් ගහ කොලින් වැසුනු මාර්ගයේ සෙවන නිසාවෙනුත් කන්ද තරණය කරන්නා වූ අයට වැඩි මහන්සියක් දැනෙන්නේ නැහැ.

වනජීවී ඡායාරූපකරණයට ඔවදනක්.......

වනජීවි ඡායාරූපකරණයේ යෙදෙන්නෙක් අඩුම ගනනේ 300mm වත් ලෙන්ස් එකක් භාවිතා කල යුතු වෙනවා. නමුත් හොඳ දූරරූප කාචයක් තිබේ නම් රාමුව පුරවා ගැනීම පහසුවේ. නමුත් වෙනත් ලෙන්ස් එකක් භාවිත කර ගන්නා ඡායාරූපයක් හොඳ crop එකක් මගින් සාර්ථක කරගත හැකිය.
 
සේයාරුව ගැනීම සඳහා වැදගත් වන තවත් කරුණක් නම් සතෙකුගේ චර්යාවන් හා වාසස්ථාන පිලිබඳ දැන සිටීමයි. නමුත් ‍හොඳම ඡායාරූපය ලෙස බොහෝ විට හදිසියේ ලැබෙන දුර්ලභ අවස්ථා ඡායාරූප ලෙස සටහන් කර ගැනීම වැදගත්වේ.
ඡායාරූප ලබා ගැනීමේදී සතුන්ට ලඟාවීම වැදගත් කරුණකි. එහිදී නොපෙනෙන ලෙසින් සැඟවී සිටීමද වැදගත් වේ. වනාන්තරයට අනුගත වෙන පරිදි සැඟව සිටිමින් දින ගනන් ගත කිරීම වැනි කැපකිරීම් සිදුකිරීමෙන් හොඳ සාර්ථක ඡායාරූපයක් ලබාගත හැකිය.

බෞද්ධයා, පිරිත හා දානය

ලංකාව බෞද්ධ රටක්. අපි බෞද්ධයෝ. මේක තමයි අපි කියන වචන ටික. හැබැයි මේ වචන අර්ථවත් කරන්න උත්සාහ අරන් තියෙනවාද? අද ලංකාවේ බොහෝමයක් ඉන්නේ නාමික බෞද්ධයන්. පන්සල් යන්නේ අනිත් අයට පේන්න. නැත්තම් වාසි ලබන්න. පන්සලට ගියාම ඇහෙන්නේත් අරක නෑ දායක මහත්තය මේක නෑ දායක මහත්තයා කියල විතරයි. මට නම් දැන් පන්සල් බහුතරයක් කහ සිවුර ඇඳගත්තු මහා ධන කුවේරයන්ගේ මන්දියක් විදිහටයි පේන්නේ. සියල්ල බිස්නස් එකක් වෙලා. පිරිත් කෑල්ලකට, බණ පදයකට, මතක බණකට නියමිත ගානක් තියෙනවා. ඒ ඒ මුදල තීරණය වෙන්න පනස්ලේ තියෙන වත්කම්, බලය හා ප්‍රසිද්ධිය බලපානවා. ඒ දේ එහෙම වෙන්න අපේ බෞද්ධයන්ගේ මාන්නයත් බලපානවා. මොකද අපිත් ලොකුවට සල්ලි දීල ආධාර කරල පත්තරේට නම දාගන්න බලන නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. 
පිරිත කියන්නේ මොකක්ද කියල දේශනා කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං
අන්තරායං පරිහන්තං තායතීති පරිත්තං
මහාතේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං
උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං

මගේ ගමන් බිමන් අනූව වැනි කොටස - කොත්මලේ ජලාශය හා කඩදොර පන්සල

උලපනේ - පුස්සැල්ලාව මාර්ගය දිගේ ඇවිත් හරන්ගල පාරට හැරිල හරි නාවලපිටිය - හරන්ගල පාර දිගේ හාරන්ගල හන්දියෙන් හැරිල හරි කොත්මලේ වේල්ල උඩට යන්න පුළුවන්. හැබැයි ඉතින් ලේසි පාර වෙන්නේ උලපනේට ඇවිත් පුස්සැල්ලාව පාර දිගේ එන එක. අවුරුදු ගානක් තිස්සේ බලා ඉඳල කොත්මලේ වැව සිඳුනාම පෙනෙන කඩදොර පන්සල බලන්න ගිය ගමන ගැන තමයි මේ විස්තරය.
අතීතයේදී පිදුරුතලාගල ඔය, නානු ඔය, පූනා ඔය, ග්‍රෙගරි වැව වගේ ඔයවල්  වල වතුර ඩෙවෝන් ඇල්ල, සෙන්ට්ක්ලෙයාර් ඇල්ල, රම්බොඩ ඇල්ල, පූනා ඇල්ල, ගැරඬි ඇල්ල වගේ දිය ඇලි වලින් වැටිල අන්තිමට එන්නේ කොත්මලේ ඔයට. ඒක යන්නේ මහවැලි ගඟට. මේ සියල්ල නිසාම අතීතයේ මේ තැන බොහෝම සශ්‍රීකයි. තිස්පනේ කන්දත් කඩදොර කන්දත් අතරින් ගිය කොත්මලේ ඔය නිසා බොහෝම ඉක්මනින් මේ ප්‍රදේශ ජනාවාස වුනා. නමුත් අධික වර්හා කාල වලදී පහත් බිම් සියල්ලම පාහේ ජලයෙන් යටවුනා. ඒ කොයි තරම්ද කියල තාමත් ගම්පොල දුම්රිය ස්ථානයේ බිත්ති වල සටහන් වෙලා තියෙනවාලු. 
එක්දහස් නමසිය පනස් ගනන් වල ඉඳන්ම මේ ගංවතුර ගැටලුවට පිලියම් විදිහට වේල්ල තනන්න වුවමනාව තිබුනා වුනත් 1979 කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය නිසා වේ‍ල්ලේ වැඩ ආරම්භ කරල තියෙනවා. 1986දී වේල්ල විවෘත කරල තියෙනවා. මේ සියල්ල ඡායාරූප එක්ක වේ‍ල්ල නරඹන අයට බලන්න පුළුවන්.