මගේ ගමන් බිමන් එකසිය පහලොස්වන කොටස - නකල්ස් කදුවැටිය (එක් ගමන් මගක්)

කාලයක් තිස්සේ ගමන් බිමන් වල තොරතුරු ලියපු මම රස්සාවත් එක්ක සෑහෙන්න කාර්‍ය බහුල වෙලා. ඒ කොහොම උනත් රස්සාව කරන තැනදී හම්බවුන අපූරු යාලුවෝ ටිකක් එක්ක ආයෙම ඇවිදින්න යන්න පුරුදු වුනා. හැමෝගෙම හීනයක් වෙච්චි ගමනක් වුන නකල්ස් රක්‍ෂිතයේ ඇවිදින්න තීරණය වුනේ ඒ විදිහට. අපි තීරණය කලේ ලෙබනන් වතුයාය පැත්තෙන් කැලේට ඇතුලු වෙලා රණමුරේ ගම්මානය පැත්තෙන් එලියට එන්නයි.

කොහෝම වුනත් විවිධ බාධා මධ්‍යයේ නිවාඩුත් හදාගෙන නුවර දුම්රිව ස්ථානයෙන් පාන්දර 4.50ට තියෙන දුම්රියේ වත්තේගමට ගියා එතැනින් බස් එකේ ලෙබනන් වතුයායට ගියා. වෙලාව ඉතුරුකරන්න හිතාගෙන එතැනින් වෑන් රථයක් අරගෙන තවත් කිලෝමීටර කීපයක් ගියා. අවාසනාවක මහත අපේ යන්න හිටි එකෙක් පරක්කු වෙලා පැය දෙකකට විතර පස්සේ එනවා. කොහොම හරි ඌවත් අරගෙන ගමනේ එදා දවසේ සැලසුම වෙනස් කරගෙන පළමු රාත්‍රිය ගත කරන KMP වාඩියට යන්න අපි පිටත් වුනා. KMP කියන්නේ කෝනාර මුදියන්සේලාගේ පියදාස කියන නමේ මුලකුරු ටික. ඒ මේ වාඩිය අයිති මුදලාලිගේ නම. එයාටත් කලින් මේ වාඩිය අයිති වෙලා තියෙන්නේ ඒකනායක කියන මුදලාලිට. කලේ මේ වාඩි හදන්න හේතුව වෙලා තියෙන්නේ ඒ කාලේ කැලේ එළි කරල එනසාල් වගා කිරීම. 
එනසාල් වගාව ලංකාවේ ව්‍යාප්ල වෙන්න පටන්ගන්නේ සුද්දා ලංකාවෙන් යන්න කිට්ටුව. ඒ කියන්නේ 1940 දී විතර. මුලින් ද්‍රවිඩයන් යොදාගෙන එනසාල් වගාව කරගෙන ගියත් පසුව අනෙක් අයත් වගා කරන්න යොමුවෙලා. වගාව සාර්ථක වෙලා හෙලිකොප්ටරේකින් වගාව බලන්න තරමට දියුණු වෙලා තියෙනවා. නමුත් 2000න් පස්සේ එනසාල් වගාකරුවන්ට විකල්ප නැතිව එනසාල් වගාව නවත්තන්න රජය තීරණය කරනවා. බොහොම වෙලාවට හේතුව විදිහට තියෙන්නේ වගාව තුලින් සිදුවෙන වන විනාශය. කොහොම වුනත් තාමත් විනාශ නොවී නකල්ස් වන මැද්දේ තියෙන මේ වාඩි ඉතිරිවෙලා තියෙනවා. අලුත්වැඩියාවන් කරන්න බැරි විදිහට නීති රීති තිබුනත් දැනට මේ වාඩියේ ජීවත් වෙන මහතුන් මාමා නකල්ස් වල ඇවිදින්න එන කාටත් මෙතැන නවතින්න ඉඩ තියල බොහෝම ප්‍රවේශමෙන් වාඩිය පවත්වාගෙන යනවා. 
එනසාල් වගාව නිසා පරිසරයට වෙන හානිය අති විශාලයි. ඒකට හේතුව යටිවගාවක් ගෙස ආරම්භ වුන මේ එනසාල් ගස් යට වෙන කිසිම පැලයක් පැලවෙන්නේ නෑ. ඉතින් තියෙන රූස්ස ගස් ටික මැරුනාම ඒ වෙනුවට හැදෙන්න ඒ වගේ පැල නෑ. ගහක් පැලටක් එක්ක බැදුන සියලු ජීවීන්ගේ රදා පැවැත්ම තීරණය වෙන්නේ ශාක වල පැවැත්ම මත. නමුත් එනසාල් වගාව නිසා තියෙන වනාන්තරයට පැවැත්මක් නෑ. ඒ නිසා එනසාල් වලින් පරිසරයට ලොකු විනාශයක් වෙනවා. ඒ නිසා තමයි 2000 වෙන විට මේ වනාන්තරය තුල වගාව තහනම් වෙන විදිහට නීති එන්නේ.

1873 විතර වෙද්දී මුහුදු මට්ටමේ ඉදන් මීටර 1500ට වැඩි වනාන්තර රක්‍ෂිත විදහට නම් කෙරෙනවා. සුද්දා තියෙන හැම තැනම තේ වැව්ව වුනත් වැහි නැති කාලෙට රටේ ජලය පවත්වා ගන්න උරදෙන ජල උල්පත් තියෙන මේ කදු ගැන හොද අවධානයකින් තමයි ඉදල තියෙන්නේ. ඉතින් මේ 1873 කාලයේ රක්‍ෂිත අතරට නකල්ස් වනයත් එකතු වෙනවා. 2000 වර්ෂයේදී නකල්ස් අධිරක්‍ෂිතයක් වශයෙන් නම් කරනවා.

ලෙබනන් වතුයාය පහුකරගෙන යන පාරෙදී අපට ගොම්බානිය, යකුන්ගෙ ගල, කිරිගල්පොත්ත, නකල්ස්, කන්දසාමි ගල, හුන්නස්ගිරිය කන්ද, සෙල්වකන්ද වැනි දැවැන්ත කඳු පන්ති දකින්න පුළුවන්. එතැනින් රත්නගිරිය වත්තටත් නකල්ස් වනයටත් ඇතුලු වෙනවා. හොදින් පැහැදිලි දවසක දී නම් බතලේගල, අලගල්ල, හුන්නස්ගිරිය, අරංගල වැනි කඳු වැටි පවා දකින්න පුළුවන්. කැලේට ඇතුලු වෙද්දී මතක තියෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. ඒ තමයි දෙබර වද, කූඩැල්ලෝ, මාඋස්සා ගස් සහ අලි, සර්පයන් ඇතුලු වන සතුන්. මේ සියල්ල ගැන අවධානයෙන් තමයි කැලේට ඇතුලු වෙන්න ඕන. අනිත් වැදගත්ම කාරණය තමයි මාගෝපදේශනය. කැලේ හරි හැටි පාරවල් නැති නිසා බොහෝම පහසුවෙන් අතරමං වෙන්න පුළුවන්. ඒ නිසා මාර්ගොපදේශකයෙක් අරන් යන්න නැතිනම් අඩුම තරමේ හරි GPS Map එකක් අරගෙන යන්න. කැලේ ඇතුලේ කෑමක් හොයාගන්න නැති නිසා කෑමට ගන්න ඕන කරන දේවල් සියල්ල අරගෙන යන්න වෙනවා.
පැය ගානක ඇවිදීමකින් පස්සේ කූඩැල්ලන්ටත් දානේ දීගෙන අපි KMP වාඩියට පැමිණියෙමු. ඒ ලෙබනන් වත්තේ ඉදන් රත්නගිරිය වත්තට කිලෝමීටර 5ක් විතරත් එතැනින් කිලෝමීටර 8ක් විතරත් ඇවිදලයි. පලවෙනි දවසේම තුන්තිස්ගල නගින්න හිතාගෙන හිටියා වුනත් නොහිතපු ප්‍රමාදය නිසා දෙවැනි දවස උදේම තුන්තිස් ගල නගින්නත් හවස් වෙද්දී දූවිලි ඇල්ලේ යන්නත් තමයි අපේ සැලසුම වෙලා තිබුනේ. රාත්‍රියට කැලේ මැද්දේ කිසිම තැනක විදුලිය නම් නෑ. ඒ විතරක් නෙවෙයි බොහෝමයක් තැන් වලට දුරකතන සංඥා පවා නැහැ. කොහෝම වුනත් අපි රාත්‍රිය ගත කරන්න අවශ්‍ය ගිනි මැලයක් ගහ ගන්නත් උයන්නත් ඕන කරන දේවල් සකස් කරන්න වුනා. රෑ වෙද්දී ඉන්න ආලෝකයක් ඕන වෙන නිසා පහනත් හදන්න තමා මම බැලුවේ. වාඩියේ නැවතුන අය දාල ගිය පරණ සුවද විලවන් බෝතල් දෙකක් හොයාගෙන පරණ බියර් බෝතලයකුත් හොයාගෙන පහන් දෙකක් හැදුවා.
රාත්‍රියට උයන්න ලෑස්ති කරන ගමන්ම අපේ නඩයේ කෙනෙක්ගේ උපන්දිනයක් වෙනුවෙන් පුදුම කිරීමේ පාටියක් දාන්නත් එයාගේ හස්බන්ඩ්ට අවශ්‍ය වුන නිසා අපි ඒකටත් අපූරු සැලසුමක් හැදුවා. රාත්‍රියට උයාගෙන කාල රාත්‍රියේ සින්දු කියල පොඩි පහේ සංගීතයකුතු දාලු අපි ඊලග දවසේ තුන්තිස් ගල නගින්නත් හිතාගෙන නින්දට වැටුනා. රාත්‍රී සීතල දොරවල් වල යටින් ඇදිල එද්දී තියෙන සියල්ල පොරවගෙන නිදා ගන්න උත්සාහ කරත් රාත්‍රී නිහඩ බව නම් ඒ තරම් සුන්දර නින්දක් ආරම්භ කරන්නේ නෑ. කොහොම වුනත් ලැබෙන කෙටි නින්ද වුනත් අපූරු විදිහට ශරීරය පහසුවක් ඇති කරන්නේ ස්වභාවික වාතාශ්‍රය සහ ගහකොල වල හැපිල එන නිසා හරි අපේ මහන්සිය නිසා වෙන්නත් පුළුවන්. 
උදේම නැගිටපු අපි උදේටත් දවල්ටත් කෑම ටික හදල ඉක්මනින්ම සූදානම් වුනේ තුන්තිස්ගල නගින්න යන්න. තුන්තිස් ගල කියන්නේ ගල මුදුනට නැග්ගාම වටේම කදු 33ක් පේන නිසා කියලත් කියනවා. මේකට ගම් වැසියන් කලු පහන කියලත් කියනවා. තවත් පිරිසක් ශීර්ෂ තුනකින් තියෙන කන්දක් නිසා තුන්හිස් ගල කියලත් කියනවා. එනසාල් වත්ත මැදින් වැටුන අඩිපාර දිගේ තුන්තිස්ගල දක්වා වැටුනු කැලෑ පාර දිගේ යන ගමන නම් පහසු වුනේ නෑ. සීග්‍ර නැග්මක් තියෙන නිසා ගස්වැල් වල ඉල්ලීගෙන ගිය ගමන බොහෝම හෙමින් තමයි සිදු වුනේ. ඒකට හේතුව බොහෝමයක් දෙනා කාලෙකින් තමා මේ තරම්කන්දක් නගින්නේ. කොහොම වුනත් කන්දෙන් බාගයක්විතර නැග්ගාම එක් පැත්තකින් සීග්‍ර බෑවුමක් තියෙන්නේ. ශාක විවිධත්වයත් වෙනස් වෙලා කුරු ශාක ස්ථාරයක් බවට වෙනස් වෙන්න පටන් ගන්නවා. අඩි 4ක විතර කුරු ගස් වලින් වැහුන ශාල වල එල්ලීගෙනම තුන්තිස්ගල කන්දේ තුනෙන් දෙකක් විතර නැග්ගා වුනත් වටේම මීදුමෙන් වැහිලයි තිබුනේ. තවත් ඉහලට ගිහින් වැඩක් නෑ කියන අමාරු තීරණයත් අරගෙන සුන් වුන බලාපොරොත්තු එක්ක අපි ආවේ රාත්‍රිය ගත කරන්න දූවිලි ඇල්ලටත් යන්න ඕන නිසා. කූඩැල්ලන්ගෙන් සෑහෙන්න බැට කන්න වෙන ගමනක අවසානය මම නම් ආවේ කොයි වෙලාවේද සපත්තු ගලවන්නේ කියල හිත හිතමයි. මොකද සපත්තු අස්සට රිංගපු කූඩැල්ලෝ මේස් අස්සෙන් ගිහින් කකුලේ ලේ බීල. සපත්තු අස්සේ බෙරි ගෙඩි දාගෙන ආව එකෙක් වගේ හැගීමකින් ආව මම KMP වාඩියට ආව ගමන් සපත්තු ගලවද්දී එක කකුලක කූඩැල්ලේ 20ක විතර ගුලියක් උපරිමේටම ලේ බීල හිටියේ මේස් එකටත් ඇතුලෙන්. කිලෝමීටර 3ක් විතර කන්ද නැගල ආයෙත් ආවේ කිලෝමීටර 5ක් විතර ගමනක් අවසන් කරලයි. කූඩැල්ලන්ගෙනුත් බේරිලා ඇගපත හෝදගෙන ඉක්මනින්ම කෑම කෑවේ රෑ වෙන්න කලින් දූවිලි ඇල්ලට යන්න පිටත් වෙන්න ඕන නිසා.
නකල්ස් දූවිලි ඇල්ල මාර්ගයට ඇතුලු වුන අපි එතැන් ඉදන් 5ක් විතර ආවාම දූවිලි ඇල්ල තියෙනවා. අපිට මග ටිකක් වැරදුන නිසා ආයෙත් පාර හොයාගෙන එන්න  වුනා. කැලේකට ඇතුලු වුනාම මග සලකුණු සදාකාලිකව තියෙන්නේ නෑ. ඒ නිසා පාරවල් හොයාගන්න ටිකක් වෙහෙසෙන් වෙන්නත් පුළුවන්. ඒ වොලවකදී වැඩිය කලබල වෙන්නේ නැතිව ඉන් තැන ඉදන් වටේ පොඩ්ඩක් හොයල බලල පාර හොයාගන්න එක තමා නුවනැතිම වැඩේ වෙන්නේ. කොහොම වුනත් දූවිලි ඇල්ල ආසන්නයටම යන විට ඇල්ල අයිති කන්දේ අයින දිගේම දිය ඇල්ල මැද තියෙන ගුහාවට යන්න පාර තියෙනවා. නකල්ස් දූවිලි ඇල්ල ප්‍රසිද්ධ වෙන්නේම මේ නිසා. හෙමීට දූවිලි ඇල්ලේ ගුහාවට සේන්දු වුන අපි බඩු ටික බිම තිබ්බ ගමන්ම මගේ ප්‍රධාන කාරිය වුනේ කලින් දවසේ වගේම කූඩුල්ලන්ගෙන් මිදෙන එක. 

දූවිලි ඇල්ලේ තියෙන ගුහාවේ 50ක විතර මිනිස්සු පිරිසකට ඉන්න තරම් ඉඩ තියෙනවා. ඒ විතරක් නෙවෙයි දිය ඇල්ල පිටිපස්සටම ගිහින් ලස්සන දර්ශනයක් බලන්නත් පුළුවන්. දිය ඇල්ල එක්කම තියෙන මුල් ටිකක් අල්ලගෙන දිය ඇල්ලෙන්ම නා ගන්නත් පුළුවන්. නමුත් මේ සියල්ල කරන්න මහ වැහි කාලේ නම් සුදුසු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි මත්පැන් පාවිච්චි කරල නම් දිය ඇල්ලෙන් නාන්න යන එක ඒ තරම් හොද වැඩක් නෙවෙයි. මොකද දිය ඇල්ලෙන් වැටුනොත් ඒක සුන්දර අත්දැකීමක් දෙන්නේ නෑ. කෙලින්ම මරණය තමයි. 


අපි යන වෙලාව වෙද්දීත් කූඩාරම් දෙකක් ගහගෙන තවත් නඩයක් ඇවිත් හිටිය නිසා අපි එක කූඩාරමක් සවි කරල ඉතිරි අය ගුහාව ඇතුලේ නිදා ගන්න තීරණය කලා. රාත්‍රී කෑම විදිහට නූඩ්ල්ස් හදපු අපි කෑමත් කාල සිංදුවක් කියල විනෝදයක් ගන්නත් අමතක කලේ නෑ. ගිය අයගේ අතීත කතා, කාලෙකින් මුණගැහුණු යාලුවන්ගේ කතා වලින් පිරුණු රාත්‍රිය දිය ඇල්ලේ ශබ්දයයි ගිණි මැලයේ රස්නයයි එක්ක වඩාත් තිව්‍ර කලා. කලින් දවසටත් වඩා අපූරු නින්දකින් අපේ රාත්‍රිය අවසන් වෙද්දී කකුල් අත පය වලට නම් ඒ තරම් සුන්දර වුනේ නෑ. 

වනාන්තරයේ ඉන්න අවසන් දවසත් උදාවුනා. අපි උදේ නැගිටලා කෑම එහෙමත් උයාගෙන පින්තූර ටිකකුත් අරන් අපි ගෙනාපු දේවල් අස්පස් කරන්න වුනා. කැලේට එද්දි අරන් ආව සියලු දේවල් ආයෙත් අරන් යන එක බොහෝම වැදගත් කාරණාවක් වෙන නිසා අපි අපේ අපද්‍රව්‍ය එක බෑග් එකක්ට දා ගත්තා. කෑම කාපු ඒවායේ ඉතිරි තියේ නම් හොදම දේ තමයි වල දාන එක. මොකද සත්තු අපේ කෑම වලට පුරුදු කරන එක ඒ තරම් හොද වැඩක් නොවන නිසා. එතැනින් අපේ ගමනේ අවසන් දවසේ ආරම්භය සිද්ධ වුනා.

මුලින්ම දූවිලි ඇල්ලේ පහල කොටසට ආව අපි එතැන ඉදන් අපි හිටපු තැන දිහා බැලුවා. ඒක අවධානම් වුනත් ඒ ගුහව් තිබුන සුන්දරත්වය කොයා තරම්ද කියන එක අපටම දැනුනේ ඒ වෙලාවේ තමයි. එතැනි අපි පිටත් වුනේ ඉන්ෆිනිටි පූල් එහෙමත් නැතිනම් අනන්ත තටාකය බලන්නත් එතැන ඉදන් ඔය දිගේ ඉහලට තියෙන දිය ඇලි කීපය බලන්න හිතාගෙන. දූවිලි ඇල්ලේ ඉදන් කිලෝමීටර 2ක් විතර යද්දී අනන්ත තටාකයට ආව අපි කෙලින්ම ගියේ එතැන ඉදන් ඔය දිගේ ඉහලට. දිය පාර ඒ තරම්ම සැර නොවන නිසා ඔය දිගේම ගියත් දිය ඇලි තියෙන ඔයක් දිගේ ඉහලට යන එක බොහෝම පරිස්සමින් කල යුතු දෙයක්. ඒකට හේතුව දිය පාර ඉහලට වැහි ඇද වැටුනොත් ක්‍ෂණිකවම දිය පාර වැඩි වෙන නිසා.



අනන්ත තටාකයේ ඉදන් තට්ටු ඇල්ල එහෙම නැතිනම් පඩිපෙල ඇල්ලත් එතැනින් දිගේ ඉහලට ගියාම අන්තිමට තියෙන්නේ සංසුන් ඇල්ල. දිය ඇලි ටික බලාගෙන සංසුන් ඇල්ල ගාවට දොල දිගේ යද්දි තමයි මට තේරුනේ අපි කොයි තරම් සුන්දර ලෝකයක් අතහැරල ද කියල. ගස් අතරින් වැටෙන ඉර එළියත් එක්ක මැවෙන සුන්දරත්වය විස්තර කරන්න නම් වචන නැහැ. ඒ දිය ඇලි දාමය එක්ක අපේ ගමනේ බලන් තියෙ දේවල් නම් අවසන්. දැන් තියෙන්නේ රණමුරේ ගම්මානය වෙත යන එක. අනත්ත තටාකයේ ඉදන් කිලෝමීටර 12ක් විතර දුරින් තියෙන රණමුරේ ගම්මානයට එන එක ඒ තරම් ලේසි වුනේ නෑ. එක දිගට නොනැවතීම ගම්මානය වෙත ඇවිදන් එන්න හිතුවත් පොඩි පොඩි තැන් කීපයක නවතින්න වුනේ අපි අරන් ආව දේවල් සහ තුන්වෙනි දවසක ඇවිදීමේ ප්‍රතිඵල නිසයි. 
කොහොම වුනත් කලුවර වැටෙන ආසන්නයේ රණමුරේ ගම්මානයට ඇවිත් එතැන තියෙන පොඩි කඩෙන් කෑම ඇණවුම් කල නිසා ගමේ ඇල පාරෙන් නාන්න යන්නයි තීරණය වුනේ. කට්ටිය ඔක්කොම කැලෙන් එලියට එනකම් සපත්තු ගලවල ජාල පාරකට කකුල් දාගෙන හිටි මිනිත්තු කීපයත් අමතක නොවන මතක ගොඩට අනිවාර්යයෙන් වැටෙනවා. ගමේ ඇල පාරෙන් නාල ගමේම කෙනෙක්ගේ වාහනයක දඹුල්ලට ආව. ඒ එන මග අපි ඇසූ දුටු දේ පිළිබදවත් ගමනේ සාරාංශයත් කාතා කලා. කාගේත් තිබුනේ මේ වගේ අපූරු ගමනක් ආයෙත් එන්න තරම්වුනු උනන්දුවක්. දඹුල්ලට ආව අපි කොළඹටත් නුවරටත් එන්න පිටත්වුනා. 


ගමනේ තතු විත්ති ඒ විදිහට අවසන් වෙද්දී ස්තූති කල යුතු කීප දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් අපි ගමනේ අවසානයේ කඩේ ගාවදි හමුවෙන තුරු නොදැක්ක KMP වාඩියේ මහතුන් මාමා. අපිට කෑම ටික හදා දුන්න ගමේ කඩේ අය. ඒ සියල්ලට ඉහලින් අපිව සම්පූර්ණ සැලකිය යුතු පමාවක් නැතිව (අපේ පමාවල් හැරුනාම) සැලකිය යුතු අතුරු අන්තරාවක් නැතිව එක්ක ගියපු ආපු ගයිඩ් මලයා තත්සර. මේ තියෙන්නේ ඔයාලත් මේ වගේ ගමනක් යනවා නම් ඒ මලයගේ විස්තර. 

Thathsara Munasinghe - 071 786 2113

එහෙම නම් ආයේ ගමනකින් හමුවෙන තුරු ආයුබෝවන්.

5 comments:

  1. මරු. පින්තූර ටිකත් බලලම ඒන්නං

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. තව පින්තූර තියෙනවා. සංස්කරණය කරල දාන්නං

      Delete
  2. හොඳ විස්තරයක් ලස්සන පින්තුර

    ReplyDelete
  3. මගේ නම ලිලියන් එන්. මෙය මගේ ජීවිතයේ ඉතා ප්‍රීතිමත් දිනයක් වන අතර, මගේ හිටපු ස්වාමිපුරුෂයාට ඔහුගේ මැජික් හා ආදර අක්ෂර වින්‍යාසය සමඟ නැවත ගෙන්වා ගැනීමට වෛද්‍ය සාගුරු මට උපකාර කර ඇත. මම විවාහ වී වසර 6 ක් ගත වී ඇති අතර එය ඉතා භයානක වූයේ මගේ ස්වාමිපුරුෂයා මට වංචා කර දික්කසාද වීමට බලාපොරොත්තුවෙන් සිටි නිසාය. නමුත් වෛද්‍ය සගුරු අන්තර්ජාලය හරහා විද්‍යුත් තැපෑලක් දුටු විට ඔහු බොහෝ දෙනෙකුට ඔවුන්ගේ හිටපු අයව ආපසු ලබා ගැනීමට උදව් කර ඇති ආකාරය සහ සම්බන්ධතාවය නිවැරදි කිරීමට උදව් කරන්න. සහ ඔවුන්ගේ සම්බන්ධතාවයෙන් මිනිසුන් සතුටු වීමට සලස්වන්න. මම මගේ තත්වය ඔහුට පහදා දී ඔහුගේ උපකාරය පැතූ නමුත් මා පුදුමයට පත් කරමින් ඔහු මට කීවේ ඔහු මගේ නඩුව සඳහා මට උදව් කරන බවත් මගේ ස්වාමිපුරුෂයා යහපත සඳහා මුළුමනින්ම වෙනස් වී ඇති නිසා මම දැන් සමරන බවත්ය. ඔහුට සෑම විටම මා විසින් වීමට අවශ්‍ය වන අතර මගේ වර්තමානය නොමැතිව කිසිවක් කළ නොහැකිය. මම ඇත්තටම මගේ විවාහය සතුටින් ගත කරනවා. ආචාර්ය සගුරු සැබවින්ම සැබෑ අක්ෂර වින්‍යාසය නිසා මම දිගටම අන්තර්ජාලයේ සාක්ෂි දරමි. දැන් ඔබට විද්‍යුත් තැපෑල හරහා සම්බන්ධතා වෛද්‍ය සාගුර්ට උදව් කිරීමට අවශ්‍යද: drsagurusolutions@gmail.com හෝ WhatsApp +2349037545183 ඔබේ ගැටලුවට එකම පිළිතුර ඔහු වන අතර ඔබේ සම්බන්ධතාවය ගැන ඔබ සතුටට පත් කරයි. තවද ඔහු 1 ආදරණීය අක්ෂර 2 හි පරිපූර්ණයි 3 ගර්භාෂයේ පලතුරු 4 ප්‍රවර්ධන අක්ෂර 5 ආරක්ෂණ අක්ෂර 6 ව්‍යාපාර අක්ෂර 7 හොඳ රැකියා 8 අක්ෂර වින්‍යාසය සහ අධිකරණ නඩු අක්ෂර වින්‍යාසය.

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!