මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන දෙවන කොටස

මන්නාරම් ගමනේ පුංචි පුංචි සුන්දර තැන් ටිකක් ගැන පළවෙනි ලිපියේ තිබුනානේ. මේ ඒකේ ඉතිරි ටික...

ලූර්දු මාතා දේවස්ථානය ගාවින් ආව අපි දවල් කෑම කන්නත් වෙලාව ඉතිරි වෙලා තිබුන නිසා මඩු දේවස්ථානය බලන්න යන්න තීරණය කලා. 

මරද මඩු දේවස්ථානය

මඩු දේවස්ථාය ඉදිවන්නේ කන්‍යා මරියතුමිය වෙනුවෙනුයි. මාත්තෙයි වල තිබූ මරියතුමියගේ දේවමාතා ප්‍රතිමාව පළමුව තබා තිබුනා යැයි සැලකෙන්නේ ලූර්දු මාතා දේවස්ථානයේය. නමුත් ලන්දේසි ආක්‍රමණ සමඟ පෘත්‍රගීසින්ගෙන් පාලනයෙන් ගිලිහුණු ලංකාවේ කතෝලික, හින්දු හා බෞද්ධයන් ගේ ජීවිත වලට තර්ජන එල්ල විය. එම තර්ජන උග්‍රවීමෙන් පසු දේවමාතා පිළිරුව හා තමන්ගේ ජීවිත ද ආරක්ෂා කරගන්නට අවශ්‍ය බැවින් මඩුමාතා පිළිරුවද වඩම්මවාගෙන මාන්තෙයි සිටි කතෝලික පියතුමන් සමඟ විසි දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් සිංහල රජුගේ පාලන ප්‍රදේශය කරා පිටත් විය. එම පිරිස ලන්දේසීන්ගෙන් හා වන සතුන්ගෙන් බේරී නුවර රාජධානියට යන අතරතුර එක්තරා වනගත ප්‍රදේශයක වැවක් අසල නැවතී ඇත. එහි සිංහල රජුට අයත් බදු එකතු කරන මධ්‍යස්තානයේ බදු නිලධාරියාගේ උදව් ඇතිව ඔවුහු එම ගමේ කුඩා පැලක දේවමාතා පිළිරුව වඩා හිඳුවා ගෙන එහි පදිංචි විය. එම ගම හඳුන්වා ඇත්තේ මරද මඩු නමිනි. මරද මඩු යනු කුඹුක් වැව යන අරුත ගෙන දෙන්නකි. එම කණ්ඩායමට නායකත්වය දී ඇත්තේ පෘතුගීසි සෙන්පතියකුගේ දියණියක වන හෙලේනා නම් වූ පෘතුගීසි තරුණියකි.
මඩු ගම්මානයේ දී හෙලේනා තරුණිය එකී බදු නිලධාරියා සමඟ විවාහ වීමෙන් පසු සෙසු පිරිසද වනය හෙළිකොට නව ගම්මානයක් තනාගනිමින් එහි නැවතී ඇත. ඉන් අනතුරුව හෙලේනා සිය සැමියා ඇතුළු සෙසු පිරිස සමග එක්ව කුඩා ස්ථිර ගොඩනැඟිල්ලක් සාදා මඩු මාතා පිළිරුව එහි වඩා හිඳුවා එම දේවස්ථානය මරිය මාතා නමින් කැපකොට තිබේ. මඩු දේවස්ථානයේ හෙවත් මඩු පල්ලියේ ආරම්භය එය බව පැවසේ. ක්‍රම ක්‍රමයෙන් ජනතාව අතර ප්‍රචලිත වූ එම මඩු දේවස්ථානය සඳහා මන්නාරම විනිශ්චයාසනයේ ලේකම් මොයිස් මහතා විසින් 1823 දී මැටියෙන් තරමක විශාල මැදුරක් තැනවීය. ඉන්දියාවේ ගෝවේ නගරයේ සිට ධර්මදූත කටයුතු වෙනුවෙන් මෙරටට පැමිණ ජුසේවාස් පියතුමාද මඩු දේවස්ථානය වන්දනා කළ බව පැවසේ. වත්මන් මඩු දේවස්ථානය වර්ෂ 1872 දී තනා නිමකළ එකකි. එය සෑදවීමට මුල් වූයේ 1868 දී අගරදගුරු තනතුරට පත් බොන්වින් නමැති පියතුමෙකි. නයි, පොළොන් ආදී විසකුරු සර්පයන් සේම රුදුරු වග, වලස්, කොටි, සිංහයන් ගහන වනපෙතක දිවි ගෙවමින් මඩු මාතාවන් ඇදහූ බැතිමතුන්ගේ විශ්වාසය සපල කරමින් මඩු මාතා දෙව්මැදුර ක්‍රම ක්‍රමයෙන් විකාශනය වන්නට විය. 1868 වසරේදී නිර්මල මරිය නිකාය පාලනයට භාරවූ මඩු පුදබිමේ ප්‍රථම මංගලෝත්සවය පවත්වා ඇත්තේ 1870 වසරේ ජුලි 02 වැනිදාය.

විවිධ කාලවකවානුවලදී විවිධ පියවරු යටතේ වැඩි දියණු කරන ලද වත්මන් මරද මඩු මාතා සිද්ධස්ථානය ආසිරි ගන්වන ලද්දේ 1944 වසරේ ජුනි මස 25 වැනිදාය. මෙහිදී ඉපැරණි දැව මුවා අල්තාරය ඉවත්කොට අලංකාර කිරිගරුඩ අල්තාරයක් සවිකර දේවස්ථානය අභිෂේක කරන ලදි. එමෙන්ම දසදහස් වන්දනාකරුවන්ට එකවර දේව වන්දනා පිළිවෙත්වලට සහභාගි විය හැකි පරිද්දෙන් අද පවතින අඩි 160ක වට ප්‍රමාණයක් ඇති අලංකාර මණ්ඩපයද ඉදිකරන ලදි. ඊට අමතරව වන්දනා ස්ථානයේ සීමාවන් සලකුණු කරමින් සිද්ධස්ථානයට ඇතුළුවන ස්ථානයේ ලංකා අප ස්වාමිදූගේ ප්‍රතිමාවද, කල්වාරියද, පාතිමාවේ ස්වාමිදුගේ ප්‍රතිමාවද, ක්‍රිස්තු රජාණන්වහන්සේගේ ප්‍රතිමාවද ස්ථාපනය කෙරිණි. මඩු මෑණියන්ගේ ආශ්චර්යවත් බව මෙන්ම මඩු දේවස්ථානය අවට භූමියේ ඇති පැළෑටිවල ඖෂධීය ගුණය සහ භූමියේ ඇති පස්වල තිබෙන ආශ්චර්යවත් බව ද බැතිමතුන් අතර ඉතා ප්‍රචලිතය. සුවකළ නොහැකි ඇතැම් රෝගවලට ප්‍රතිකාර කිරීමට සඳහා දේවස්ථාන භූමිය අවට ඇති පැළෑටි ලබාගැනීමටත් නව නිවාස, ගොඩනැගිලි ඉදිකරන අවස්ථාවේ පාදමට දැමීම සඳහා එම විශේෂ පස් වර්ගයෙන් ස්වල්පයක් හෝ රැගෙන යාමටත් බැතිමත්හු අමතක නොකරති. එමෙන්ම එම පස්වලින් සර්ප විෂ නැසීමට ප්‍රතිකාර කළ හැකි බවත් එම පස් අතුල නිවසකට සර්පයන් පැමිණීම සිදුනොවන බවත් ඇතැම් බැතිමතුන්ගේ විශ්වාසයයයි.
මඩු දේවස්ථානයෙන් පිටවුන අපි ආයෙත් ආවේ තල්ලඩි වල අපේ නවාතැනට.. එතැනින් දවල් කෑම අරගත්ත අපි පොඩි වෙලාවක් එතැන ඉඳන් ආගිය තොරතුරු කතා කරමින් වෙහෙස නිවාගත්තා. හවස් වරුවේ අපේ බලාපොරොත්තුව වුනේ තලෙයි මන්නාරම දක්වා යන්නයි. එහිදී තලෙයි මන්නාරමේ ආදම්ගේ සොහොන, තලෙයි මන්නාරම්තොට ප්‍රදීපාගාරය හා ජැටිය බලන්නත් අපි බලාපෙරොත්ත වුනා. ඒ වෙද්දීත් දැන් වැලි පර වලින් සැදුනු ආදම්ගේ පාලම ලෙස හැඳින්වෙන දූපත් ටික බලන්න බොට්ටුවේ යන්න නොදෙන බව දැනගන්න ලැබුන නිසා හිතෙන් ඒක අයින් කරලයි තිබුනේ.

මඩු දේවස්ථානය වන්දනා කිරීමෙන් පස්සේ ප්‍රදේශයේ එල්ලෙන පාළමක් පිළිබඳ තොරතුරු කිව්වේ අපිත් එක්ක ගිය රියදුරු. අපිට කාල වේලාව තිබුන නිසාත්, පාලම බලන්න යන්න තිබුනේ කිලෝමීටර දෙකක් විතර දුරක් නිසාත් අපි තීරණය කලා ඒ පාලම බලන්න යන්න. පාලමත් ඒ එක්ක තියෙන අවට පරිසරයත් අපූරු සුන්දරත්වයක් හොබවනවා. පුංචි කැලෑ රොදක් වගේ තියෙන තැනිල් පාලමෙන් එගොඩ වුන අපි පයින්ම අලුතින් හදපු දිය කඩනයක් දියේ මෙහා ගොඩට ආවා. එතැනම තියෙන සොරොව්වකින් වතුර වේගයෙන් ගලා එනවා වගේම විසි දැල් මගින් මාලු මරන අය කීප දෙනෙක්ම තම ජීවිකාව කරන්න මහන්සි වෙන හැටි දකින්න ලැබුනා.
මේ සියල්ල අවසානයේ දිවා ආහාරය ගන්නත් තියෙන නිසා අපි ඉක්මනින් පිටත් වුනේ හවස් වරුව තලෙයි මන්නාරම් යන්නත් හිතාගෙනමයි. තල්ලඩි වලට ඇවිත් කෑම කාල තලෙයිමන්නාරම් යන්න සූදානම් වුනා. ආදම්ගේ සොහොන බලන්න යන්න. නමුත් හිතවත් නාවික සෙලබකුගේ ආරාධනාව නිසා අපි මුලින් තලෙයිමන්නාරම් තොට ප්‍රදීපාගාරය හා ජැටිය බලන්න තීරණය කලා.

තලෙයිමන්නාරම් ජැටිය, ප්‍රදීපාගාරය හා දුම්රිය ස්ථානය

වසර 2000කට අධිකා කාලයක් තිස්සේ ලංකාවේ ප්‍රධාන මුතු සපයන ස්ථානය විදිහට මන්නනාරම පැවති අතර ඒ මගින් රජවරුන් හා බිසෝවරුන් වෙනුවෙන් මෙන්ම අනෙක් රටවල් සඳහා ද මුතු සැපයීම සිදු කර තිබෙනවා. නමුත් වසර සියගනනකට පෙර සිදු වූ අධික ලෙස අස්වනු නෙලීම හේතුවෙන් සම්පූර්ණ කර්මාන්තයම විනාශ වී ගොස් තිබෙනවා.
 
ඉන්දියාවේ ධනුෂ්කොඩි හා ලංකාවේ මන්නාරම අතර සකස් කරනු ලැබූ මගී දුම්රිය සේවය 1964 දී පමණ සුලි සුලඟකින් විනාශ වූ පාලම සමඟින්ම නැවතී තිබෙනවා. මෙහි ධාවනය වූ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය ද ඒ සමඟ නැවතී තිබෙනවා. ඒ මෙන්ම මේ අසල සකස් කර ඇති ප්‍රදීපාගාරය 1915 දී ඉදිකර ඇති අතර එය උසින් මීටර 19ක් පමණ වේ. යුද්ධය හේතුවෙන් වසර 30ක් තිස්සේ වැසී තිබූ මෙම ප්‍රදීපාගාරය ප්‍රතිසංස්කරණය කර නැවත මහජනයා වෙනුවෙන් ලබා දී තිබෙනවා.
තලෙයි මන්නාරම් තොට ඇති තවත් විශේෂත්වයක් වනුයේ A14 අධිවේගී මාර්ගයේ අවසානයත් දුම්රිය මාර්ගයේ අවසානයත් යන දෙකම මෙම ස්ථානයෙන් සිදුවීමයි. එසේ සිදුවන ලංකාවේ අැති එකම ස්ථානය වන්නේද මෙම ස්ථානයයි.
එතැනින් පසු අප බලාපොරොත්තු වූයේ ජිටිය ආසන්නයේ සිට ආරම්භ වූ දූපත් බලා යන චාරිකාව වුවද මෑතකදී සිදු වූ අනතුරු හේතුවෙන් බෝට්ටු සේවය සම්පූර්ණයෙන්ම නැවතී ඇත. ඒ හේතුවෙන් ලංකාව හා ඉන්දියාව අතර ඇති කිලෝමීටර 30ක් පමණ වු මුහුදු තීරයේ පිහිටා ඇති දූපත් බලන්න යන්න අවකාශයක් නම් ලැබෙන්නේ නැහැ. මෙහි ඇති දූපත් සංඛ්‍යාව දූපත් 16ක් වන අතර එයින් 8ක් ලංකාවට අයත්වනවා. බෝට්ටු සේවය මගින් කිලෝමීටර 15ක් පමණ දුරින් ඇති මෙම දූපත් බලන්නත් දෙවැනි දූපතට ගොඩ වීමටත් අවස්ථාව සලසා තිබුනත් දැන් නම් ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. කෙසේ වෙතත් එයින් නොනැවතුන අපි අදම් හා ඊවාගෙ සොහොහොන බලන්න යන්න තීරණය කලා. 

ආදම් හා ඊවාගේ සොහොන

මෙය මුස්ලිම් ජනතාව විසින් අාදම් හා ඊවාගේ සොහොන බවට විස්වාස කරනවා. මුස්ලිම් ජනයා අතර ඇති පුරාවෘත්තයකට අනුව ශ්‍රී පාදය වෙත යන ගමන ඉන්දියාවේ ධනුෂ්කොඩි වලින් ආදම්ගේ පාලම දිගේ මන්නාරම හරහා සිදු කර ඇතැයි කියැවේ.

මන්නාරමේ ඇති ආදම්ගේ සොහොන ලෙස සැලකෙන මෙම සිලින්ඩරාකාර නිර්මාන දෙක එකක් අඩි 40ක් ද අනෙක අඩි 38ක්ද පමණවේ. මීට අමතරව පසෙක සිමෙන්තියෙන් කල බෝට්ටුවක් ඇති අතර එහි 786 - 1968 ලෙස සඳහන් කර ඇත.
දිනයේ ගමන අවසන් කරන්නට සිතුවේ පළමු දූපත ලෙස හැඳින්වෙන කොටස තෙක් වැල්ල දිගේ ඇවිද යාමෙනි. හිරු බැස යාම ඡායාරූප ගත කරන්නට සිතා සිටියා වුවත් හිරු ක්‍ෂිතිජයේ ගිලෙද්දී තිබූ වලාකුළු හේතුවෙන් ඡායාරූප ගත කරන්නට තරම් දෙයක් නොවීය. කෙසේ වුවත් වැල්ලේ ඇඳුනු රටාවන් දෙස බලමින් ඇඳිරි වැටෙන තුරු ඉන්දියාව දෙසට වැල්ලේ ඇවිද යාමත් අපූරු ආශ්වාදයක් ගෙන දෙන්නට විය. මලාණික හිරු ගිලී යන සන්ද්‍යාවක ඉමක් නෙපෙනෙන වැලි තලාවක සිහිල් සලං විඳිමින් ඇවිද යන්නට ලැබීම මොන තරම් සුන්දරද? නමුත් රාත්‍රිය අවට ගිල ගනිද්දී අප යලිත් තල්ලඩි වෙත යා යුතු නිසා දූපතේ කිලෝමීටරයකට ආසන්න දුරක් ඇවිද නැවත ඉන්නට තීරණය කලෙමු. නමුත් පැහැදිලි දිනක පළමු දූපතේ කෙලවරක නිවී සැනසිල්ලේ හිඳිමින් ධනුෂ්කොඩි වල ආලේක ධාරාවන් දැකීමේ ආසාව තවමත් සිත තුලින් බවත් වී නම් නැත. නැවත තලෙයි මන්නාරම් එන තුරු ආයුබෝවන් පළමු දූපතට....

තලෙයි මන්නාරමෙන් සමුගත් අප තල්ලඩි වල නවාතැනට පැමිණ රාත්‍රී භෝජනයෙන් පසු සතුටු සාමීච්චියේ යෙදුනේ කාලෙකින් හමු වූ මිතරන් සමඟ කතා කරන්නට බොහෝ දේ තිබුන නිසාවෙනි. ඒ වගේම දිනයේ අවසානයවන විට ඇවිදීමෙන් ලද ප්‍රීතිය කාගේත් දෙනෙත්වල තිබුනා. සිංදු කියමින් ප්‍රීතිමත්වුන අපි දෙවැනි දිනය සැලසුම් කරන්නට වුනා. ඒ ඩොරික් බංගලාව බලන්න සහ කොයි විදිහෙන් හරි මුහුදේ නාන්න ඕන කියල දඟලපු අපේ සාමාජිකාවකගේ ආසාව ඉටු කරන්නත් පුවවන් විදිහටයි. හැබැයි ඉතින් දෙවැනි දවස මැදදී අපේ සාමාජිකයින් කීප දෙනෙක්ට ආපසු යන්න වෙනවා. එ් ඒ අයට නිවාඩු අවසන් වන නිසාවෙන් රාජකාරියට වාර්තා කල යුතුව තිබුන බැවින්. කොහොම වුනත් ඉතිරි අයත් එක්ක බස් එකේ දවල් දවස ඇවිදින්න තී රණය කල අපි දවස නිමා කලා.....

*************************************

දෙවැනි දවසේ තල්ලඩි වල කලපුවත් එක්ක තිබුන දර්ශනය බලන්න උදේම කලපුව ලඟ වාඩිවුනා. මන්නාරමට නැගෙන ඉර වෙනදා නැගෙන ඉරමද කියල හිතෙන තරම් ලස්සන බව දැනෙද්දීම උදේ පාන්දර ගමනට අවශ්‍ය කටයුතු සකස් කරන්නට වුනා. කෑම බීම හා අනෙකුත් බඩු අසුරගත්ත අපි 9.00 වෙද්දී නවාතැනට සමුදුන්නා. එැතැනින් මුරුක්කන් වලට ආව අපි සිලාවතුර ප්‍රදේශයේ තියෙන ඩොරික් බංගලාව බලන්න තීරණය කලා. 

ඩොරික් බංගලාව

ලංකාවේ පළමු ආණ්ඩුකාරයා වුන ෆෙඩ්රික් නෝර්ත් විසින් 1798 - 1805 කාලයේ සිටි ඔහු 1804 දී මෙය සාදවා නිමකර නිරිත වයඹ දිග නිවස්නය ලෙස භාාවිතා කරනවා. අද පාලුවට ගිය ප්‍රදේශයක් වුවත් එකල ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් බවට ඉතිහාසයේ කියැවෙන මේ අවට ප්‍රදේශය මුතු වලට ප්‍රසිද්ධියක් උසුලනවා. එකල මුතුපර විශාල වශයෙන් තිබුන මෙහි මුතු ලබා ගැනීම නිරීක්‍ෂණය කරන්න ෆෙඩ්රික් නොර්ත් ආණ්ඩුකාරයා මෙම නිවස සැදුවා යැයි ඉතිහාසය පවසනවා. ක‍්‍රි.පූ. 540 දී ලංකාවේ මුතුවලින් විජය රජු ත්‍යාග යැවූ බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. ක‍්‍රි.ව. 360 දී දේවානම්පියතිස්ස රජු අශෝක රජුට යැවූ ත්‍යාග අතර මුතු විශේෂ තැනක් ගෙන තිබුණු බව සඳහන් වෙනවා. ලංකාවේ මුතු පිළිබඳව ලෝකයේම ප‍්‍රකට වී තිබුණු බව කියැවෙනවා. ඇතැම් විට ලංකාවට ඉන්දියන් සාගරයේ මුතු ඇටය වැනි යෙදුමක් ඇතිවෙන්නට මුතු කර්මාන්තයත් හේතු වෙන්නට ඇත.
ශ්‍රී ලංකාවේ වටිනාම මුතුපර සහිත කොණ්ඩච්චි මූදු බොක්කේ මුතු වෙළෙඳාම එවකට ඉතා දියුණු මට්ටමක පැවැති අතර එම වෙළෙඳුන්ගෙන් ඇතැම් අය මෙම ස්ථානයේ නවාතැන් ගත බව ඉතිහාසයේ සඳහන්. වෙනවා රොබට් නොක්ස් ගේ කෘතිය වන ‘‘එදා හෙළදිව’ හි තවත් බොහෝ තොරතුරු අඩංගු වෙනවා. උඩරට රාජධානි ඉතිහාසයේ සුප‍්‍රකට කරල්ලියද්දේ බණ්ඩාරගේ දියණිය දෝන කතිරිනාව සිරකරගෙන සිටි ස්ථානයක් ලෙස ද මෙය සැලකෙනවා.දමිළ බසින් මේ මාළිගයට කියන්නේ  ‘අල්ලේ රාණි කොටුව’ කියලා.
 
1807 දී පමණ ජෙම්ස් කෝඩිනර් විසින් ලියූ ‘අ ඩිස්ක‍්‍රිප්ෂන් ඔෆ් සිලෝන්’ කෘතියේ මේ පිළිබඳව මෙසේ සඳහන් වෙනවා. ''එය අවිවාදයෙන්ම මේ දිවයිනේ පිහිටි මනස්කාන්තම නිවහනවන අතර ගෘහ සැලසුම් ශිල්පය අනුව නිමවන ලද එකම ඉදිකිරීම විය හැක''. ෆෙඩ්රික් නොර්ත් බංගලාව වෙනුවට ග්‍රීක ව්‍යවහාරයේන් බිඳී ආ සම්ප්‍රදායකට හිමිකම් කියන මෙම නිර්මාණ ශිල්පය උස කුලුණු සහිත ආරුක්කුවලින් සමන්විත යන අර්ථය ගෙන දෙන ඩොරික් නමින් ප්‍රසිද්ධ වීම ම මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ සාර්ථකත්වය තේරුම් ගත හැකිය. නිවස අභ්‍යන්තරය මුහුදු සුලඟින් සිසිල් වීමට හා විශාල ඝණකමින් යුතු ගඩෙිලින් කලග බිත්ති මගින් එම සිසිලස ආරක්‍ෂා වන අයුරින් සකස් කර ඇත. නිවස අසල තල් කොළ හා ලෑලි වලින් තැනූ තාවකාලික නිවාස තිබූ බවටද ඉතිහාසයේ සඳහන්ය. 
සම්පූර්ණ ගඩොලින් නිර්මිත මෙය කාමර සතරක්, විශාල සාලයකින් යුතු පහත මාලයකින්ද කෑම කාමරයක් හා තවත් විශාල නිදන කාමරයකින් සමන්විත ඉහල මාලයකින්ද සමන්විතව තිබී ඇත. අදවන විට මෙයින් වැඩි ප්‍රමාණයක් මුහුදු ඛාදනයට ලක්ව ඇති අතර විවිධ හේතූන් නිසා මෙය සම්පූර්ණයෙන්ම වාගේ ප්‍රරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අතහැර දමා ඇති බව අසන්නට ලැබෙනවා. කෙසේ හෝ වේවා මෙයින් පසු අරිප්පු කොටුව නමින් හැඳින්වෙන පෘතුගීසි කොටුව බලන්නට පිටත් වූයේ මා සහ මගේ මිතුරෙකු පමණි. 

අරිප්පු කොටුව

තමන්ගේ රුවල් නැව සුළඟට හසුවී ලංකාවට සේන්දු වූ පෘතුගීසීස් ලංකාවේ මුහුදු බඩ පෙදෙස් තම ග‍්‍රහණයට නතු කර ගත්තා. ඒ අනුව අරිප්පුවේ වෙරළද ඔවුන් සතු කරගත් පෘතුගීසිහු 1620 ගණන් වලදී අරිප්පුවේ බළකොටුවක් තනා ගන්නවා. සේනාංක දෙකක් පමණක් රඳවා තැබීමට හැකි පරිදි කුඩාවට තැබූ මේ බළකොටුවේ ප‍්‍රධාන ගේට්ටුව තිබුණේ මුහුද පැත්තට. හතර පැත්තම පෙනෙන පරිදි තැනූ බැලූම් කුළුණට නැගුණු විට පෙනුණේද මනස්කාන්ත දර්ශනයකි. පෘතුගීසින්ගෙන් පස්සේ 1658 දී අරිප්පු බළකොටුව අයිති වූයේ ලන්දේසින්ට. අරිප්පුවේ බළකොටුවට අලූතින් ගොඩනැගිලි එකතු කළ ඔවුහු බලකොටුව තරමක් විශාල කළහ.
මහනුවර රාජධානියේ සිංහල රජුගේ සිරකරුවකු බවට පත්ව සිටි ඉංග‍්‍රීසි ජාතික නාවිකයකු වූ රොබට් නොක්ස් අරිප්පු බළකොටුවට ළඟාවූයේ මේ කාලයේදීය. ඔහු එනවිට ලංකාවේ ලන්දේසි ආණ්ඩුකාරයා අරිප්පු කොටුවේ නොසිටියත්, බළකොටුවේ සිටි ලන්දේසීන්ගෙන් නොක්ස්ටත් ඔහු සමඟ පලා ආ මෙට්ලන්ඞ්ටත් ලැබුණේ උණුසුම් පිළිගැනීමක් ලැබෙනවා. ඊට හේතුව නොක්ස් ඒ මොහොතේ වීරයකු බවට පත්වෙලා හිටි හින්දා. කෲර ඒකාධිපතියකු වූ සිංහලේ රජුගෙන් මිදී පලා එන්නටලේසි වෙන්නේ නෑ ඒ වගේම මේ මිනිසා සතුව උඩරට රාජධානිය ගැන ඇති රහස් නිසා නොක්ස් කියන්නේ ඒ වෙලාවේ සම්පතක්. බළකොටුවේ සිටි ලන්දේසීන්ට උඩරට තොරතුරු කියන්නටම නොක්ස්ට ලොකු කාලයක් ගතවිය. උඩරට රහස් කියන ගමන්ම අරිප්පු ඇතුළු වයඹ වෙරළ තීරය නිරීක්ෂණයකරන නොක්ස් එරිට්ටුකඞ්ඩුවේ පිහිටි උසැති වැලිකන්ද දකිනවා. ඒක මුතු බෙල්ලන්ගේ කටු වලින් හැදුණු වැලිකන්දක් බව දැනගත්තාම විට ඔහු පුදුමයට පත්වෙනවා.

ලන්දේසි බළකොටුවක්ව තිබූ අරිප්පුව ඊළඟට බි‍්‍රතාන්‍ය පාලනයට යටවෙනවා. ප්‍රෙඞ්රික් නෝත් මන්නාරම් පළාතේ බළකොටුවල පාලකයා බවට පත්වෙද්දි ඔහුගේ සුවිශේෂ අවධානයට යොමුවූයේද මුතු බෙල්ලන් කැඞීමයි. මුතු බෙල්ලන් කැඞීම ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව තිබීම නිසාම නෝත්, අරිප්පු බළකොටුවෙහි නතරවෙලා මේ කටයුතු ගැන සොයා බැලනවා. ඒ නිසාම තමයි නිල නිවෙස අරිප්පු බළකොටුව අද්දරින්ම ඉදිකරවා ගන්නේ.
 

අරිප්පු බලකොටුව පිළිබද කතාන්දරය අනුව නම් බලකොටුව තිබිය යුත්තේ මුහුදු ලග වුවත් අද එසේ නොවේ. අරිප්පු කොටුව ලෙස ඇත්තේ ඉතා කුඩා ගෙඩනැගිල්ලක් පමණි.අනොත් සියල්ල බම් බිම් ලෙස යටවී ඇත. එසේ නම් වැලලී ගිය අතීතයක් අප සතුව ඇත්තේය.


සියල්ල අවසානයේ අප නැවතත් මන්නාරම බලා පිටත් වන්නට විය. මන්නාරමේ සිට කීරි වෙරළ තීරය වෙත ගිය අපේ උන් සවස් වනතුරුත් දිය නාමින් සිටියෝය.. රාත්‍රිය වැටෙද්දී නැවත මන්නාරම නගරයට පැමිණි අප රාත්‍රී ආහාරය ගෙන දුම්රිය ස්ථානයට පැමිණියේ නැවත ගම් බිම් බලා පැමිණිය යුතු නිසාවෙනි. කෙසේ හෝ වේවා අපූරු ගමනක අවසානය මෙලෙස සටහන් කරමි.. තවත් ගමනක තතු සමග පැමිණෙන තුරු ආයුබෝවන් සැමට......

7 comments:

  1. මම හිතන්නේ විජය කුමාරය මුතු ව්‍යාපාරය සරුවටම කෙරුණු ප්‍රදේශයට ගොඩ බැසීම අහම්බයක් නොවෙයි, හොර මුලක් ඔවුන්ගේ බල ප්‍රදේශයෙන් පලවා හැරි විට ඔවුන්ගේ ඊළඟ ඉලක්කය මොකක්ද විය හැකියිද? ඔවුන් අසා තිබු වටිනාම සම්පත ඉලක්ක නොකලානම් ඔවුන් හොරු රැලක් නොවෙයි, මෝඩ රැලක්.

    ReplyDelete
  2. /// අනොත් සියල්ල බම් බිම් ලෙස යටවී ඇත. එසේ නම් වැලලී ගිය අතීතයක් අප සතුව ඇත්තේය. ///

    ඕකුන් නිසා රටට වෙච්ච හානිය සුළුපටු නැහැ, ඒ නිසා උන් ඇති කරපු කැළැල් මැකිලා යන තරමට මමනම් කැමතියි...

    යුරෝපිය ජාතිකයින් අපිට කරපු විනාශයන්ගෙන් එකක් තමා ඉවක් බවක් නැතුව මුදල් උපයන්න මුතු අරගෙන මුතු බෙල්ලන්ව වඳ කරලා දාපු එකත්...

    අර සිංහයෝ ගැන කියන කොටස ඉවත් කරන්න. මෑත කාලීනව ලංකාවේ සිංහයෝ ඉඳල නැහැ...

    ReplyDelete
  3. අපිත් මේ 25 වෙනිදා වැඩිහිටි සමිතියකින් මන්නාරම් යන්න හිතං ඉන්නෙ මේ ලිපිය වැදගත්වුනා ඒක සංවිධානය කරන්න අපට තව කරුනු දැනගන්න අවශ්‍ය වුනොත් ඔබේ පෝන් නම්බර් එක දෙන්න බැරිද මෙකෙන් බැරිනම් 075 8688156 හරි 0715207518ට හරි කියන්න පුලුවන්ද තෙරුවන් සරනයි අපේ වැඩිහිටි සංවිධානයේ fb ලිපිනය
    @EldresSociety 294

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මම fb බැලුවා ඔබව සොයාගත නොහැක

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!