මගේ ගමන් බිමන් එකසිය දහයවන කොටස - මන්නාරම් ගමන පළමු කොටස

කාලෙකට පස්සේ යාලුවෝ ටිකත් එක්ක ඇවිදින්න යන්න හිතුවා. ඒ මන්නාරම.. මම පය නොතිබ්බ ලංකාවේ තිබුන එකම දිස්ත්‍රික්කය. කොහොම වුනත් ඒ හීනයත් හැබෑ කරගෙන ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලට පය තැබීමත් එක්ක මන්නාරම් යන්න හිතුවා. මේ මන්නාරමේ ඇවිදපු එක ගැන කතාව.... යන්න පිටත් වුනේ ජොබ් එක නිසා එකතු වුන දැන් සමහරු ඒ ජොබ් එකේම නැතත් තවමත් ඉතිරිව ඇති අපූරු මිතුරු හවුලක්..

අවුරුදු ගානක් කොටි ත්‍රස්තවාදය නිසා හැංගිලා තිබුන මන්නාරම කියල කිව්ව ගමන් ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ කරවල. හැබැයි ඉතින් කරවල වලටත් වඩා මන්නාරමේ ඓතිහාසිකව වැදගත්කමක් තියෙන තැන් ගොඩක් තියෙනවා බලන්න. ඒ වගේමයි ලස්සන තැන්. මුලින් මන්නාරම අරාබිවරුන්ගේ වෙළඳ නගරයක්. පසු කාලෙක පෘතුගීසීන්ද දෙවනුව ලන්දේසීන්ද අවසානයේ ඉංග්‍රීසීන්ද අත්පත් කරගෙන පාලනය කරල තියෙනවා. ත්‍රස්තවාදය නිසා බොහෝ දෙනෙක් වෙනුවෙන් වැහිල තිබුන මන්නාරම අද ආයෙමත් හැමෝම වෙනුවෙන් විවෘත වෙලා තියෙනවා.
අපේ ගමන ආරම්භ වෙන්නෙ කොළඹින් රාත්‍රී තැපැල් දුම්රියේ... මගදී දුම්රියේ කාර්මික දෝශයක් නිසා සෑහෙන වෙලාවක් ප්‍රමාද වුනා.. කොහොම හරි අපේ කට්ටිය 10 දෙනත් එක්ක පාන්දර 6 වෙද්දී අපි මන්නාරම් දුම්රිය ස්ථානයෙන් බැහැගත්තා. අපේ නවාතැන වුනේ හමුදාවේ නිවාඩු නිකේතනයක්. ඒ තල්ලඩි වල. අපේ ගමන අපි සැලසුම් කරල තිබුනේ තල්ලඩි වල ඉඳන් වාහනයක් අරන් ඇවිදින්න යන්න. ඒ නිසා කොච්චියෙන් බැහැල කෙලින්ම ආවේ නවාතැනට. අපේ බඩු මලු පැත්තකට දාල කෂණික නූඩ්ල්ස් වලින් උදේ කෑම සම්පූර්ණ කරගෙන මුලින්ම යන්න හිතුවේ මන්නාරමේ තියෙන ලන්දේසි කොටුව බලන්න.

මන්නාරම් ලන්දේසි කොටුව

මන්නාරම් පාලම පහුවෙද්දීම දකුනට හැරුණාම මේ බලකොටුවට බලන්න යන්න පුවවන්. මුලින් කිව්වා වගේ අරාබිවරුන්ගේ වෙළඳ නගරයක් වෙච්ච මන්නාරම 1550 දී පෘතුගීසි ආක්‍රමණයකට ලක්වෙනවා. ඔවුන් එතැන බලකොටුවක් ඉදිකරගන්නවා. පස්සේ 1658 පෙබරවාරි 22 ලන්දෙසීන් විසින් ආක්‍රමණය කරනවා. 1696 දී කොටුව ප්‍රතිසංස්කරනය කරන්නේත් ලංදේසි ජාතිකයන් විසින්මයි. 1795 දී මෙම කොටුව ඉංග්‍රීසීන්ගේ පාලනයට නතු වෙනවා.
පවුර හතරැස් වෙන විදිහට හදල කෙලවරවල් වල මුරකුටි සකස් කරල තියෙනවා. ඒ වගේම බිම් මට්ටමට ටිකක් ඉහලින් නැරඹුම් කුටියක් වැනි එකක් සකස් කරල තියෙනවා. ඒක ඒ කාලේ වැරදි කරපු අයට ප්‍රසිද්ධියේ එල්ලා මරන්න භාවිතා කලා කියල තමයි කියන්නේ. පෘතුගීසීන්ට පස්සේ ආව ලන්දේසීන් විසින් පල්ලියක්, පරිපාලන ශාලාවක්, අධිකරණ ශාලාවක්, සොහොන් බිම් ආදිය සකස් කරල තියෙනවා. පසු කාලීන පාලකයන් වුන ඉංග්‍රීසින් මේ කිසිවක් විනාශ කරල නෑ. මේ හැරුනාම හිරකරුවන් සඳහා වූ හිරකුටි, විශේෂ නිලධාරීන් සඳහා වූ කාමර සහ ඒ කාමර වලටම සම්බන්ධ කරල සකස් කරපු නාන කාමර පවා තවමත් ආරක්‍ෂා වෙලා තියෙනවා. බලකොටුව වටේටම පැරණි රජ මාලිගා වල වගේ පළල් දිය අගලක් සකස් කරල තියෙනවා. බලකොටුව වටා ඇති තාප්පය මත පහසුවෙන් ඇවිද යා හැකි ආකාරයෙන් සකස් කරල තියෙනවා.

මේ කොටුවට වැස්සොත් ඒ වැහි වතුර අපතේ නොයන විදිහට එකතු කරගන්න පුළුවන් විදිහේ කාණු පද්ධතියක් හා බලකොටුව ඇතුලේම සකස් කරපු ලිං තියෙනවා. ඒ නිසා බලකොටුව අකර්මණ්‍ය කරන එක ලේසි වෙන්නේ නෑ. මොකද සටනකදී බාහිරින් කිසිවක් ලැබෙන්නට සැලැස්සුවේ නැතත් බලකොටුව ඇතුලේ තියෙන දේ වලින් සෑහෙන්න කාලයක් රැකෙන්න පුළුවන් විදිහට තමයි මේක හදල තියෙන්නේ. 

එතැනින් අපි පිටත් වුනේ ලංකාවේ විශාලම බයෝබැබ් ශාකය බලන්න.

බයෝබැබ් ගස (Baobab Tree)

Adansonia digitata නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මෙම බයෝබැබ් ශාකය අශ්වයන්ට බෙහෙත් සකස් කිරීම සඳහා ලංකාවේ වගා කරල කියලයි කියන්නේ. පෘතුගීසීන් විසින් ඇති කරනු ලැබූ අශ්වයන් දැනට කැලෑ අශ්වයන් ලෙස ඇති ඩෙල්ෆ්ට් දූපතේත් මේ වගේම බයෝබැබ් ශාක වගා කරල තියෙනවා. මන්නාරම් නගරයේ ඉඳන් පලේමුනේ පාරේ ටිකක් දුර ගියාම මේ ගස දකින්න පුළුවන්. ලංකාවේ දැනට ඉතිරිව ඇති බයෝබැබ් ශාක 40කින් 34ක් පමණ තිබෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයේ. ඒ අතරින් විශාලම හා පැරණිම ගස වන්නේ මේ පලේමුනේ පාරේ ගියාම හමුවෙන බයෝබැබ් ගහ. වසර 300 - 400ක් පමණ පැරණි මෙම ගස වට ප්‍රමාණයෙන් මීටර 19.5ක් හා උස මීටර 7.5ක් විතර වෙනවා. අප්‍රිකාව, මැඩගස්කරය හා ඕස්ට්‍රේලියාවට ආවේණික වූ ශාකයක් වුන මෙය විවිධ නම් වලින් හැඳින්වෙනවා. නමුත් මෙම ශාකයට බයෝබැබ් ලෙස නම් ලැබිල තියෙන්නේ එය අරාබි බසින් හැඳින්වෙන බුහිබැබ් නමෙන් විය යුතුය. 
බාඕබැව්, බෝබ්, බොඅබොආ, බෝතල් ගහ, උඩුකුරුඤ්ඤං ගහ යනුවෙන්ද හැඳින්වෙනවා. මීට අමතරව එහි ගෙඩි වඳුරන් විසින් කන නිසා "වඳුරු දෙල් ගස" කියලත් බයෝබැබ් ගෙඩියක ඇට 30ක් තිබීම නිසා "ජුදාස්ගේ මල්ල" කියලත් හැඳින්වෙනවා. ඒකට හේතුව ජේසුතුමන් ජුදාස් විසින් පාවා දෙනු ලැබුවේ රිදී 30කට යැයි කියවෙන නිසායි. නමුත් ගසේ පොත්ත අලියකුගේ සමට සමාන බැවින සාමාන්‍යයෙන් මෙම ගහ දේශීයව සිංහලෙන් හැඳින්වෙන්නේ "අලි ගහ" කියලයි. දෙමළින් “පෙරුක්කු මරම්” කියලත් හඳුන්වනවා. 
ශුෂ්ක පරිසරයට අනුවර්තනය වී ඇති බයෝබැබ් ගසට ආවේණික වූ විශේෂ ලක්‍ෂණ අතර එහි විශාල තද කොළ පැහැති පත්‍ර කැපී පෙනේ. ඒවා මිනිස් අතක ඇඟිලිවලට සමානය. එහි රාත්‍රියට පිපෙන විශාල එල්ලා වැටෙන සුදු තනි මල් අඟල් 6ක් පමණ පළලය. මලේ පිළුණු සුවඳට විවිධ මැස්සන්, සලබයන්, වවුලන් ආදීන් ආකර්ෂණය වන අතර එම සත්තු එම මල්වල පරාග පෝෂණය කරති. බයෝබැබ් ගස අවුරුද්දේ මුල් මාස නවය තුළ පත්‍ර රහිත වේ. එම වියළි මාස නවය තුළදී එහි මහත පොරොප්ප මෙන් පිම්බුණ සහ ගින්නට ඔරොත්තු දෙන පොත්ත ඇතුළත වතුර ලීටර 120,000 ක් පමණ රඳවා තබා ගත හැකිය. ගසේ විරලභාවය හා ඉපැරණිභාවය නිසා එය ශ්‍රී ලංකාවේ ආරක්‍ෂිත ශාක විශේෂයකි. කිසිදු හැඩයක් නොමැති විකාර රූප පෙනුමැති මෙම ගස අසාමාන්‍ය ලෙස අත්පා කේඬෑරි වූ හස්තියකුගේ ඉරියව්වෙන් නැගී සිටී.
එතැනින් මන්නාරමේ තිරුකේතීස්වරම් කෝවිල හා ලූර්දු මාතා දේවස්ථානය බලන්න පිටත් වුනා. ඒ නාවත්කුලි - කාරතිව් - මන්නාරම් මාර්ගයේ හමුවෙන මාන්තොට තියෙන කෝවිලක්. තිරුකේතීස්වරම් වලට නම් කැමරාව තහනම් නිසා පින්තූරයක්වත් නැහැ.

තිරුකේතීස්වරම් කෝවිල
මෙහිදී කේතු භගවාන් ස්වාමිදරයා විසින් සිව දෙවියන් වැඳපුදාගෙන ඇති බවට පුරාවෘත්තයක් පවතී. මෙම කෝවිල සිව දෙවියන් වෙනුවෙන් කැපවූ මූලික කෝවිල් 5න් එකක් වේ. 7 වන හා 8 වන සියවසේ ජීවත් වූ තිරුගාන සම්බන්ධර් හා සුන්දරාර් නම් සිව සාන්තුවරයන් දෙදෙනෙකු විසින් ශුද්ධ ස්ත්‍රෝත ගායනා කරමින් පාලවි ජලාශයේ ජලය පාරිශුද්ධත්වයට පත් කර ඇතැයි කියැවේ. මෙහි මුල් නිර්මාණය සම්බන්ධයෙන් තොරතුරු නැතත් පෙර ක්‍රිස්තියානි කාලයේ ඉදිකර ඇති බවට විශ්වාසයක් පවතී. මාන්තොට වරාය හා මන්නාරම ක්‍රියාකාරීව ඇති කාලයේ ඉන්දියාවේ සිට ලංකාවට තිබූ ප්‍රධාන පිවිසුමක් වන නිසා මෙය සත්‍යයක් විය හැකි යැයි විශ්වාස කෙරේ.

1505 දී සිදු වූ පෘතුගීසි කතෝලික ආක්‍රමණය සමඟ රට තුල ඇති වූ බෞද්ධ හා හින්දු භීෂණය හේතුවෙන් මෙම කෝවිල හා අවට බෞද්ධ සිද්ධස්ථාන රැසක් විනාශ විය. ඒවායේ තිබූ වටිනා වස්තු හා ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් මන්නාරම් කොටුව, ක්‍රිස්තු දේවස්ථාන හා කයිට්ස් දූපතේ හැමර්ෂිල්ඩ් කොටුව ආදිය නිර්මාණය කර තිබේ. වසර 400 කට පමණ පසු මෙහි නියම පිහිටීම 1894 දී සොයාගෙන 20 වන සියවස මුල් භාගයේ පිලිසකර කටයුතු සිදු කර ඇත. 1970 වන තුරුත් විවිධ අවස්ථාවන්හිදී ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති අතර 1949 දී පල්ලවි වැව ප්‍රතිසංස්කරණය කරන ලදී.

ලූර්දු මාතා දේවස්ථානය

ලූර්දු මාතා දේවස්ථානය තිබෙන්නේ තිරුකේතීස්වරම් කෝවිල ආසන්නයේය. මෙය වරෙක මඩු මාතාවගේ පිළිමය තබා තිබූ තැනක් බවටද විශ්වාසයක් පවතී. කෙසේ වුවද අපුර්ව සුන්දරත්වයක් ඇති මෙතනත් නොබලා ආවොත් අඩුවක් යැයි සිතුවා...


එතැනින් පස්සේ ගිය තැන් ගැන මෙම ලිපියේ දෙවැනි කොටසින් ඉදිරිපත් කරන්නම්... දිග ලිපියක් වුනාම ලියන්නත් කම්මැලියි.. කියවන්නත් කම්මැලියිනේ.. එහෙනම් හමුවෙමු දෙවැනි කොටසින්....

පින්තූර ගොන්න බලන්න මෙතැනින්...

අදහසක් ලියගෙන යන්න ඊලඟ ලිපිය එනකම්...  

දෙවැනි කොටස කියවන්න

2 comments:

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!