මගේ ගමන් බිමන් එකසිය විසිවෙනි කොටස - ගඩලාදෙණිය ශ්‍රී සද්ධර්මතිලක රජමහා විහාරය

කොළඹ - නුවර මාර්ගයේ ගොස් පිළිමතලාව නගරයෙන් හැරී දවුලගල මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගිය පසුව ගඞලාදෙණිය විහාරයට ළඟා විය හැකිය. ගම්පළ රාජධානි සමයේදී නිර්මාණය කරන ලද ගඞලාදෙණි රජමහා විහාරය සිව්වන බුවනෙකබාහු රජුගේ අනුග‍්‍රහයෙන්, පළමු වැනි ධර්මකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ සේනාධිලංකාර ඇමතිවරයා යන තිදෙනාගේ සුසංයෝගයේ ප‍්‍රතිඵලයක් ලෙස හැඳින්විය හැක. නිකාය සංග්‍රහයට අනුව සද්ධර්මතිලක නමින් හදුන්වා ඇති මෙය ක්‍රි.ව. 1344 දී ගොඩනංවන ලදී. ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුතුව ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ්‍රිතවද දැකිය හැක. පසුකාලීනව එනම් ක්‍රි.ව. 1412-1467 රජ පැමිණි දස වන පරාක්‍රමබාහු රජු විසින් ප්‍රතිසංස්කරණයන් සහිතව හුණු පිරියම් කිරීමක්ද සිදුකර ඇති බැව් පැවසේ. ක්‍රි.ව. 1707-1739 යුගයේ රජ පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් වැලිවිට සරණංකර මාහිමියනට සන්නසක් මගින් මෙම විහාරය පවරා තිබේ.
විහාරයට නම් ලැබීම සම්බන්ධයෙන් විවිධාකාර මත පලවුවද ප්‍රධානකොටම ජනප්‍රවාද කතා දෙකක් ඉස්මතු වෙයි. එනම් විහාරස්ථානයට ආසන්නයේ පිහිටි දෙණිය නම් වූ ස්ථානයෙන් විහාර කර්මාන්තය සඳහා අවශ්‍ය ගල් කඩාගෙන පැමිණි බවත් ඒ හේතුවෙන් මුල් කාලයේදී කඩලාදෙණිය නමින් ව්‍යවාහාර කරන නමුත් පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවත්ය. එමෙන්ම විහාරය ඉදිකිරීමට තෝරාගන්නා ලද දෙණිය නම් වූ ස්ථානයේ ගඩොල නමින් අල වර්ගයක් උඩට මතුවූ නිසාවෙන් ගඩොල ආ දෙණිය ගඩොලාදෙණිය වූ බවත්, පසුකාලය වනවිට ගඞලාදෙණිය නම් වූ බවද ජනප්‍රවාදය පවසයි.

විහාර භූමියේ ඇති සෙල්ලිපි මගින් ගණේශ්වරාචාරී නම් ශිල්පියාගේ සැලසුමකට අනුව මෙය නිර්මාණය කරන ලද බවත් සඳහන්ය. ඒ වන විට ගම්පළ රාජධානිය දක්ෂිණ භාරතීය බලපෑම් එල්ල වන්නට වූ හෙයින් හින්දු ආභාසය ගඬලාදෙණිය රජමහා විහාරයේ ද දැකිය හැක. මෙහි මූලික ඉදිකිරීම් සහ කලා අංග දකුණු ඉන්දීය විජයනගර් සම්ප‍්‍රදායේ ආභාසය සහිතව නිර්මාණය කර ඇත. මෙම කාලයය වන විට පාලකයන් සරණ පාවා ගැනීම උදෙසා බිසෝවරුන් දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ බව ඉතිහාසයේ සඳහන්ය. එබැවින් එසේ ගෙන්වන ලද බිසෝවරුන්ට වන්දනා කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම හේතුවෙන් මෙම විහාර වල හින්දු අභාසය ලැබී ඇති බව සිතිය හැකිය.

අඩි 40ක් පමණ වන මෙය පැතිරුණු ගල්තලාවක් මත සම්පූර්ණයෙන්ම කළු ගලින් නිර්මාණය කර ඇති මෙහි ගම්පළ රාජධානි සමයේ කලා ලක්ෂණ මනාව විද්‍යමාන කරවන සුවිශේෂී සඳකඞ පහනක් ද ඇත. එහි සත්ත්ව රූප කිසිවක් යොදා නොගනිමින්, ලියවැලක් සහ නෙළුම් මලක් පමණක් කැටයමට නඟා තිබේ. පියගැට සතරකින් සහිත මං පෙතක් නිමවා ඇති අතර, මෙහි දාර අලංකාර කරනු වස් නාටක, වාදක යනාදි කැටයම් උපයුක්ත කරගෙන තිබෙනු දක්නට ලැබේ. මනඃකල්පිත රූපයක් ලෙසින් සලකනු ලබන ගජසිංහ රුව ද මෙහි කැටයම් අතර නිරූපණය කර ඇත.

විහාරගෙය නිර්මාණය කිරීමේ දී විශාල ගල් කුළුණු දෙකක් හා ඊට බැඳි කුඩා කුළුණු දෙක බැගින් යොදා ගෙන තිබීම විශේෂත්වයකි. මෙම නිර්මාණය ත‍්‍රිත්ව කුළුණ ලෙසින් හැඳින්වෙන අතර එකල නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාව මනාව පිළිබිඹු කරමින් එම කුළුණු ද කැටයමින් අලංකාර කර ඇත. කුළූණු හිස සිංහ රූප ද කළස සහ පද්ම යන බොරදමින් ද අලංකාර කර ඇත. ප‍්‍රධාන කුළුණ පේකඩ යටිකුරු කරන ලද නෙළුම් පොහොට්ටුවක් සහිත දඟර ලිය වැලකින් සමන්විත වේ. නමුත් ප්‍රධාන කුළුණේ කලා ලක‍්ෂණ වලට වඩා දෙපසින් ඇති කුළුණු වල කලා ලක‍්ෂණ වෙනස්ය. එබැවින් මෙම ප්‍රධාන කුළුණ ගනේශ්රාචාරී ශිල්පියා විසින් නිර්මාණය කරන්නට ඇති බවත්, අනෙක් කුළුණු දෙක මොහුගේ දක්ෂතම ගෝලයින් දෙදෙනා විසින් නිර්මාණය කරන්නට ඇති බවට සැළකේ. පිටත මණ්ඩපයෙහි දක්නට ලැඛෙන කැටයම් සහ චිත‍්‍ර නිර්මාණ දක්ෂිණ භාරතීය ලක්ෂණ පෙන්නුම් කරයි.

විහාර මන්දිරයේ තුළ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ සිටින සහ වීරාසනයෙහි වැඩ සිටින මෙම පිලිම වහන්සේ දෙනමකි. මේ සම්බන්ධ තොරතුරු සෙල්ලිපියෙහි සඳහන් පරිදි ශක, බ‍්‍රහ්ම, සුයාම, සන්තුසිත නාථ, මෛත‍්‍රී ආදි දෙවිවරුන් විසින් පිරිවරන ලදුව වජ‍්‍රාසනාරූඪව බෝධීන් වහන්සේට පිටලා වැඩහුන් සධාතුක මහ පිළිම වහන්සේ ය. එසේම මෙය ශෛලමය පිළිම වහන්සේ නමක් වන බවටද බුදු පිළිම වහන්සේ ලාංකීය සම්ප‍්‍රදායන්ට බැහැරව නිර්මාණය කර ඇති බවත්, මෙහි ලක්ෂණ හින්‍දු දේව රූපවලට සමාන වන බවට ද මතයන් පවතී. මෙහි සිවුරේ රැළි ගංගාවක දිය රැළි ආකාරයෙන් නිමවා ඇති අතර, නේත‍්‍රා යොදා ඇත්තේ විවෘතභාවයකින් යුක්තවය.

විජයෝත්පාය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගඬලාදෙණි විහාරයට ආගමික වශයෙන් මෙන්ම සංස්කෘතික වශයෙන් ද අලංකාරයක් ලබාදීමට සමත් ව ඇත. අඩි 40ක් පමණ උස්වන මෙම චෛත්‍ය උස් වූ කුළුණු සතරක් මත පියස්සක් සාදවා ඉදිකර ඇත. මෙම පියස්ස නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වනුයේ ගම්පළ රාජධානියෙහි සිටි පස්වන පරාක‍්‍රමාහු රජුට බව සඳහන්ය. චෛත්‍ය වටා සතර දිශාවෙහිම චෛත්‍ය ඉදි කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ සතර වරම් දෙවිවරු පිරිවරා සිටින බව විය හැක. ශෛලමය ගල් ප‍්‍රාකරයකින් වටකොට ඇති බෝධි ප‍්‍රාකාරය නිසා බෝධීන් වහන්සේ ආරක්ෂා වේ. තවද විහාර භූමියේ පිහිටා තිඛෙන විෂ්ණු දේවාලය සහ අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය ද ගම්පළ යුගයේ ඵෙතිහාසිකත්වය මනාව විද්‍යමාන කරයි.

3 comments:

  1. ඉර්ෂාඩ් සම්සුදීන්2 November 2023 at 11:31

    සිංහල බෞද්ධ අන්තවාදීන් අල්ලාගෙන බලහත්කරයෙන් තියාගෙන ඉන්නා අයිතිහාසික කුරගල ඉස්ලාම් දේවස්ථාන සංකීර්ණය ගැනත් ලිපි පෙළක් පල කරන්න සුල්තාන්.

    ReplyDelete
    Replies
    1. ඒක එහෙමයි කියන්න තියෙන ඓතිහාසික සාදක මොනවද/

      Delete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!