ආයුබෝවන් හැමෝටම.. කාලෙකට පස්සේ ලිපියක් ලියන්න වගේම ගමනක් යන්න ලැබුනේ කොරෝනා නිසා ඇතිවුන බලපෑම නිසා. නමුත් දැන් දැන් ටිකෙන් ටික කොරෝනා බලපෑම අඩුවෙන නිසාත් අපිටත් ගෙවල් වල ඉඳල ඇතිවුන නිසාත් ආයෙමත් ඇවිදින්න හිතාගත්තා. මේ ඒ විදිහට පටන් ගත්ත ගමනක් ගැන විස්තරයක්.
කාලයක් තිස්සේ සැළසුම් කල කිසිම ගමනක් යන්න වෙන්නේ නෑ කියන එක නම් සහතික ඇත්ත. අපි හැමදාම සැලසුම් කල ගමන් අභාවයට ගියේ ඒ සිතිවිල්ල එක්කමයි. කාලෙක ඉඳන් එකට එකතුවෙලා ගමන් බිමන් ගිය මගේ ගමන් සගයන් අවසානයේදී “උඹ අපිව එක්කන් යනවද නැද්ද?” කියල අහන තරමට ආව. ඉතින් අපේ මිතුරෙක් කලින් රාජකාරි කල වලපනේ පැත්තෙ ඇවිදින්න තීරණය කලේ රටේ තියෙන වසංගතය ටිකක් අඩු ගම්බද නිදහසේ ඉන්න පුලුවන් පළාතක් වුන නිසයි. සතියක් වගේ ඇතුලත සැලසුම් කල ගමන සඳහා කට්ටියම එකතු වෙන්න තීරණය කලේ මහනුවර නගරයට.