ප්‍රවේශම් වෙන්න මේ දේවල් වලින්.....

අපි දකින දේ වලින් මොන තරම් දේ ඇත්ත කියල අපි හිතනවද? ඒත් ඒ දේවල් කොයි වගේද කියල තේරෙන්නේ අපිත් ඒ දේවල් අත්විඳිද්දිම විතරයි. අහ්... මලා.. මොකද මේ සුලාට වෙලා තියෙන්නේ? ඒක නේද ඔයාලා හිතන්නේ. කියන්නම් කියන්නම් ඉන්නකෝ පොඩ්ඩක්. හුඟ කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවේ. වැඩ ටිකක් තිබුණා ඒ නිසා නිදහස පොඩ්ඩක් විතර අඩුයි.

දැන් මේ කියන්න හදන්නේ අපි කොයි කාටත් විභාගයක් ඉවරවෙද්දී සාමාන්‍යයෙන් අපි හැමෝටම වෙන, වුන හා ඉදිරියටත් වෙන්න තියෙන දෙයක් ගැන කතාවක්. ඒ තමා විභාගය ඉවර වෙද්දිම අපිට එන අපි කවදාවත් අහලවත් නැති ආයතන වලින් ඒ ආයතන වලින් කෙරෙන්නා වූ වැඩසටහන් සඳහා කොටස් කරුවන් වන්නැයි කියමින් ලැබෙන්නා වූ ලිපි හා ආරාධනා පත්‍ර.

සමහර වේලාවන්හිදී මේ දේවල් ලැබෙන්නේ ශිෂ්‍යත්ව හැටියට. ඒ අය වියදම් දරල ලිපි එවල ශීෂ්‍යත්වයකුත් දෙනවා. ටිකක් විතර අමුතුයි නේද? ඒත් මතක තියාගන්න මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවෙයි කියන එක. කිසිම කෙනෙක් කිසි ලාභයක් නැතිව කිසිම දෙයක් කරන්නේ නැහැ. සමහර විටෙක මේ ශිෂ්‍යත්ව සහතික පත් සැබෑ ස්වරෑපයම එන විදිහට සකස් කලත් හොඳින් බැලුවොත් පෙනේවි මේ සහතික වල කිසිම වටිනකමක් වත් සැබෑ ලාංඡනවත් නැහැ කියන එක. මේ වාගේ ලැබෙන්නා වූ සහතික වල කිසිඳු වලංගුභාවයක් නැති අවස්ථා එමටයි.

ඒ වාගේම මෙවැනි ආයතන වල මුවාවෙන් විවිධාකාර අපයෝජන සිදු වූ අවස්ථා මෙන්ම මුදල් වංචා සිදුවූ අවස්ථාද එමටයි. මකතයේ තියාගන්න දැන් හැමෝම බලන්නේ තමන්ගේ ගොඩ වැඩිකරගන්න හැටි හා තමන්ට වාසියක් ගන්නා විදිහක්. අපි මේ දේවල් වලට රැවටිලා එයාලට උදව් කරනවා විතරක් නෙවෙයි අපේ වටිනා කාලයත් විනාශ කරගන්නවා. මට මේ ලඟදිත් ලැබුනා මේ වාගේ ලිපියක්. ඒවල යොදල තියෙන රබර් සීල්, විද්‍යුත් තැපැල් ලිපින, වෙබ් ලිපින ආදියත් විමසීම සඳහා යොදල තියෙන දේවලුත් එවල තියෙන ස්වරෑපයත් නිසා කෙනෙක් රැවටෙන එක අනිවාර්යයි. නමුත් වෙබ් ලිපිනයන් වල කිසිම සත්‍යතාවක් තියා එවැනි ලිපිනයක් අන්තර්ජාලයේ ඇත්තේවත් නැහැ. ඒ වාගේම ලිපිනය දාල තියෙන්නේ w.w.w.********.com කියල. මේක දැක්ක ගමන් තේරෙනව මේ ආයතනයේ ස්වභාවය. මේ වගේ ආයතනයක ඉගෙන ගන්න ළමයින්ට නම් දෙයියන්ගේම පිහිට තමයි.

මම දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ මේ වාගේ ආයතන වලට යවන්න කලින් හොඳින් හොයා බලන්න. ඒ වාගේම බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි පෞද්ගලික ආයතන වලින් සිදුවන දේ හොයා බලල යම් ප්‍රමිතියකට මේ ආයතන ගෙනෙන්න කියන එක. ඒ වාගේම මෙවැනි අධ්‍යාපන ආයතන කරන්නේ අධ්‍යාපනයේ මුවාවෙන් ඉගෙනීමට ආස කරන දරුවන් බිලි බා ගැනීමක් විතරක් කියන එක නම් සක් සුදක් සේ පැහැදිලි කරුණක්. ඒ දේවල් තව ගොඩක් දෙනෙකුගේ අනාගතය අඳුරු කරාවි.

අපි අධ්‍යාපනය කියල ලබාගන්න හදන්නේ මොකක්ද? මේ ක්‍රමයට තවත් ගියොත් අනාගතයේ අපිට ලැබෙන්නේ සහතික මිටි පොදි කරගත් පිරිසක් විතරමයි. ඉගෙනීම කරන්න පුළුවන් කාලයේ මතකයන් ධාරණ ශක්තීන් වැඩි කාලයේ සහතික වෙනුවෙන් ගතකරන කාලයේ තමන් හොඳ දැනුමක් වෙනුවෙන් වැඩ කලොත් අනාගතය ගොඩක් යහපත් කරගන්න පුළුවන් වෙයි. අපි අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය නොවෙයි අපි වැය කරන කාලය වෙනුවෙන් අපිට දැනුම ලෙස ලැබෙන දේ විතරක් ලාභය විදිහට හිතල වැඩ කරන්න. රැල්ල පස්සේ නොගිහින් තමන් හිතල දැනුම පස්සෙන් දුවන්න. එතකොට රැල්ල ඔයාල පස්සෙන් නිකන්ම එයි.

මේ වාගේ දේවල් ඔයාලත් අත්විඳල ඇති. ඒ වාගේම මේ දේවල් ඇත්ත කියල තේරිලත් ඇති නොදන්නා අයටත් තේරුම් කරල දීල. අනාගතයේ වැඩදායි සමාජයක් නිර්මාණය කරන්න උදව් වෙන්න. පුංචි කොමෙන්ටුවකුත් දාල යන්න අනිත් අයට මේ ගැන ඔයාලගේ අදහසත් දැනගන්න.

කේන්ද්‍රය, සාස්තර සහ අනාවැකි

මේ කියන මාතෘකාව තුල ගොඩාක් දෙනා සිරවෙලා හිටියත් ඒ හැම කෙනෙක්ම ඉන්නේ මේ දේවල් පිළිගන්නද නොගන්නද කියන දෙගෙඩියාවෙන්. මුලින්ම කියන්න යන්නේ හැමෝම ගාව තියෙන කේන්ද්‍රය එහෙමත් නැත්තම් වේලපත්කඩ කියන එක ගැන. මේක නිර්මාණය වෙන්නේ කෙනෙකුගේ උපන් වේලාව හා උපන් ස්ථානය අනුව ඒ ඒ ග්‍රහයයන්ගේ පිහිටීම් අනුව. මේ ග්‍රහ පිහිටීම් අනුව කෙනෙකුගේ ගතිගුණ, හැඟීම් හා ඔහුගේ හෝ ඇයගේ අනාගතය තීරණය වෙනවා කියලයි ජෝතිෂ්‍ය විද්‍යාවේ කියන්නේ. කේන්ද්‍ර යේ ඇති දෝෂ හා ගැලපීම් අනුව යමක් කිරීමේ වේලාවන් හා පරිස්සම් වියයුතු දේවල් ගැන පුරෝකථන කරනවා වාගේම කෙනෙකුගේ ජීවිතය තීරණය වෙලා තියෙන විදිහ එහෙම නැතිනම් දෛවය ගැන පුරෝකථන කරනවා.මේ දේවල් ගැන මිනිස්සු විවිධාකාර අදහස් දක්වනවා. කොටසක් මේ දේවල් සම්පූර්ණ බොරුවක් බවත් අනිත් අය මේ දේවල් සම්පූර්ණ සත්‍ය බවත් පිලිගන්නවා වුවත් මම නම් හිතන්නේ මේ දේවල් වල යම්තාක් සත්‍යයක් තියෙනවා කියලයි.

            ඒ වාගේම තමා සාස්තර හා අනාවැකි. මේ දේ දැන් ගොඩක් නගර වල රොඩී ගෝත්‍රික කාන්තාවන් රැකියාවක් ලෙස කරතත් ඒ අය අතර ගොඩක් දෙනෙක් බොරුව තම ජීවන වෘත්තිය කරගෙන. ඒ නිසාම මේ දේවල් අමූලික බොරුවක් කියන තත්ත්වයට මිනිස්සු පත්වෙලා තියෙනවා. ඒත් මේ දේවලුත් කේන්ද්‍රය මෙන්ම දෙයක් යැයි කියන්න පුළුවන්. කෙනෙකුගේ ඇති උපන් ලප, හස්ත රේඛා හා හැසිරීම් විලාසය යන ඒවා උදව්වෙන් තමා ගොඩක් සාස්තර හා අනාවැකි කියන්නේ. හස්ත රේඛා පිහිටීම, අල්ලේ ආකාරය හා වෙනත් ලක්‍ෂණ අනුව කෙනෙකුගේ චර්යා රටාව හා ඔහුගේ දෛවය තීරණය වුනු ආකාරය කියනවා. මේකත් එක්තරා විශයයක්. නමුත් දැන් මේ ක්‍ෂේත්‍රය සඳහා ප්‍රවීණයන් හෝ ඒ පිළිබඳ අධ්‍යනයයන් කරන්නන් අඩුයි. ඒ වාගේම මේ දේවල් වලින් කොටසක් පමණක් දැනගෙන සම්පූර්ණ දන්නවා මෙන් බොරුකරන්නන් අධික නිසාවෙන්ම මේ ක්‍ෂේත්‍රය ඉගෙන ගන්න කෙනෙකු තුල ඇතිවන කැමැත්ත කියන එකත් ගොඩක්ම අඩුවෙලා තියෙනවා.

            නමුත් හොඳින් සිතා බලද්දී අපේ ඉතිහාසයේ රාවණ යුගයේ පටන්ම තාරකා ශාත්‍රය හෙවත් ජෝතිෂ්‍ය විද්‍යාව තිබිල තියෙනවා. එතැන් ඉඳන් මේ තරම් දිගු කාලයක් තිස්සේ නොනැසී පවතින්න තරම් සත්‍යයක් මේ විශයයේ තිබිල තියෙන බව වටහා ගන්න පුළුවන්.පොත පත කියවද්දී ඒවායේ හමුවන චරිත වලින් හැඟවෙන දෙයක් තමයි මේ විශයයේ කෙළ පැමිණි අය උපන් වේලාවේදී කේන්ද්‍රය බලා ඔහුගේ ආයුශ හා ඔහු ගතකරන ජීවිතය පිළිබඳ නිවැරදි ලෙසම අනාවැකි පලකර ඇතිබව.

            මේ ක්‍ෂේත්‍රයේ නිවැරදි ලෙස යෙදෙන්නෙකුගෙන් ශුභ වේලාවන් ගෙන ඒ ඒ වේලාවන්හිදි ශුභ කාර්යයන්හි යෙදීමෙන් ඉතා සාර්ථක ලෙසකාර්යය කරගැනීමේ හැකියාවක් ඇති බවයි කියන්නේ. ඒ වාගේම සතුරු උවදුරු වලින්ද බේරීමේ හැකියාවක් තියෙනවා. නමුත් විශේෂිතව කියන්න ඕන දෙයක් තමයි මේ සියල්ල අඅනාවැකි මේ දේවල් අප කියන කරන දේවල් අනුව වෙනස් කරගන්න පුළුවන්. අපි මේ අනාවැකි කීම කරන්නේ ඒ ඇතිවන උවදුරු වලින් ආරක්‍ෂාකාරී වෙලා ජීවිතය ගෙවන්න හැකි වෙන්න. අපේ අධිෂ්ඨානය අනුව අපිට මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා හොඳින් හිතට ගන්න ඕන දෙයක් තමා මේ දේවල් වුවමනාවට වඩා හිතන්නේ නැතිව තමන්ගේ ජීවිතය ගෙවන එක තමා හොඳම දෙය. මේ දේවල් අහන්න බලන්න දකින්න. ඒත් ඒ මතම ඉන්නේ නැතිව ආරක්‍ෂාකාරී වියයුතු තැන් මඳක් සිතේ තබාගන්න. ඒ ඇති.

අනතුරක් වෙලා........!

අද 2012 මැයි මාසෙ 28 වෙනිදාග පුංචි පහේ රිය අනතුරක් වුනා. මේක ලංකාවේ සාමාන්‍ය දෙයක් වුනත් ඒ අවස්ථාවේ වුන දේවල් නිසා ඒක ගැන ලියන්න හිතුනා. මම මාගේ සමාවාසික විභාගය ලියල එන ගමන් දැක්කා බස් රථයක් එනවා. ඒත් ඒක ටිකක් අමුතුයි වාගේ. රියදුරුතැනගේ පැත්ත තිබුනේ නැහැ කියල දැක්කේ ලඟට ආවාමයි. කස්ටිය අත් දාගෙන අයින් වෙන්න සංඥා කලා. මමත් ගනන් ගන්නේ නැතුව ඉස්සරහට යද්දී මිනිස්සු ඇඟපත පිස දමමින් එනවා පාර පැත්තට. ඒ එක්කම අසල කුඹුරක ලොකු ටිපර් රථයක් තිබුනා.
 










එතැනට ගියාම තමා වැඩේ තේරු‍ණේ. බස් එක වාහනේකට ඉස්සර කරල. අනිත් පැත්තෙන් ආව ටිපර් එක බ්රේක් කලත් නැවතිලා නැහැ. කුඹුරට දාල බස් එක බේරන්න හදල. ඒත් පිටුපස කෙලවර බස් එකේ වැදිල. බස් එකේ මූණ කුඩු. රියදුරාට බ්රේක් ගහන්න විදිහක් නැහැ ඒ ටික කුඩු වෙලා නිසා. මට සංඥා කරල තියෙන්නේ බ්රේක් නැහැ කියල. බස් එක නැවතුනේ මීටර 300ක් විතර ගිහින්. ඒ අතරේ බස් එකේ හිටි අය එකා දෙන්නා බස් එකෙන් පැනල. ඒ අය තමා ඇඟපත පිසදමමින් ඇවිත් තියෙන්නේ. මේ බොහෝම බයානක වැඩක් මොනා වුනත් යන බස් එකෙන් පනිද්දී කකුල වත් පැටළුනොත් බස් එකේ රෝදෙට යට වෙන එක නම් අනිවාර්යයි. බස් එක නැවතුන ගමන් බස් රථයේ රියදුරා වෙනත් වාහනයක නැගල ගිහින්.





මෙන්න ලංකාවේ නීතිය හා සාමය


මේ කියන්න යන කතාව ටිකක් දරුණු විදිහේ චෝදනාවක්. මම කොළඹ, ගාල්ල, මාතර වාගේම ගොඩක් නගර වල මගේ මෝටර් සයිකලයෙන් ගිහින් තියෙනවා. මගේ බ්ලොග් එක කියවන අය දන්නවා මම ටිකක් ඇවිදින්න ආස කෙනෙක් බව. මේ යද්දී මේ වෙසක් පොහොය දවසට පස්සේ දවසේ ගියා අම්පාර ප්‍රදේශයේ පියංගල නැමැති පන්සල බලන්න හිතාගෙන. ඒ එතැන රජකාලේ නටඹුන් ඇති තැනක් කියලයි ප්‍රසිද්ධ. එතැන ගැන විස්තර ටිකක් හොයන්න හිතාගෙන මමත් මල්ලිත් යාළුවෝ දෙන්නෙකුත් තමා ගමන ගියේ.

ඒත් පියංගලදී මාර්ගය අසල සිටි පොලිස් නිලධාරියෙක් අපිව නැවැත්තුවා. ඒ අය රථවාහන අංශයේ වුවත් නියමාකාරයෙන් නිළඇඳුමවත් ඇඳල තිබුනේ නැති වීම නම් කණගාටුවට කරුණක්. අපේ මෝටර් බයිසිකල් ලියාපදිංචි කරල තිබුණේ දකුණු පළාතෙන් නිසා මේ ප්‍රදේශයේදී නිතර නවත්තල විස්තර අහන එක නම් සාමාන්‍ය කාරණාවක්. ඒත් මේ ප්‍රදේශයේදී සිද්ධවෙන අසාධාරණකම් නම් අනන්තයි. සාමාන්‍යයෙන් බයිසිකල් වල ඉදිරිපස අංක තහඩු මඳකු නවක එක සාමාන්‍යයයි. එහෙම නැව්වේ නැතත් ටික දවසක් යද්දී අංක තහඩුව නිකම්ම නැවෙනවා. ඒකට හේතුව ගැස්සීම් වලදී මඩ ආවරනය වැදීම.
මම මේ කියන දිනයට මාස කීපයකට පෙර මගේ බයිසිකලය නවත්තපු තැනකින් මගේ බයිසිකලයත් නවත්තලා මටත් මේ දේ කිව්වා. ඒත් මොනා කරන්නද කියල මම ඇහුවා. වෙනතැන් වලදී මේ දේ ගැටළුවක් නොවී අම්පාරෙදී විතරක් ගැටළුවක් වෙන්නේ කොහොමද කියල මම ඇහුව. යාන්තම් එදා බේරුණා. මේ කියන දවසේදී මගේ මල්ලීගේ බයිසිකලය නවත්තලත් මේ චෝදනාවම කලා. ඒත් ඒ දවසේ මේ බලනවා මේ විදිහට තමා තියෙන්න ඕන කියල උදාහරණයට ගත්තේ මගේ බයිසිකලය. මට තියෙන ගැටළුව තමා එක දවසක් මගේ බයිසිකලයේ විදිහ වැරදිලා වෙනත් දවසක තවත් තැනකදී ඒක නිවැරදි විදිහට තියෙන්නේ කොහොමද කියන එක. අන්තිමේ මේ තැනින් බේරුණේ අංක තහඩුව අනිත් පැත්තට නවල පෙන්නුව නිසා. ඒත් මේ ස්ථානයට ආපු ප්‍රදේශයේ මෝටර් බයිසිකල් සඳහා මේ නීතිය නොතිබීම නම් විශාල ගැටළුවක්. මඳක් මත්ද්‍රව්‍ය භාවිත කරල තිබ්බ නිලධාරීන් පෞද්ගලික දැන හැඳිනීම් මත ඒ ආපු පුද්ගලයාට සමාව දී අපිට වෙනත් නීතියක් පෙන්නුවේ අපෙන් කීයක් හරි ගලව ගන්න කියන එක නම් අපිට වෙනත් කතාවලින් හොඳට තේරුණා. මේ ගැන කියන්න කවුරුත් නොහිටි නිසා අපි කල එකමදේ 1919 ට කතා කරපු එක ඒත් පැමිණිල්ල ගැන කියන්න ගත්තු දුරකථන ඇමතුම් සියල්ල විසන්ධි කලේ ගැටළුවෙන් බාගයක් කියද්දී. මේක තමා ලංකාවේ නීතිය හා සාමය රකින ආකාරය. මේ වාගේ දේවල් අනත්ත මේ ප්‍ර දේශයේ වුනත් මේ පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ නිසා. අපිට ඒ නිලධාරීන්ගේ ලියාපදිංචි අංක පෙනුනේ නැත්තේ ඒ අය ඇඳන් හිටපු රාත්‍රීයට දිලිසෙන උඩ ඇඳුම නිසා. නැතිනම් ඔවුන් කවුද කිය හඳුන්වා දෙන්න තිබුණා.

මගේ ගමන් බිමන් දසවන කොටස - පොතුවිල්

මෙන්න කාලෙකට පස්සේ මම ආයෙත් ඇවිදින්න ගත්තා. පහුගිය කාලයේ මට කාලවේලාවේ අඩුකම් නිසා බ්ලොගට ලිපියක් දා ගන්න බැරිවුනා.ඒත්  මෙන්න ආයෙත් ඔයාලට කියවන්න ලිපියක්. මේ 2012 වෙසක් පෝය දවසේ මම ගිය  ගමනක් ගැන විස්තරයක්. මේ ගමනට මගේ යාළුවන් දෙන්නෙකුත් මගේ මල්ලිත් එකතු වුණා. ඒ අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ප්‍රදේශය අවට ඇති ඓතිහාසික ස්ථාන කීපයක් බලන්න ගිය ගමන් විස්තරයක්.
විහාර මහා දේවියගේ පිළිරුව
අපි අම්පාරෙන් පිටත් වෙද්දී උදේ 10ට විතර ඇති. අම්පාර කල්මුණ මාර්ගයේ ගිහින් කාර්තිව් වලින් හැරී අක්කරපත්තුව හරහා පොතුවිල් වලට ගිය අපි එතැනින් දකුණට හැරී කිලෝමීටරයක් විතර යද්දී තියෙන මුහුදු මහා විහාරයට තමා මුලින්ම ගියේ. මෙතැන අවුරුදු 2300ක් පමණ පැරණි ඉතිහාසයක් ඇති බව කියවෙන ස්ථානයක්. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් කියන විදිහට නම් මෙතැන තමා විහාර මහා දේවිය ගොඩබට ස්ථානය කියල හැඳින්වෙන්නේ. කිරින්ද ප්‍රදේශයේ ඇති ගල්පර බහුල මුහුදු තීරයෙන් පැමිණීමට නොහැකි නිසා මෙතැනට ගොඩබට බැව් තමා කියවෙන්නේ. මෙතැන ඇය පැමිණියා කියන ඔරුව හා බඩුබාහිරාදිය නිධන් කර චෛත්‍යයක් ගොඩනඟා තිබෙනවා. දහවල් කාලයේදී නම් මෙතැන නරඹන්න ටිකක් විතර අමාරුයි. ඒකට හේතුව මේ ප්‍රදේශයේ පවතින අධික උණුසුම් කාලගුණය. වෙරළ තීරයේ වැල්ල උණුසුම් වීමත් එක්ක අධික උණුසුමක් ප්‍රදේශය පුරා පවතිනවා. අලංකාර මුහුදු තීරයක් තිබුණත් මේ ප්‍රදේශයේ බිලිගැනීම් වැඩි බවයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ.නටඹුන් අතර ඇති පිළිම විහාර මහාදේවිය කාවන්තිස්ස රජු හමුවූ අවස්ථාව කියලත් බුදුන්වහන්සේ හා බෝසත් රුව දෙකක් කියලත් අදහසක් පවතිනවා. මේ ප්‍රදේශයේ ගොඩබැස්ස කුමාරිය රජු එනවිට ඔරුවේ සිට නැති අතර "කෝ කුමාරිය" කියා රජු අසා තියෙනවා. එතැන අද කෝමාරිය ලෙස හැඳින්වෙනවා. කුමාරිය සමඟ ආ පිරිසට අක්කරය බැගින් ඉඩම් 10ක් ප්‍රදානය කල ස්ථානය අක්කරපත්තු ලෙසත් නින්දගම් ලෙස ප්‍රදානය කල ප්‍රදේශය නින්දවූර් ලෙසත් ව්‍යවහාරයට එක්වූ බවයි කියන්නේ.
බෝසත් පිළිම
බෝසත් පිළිම


බුදු පිළිමය













බෝසත් පිළිම





















එතැනින් පානම ප්‍රදේශයටත් එතැනින් කුමන අභයභූමියට මායිම්ව ඇති කුඩුම්බිගල ආරණ්‍ය බලන්න තමා ගියේ. 1994 දී කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියා නිසාවෙන් අත්හැදමා තිබුණත් දැන් නැවතත් ඒ භූමියේ ආරණවාසී මහණුන් වැඩසිටිනවා. එතැන ඇති බැලුම්ගල නමින් හැඳින්වෙන විශාල ගල් පර්වතය මුදුනට නැගුනු කල අවට ප්‍රදේශයේ කිලෝමීටර ගණනාවක් දුරට අංශක 360ක දර්ශනයක් ලබා ගන්න පුළුවන්. මුහුද දෙසින් ආරුගම් බොක්ක පවා මෙහි සිට බලන්න පුළුවන්. මෙහි ඇති මහා සුදර්ශන ලෙන නමින් හැඳින්වෙන ලෙන දුටුගැමුණු රජතුමාගේ යෝධයෙක් පුජා කලා යැයි සැලකෙනවා. ඒ වාගේම අක්කර ගණනාවක ප්‍රදේශයක් පුරා පැවත ඇති මෙහි ඇති ස්තූපය ධර්ම චක්‍ර ස්තූප ආකාරයට බරණැස ඉසිපතනාරාමයේ හැරුණු විට ලංකාවේ ඇති එකම ස්තූපය විදිහටත් සැලකෙන බවයි කියවෙන්නේ. මෙතැනින් කිලෝමීටර 4ක් පමණ ගිය තැන ඔකඳ දේවාලය ඇති බව අසන්නට ලැබුණත් ඒක වන්දනාමාන කරන්න තරම් වෙලාවක් අපට තිබුණේ නැත්තේ වටින් ගොඩින් කළුවර වැටෙන්න කලින් පොතුවිල් වලට යා යුතු වුන නිසයි. මේ දේවාලය කතරගම දෙවියන් වැඩ වාසය කල ස්ථානයක් විදිහට තමා අහන්න ලැබුණේ. මේතැනින් පිට වෙලා එද්දී ආරුගම් බොක්ක මුහුදු තීරය බලන්න ගියේ එතැන දර්ශනීය වෙරලක් විදිහට ප්‍රසිද්ධ වෙලා තිබුණු නිසා. ඒ කතාව ඇත්ත කියල තේරුණේ එතැනට ගියාම.


සුදර්ශන ලෙන

බැලුම්ගල මුදුනට ප්‍රදේශය පෙනෙන හැටි

අත්හල බමර වදයක්

ආරුගම් බොක්ක වෙරළ තීරය
එතැනින් ආව අපි මඟුල් මහා විහාරය වන්දනාමාන කරන්න නම් අමතක කලේ නෑ. ඒක තියෙන්නේ පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ පොතුවිල් වලින් කිලෝමීටර 11 පමණ යද්දී. මෙතැන විශේෂත්වය විදිහට දක්වන්නේ කාවන්තිස්ස රජු හා විහාර මහා දේවියගේ විවාහය සිදුවූ ස්ථානය වීම. මෙතැන ඔවුන්ගේ විවාහය සිදුවූ ගලින් කල මඟුල් පෝරුවත්, ලංකාවේම මෙතැන පමණක් ඇති විශේෂිත සඳකඩ පහණත් තවත් විශාල නටඹුන් ප්‍රමාණයකුත් දකින්න පුළුවන්. මේ සඳකඩ පහණේ විශේෂත්වය නම් එහි ඇතුන් පේලිය සළකුණු කර ඇති ස්ථානයේ ඇතුන්ගේ පිට ප්‍රදේශයට වන්නට ඇත්ගොව්වකු සළකුණු කර තිබීම. අක්කර 10000ක පමණ ප්‍රදේශයක් පුරා විහිද ඇති මේ ප්‍රදේශය පුරාම මුරගල්, චෛත්‍ය ගල්ගුහා, බෝමළුව හා තවත් නටඹුන් විශාල ප්‍රමාණයක් විහිද පවතිනවා. විහාර මහා දේවිය හා කාවන්තිස්ස රජුගේ විවාහය සිදුවුනු ස්ථානය නිසාවෙන් පසුව විහාරස්ථානයක් කරවා ඇති බවයි කියවෙන්නේ. අපි මේ දේවල් නරඹල ආයෙත් අම්පාරට එද්දී රාත්‍රී 9ට විතර ඇති.

මඟුල් මණ්ඩපය

මඟුල් පෝරුව තිබූ තැන

ස්තූපයක නටඹුන්

සඳකඩ පහණ

ඇත්ගොව්වා සහිත කොටස