අපේ ගමන ආරම්භ වුණේ මගේ මිතුරන් පිරිසක් සහ ඔවුන්ගේ පවුලේ උදවිය එක්ක. යාලු මිත්‍රයෝ නම් කලින් දවසේ ඇවිත් කලවානේ නතර වුනත්, පැය දෙකක ගමනක් නිසා මම ඊලඟ දවසේ උදේම මෝටර් බයිසිකලයෙන් යන්න පිටත් වෙන්න තීරණය කලා. මේ ගමනට මාත් එක්ක තවත් මෝටර් බයිසිකලේකින් යාලුවෙක් එකතු වුනා.
ගමන යන්න දාගත්තු පොසොන් පෝය දවසේ උදේ කියන්නේ අනෝරා වැස්සක් තිබුන දවසක්. කොහෙම හරි මහ වැස්ස පොඩි වැස්සක් වෙන්න බලාගෙන ඉද්දි අපි ගමන යන්න හිටි වෙලාවට වඩා විනාඩි හතලිහක් විතර පරක්කුයි. පොද වැස්සේ පිටත් වුනත් වැස්ස මගදිම මහ වැස්සක් වුනා.
තුඩව වැද්දාගල සිංහරාජ පිවිසුමට යද්දිත් වහින් නිසා එතන රාජකාරි කල නිලධාරින් ඇහුවේ මේ වැස්සේ යනවද කියලයි.අපේ කට්ටියත් එතතනට එන්න වෙලාවත් තියෙන නිසා කෝකටත් කියල බලා හිටියා. ටිකක වෙලාවක් යද්දි අහස පැහැදිලි වෙලා අව්ව දල්ලක් දාගෙන ආව. සිංහරාජයට යද්දී, මාවත තෙත් වෙලා ගස් වල සුවඳ ගමනේ හැම මොහොතක්ම අපූර්වත්වක් ඇති කලා. තැනින් තැන පොඩි පොඩි වැහි වැටුනා වුනත් අපේ ගමනට නම් ඒකෙන් බාධාවක් වුනේ නෑ.
වැස්ස නිසා ගමන හිතපු තරම් සාර්ථක වුනේ නැතත් සත්තු කීප දෙනක් අපි දැක්කා.
වැස්ස නිසා ගමන හිතපු තරම් සාර්ථක වුනේ නැතත් සත්තු කීප දෙනක් අපි දැක්කා.
ගමන පටන් ගද්දීම අපිට හමුවුනේ අපූරු සතෙක්. ඒ තමයි අළු කෑදැත්තා Sri Lanka Grey Hornbill (Ocyceros gingalensis). පහතරට වනාන්තර වල සහ කඳුකරයේ මීටර් 1300 දක්වා ඉහළට දක්නට ලැබෙන අළු කෑදැත්තා කෙටි රවුම් සහ පළල් පියාපත් සහිත විශාල වශයෙන් ඵල භක්‍ෂක කුරුල්ලෙක් හැටියට සලකනවා.
මේ අතරේ යන පාරේ හිටිය ලංකාවට ආවේනික වුන ලංකාවේ ජාතික පක්ෂියාත් හමුබුනා. ඒ තමයි වළි කුකුළා Sri Lankan junglefowl (Gallus lafayetii). එයාගේ විවිධ ක්‍රියාකාරකම් දිහා ටිකක් වෙලා බලාගෙන හිටි අපි තව තවත් කැලේ ඇතුලට යන්න වුනා.
ඒ යන අතර වාරේ අපට හමුවුන ඊලඟ කෙනා තමයි ශ්‍රී ලංකාවට ආවේණික කැන්ගරු කටුස්සා Sri Lankan Kangaroo Lizard (Otocryptis wiegmanni). මෙයා තෙත් කලාපයේ සහ කඳුකර වනාන්තරවල බිම වාසය කරන කුඩා උරගයෙක්. උවදුරක් දැනුණු විට පසුපස දෙපා මතින් කැන්ගරුවෙකු මෙන් වේගයෙන් දිව යාමේ සුවිශේෂී හැකියාව නිසා ප්‍රසිද්ධ වී ඇති අතර, සිංහලෙන් පිනුම් කටුස්සා විදිහටත් හැසිරෙනවා.
එතනිනුත් පස්සේ හමුවුනේ සිංහරාජය ඇතුලු සදාහරිත වැසි වනාන්තර තුල වාසය කරන කපුටු පවුලට අයත් ලංකා කැහිබෙල්ලා Sri Lanka Blue Magpie (Urocissa ornata). මොවුන් ජීවත් වන සදාහරිත වැසි වනාන්තර විනාශ වී යාමත් සමඟ වඳ වී ගෙන යාමේ තර්ජනයට වර්තමානයේදී ලක් වෙලා. එයාල රංචුවක්ම අපිට බලන්න ලැබුනා.
කැහි බෙල්ලන් ඉන්න වට පිටාවේම හිටි මූකලන් ලේනා/ වන ලේනා Layard's squirrel (Funambulus layardi) තමයි ඊලඟ කෙනා. මෙයත් ලංකාවට ආවේණියි. නිරිත දිග තෙත් කලාපයේ පහත රට ප්‍රදේශ වල සිට මීටර් 1200 ක් පමණ වන කඳුකරය දක්වා, දුම්බර කදුකරයද ඇතුලත්ව ඝන කැලෑ වල එතරම් සුලභ නොවන ලෙස හමුවන ක්‍ෂීරපායීයෙක්.
මීට අතරව Lantern Bug (Pyrops maculatus), රන් මකුළුවා Giant Wood Spider (Nephila pilipes) කීප දෙනෙකුත් දකින්න ලැබුනා. අපේ කණ්ඩායමටම සතුන් දැකපු හැම මොහොතකම විශේෂම සතුටක් තිබුණා. ළමයින්ට අලුත්ම අත්දැකීම්, මිතුරන්ට කතාබහ, පවුල්වලට එකට ගැලවුණු සතුට – මේ හැමදේම එකට ගැලවුණා.
ගමනේ අවසානය තවත් ඒක නවාතැනක වුනත් ඒතැන දීත් පුංචි කෝකිලයා/ පුංචි කොහා Lesser Cuckoo (Cuculus poliocephalus) දුර ඉඳන් කෑගහනවා ඇහුනා.
සිංහරාජයේ යනවා නම් ජනවාරි - අප්‍රේල් කාලයේ හරි අගෝස්තු - ඔක්තෝම්බර් කාලයේ දී හරි යන්න. අපි ඒ කාලේ යන්න සැළසුම් කලා වුනත් නවාතැන් සහ අපේ අයගේ නිවාඩු නිසා යන්න පුලුවන් වුනේ මේ කාලයේදී.

No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!