Showing posts with label බෙලි කැපෙන ඇත්ත. Show all posts
Showing posts with label බෙලි කැපෙන ඇත්ත. Show all posts

ලංකාවේ Online Sellersලා හා පාරිභෝගික අයිතිවාසිකම්

අන්තර්ජාලයෙන් මිලදී ගැනීම් වර්ධනයත් සමඟ, පාරිභෝගිකයන් මැඩලන මොළකරුවන්ගේ ක්‍රියාකලාපවලින් බොහෝ පාරිභෝගිකයන්ට අසාධාරණයන්ට මුහුණ දීමට සිදුවේ. JBL Mini Speaker එකක් ලෙස ප්‍රචාරය කර අයෙකුට වෙනත් අයිතමයක් ලබාදීමක් වැනි අවස්ථාවක් එයට උදාහරණ ලෙස ගනිමි. ඒ මගින් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිරීති හා නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙහිදී මිලදී ගත් අයිතමය වශයෙන් JBL Mini Speacker ලෙස සඳහන් කල ද ලැබී ඇත්තේ සාමාන්‍ය ස්පීකරයකි. මෙහිදී මිලදී ගත්ත අයිතමය වෙනුවෙන් ගෙවීම් කරන්න කලින් ඒ ඇතුලේ තියෙන්නේ තමන් ඉල්ලූ දේම ද කියල බලන්න ක්‍රමයක් නැහැ. එයට හේතුව විනිවිද නෙපෙනෙන්න pack කරන එක සහ Courier එකෙන් payments නොකර pack එක ගලවලා බලන්න නොදෙන එක. ඊලඟ දේ තමා නැවත මුදල් ලබා ගැනීම සඳහා කතා කරද්දි ඒ ලබා දුන්න දුරකථන අංක වැඩ නොකරන අතර ආයතන සොයමින් කාලයක් ගත කරල අංක හොයාගෙන කතා කරල නීති මාර්ගයෙන් යනව කීවම ප්‍රතිචාර දක්වනවා. ඒ වෙලත් ගෙවීම විදිහට කොටසක් කරල ඉතිරි ටික භාණ්ඩය නැවත ලබා ගන්න එනව ඒ වෙලාවෙදි ගෙවනවා කියලයි කියන්නේ. නමුත් ඒක ගන්න එන්නේ නෑ. එතනදි පාරිභෝගිකයා නීති මාර්ගයෙන් නොගිහින් සදාකල් බලන් ඉන්නවා භාණ්ඩය අරන් යන්න එනකල්.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය (Consumer Affairs Authority - CAA), 2003 දී ආරම්භ කරන ලද පාරිභෝගික ආරක්ෂණ පනත (Consumer Affairs Authority Act, No. 9 of 2003) මඟින් පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කරයි. මෙම පනත යටතේ, පාරිභෝගිකයන්ට පහත සඳහන් අයිතිවාසිකම් ලබා දී ඇත. ඒ වගේම මේ වගේ ක්‍රියා සම්බන්ධයෙන් අන්තිමට නීතියක් යාවත්කාලීන කලා අංක 2332/15 කියන 2023.05.17 වැනිදා නිකුත් කරපු අතිවිශේෂ ගැසට් එක හරහා CONSUMER  AFFAIRS  AUTHORITY  ACT,  No.  09  OF 2003 එකේ Section 10(1)(b)(ii) Ammend කිරීම මගින්.

  1. නිවැරදි විස්තර ලබා ගැනීමේ අයිතිය - පාරිභෝගිකයන්ට මිලදී ගැනීම් කරන මොහොතේ නිවැරදි සහ පූර්ණ තොරතුරු ලබා ගැනීමට අයිතියක් ඇත

  2. ගුණාත්මක භාණ්ඩ ලබා ගැනීමේ අයිතිය - ප්‍රචාරය කරන භාණ්ඩය සහ සැබෑ භාණ්ඩය එක හා සමාන විය යුතුය.

  3. අධිකාරියට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව - CAA මඟින් පාරිභෝගික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව නඩු පවරාගත හැකිය.

මෙවන් දේ සම්බන්ධයෙන් පාරිභෝගිකයෙකු වශයෙන් සිදු කල හැකි නීතිමය ආකාර දෙකක් පවතී.

  1. පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට පැමිණිලි කිරීම - CAA වෙත ලිඛිත පැමිණිලික් ඉදිරිපත් කළ හැකිය. අධිකාරිය මෙම පැමිණිල්ල පිළිබඳ විමර්ශනයක් සිදු කර, නීතිමය ක්‍රියාමාර්ග ගත හැකිය.

  2. අධිකරණ ක්‍රියාමාර්ග ගෙන යාම - ශ්‍රී ලංකා පාරිභෝගික ආරක්ෂණ පනත, No. 9 of 2003 14(1) යටතේ, භාණ්ඩය හෝ සේවාව සම්බන්ධයෙන් ව්‍යාජ ප්‍රචාරණය කළ පුද්ගලයාට නඩු පවරාගත හැකිය.

ශ්‍රී ලංකාවේ පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා නීතිමය මාර්ග භාවිත කිරීමෙන් පමණක් නොව, නිවැරදි තොරතුරු සොයාගෙන වගකීම් සහිතව ක්‍රියාකළ යුතුය. විශේෂයෙන්, අන්තර්ජාල වෙළඳාම්කාරයන් විසින් කරන ලද ව්‍යාජ ක්‍රියාකලාපයන්ට මුහුණ දීම සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියෙන් ලබා දෙන සේවාවන් ඉහළින් භාවිතා කළ යුතුය. පාරිභෝගිකයන් ද, ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ දැනුවත්ව ක්‍රියා කළ යුතුය.

 
 

Whatsapp Scam: +92 අංක වලින් WhatsApp ඇමතුම් ලබා ගැනීමෙන් වළකින්න

පහුගිය කාලය පුරා ඉන්දියාව ඉල්ල්ක කරගනිමින් සිටි මෙම whatsapp අන්තර්ජාල වංචා සිද්ධීන් දැන් ශ්‍රී ලංකාව ඉල්ලක්ක කරගෙන ද සිදුවීමට පටන් ගෙන ඇත.
පහුගිය කාලය පුරාවට නිවසේ සිට මුදල් ඉපයීමේ වැඩ, OTP වංචාවන් හා Youtube වංචාවන් වැනි විවිධ ක්‍රම ඔස්සේ සයිබර් අපරාධකරුවන් මිනිසුන් රවටා නොසැලකිලිමත් පුද්ගලයින්ගෙන් මුදල් සොරකම් කිරීමට ක්‍රම සකසයි. මෙලෙස අපරාධකරුවන් WhatsApp හරහා වින්දිතයින්ට අමතා මුදල් සහ බැංකු තොරතුරු ලබා දීමට ඔවුන් රවටා ගන්නා තවත් මාර්ගගත වංචාවක් මෑතකදී මතු වී තිබේ .

මෙම වංචාකරුවන් +92 රට කේතයෙන් ආරම්භ වන දුරකථන අංක සමඟ පාරිභෝගිකයින් සම්බන්ධ කරගනිමින් නොමිලේ iPhone සහ අනෙකුත් Apple නිෂ්පාදන සමඟ ඔවුන්ව පොළඹවයි . තවද විවිධ තරඟ වලින් ඔබ දිනූ බව පවසමින් ඔබගේ බැංකු විස්තර ඉල්ලා ගෙන ඒ හරහා දිනූ මුදල් යොමු කරන බව දන්වමින් ඇමතුම් ලබා දෙනු ඇත.

වංචාකාරයා වින්දිතයාට සමාජ මාධ්‍ය යෙදුම හරහා පණිවිඩයක් යවමින්, “සුබ පැතුම්! ඔබ XXX වෙතින් නොමිලේ iPhone 14 එකක් දිනා ඇත. රුපියල් 3000 ක කුඩා ගාස්තුවක් ගෙවන්න. ලබා දී ඇති අංකයට ගෙවීමට UPI (Unified Payments Interface) භාවිතා කරන්න. ලෙස උපදෙස් ලබා දෙනු ඇත.

මෙම වංචාව යනු කුමක්ද සහ අපරාධකරුවන් රටේ කේතය +92 සමඟ අංක අමතන්නේ ඇයි?

+92 රටේ කේතය පකිස්ථානය සඳහා වන අතර, වට්ස්ඇප් හරහා ඉන්දියානු ජාතිකයන් හා ඉන්දියානු සම්බවයක් ඇති පුද්ගලයින් ඉලක්ක කරගත් වංචාකරුවන් පිළිබඳ චෝදනා තිබේ. කෙසේ වෙතත් අමතන්නන් පකිස්ථානයෙන් නොවේ. බලධාරීන් පවසන පරිදි, ඉහත සඳහන් නඩුවට කිසිදු පාකිස්තානු පුද්ගලයෙකුගේ සහභාගීත්වයක් නොමැති අතර, වංචනිකයින් වින්දිතයා සම්බන්ධ කර ගැනීමට සහ වංචාව සිදු කිරීමට අතථ්‍ය (virtual Number) අංකයක් භාවිතා කර ඇත. මේ මට ලැබුණු අංකයක් : +92 30 08470284

මට මේ ඇමතුම ලැබුණේ සිංහලෙන් වීම තමා ප්‍රධානම දේ. මොකද බොහෝමයක් විට මේ වගේ Scam වලට අහුවෙන්නේ අඩු සාක්‍ෂරතාවයක් තියෙන අය නිසා ඒ ඒ රටේ Native Language එකෙන් කතා කරන්න ඕන. දෙවැනි දේ තමා මට ආව පණිවිඩයේ තිබුනා එකම දේ රිපීට් වෙනවා වගේ දෙයක්. එකම වචන ටික ආයේ ආයේ කියනවා වගේ. තව දෙයක් තමා තාක්‍ෂණිකව මම කියන දේවල් සඳහා ලැබෙන පිළිතුර සඳහා ගතවෙන කාලය. මේ දේවල් එක්ක මට හිතුන දේ තමා මේක කෘතීම හඬ ලබා දීමක් කියන එක. ඒ වචන වල මනුස්ස ගතියක් නෑ.

මම කොහොමද මේ දේ හරියටම කියන්නේ. ඒක කියන්න කාලයක් මම කරපු දේවල් මට උසව් වෙනවා. හැම මනුස්සයෙක්ම අහන සරල දේ වලට පවා උත්තර දෙන්න කාලයක් ගන්නවා. මේක තත්ත්පරයකට අඩු වෙන්න පුලුවන්. ඒ වගේම ඒ ඒ උත්තර දෙන වෙලාවන් වලදී හඬ වෙනස් වීම කියන එකත් සුවිශේෂ වෙනවා. +92 අංකයකින් සිංහලෙන් කතා කරනවා කියන එකම සැක සහිත වෙද්දී මුලින් හඬ නැවත නැවත ඇහෙද්දිත් මට හිතුනේ voice modulator එකක් භිවාත කරල වෙන්න ඕන කියලයි. හැබැයි එහෙන් කියල සහ මම අහන දේ වලට ලැබුණ පිළිතුරු වල විදිහෙන් මම හිතන්නේ AI එකක් හරහා Scam එක Run කරනවා කියලයි.

කොහොම වුනත් නොමිලේ තෑගි හෝ වාසිදායක ගනුදෙනු පොරොන්දු වන ඇමතුම් සහ කෙටි පණිවුඩ ආකර්ෂණීය විය හැකියි. නමුත් ඒවා බොහෝ විට ව්‍යාජ යි. අවධානයෙන් සහ සැකයෙන් සිටීම ඔබට මෙම ව්‍යාජ ක්‍රීඩා වලට ගොදුරු වීමෙන් වළක්වා ගත හැකිය.

අතථ්‍ය අංක භාවිතයෙන් දුරකථන වංචා වළක්වා ගැනීමට, මෙම පියවර අනුගමනය කරන්න. විශේෂයෙන් ඔබ ඇමතුම ආරම්භ නොකළේ නම්, දුරකථනය හරහා පුද්ගලික තොරතුරු ලබා දීමෙන් ප්‍රවේශම් වන්න. ඒ වගේම සැක සහිත කිසිම තැනකට ඇත්ත විස්තරයක් දෙන්න එපා. අනිත් පැත්තෙන් කතා කරන කෙනා ඔයාලට verify කරගන්න බැරි නම් හරි තොරතුරු දෙන එක කරන්නම එපා.


පාස්පෝට් සහ පූස්පාට්

මේ ලියන්න යන්නේ කාලෙකින් අපේ රටේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම නිසා සිදුවෙන අසාධාරණයක් ගැන විස්තරයක්. මේ වගේ දේවල් ගැන ලියන එක කාලයක් නවත්තලා තිබුනත් මේ වගේ දෙයක් නොලියාම බැරි නිසා ලියන්නේ තවත් කෙනෙක් වැඩක් ගනී කියලා හිතලයි.

ලෝකය තොරතුරු තාක‍ෂණික ක්‍රම භාවිතය සම්බන්ධයෙන් වේගයෙන් ඉදිරියට ගිහින් තියෙනවා වුනත් අපේ රට යන්නේ සෑහෙන්න පස්සට. එහෙමත් නැත්තම් හරිම හෙමින්. ඉතින් මේ හෙමින් යන ගමනේ ප්‍රයත්නයක් විදිහට වසර ගාණක් තිස්සේ උත්සාහ කරල (මගේ මතකකය හරි නම් වසර 10කට අධික කාලයක්) යන්තම් ආගමන විගමන දෙපාර්තමේන්තුව තමන්ගේ සේවාවන් මාර්ගගත ක්‍රමයට දෙන බව ප්‍රකාශ කරල තියෙනවා. නමුත් ඒක ඇත්තටම කියන තරම් කඩිනම් ද කියන එක නම් ගැටලුවක්.

ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් ආකාරයට අයදුම්කරුවන් විසින් අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ සම්මත ප්‍රමිතීන්ට අනුකූලව අංකිත ඡායාරූපයක් සහ ජෛවමිතික දත්ත ලෙස ඇඟිලි සලකුණු අනුමත ඡායාරූප ශාලාවකින් හෝ ප්‍රධාන කාර්යාලය හා ශාඛා කාර්යාල වල ඇති ඡායාරූප ශාලාවලින් ලබා ගත හැකි බව තියෙනවා. ඒ සඳහා ගාස්තු අය කරන්නේ මාර්ග ගත විදිහටමයි. නමුත් ශාඛා කාර්යාල වල ඉන්න නිලධාරීන්ට ඒ සඳහා හරියාකාරයෙන් පුහුණුවක් ලබා දීල නැහැ. ඒ විතරක් නෙවෙයි එහෙමතැන් වල ඡායාරූප ගන්න බැරිනම් ඒ තැන් වල නිලධාරීන්ට තමන්ගේ ශාඛා කාර්යාල තාවකාලිකවත් පද්ධතියෙන් ඉවත් කර ගන්න විදියක් තියල නැහැ. සමහර විටක ඒ ඒ නිලධාරීන් තමන්ගේ හිතවත් ඡායාරූප ශාලා සඳහා වාසියක් වෙන විදිහට උවමනාවෙන්ම මේ කාර්යය කරනවා වෙන්න පුලුවන්. නමුත් මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. ඒ විතරක් නෙවෙයි එතැනින් අදාල කාර්යය සිදු නොවන්නේ නම්එමුදල් ප්‍රතිපූරණය කිරීමේ ක්‍රමවේදයක් ද ඔවුන් සතුව නැහැ.

මීට අමතරව ඔවුන්ගේ පද්ධතිය තුල ප්‍රගතිය බලා ගැනීමේ තීරය පවා යාවත්කාලීන වීමක් සිදු වෙන්නෙැ නැහැ. විශේෂිත විමසීමකින් හෝ හිතවත්කම් ඔස්සේ සිදුවන විමසීම් වලින් පසුව ඒම යාවත්කාලීන වීම් සිදු වෙනවා. නමුත් මේ විමසීම් ඔවුන්ගේ ක්ෂණික ඇමතුම් හෝ වෙබ් අඩෙවියේ සඳහන් අංක වලින් විමසීම් කිරීම සිදු කල නොහැකියි. එයට හේතුව එම දුරකථන සෑම විටම කාර්යය බහුල හෝ පිළිතුරු නොදීමයි.

මේ සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික අත්දැකීම නම් අතිශය කණගාටුදායකය. ප්‍රාදේශීය කාර්යාලය ලෙස කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඡායාරූප ලබා ගැනීමට රු. 350.00 ක මුදලක් අමතර ගෙවීමක් ලෙස සිදු කල ද එතැනදී ඒම නිලධාරියා අදාල ඡායාරූප ගැනීමට අවශ්‍ය උපකරණ සකස් කිරීමටත් ප්‍රථම ඡායාරූප ලබා ගැනීම මෙම ස්ථානයෙන් කල ද සාර්ථක නොවන බවත් අයදුම්පත ප්‍රතික්ෂේප වීමේ සම්භාවිතාවක් පවතින බවත් ප්‍රකාශ කරනට විය. එවිට මා ඒ බව ළිඛිතව ලබා දෙන ලෙස කී පසු අකමැත්තෙන් වුවද රැගෙන ආ බල්බයක් හා වෙබ් කැමරාවක් සකස් කරන්නට විය. ලබාගත් ඡායාරූපය පද්ධතිය වෙත උඩුගත කරද්දී පවා ඔහු ඡායාරූප ලබා ගැනීම සඳහා ඒ අවට පෞද්ගලික ඡායාරූප ශාලාවක් නිර්දේශ කරන්නට විය. මා ඒ වන විටත් ඡායාරූප ශිල්පය සම්බන්ධයෙන් ඩිප්ලෝමාධාරියෙකු හා රාජ්‍ය සම්මාන ලැබූ ඡායාරූප ශිල්පියෙකු බව ඔහු නොදැන සිටියා විය යුතුය. නමුත් ඔහුගේ ඡායාරූප ලබා ගැනීම අසාර්ථක බැව් මා දැන සිටියේ ඔහු ආලෝකය හැරිරවූ ආකාරයේ දීමය. නමුත් රාජ්‍ය නිලධාරියෙකුට රාජකාරියට බාධා කිරීම වරදක් බැවින් කිසිත් නොකියා සිටියෙමි.

දින සති ගෙවී ගියේ ය. විදේශ ගමන් බලපත්‍රය නැත. කිහිප වරක් ඔවුන්ගේ වෙබ් අඩෙවියේ සඳහන් දුරකථන අංක ඇමතීමට උත්සාහ ගතිමි. කිසිඳු ප්‍රයෝජනයක් නොමැත. පිළිගැනීමේ නිලධාරියා ඇමතීමේ දී අදාල අංශය වෙත දුරකථනය සම්බන්ධ කලද එම ස්ථානයේ දුරකථනයට පිළිතුරු දීමට කෙනෙකු නොමැත. කිහිප වරක් උත්සාහ කර මාගේ දුරකථන බිල්පත වැඩි කර ගැනීමෙන් පසු එම උත්සාහයටද අත්හැර දෑමුවෙමි. වෙනත් කාර්යයක් සඳහා මා මිතුරෙකු සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට ගියෙමි. එවිට දුරකථන ඇමතුම් වලට පිළිතුරු නොදෙන්නේ මන් දැයි කියා සිදු කල විමසීමට පිළිතුර “අංශ වල සිදුවන අලුත්වැඩියාවන් හේතුවෙන් දුරකථන සබඳතා නොමැත” යන්නයි. අහෝ ඛේදයකි එකම ආයතනයේ පිළිගැනීමේ නිලධාරියා අංශ අතර අලුත්වැඩියාවන් පිළිබඳ දැනුවත් නැත.

තවත් මස කීපයක් ගතවූ පසු මා පෞද්ගලික හිතවත් නිලධාරියෙකුගෙන් මාගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමසීම් කලෙමි. එවිට එම නිලධාරියා පද්ධතිය පරීක්ෂා කර මාගේ ඡායාරූපය සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවත් සතියේ දිනයක කාර්යාලයට පැමිණියහොත් අදාළ කාර්යයන් සිදු කර විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ හැකියාව පවතින බවත් පවසන ලදී. හිතවත්කම් භාවිතයෙන් අදාළ කාර්යය සිදු කර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති වීම නිසා මා නැවත රු. 600.00ක් වියදම් කර ඡායාරූපයක් ලබාගෙන පද්ධතිය වෙත උඩුගත කලෙමි. නැවත මාසයකට අධික කාලයක් ගත වුවද කිසිඳු ප්‍රතිචාරයක් නොමැත. නැවත මා මිතුරා ඇමතුවේ ප්‍රගතිය බලා ගැනීම සඳහා පමණක්මය. ප්‍රථිපලය පෙර ලෙසමය.

කෙසේ වුවද සියලු අකටයුතුකම් සම්බන්ධයෙන් සඳහන් කර පාලක වෙත හා අදාළ අංශ ප්‍රධානීන් සම්බන්ධ කරරමින් පැමිණිලි සහගත ඉල්ලීමක් සිදු කලෙමි. දීර්ඝ විද්‍යුත් ලිපියක් ලෙස යොමු කරන ලද ඒහි මා වෙත සිදු වූ අසාධාරණය හා මාගේ කාලය, මුදල් සම්බන්ධයෙන් විමසීම් කලෙමි. ගත වූයේ දින තුනකි. විදේශ ගමන් බලපත්‍රය මා අතට පත්විය. එතැන් සිට අද දක්වා තවත් මාසයකට ආසන්න කාලයක් ගත වී ඇත. නමුත් මාගේ විද්‍යුත් ලිපියේ සඳහන් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් පිළිතුරු ලිපියක් හෝ විමර්ශනයක් පිළිබඳ නොමැත. මෙය රාජ්‍ය අංශයේ ආයතනයක් සඳහා විද්‍යුත් තැපැල් ලිපියක් ලැබී දින තුනක් ඇතුලත පිළිතුරු ලිපියක් ලිවිය යුතුය යන චක්‍රලේඛය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි. පුරවැසියෙකුගේ හිමිකම සම්බන්ධයෙන් වූ තව තවත් චක්‍රලේඛ හා නීති අණ පණත් ගණනාවක් උල්ලංඝනය වී ඇති අතර වැදගත්ම කරුණ මේ සම්බන්ධයෙන් මාගේ ලිපිය මා අදාල ආයතනයේ නීති නිලධාරීන් වෙත ද යොමු කර ඇති වීමයි.

මේ ලෙසින්ම මාගේ ජාතික හැඳුනුම්පත සඳහා ද මා හට විද්‍යුත් තැපැල් ලිපියක් යොමු කිරීමට සිදු වූ අතර එයින් දින කීපයකට පසු මාගේ හැඳුනුම්පත තැපැල් කර තිබුණි. පුරවැසියෙකු වශයෙන් මෙවන් සිදුවීම් මා ලියා නොතැබීම වරදක් සේ හැඟෙන බැවින් මෙලෙස අකුරු කරමි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යයන් සිදු කරදීම සඳහා “කාක්කන්” සිටින බව බොහෝ වාරයක් විමර්ශන මාධ්‍යවේදීන් විසින් හෙලි කර ඇතත් ඒ සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් සිදු කර නොමැත හෝ විමර්ශන නිලධාරීන් ද මේ සා විශාල කූඨ ව්‍යාපාරයේ පාර්ශවකරුවන් විය යුතුය. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගත කල යුතු කාලය සම්බන්ධයෙන් එම අදාල ආයතනයන් හි වෙබ් අඩෙවි තුල ගතවන කාලය ලෙස සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බව හැ‌ඟේ. එසේ නොමැති නම් පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා අදාළ කාලයන් ගත කරමින් පුරවැසි අයිතීන් උල්ලංඝනය කර ඇත.

කෙසේ වුවද සාමාන්‍ය ජනතාවගෙන්, මාගේ පාඨකයන්ගෙන් සිදු කරන් ඉල්ලීම නම් මේ වෙන කොටත් ඔයාලගේඨවිදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුපත්‍ ඔයාලට හම්බෙලා නැත්තම් විද්‍යුත් තැපෑල හරහා විධිමත් පරිදි ලිපියකින් ඉල්ලීම සිදු කරන්න. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලන්න තොරතුරු පණත හරහා පුලුවන්. ඉතින් නීති රීති තියෙනවා. හැබැයි ඔයාල දැනුවත් වෙන්න.

මගේ ගැටලුව අවසන් වෙන්නේ සාවද්‍ය තොරතුරු දාපු වෙබ් එකක් නිසා මට අහිමි වුන කාලය සහ සුදුසකම් නොමැති නිලධාරීන් නිසා මට අහිමි වුන මුදල් ප්‍රතිපූරණය කිරීමට පස්සේ. එතෙක් මේක විවෘත නඩුවක්. උසාවියක නොවුනට. මම තාම බලන් ඉන්නවා මේ සම්බන්ධයෙන් අදාල ආයතන ගන්න පියවර සම්බන්ධයෙන්.

චංචා අනතරු හැඟවීමයි.....

මේ දවස්වල සිද්ධවෙන දේවල් එක්ක වැඩිය ලියන්න ලැබුනේ නැති වුනත් අලුත් අවුරුදු සමයත් එක්ක මිනිස්සු කාර්යබහුල වෙලා. ඒ එක්කම මිනිස්සු කරන කාර්යයන් අස්සේ සිද්ධවෙන ක්‍රියාකාරකම් අස්සේ, අවශ්‍යතාවයන් පිරවීම අස්සේ වංචා සිදුවෙන එකත් වැඩිවෙලා. මේ ලියන්න යන්නේ එහෙම සිදුවීමක් ගැන.

අවුරුදු සමයත් ඒක්ක ගොඩක්ක සිල්ලර වෙළඳසැල් වල පෝලිම් දින්න පුලුවන්. මේ පෝලිම් වල ඉන්න මිනිස්සු කඩිනමින් බබඩු අරගන ආයෙත් තව පෝලිමකට යන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් එහෙම වෙලාවල් වලදී බඩු කිරන තරාදි වලින් හා කිරන බඩු වලින් විවිධ සෙල්ලම් දානවා. සමහර තරාදි "0" කරන්නේ නැතිව බඩු කිරාගෙන කිරාගෙන යනවා. මේ ලඟදී දවසක් මාලු මාර්කට් එකක සිද්ධ වුන දෙයක් තමා මාලු කූරියෙක්ටම ගානක් කියල බෑග් එකට දාද්දී ඊට වඩා පොඩි මාලුවෙක් බෑග් එක ඇතුලට දාන්න කරපු උත්සාහය. විමසිනල්ලෙන් හිටි නිසා ඒ වැඩේ බේරගත්තා. මාර්කට් එකකදී බිලක් ලැබෙන්නේ නැති නිසා වරදක් වුන බව පෙන්වන්නවත් වෙන්නේ නෑ.

දැන් අලුතින් ඇවිත් තියෙන ඉලෙක්ට්‍රොනික් තරාදි සහ විද්‍යුත් බිල්පත් නිකුත් කිරීමේ සිස්ටම් අස්සේ වංචා සිදු වෙන්නේ නැහැ කියල මිනිස්සු හිතනවා. නමුත් ඒවායින් සිදු කල හැකි චංචා ද බොහෝමයි. භාණ්ඩ මිල අදාල යන්ත්‍ර වලට ඇතුලත් කරන්නේ අදාල ආයතන හිමිකරුවන් විසින්. ඉතින් මේ ඇතුලත් කරද්දි සමහර භාණ්ඩ වල මිල ටිකක් වැඩියෙන් ඇතුලත් කරල තියෙනවා. ඒ එකම භාණ්ඩයේ මිල කේත දෙකකින්. එකක් සාමාන්‍ය භාණ්ඩ සඳහන් බිල. අනෙක වැඩිපුර සඳහන් බිල. උදාහරණයක් විදිහට හාල්, පොල්, ලූණු වගේ අත්‍යාවශ්‍ය දේවල් වල මිල අඩු මිලක් කියල බඩු වල සඳහන් කරනවා. පස්සේ බිල් කරද්දී වැඩි ගානකින් බිල් වෙනවා. ඒ වගේ දේවල් මේ දවස් වල විශාල ප්‍රමාණ වලින් ගෙනියන නිසා කවුරුත් බිල් කල ගාන බලන්නේ නෑ වගේම සම්බූර්ණ බිල ගත්තාම භාණ්ඩ වැඩි ගානක් තියෙන වෙලාවල් වලදී තමයි මේක කරන්නේ.

මේ වගේ විවිධ වර්ගයේ වංචාවන් මේ දවස් වල සිද්ධ වෙන නිසා පුංචි සිදුවීම් දෙකක් විතරක් පෙන්වලා දුන්නේ. මේවා මගේ පවුලේ අයට සිදුවුන ඒවායින් කීපයක්. අපේ අය කවදත් බිල සහ භාණ්ඩ පිළිබඳ මුදල් ගෙවීමෙන් පසු පරීක‍ෂාවක් සිදු කරන නිසා මේක අල්ල ගන්න පුලුවන් වුනා. නැතින්ම අහුවෙන්නේ නෑ. සමහර බිල් වල වංචාව රුපියල් දහසකට වඩා වැඩි වුනා.

ඒ නිසා මේ දවස් වල හදිසියෙන් බඩු ගන්න යන ඔයාල තමන්ගේ බිල් සහ තමන්ට ලැබුණු භාණ්ඩ සම්බන්ධයෙන් පරීක‍ෂාකාරී වෙන්න. තව දෙයක් තමයි හැම වෙලාවේ දී බිල ටයිප් කරද්දී සහ තමන්ගේ භාණ්ඩ වල බර කිරද්දී ඉලෙක්ට්‍රොනික හෝ යාන්ත්‍රික හෝ වේවා එම අගයයන් සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්න. මොකද නීතිරීති සහ ඒ් සම්බන්ධයෙන් ඉන්න රාං්‍ය අංශයවත් මේවා සම්බන්ධයෙන් වූූ යල්පැන ගිය නීති තවමත් යාවත්කාලීන කරල නැහැ. සමහර නීති 1940 ගණන් වල නීති සහ දඩ මුදල් තියෙන්නේ. රුපියල බාල්දු වීමට සාපේක‍ෂව බදු මුදල් වල වෙනසක් නැති නිසා සමහර තැන් වල දඩ මුදල රු. 5.00 ක් රු. 10.00ක් වගේ අගයයනුත් තියෙනවා. ඉතින් සමහර වැරදි කරල දඩය ගෙවන එක ලාභයි. 

මගේ බ්ලොග් එක කියවන ඔයාල මේ වගේ දේවල් අත් විඳල තියෙනවා නම් මේකෙ කමෙන්ට් එකක් හැටියට ලියන්න. මේ වගේ දේවල් අත්විඳල අයියෝ එහෙම ඒවා ගැන කියන්න ගිහින් වෙන ප්‍රශ්ණයක් වෙයි කියල හිතන්නේ නැතිව ලියන්න. මොකද එහෙම දේවල් හෙලි කිරීම කියන්නේ පුරවැසි වගකීමේ කොටසක්. ඒකට හේතු කියල වගකීමෙන් නිදහස් වෙන්න බැහැ. නීතියෙන් හෙලිකන්නේ නැහැ කතා කරන්නේ නැහැ කියල මම පොරොන්දු පත්‍ර අත්සන් කල දෙයක් හැරෙන්න අනිත් සියල්ල ලියන ඒක නවත්තල නැහැ.

බලාගෙනයි! පරෙස්සම්වන්න

කාලයක් තිස්සේ කෝච්චියේ සතියේ දවස් පහම වැඩට යන්න ගත්තට පස්සේ මගේ අත්දැකීම් විදිහට ලියන්න නම් දේ සෑහෙන්න හම්බවුනා. නමුත් තවමත් සමහර දේ ලියනවද? ලියල වැඩක් වෙයිද වගේ ප්‍රශ්ණාර්ථ තියෙන නිසා ලියන්නේ නැතිව හැංගිලාම යනව. කොහොම වුනත් මේ මෑතකදී සිදුවුන සිද්ධියක් සහ පහුගිය කාලේ අහන්න ලැබුන දේවල් එක්ක යම්තාක් දුරකට සම්බන්ධයක් තියෙන දෙයක් නිසා ලියන්න හිතුවා.

දවසක් මම ට්‍රේන් එකේ යද්දි ටිකක් විතර වයසක කෙනෙක් තමන්ගේ ස්මාට් ෆෝන් එකක් එක්ක වැඩ. එයා කොයි තරම් වේගවත් ද කියනවා නම් එයාගේ ෆෝන් එකේ ලෝක පැටන් එක ඕන කෙනෙක්ට දකින්න බලන්න වගේම මතක තියා ගන්නත් පුලුවන්. ටිකක් වෙලා යද්දි මේ මනුස්සයා තමන්ගේ බැංකු ගිණුමටට ලොග් වෙලා යමක් කරන්න ලෑස්ති වුනා. ලඟ සීට් එකේ හිටයි නාසා ඒයා කරන දේ මට පෙනුනා වගේම තමා මට ඕන නම් එයා තමන්ගේ අකවුන්ට් එකට ලොග් වුන පාස්වර්ඩ් එක බලාගන්නත් පුළුවන්කම තිබුනා. සාරධර්මාණුකූල නොවන නිසා මම අහක බලා ගත්තත් මිනිත්තූ කිපයකට පස්සේ එයාගේ වැඩේ ඉවර වුනා.

අද කාලේ ඇඩ්වයිස් එකක් දෙන්නත් ටිකක් පරිස්සම් වෙන් ඕන කාලයක් නිසාත් කලින් කතා නොකල කෙනෙක් නිසාත් මිනිහට මේ ගැන කියනවද කියල හිතුවා. ෆ්‍රී ඇඩ්වයිස් එකක් කැමතින්ම් ගතන්න කියල මම මිනිහට පැහැදිලි කරල දුන්න ඒ වැඩේ තියෙන බැරෑරුම්කම ගැන. ටිකක් වෙලා යද්දි මිනිහ තේරුම්ගත්ත කියල මම හිතනවා.

මේක ඇතුලේ මට කියන්න ඕන වුන දේ තමයි මිනිස්සු තාක්‍ෂණය ගන්න කියාට ඒ වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාව තාමත් ලබාගෙන නැහැ. හිතන්න ගේමක් දෙන මිනිහෙකුට ඕන කරන්නේ පොඩි වැඩ දෙකයි කරන්න. එක ඒ මනුස්සය ෆෝන් එකට ලොග්වෙන පාස්වර්ඩ් එකයි, බැංකු පාස්වර්ඩ් එකයි ලබා ගන්න එක. ඒක හරි සරලයි මිනිහ කාටත් පේන්න ඔය දෙකම ටයිප් කරන නිසා සහ වේගයේ අඩු කම නිසා මිනිහෙකුට මතකතායා ගන්න හරි පහසුයි. දෙක ඔය ෆෝන් එක උස්සන එක.  දැන් ඉතින් මිනිහගේ බෑංකු ගිණුම හිස් කරල ෆෝන් එක මිනිහටම ලැබෙන්න සලස්සනවා. සරලයි.

මිනිහෙක් ජීවිත කාලෙම උපයපු මුදල් මිනිත්තුවකින් නැති වෙලා යනව. හේතුව තමයි තමන්ගේ නොදැනුවත්කම හා නොසැලකිල්ල. ඉතින් මේ ටික ලියද්දිම අපූරු ෆඨිල්ම් එකකුත් හම්බුනා ඒ වගේ දෙයක් ගැනම. ඒ තමයි Beekeeper පුලුවන් අය ඒකත් හොයාගෙන බලන්න. අවසානෙදි කියන්න තියෙන්නේ තාක්‍ෂණය ලංකරගන්න. මොකද ඉදිරියේ දී තාක්‍ෂණය අත්‍යාවශ්‍ය සාධකයක් වෙනකව. හැබැයි ඒ එක්කම ඒ ඒ දේවල් වෙනුවෙන් ඕන කරන සාක්‍ෂරතාවයටත් ලබා ගන්න. නැතිනම් ඔයාල අසරණ වෙනවා. ඒ වගේ දේකදි මොනවත් කරන්න නීතියටවත් බැහැ.

ආසික්ලන්ත ජන ජීවිතය හා කුණුහබ්බ වැඩ

අද කතාව එක්තරා රටක් ගැනය. උදාහරණ වශයෙන් මේ රට ආසික්ලන්තය යැයි හඳුන්වමු. ආසික්ලන්තය හරිම පුදුමාකාරය. එහි සිදුවන්නේ ද හරි අපූරු සිදුවීම්ය. ආසික්ලන්ත සිදුවීම් සම්බන්ධයෙන් නොලියා සිටියද, මා සතුව ඇති තොරතුරු අපූරුය. තොරතුරු වලින් හානියට පත්වන්නන් නොමැති දිනක ලියන්නට සිතා සිටින කතා මාලාවක එක් පරිච්ඡේදයක් මෙසේ අකුරු කරන්නට සිතමි.

මා දන්නා හඳුනන මිතුරියක් ආසික්ලන්තයේ ජීවත් විය. තම මහන්සියෙන් පෞද්ගලික විශ්ව විද්‍යාලයක උගත් ඇය අද පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නීය. ආසික්ලන්තයේ පසුගිය වකවානුවේ සිදුවූ පරිපාලන දුර්වලතා සහ, ලබා ගන්නා ලද මරිමෝඩ තීරණ හමුවේ එරට ලද ආර්ථිකමය හා සමාජයීය පරිහානිය හේතුවෙන් තම දෙමාපියන් හා හිතවතුන් අතහැර විදෙස් රැකියාවකට යාමට ඇය තීරණය කලාය. ඒ වසර දෙකක පමණ කාලයකටය. ස්වාධීන තීරණ ගැනීමේ හැකියාව නිසා තම ජීවන අභියෝගයන්ට විසඳුම් සෙවීමට විදෙස් ගතවන තරුණියකගේ සිහින, බලාපොරොත්තු ඇය ද සතු විය. ඇය හමුවේ අභියෝගයන් රාශියකි. විදෙස් රැකියාවක් සොයා ගැනීම, දෙමාපියන්ගෙන් හා හිතවතුන්ගෙන් ස්වායත්තව තනිව ජීවත් වීම සහ ස්වාධීන ජීවන රටාවකට හුරු වීම ඒ අතර විය.

මේ අභියෝගයන්ට මුහුණ දෙමින් තම අධ්‍යාපනයටත්, කුසලතාවන්ටත් ගැළපෙනම රැකියාවක් විදෙස් රටකින් සොයාගැනීමට ඇයට හැකි විය. එවන් රැකියාවක් ලැබීම යනු ලේසි පහසු කටයුත්තක් නොවේ. එයද තනිව සිදු කර ගැනීම අභියෝගාත්මකය. රැකියාව සොයා ගැනීම හා සම්මුඛ පරික්‍ෂණ සූදානම් කර ගැනීම තනිවම සිදු කරගත් ඇය අවසානයේ එම රැකියාව දිනා ඊට අදාළ කොන්ත්‍රාත්තුවත් අත්සන් කළාය. ලෝකයේ රටවල් ගණනාවක වූ තරඟකරුවන් අතරින් ඇය ජය ලබා ඇත. විදෙස් රැකියාවක් සඳහා වූ ලිපිලේඛන හා ක්‍රියාපටිපාටි සම්බන්ධ තොරතුරු, අදාළ වෙබ් අඩෙවි පිරික්සීමෙන් හා තම මිතුරන්ගෙන්, ඥාතීන්ගෙන් ලබා ගත් ඇය විදෙස් ගත වීමට සූදානම් විය. ඉහළ වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද සැලකූ කල ආසික්ලන්තයේ එවැන්නක් ලබා ගැනීමට තබා සිතීමටවත් නොහැක. එයටත් අමතරව එවන් රටකින් ලැබෙන්නා වූ මානසික සුවය වටින්නේය. කුඩා කල සිට සිහින මැවූ සියල්ල ලබා ගැනීම සඳහා වූ දොරටුව අභියස ඈ සිටගෙන සිටින්නීය.

ආසික්ලන්තයේ ඇති තවත් විශේෂත්වයක් නම් යම් කටයුත්තක් සිදු කරගැනීමට අදාලව රාජ්‍ය අංශයේ වෙන් වෙන් වශයෙන් ක්‍රියාකරනු ලබන ආයතන රාශියක් පැවතීමයි. එකක් අනෙකට සම්බන්ධ නොවන මෙම ආයතන තුල එකිනෙකට අනන්‍ය වූ එකම තොරතුරු ඇතුලත් කඩදාසි පෝරම රාශියකි. සෑම ආයතනයකදීම උක්ත පෝරම පුරවා අදාල පුද්ගලයා විසින් භාර දිය යුතුය. ආසික්ලන්තයේ වුවත් රාජ්‍ය නොවන අංශයේ පරිගණක ක්‍ෂේත්‍රයේ රැකියාවක් කල මා මිතුරියට මේ සියල්ල අලුත්ය. එකිනෙකින් ස්වායත්ත වූ නීතිරීති පද්ධතීන්ද අලුත්ය. නමුත් ආසික්ලන්ත වැසියන්ගේ කතාවන්ට සහ ප්‍රවෘත්ති වලට සවන්දෙන ඇය යම්තාක් දුරට මේ පිලිබඳ අසා ඇත්තීය. ඒ හේතුවෙන් ඇය විදෙස්ගත වීමට ප්‍රථමව ඒ සම්බන්ධයෙන් වූ ප්‍රධාන ආයතන ත්‍රිත්වයක වෙබ් අඩෙවි පිරික්සන්නට විය. ඒ, අවශ්‍ය ලියකියවිලි මොනවාදැයි දැන ගැනීම උදෙසාය. ඒ ගුවන්තොටුපල, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයයි. ඒවායින්, කුසලතා සහිත පුද්ගලයන් රැකියා සඳහා විදෙස් ගත වීමේ දී ලබා දිය යුතු ලේඛන සම්බන්ධයෙන් කියවූ ඇය අදාල ලේඛන පිටපත්ද අතැතිව විදෙස් ගත වීමට සූදානමින් ගුවන්තොටුපල වෙත පැමිණියා ය. අළුත් රැකියාව සඳහා අවශ්‍ය මූලික ලිපිලේඛන වැඩකටයුතු සිදු කර ගැනීම සඳහා ඇය පසු දින ගමනාන්ත රටේ සිටිය යුතුය. එමෙන්ම, නව සේවායෝජකයා සමඟ කල් ඇතිව එකඟ වූ, සතියකටත් අඩු කාලයකින් එළඹෙන දිනයක අළුත් රැකියාවට වාර්තා කළ යුතුය.

කොණ්ඩෙයි මායි....!

මේක මම කාලයක් කතා කරන්නෙම නෑ කියල හිතපු මාතෘකාවක් වුනත් දැන් මේක කතා කරන්න තරම් සුදුසු කාලයක් කියල හිතනවා. මේකේ මාතෘකාව මෙහෙම දැම්මේ මේ කතාව කියන්න පටන් ගන්න සහ මේ ගැන හොයන්න හිතන්න පටන් ගන්න ප්‍රධාන හේතුව වුනේ ඔය මාතෘකාව නිසා. නමුත් මාමේ තුල කතා කරන්නේ එලියෙන් මිනිස්සු පේන විදිහ සහ මිනිස්සු මනින විදිහ ගැන.

මාතෘකාවට එන්න හේතුව විදිහට කාලීන මාතෘකාවක් වුන ගුරු ඇඳුම පවා හේතුවක් වුනා කියලයි මම දැන් මේ ලියන වෙලාවේ දී නම් හිතන්නේ. 

Image from Internet

පාසල් කාලය අවසාන වීමත් එක්ක මගේ පෙනුම මට ඕන හැටියට වෙනස් කරන්න මගේ තාත්තගෙන් තිබුන සීමාවන් අයින් වුනා. පාසල් කාලයේදී කොණ්ඩය ටිකක් දික්වෙද්දී පාසලෙන්ම ඇති කරන "විනය" කියන රාමුවෙදී පාසල් ගුරුවරයෙක් වුන තාත්තට මගේ පැත්තට තහංචි දාන්න වුනා. නමුත් ඒ තහංචියෙක කෙලවර වුනේ ඉස්කෝලෙ ගිහින් ඉවර උනාම ඕන දෙයක් කරගන්න කියන සීමා ඉවත් කිරීමයි. ඉතින් මම පාසල් කාලෙ "පිලිවෙලට" ඉදල පස්සේ නරක් වුන එකෙක්. 

වනසන වනාන්තර වල වැරදි ගණනයන්

පහුගිය කාලය පුරාවට මගේ අතින් ලිපියක් අකුරු නොකලෙමි. එයට ප්‍රධාන හේතුව අකුරු කිරීමෙන පමණක් පල නැති බව මා දන්නා නිසාවෙනි. කෙසේ වෙතත් මා තුල ඇති "මෝඩයා" මාගේ පාලනයෙන් තොරව නැවත නැවතත් අවදි වන්නේ අකුරු නොකරම බැරි අවස්ථාවන් වලදී පමණක්මය. මේ එවන් අවස්ථාවක් යැයි මා සිතමි.

සිංහරාජය..

මා මෙතැනින් මදක් නවතින්නට සිතමි. ඒ මා සදහන් කල මේ වචනය කාලීන වීමත් මා ද තවත් එක් සංවිධානයක, පක්ෂයක හෝ පුද්ගලයෙකුගේ ගැත්තෙක් වී ඇතැයි හංවඩු ගසමින් මේ ලිපිය කියවන ඔබ වෙනුවෙන් එක් දෙයක් සදහන් කිරීමටය. හත කී කිසිදු පාර්ශවයක මා ගැත්තෙකු නොවන බව මා ගැන දන්නා උන් හොදින් දනී. තවද ඔබේ සිතිවිල්ල එතැනින් පටන් ගන්නේ නම් මේ ලිපිය කියවීම හැරුණු කොට ඔබගේ "වටිනා" කාලයෙන් වෙනත් "වටිනා වැඩක්" කරගන්න යන ඉල්ලීම කරමි.

මේ දින වල සිදුවන අන්තර්ජාල දත්ත වංචාව - Corona Special

මේ කියන්න යන කතාව පහුගිය මාස කිහිපය තුල සිදුවුන සහ මම අධ්‍යයනය කල දෙයක්. මම භාවිතා කරන අන්තර්ජාල සේවා ලබා ගන්න හා දුරකථන ඇමුතුම් ලබා ගන්න භාවිතා කරන ආයතන දෙකක සිම්පත් තියෙනවා. ඒ වගේම මගෙ සහෝදරයා  වත් ආයතනයක සිම්පතක් භාවිතා කරනවා.

පහුගිය කාලය පුරා ඔවුන් අන්තර්ජාල සේවා සදහා ලබා දෙන පහසුකම් වල වැරැද්දක් තියෙනවා කියල පෙනුන නිසා මම පොඩ්ඩක් මේ ගැන බැලුවා. මේක සම්පූර්ණ මගේ අත්දැකීමක් වෙන අතර මේ සම්බන්ධයෙන් ගැටලු සියල්ල එකී ආයතන වෙත දුරකථනය මගින් විමසීම් සිදු කලා. ඒ සම්බන්ධවත් ඔවුන්ගේ පිළිතුරු සාරාංශයනුත් මෙහි ඇතුලත්.. ඒ සම්බන්ධව සියලු රෙකෝඩින් සහ කෙටිපණිවිඩ හා Chat වල Screen Shots තිබේ.

සාමාන්‍යයෙන් මම මගේ දත්ත අවශ්‍යතාවයන් සදහා මෙම සමාගමේ ලබා දී ඇති මෘදුකාංගයක් භාවිතා කරල එහි සදහන් පැකේජ අතරින් මට ගැලපෙන පැකේජය සදහා මුදල් මගේ බැංකුව මගින් යොදවන එක තමයි කරන්නේ. ඒ වගේම මගේ සිම්පත තියෙන්නේ portable hotspot එකක යොදවලා නිසා එහි ඇමතුම් හෝ කෙටි පණිවිඩ සේවාවන් මම භාවිතා කරන්නේ නෑ. ටික දවසක ඉදන් මම යොදවන මුදල් මගේ මෘදුකාංගය තුල පෙන්වන්නේ නෑ. මේ සම්බන්ධයෙන් විමසීම් කිරීමට උත්සාහ ගත්තද රටේ පැවති අහිතකර තත්ත්වය නිසා පාරිභෝගික සේවා නිලධිරීන් නොමැති බවත් ඒ සදහා ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ පණිවිඩ තබන ලෙසත් සටහනක් භාවිතා කර තිබෙනවා. ඒ අනුව මම යොදවපු ෆේස්බුක් සටහනට දවස් ගානකට පස්සේ ප්‍රතිචාර ලැබුනා. එයට යොදන පිළිතුරට තවත් දවස් ගානකින් ප්‍රතිචාර. මේ වන විට එම පැජෙය භාවිතා කරමින් ඔවුන් හා සංවාදයේ යෙදුනු අතර දින ගතවන විට අන්තර්ජාල දත්ත නොමැති බව නිසා නැවත මුදල් යෙවීමක්සිදු කලා. නමුත් පෙර ලෙසම මට අවශ්‍ය පැකේජ භාවිතා කරන්න නොහැකි වුනා. 

දේශපාලනය, නවක වදය සහ කොරෝනා

මම සාමාන්‍යයෙන් කතා කරන්න අකමැති මතෘකාවක කොටසකුත් එකතු කරල මේ ලියන්න යන්නේ කාලීන ගැටලුවක් නිසා. කරුණාකරල මේකෙ අවසානය දක්වා කියවන්න අකමැති හෝ කම්මැලි අය මේකට අදහස් ලියන්නත් එපා.
ඉස්සෙල්ලාම මම මතෘකාවේ අගින් පටන් ගන්නම්. "කොරෝනා". මේක විද්‍යාත්මක විග්‍රහයක් නොවන නිසා කොරෝනා කියන්නෙ මොකක්ද? ඒකේ ආරම්භය කොහේද කියල ලියන්න යන්නේ නෑ. මේක බෝවෙන රෝගයක්. මාරාන්තිකයි. දැන් ඒක ලංකාවේ අයටත් බෝවෙලා. හැබැයි ඒකට අපේ අය ප්‍රතිචාර දක්වන ආකාරය ගැන නම් කිසිදු සතුටක් පෙන්වන්න බෑ. ලංකාවේ පනතක් මගින් සම්මත් නීති රීති සමුදායක් තියෙනවා මෙහෙම දෙයක් වුනාම කොහොමද ක්‍රියා කරන්න ඕන කියන එක ගැන. ඒ සියල්ල පැත්තකින් තියල මේ අය මොකක්ද මේ කරන්න යන්නේ කියන එක ගැන නම් මට තියෙන්නේ සෑහෙන්න ලොකු ප්‍රශ්ණයක්. බෝවෙන රෝගයක් හැදුනාම අපේ අය කල යුතු වෙන්නේ අනිත් අයට බෝවෙන්න පුළුවන් අවකාශ ඉවත් කරන එකයි. නමුත් අපේ අය මොකක්ද කරන්නේ ?

පොකට් ගැහිල්ලේ අලුත්ම විධිය - සංවිධානාත්මක අපරාධ

මේ කියන්න යන්නේ බොහෝමයක් අය මේ වෙද්දී මුහුණ දෙන අවාසනාවන්ත සිද්ධියක් ගැන. ඒ තමයි පොකට් ගැහිල්ල. මේක ගම්බදව වගේම නගරයේත් සිදුවෙන සිද්ධියක්. ඒ වගේම තමයි පොකට් ගැහිල්ල අද ඊයේ පටන් ගත්ත දෙයක් නම් නෙවෙයි.
ඉස්සර නම් පොකට් ගහන එකා තනිවම එනවා නැත්තම් එක යාලුවෙක් එක්ක එනවා. ඒ ඇවිත් පොකට් එක ගහගෙන ගියාම අපි පොලීසියට පැමිණිලි කරල මාස ගානකට පස්සේ ඒකාව කුදලන් ඇවිත් දඩුවම් නියම කරනවා. නමුත් අද කොළඹ අවට මෙම සිද්ධිය වෙනස්ම විධියකට සිදු වෙන්න පටන් අරන්. ඒ කල්ලියක් විදිහට පොකට් ගහන්න පටන් ගත්තු එක.

මෙගා පික්සල් බිලියන 24.9ක පින්තූරයේ කතාව

මම මේ ලියන්න යන්නේ මේ දවස් වල මුහුණු පොත පුරාම කතාබහට ලක්වෙලා තියෙන පින්තූරයක් ගැන විස්තරයක්. ඒ තමයි මෙගා පික්සල් බිලියන 24.9ක් වන චීනයේ චන්ද්‍රිකාවක් මගින් ගත්තා යැයි කියන පින්තූරයක්. මෙය කෙතරම් විශාල කර දැකිය හැකිදැයි කීවොත් අවසානයේ අවසාන මිනිසෙකු පවා පැහැදිලිව දැකිය හැකි වන අයුරින් නිර්මාණය කර තිබෙනවා.

මේ ඒ පින්තූරය බලන්න යන්න තියෙන සබැදිය

දැන් අපි බලමු මේ පින්තූරය ලැන පැහැදිලි කර ගන්නේ කොහමද කියල. ඇත්තටම මේ පින්තූරය දන්ද්‍රිකාවකින් ගත්තු ඡායාරූපයක් නම් නෙවෙයි. එහෙමත් නැතිනම් අධික විභේදනයක් ඇති කැමරාවකින් ගත්තු එකකුත් නෙවෙයි. ඇත්තටම මේක පින්තූර දහස් ගානක් එකතු කරල හදපු එක ඡායාරූපයක් යැයි කීවොත් තමයි වඩාත් නිවැරදි වෙන්නේ.

කොහොමද එහෙම පින්තූරයක් ගන්නේ.....?

අඹන්කුලමේ දිවියා

මේ දවස් වල සමාජ ජාල ඔස්සේ හා විවිධ මාධය ඔස්සේ කතාබහට ලක්වී ඇති මාතෘකාවක් වන්නේ කිලිනොච්චිය, අඹන්කුලම ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් පහර දී මරාදැමූ දිවියෙකු පිලිබඳ කතාන්දරයයි. මේ පිලිබඳ යමක් නොකියා සිටීමට මා සිත කැමැත්ත තිබුනද මාගේ බ්ලොග් අඩෙවියේ කලකට ඉහත කතා කල සමාජ මාතෘකාවන්ට පණ පොවන්නටත් හේතු කාරණාවක් කරමින් මේ පිලිබඳ මාගේ අදහස ලියන්නට තීරණය කලෙමි. තවද මෙහි කොතැනකවත් දේශපාලණික හෝ වර්ගවාදී සිතුවිල්ලකින් නොලියන බැවින් ලිපිය එවැන්නකට හරවා ගැනීමෙන් වලකින්න යැයි පාඨක ඔබෙන් ඉල්ලා සිටිමි.
මිනිස්සු ජොලියට වගේ අනුන්ගේ ගම් වලට රිංගුවට කැලෑ වැදුනා වුනාට කැලෑ සත්තු නම් ජොලියට ගම් වදින්නේ නෑ. බොහෝමයක් වන මංකඩවල දැන් පාරවල් හදලා. වානාන්තර එලි කරලා ගෙවල් හදාගෙන. ඉතින් උන් යන පාරේ අපි පාරවල් ගෙවල් හදාගෙන කියන එක මතක තියා ගත්තානම් හොඳයි කියන එක තමා කියන්න ඕන. ඒ වාගේම තමයි ලංකාවේ වනජීවී එකට මම කෙලින්ම චෝදනා කරනවා. මොකද මම ඒ අය ගැන හොඳින් දන්න නිසා.

චන්ද්‍රග්‍රහණය බලන්න ආපු බුද්ධිමත්තු (?)

කාලෙකට පස්සේ සමාජයේ වෙච්ච දෙයක් ගැන ලියන්න හිතුවා. 2018-01-31 වෙනිදා කියන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පෘථිවියට බලාගන්න පුළුවන් වුන දවසක්. ඒ පිලිබඳව මම ලියපු ලිපිය මෙතැනින් ගිහින් කියවන්න පුළුවන්. රූපවාහිණියේ හෝ ගුවන්විදුලියෙන් ඒ ගැන කියන්න කලින් මම මේ ලිපිය ලියුවේ. කොහොම වුනත් කාලගුණික වෙනස නිසා ලංකාවේ බොහෝමයක් අයට මේ සංසිද්ධිය බලාගන්න බැරිවුනා. නමුත් චන්ද්‍රග්‍රහණයේ අවසන් අදියර කීපය බලන්න තරම් අහස පැහැදිලි වුන තැන් තියෙනවා. 

මේ කියන්න හදන්නේ ඒ පෙනුන ටිකත් හරිහැටි බලාගන්න බැරිවුන සහ බලාන්න බැරි කල පිරිසක් ගැන. ලංකාවේ විවිධ තැන් වල මේ වගේ අය ඉන්න ඇති. රාත්‍රී අහස නිරීක්‍ෂණය ගැන "ස්කයි ලවර්ස්" තාරකා විද්‍යා සංගමය වෙනුවෙන් මම සක් කල ලිපිය කියෙව්වා නම් ඔයාලට ඒ පිළිබඳව යම් අදහසක් ගන්න පුළුවන් වෙයි.

කෙටියෙන් කියනවා නම් මූලික වශයෙන් ආලෝක දූෂණයෙන් අවම වෙන තැනක් වෙන්න ඕන. ඉතින් මම හඳ පේන්න පටන් ගත්ත මොහොතේ අපේ අම්ම තාත්තටත් මේ අව්තාව පෙන්වන්න කතා කලා. අවට අයටත් ඇහෙන්නම. මොකද මේ සංසිද්ධිය වගේම මේ අවස්ථාව බලන්න පුළුවන් වෙන්නේ ජීවිත කාලයටම එක් වතාවක් පමණක් නිසා. ඒ චන්ද්‍රගහණය නිසාම නොවෙයි. හඳේ විශාලත්වය, දීප්තිය, වර්ණය වගේ හේතු බොහෝමයක් නිසා. ඒ වගේම මම දැක්කා කීප දෙනෙක් එහෙම අවස්ථා තියෙනවා කියල විවිධ මත පල කරල තියෙනවා. ඇත්ත චන්ද්‍ර ග්‍රහණ ඇති වෙනවා. නමුත් මම මේ කියන සියලු කාරණාව් සම්පූර්ණ වන අවස්ථාවක් නම් එන්නේ නෑ. 

තවත් එක් අවාසනාවන්ත ඇත්ත කතාවක්...

හවස සාගරිකා දුම්රියේ එද්දී විදෙස් තරුණියක් හා තරුණයෙක් පා පුවරුව අසල වාඩි වෙලා ආවා. ඔවුන් පෙම්වතා හා පෙම්වතිය වග තේරුම් ගන්න නම් වෙලාවක් ගියේ නෑ. බියර් බොමින් අන් අයගේ අවධානයට ලක්වන අයුරින් අල්ලාප සල්ලාපයේ යෙදුනා වුනත් කාටවත් එහි ගානක් නොතිබුනේ ඒ "සුද්දන්" නිසා විය යුතුය.
 
ටිකකින් හිස් බියර් ටින් එක තලා එලියට විසි කරනු දුටුවෙමි. ප්‍රසිද්ධ ස්ථානයක, පොදු ප්‍රවාහණ සේවයක මත් පැන් බීම වරදකි. නීතිය කාටත් පොදුය. එද්දී එය කියන්නේ නැතිද? මේ අතර එකිනෙකාගේ මුහුණ බලන මගියෙක් දෙදෛනෙක් දුටුවද අනෙකුන්ට වගක්වත් නැත. දෙවනුව බැදපු අපපෙති පැකට් එකේ කොටසක් ඉරා එලියට කාටත් හොරෙන් එය දුමිරියෙන් පිටතට විසිකරනු දුටිමි. එය වරදක් බව ඔහු දන්නා බව පසක් වන්නට විය. තවමත් අපේ උන්ට කතා නැත. අවසන් පොලිතින් උරය විසිකරන්නට ඔන්න මෙන්න කියා තිබියදී මගේ කට ඇරුණි. 
 
"මේක උඹලාගේ කුණු කූඩය කියා සිතනවාද?"
 
මගේ පැණය එයයි. කරුමය නම් උන්ට ඉංග්‍රීසිද බැරිය මට උන්ගේ බාසාව බැරිය. අවසන උන් උණවටුන යන වචනය තෙපරබාන්නට විය.
 
"මෙය මගේ රට මේක උඹලාගේ කුණු කූඩය නොවෙයි. උඹලාගේ කුණු උඹලා එක්ක අරන් පලයව්."

කැරකෙන ලොජික්...

දැන් දැන් ලංකාවේ සෑහෙන්න ඡායාරූප ගන්න අය ඉන්නවා. මේ දවස් වල මාත් ආසාවෙන් ඉගෙන ගන්න විශයයක්. නමුත් අපේ අයගේ රසවිඳීමේ හැකියාව හා පින්තූර ගන්න ඕන අරමුණු ගැන තියෙන ලොජික් එක නම් ඇත්තටම හිතාගන්න අමාරුයි. රසවින්ඳනය ඇත්තටම තියනවාද නැතිනම් වෙන දෙයක්ද කියලත් හිතෙනවා.
ලංකාවේ දිවියන්ගේ පින්තූර ගන්න අලින්ගේ පින්තූර ගන්න අනන්ත අය ඉන්නවා. ඔවුන් දිවියන්ව විවිධ ආකාරයෙන් පින්තූර ගන්නවා. අපියා විවිධ අයුරින් පින්තූර ගන්නවා. නැතිනම් කුරුල්ලන් විතරක් පින්තූර ගන්න අයත් ඉන්නවා. සේ විදිහෙන් එක එක්කෙනාගේ ආසාවන් වෙනස්. හැම සතෙක්ම විශේෂත්වයක් නැතිව ඡායාරූප ගන්න අයත් නැතිවාම නොවෙයි. නමුත් ඒ හැම කෙනාටම විශේෂ ආසාවක් අවධානයක් තියෙන එක සතෙක් හෝ කීපයක් ඉන්නවාමයි.
 පහුගිය කාලේ මගේ විශේෂ අවධානයක් යොමුවුනේ මකුළුවන්ට. හුඟක් අය මගෙන් අහන දෙයක් තමයි මකුළුවන්ගේ පින්තූර අරන් එපා වෙන්නේ නැද්ද? Macro කියන්නේ මකුළුවන් විතරයිද? වගේ ප්‍රශ්ණ ගනනාවක්. මේ ලිපියට හේතුව වෙන්නේත් ඒ කරුණ පැහැදිලි කරන එක.

රට ඇතුලෙන් නෑසෙන කටකතා............

සාමාන්‍යයෙන් දේශපාලනය වෙනුවෙන් ඉඩක් වෙන් නොවෙන සුලාගේ අත්දැකීම් පිටුවෙන් ඒ වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න තීරණය කලා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි පහුගිය කාලේ අපේ සුන්දර රාජ්‍යය වුන සිරි ලංකාව සෑහෙන්න වෙනස් වුන කාලයක් නිසාවෙන්. මේ කතාවේ අතීතය පහුගිය රාජ්‍යකාල කීපයකට යනවා. කවුරුත් දන්න මහින්ද රාජපක්‍ෂ සමයේ යුධ භීතිය ඉවත් වීම හා දෙවැනි සමයේ ගසාකෑම් චෝදනා එක්ක රටේ සංවර්ධන වැඩපිලිවෙල සිදුවීමේ සමය දෙවැන්න විදිහටත් සිද්ධ වුනා. තුන්වැනියට මෛත්‍රී යුගයක් යහපාලනය යන නම එක්ක එලියට ආවා. මම මේ කියන්නේ තුන්වැනි පාලනය ගැන. ඒ මොකද දැනට සිදුවෙන්නේ ඒක නිසා.....

2015 ජනවාරි 8 වෙනාදාට කලින් ලංකාවේ එක පෙරලියයි. එකක් හොරා හොරා වචන ටික අනික යහපාලනය කියන වචනය. මේ කාලේ හුඟක් අය කිව්වේ රට ගොඩගන්න යහපාලනය හොඳි කියල. අවුරුදු 4ක නැගෙනහිර අත්දැකීම් එක්ක මම නම් කවදත් කිව්වේ ඒක නිවැරදි වෙන්නේ නෑ කියල. නමුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වුන ප්‍රතිවාදීන් එකම තරාදියේ දෙපැත්තේ තිබ්බාම වෙන් කරන්න කාරණා තිබුනේ නැති තරම්. ඒ කොයි එක වුනත් පොදු කාරණා වෙනුවෙන් තරාදියක දැම්මාම සමහර අති විශාල කරුණු සම්බන්ධව යහපාලන තරාදියේ සතුටු දායක තත්ත්වයත් තිබුනේ නෑ. ඒ නිසා යහපාලනය කියන වචනට මිරිඟුවක් විදිහට තමයි හැමදාම මට පෙනුනේ. එදා මාත් එක්ක හිටපු සමහර (සම හරක් දැයි සිතේ) අය පොලවේ හැපෙමින් යහපාලන ගුන වරුණ කියද්දී මට දෙන්න තිබුන පිළිතුර වුනේ "ඔය කාරණාවම ජනවාරි 8 වැනිදා පහුවෙලා මාස 6කින් කියන්න පුළුවන්ද?" කියල විතරමයි. 

ඇයි මෙහෙම කරන්නේ???

කලකට පසු විශ්ව විද්‍යාලයසදසට ඇදුනේ උපාධි සහතිකය රැගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. විශ්ව විද්‍යාල ජීවිතේ අවසන් දවස් ගැන කියවුනේ නැතත් යම් යම් හේතූන් නිසා ප්‍රමාද වුන ලිපි පෙලක්ම තියෙනවා ලියන්න. මුස්ලිම් සංස්කෘතියක අතරමං වුන අපි ඒ කාලේ හිටියේ බොහෝම පරිසමින්. ඔලුවිල් වල තියෙන අග්නිදිග විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨය තියෙන්නේ සම්මාන්තුරය ප්‍රදේශයේ. මුස්ලිම් අය 99%ක් 100%ක්ම වගේ ජීවත්වෙන ප්‍රදේශයක්. 1995දී පටන් ගත්තා වුනත් ඒ කාලේ සිංහල ලමයි විශ්ව විද්‍යාලයේ හිටියේ නෑ. පස්සේ සිංහල ලමයිනුත් ඒකට දාන්න ඕන කියල ගත්තු තීරණයේ තුන්වැනි සාමාජිකයෝ වුනේ අපි. ජාතිවාදී ප්‍රශ්ණ ඇතිවීම තුලින් විශ්ව විද්‍යාලය එයාලගේ ප්‍රදේශ වලින් අයින් වෙන එකට එයාල අකමැති නිසා කොහෝම හරි ඇතිවෙන ප්‍රශ්ණ යටගහනවා.

දුන් කියන්නම්කෝ කියන්න ගිය එක ගැන. මෙදා මම යද්දී අපේ අලුතින් ආව හොස්ටල් වල හිටපු සිංහල ලමයි 40ක් විතර රෝහල්ගත කරල කියන ආරංචිය ලැබුනා. දෙන්නෙක් විතර අන්‍යාගමික ඉන්නවා වුනත් 98% සිංහල බෞද්ධ අය තමයි අසනීප වෙලා තියෙන්නේ. මම ගිය වැඩේ පැත්තක තියල ඒ ගැන පොඩ්ඩක් විපරම් කරල බැලුවා. මේ දවස් වල විශ්ව විද්‍යාලයේ විභාග තියෙනවා. ලමුන්ගේ අසනීපය නිසා විභාග කල් දාන්න කියන ඉල්ලීම සිසුන් කරල තිබුනා වුනත් පාලනයෙන් ඒ වෙද්දීත් තීරණය කරල තියෙන්නේ විභාග පවත්වන්න.

බෞද්ධයා, පිරිත හා දානය

ලංකාව බෞද්ධ රටක්. අපි බෞද්ධයෝ. මේක තමයි අපි කියන වචන ටික. හැබැයි මේ වචන අර්ථවත් කරන්න උත්සාහ අරන් තියෙනවාද? අද ලංකාවේ බොහෝමයක් ඉන්නේ නාමික බෞද්ධයන්. පන්සල් යන්නේ අනිත් අයට පේන්න. නැත්තම් වාසි ලබන්න. පන්සලට ගියාම ඇහෙන්නේත් අරක නෑ දායක මහත්තය මේක නෑ දායක මහත්තයා කියල විතරයි. මට නම් දැන් පන්සල් බහුතරයක් කහ සිවුර ඇඳගත්තු මහා ධන කුවේරයන්ගේ මන්දියක් විදිහටයි පේන්නේ. සියල්ල බිස්නස් එකක් වෙලා. පිරිත් කෑල්ලකට, බණ පදයකට, මතක බණකට නියමිත ගානක් තියෙනවා. ඒ ඒ මුදල තීරණය වෙන්න පනස්ලේ තියෙන වත්කම්, බලය හා ප්‍රසිද්ධිය බලපානවා. ඒ දේ එහෙම වෙන්න අපේ බෞද්ධයන්ගේ මාන්නයත් බලපානවා. මොකද අපිත් ලොකුවට සල්ලි දීල ආධාර කරල පත්තරේට නම දාගන්න බලන නිසා තමයි ඒ දේ වෙලා තියෙන්නේ. 
පිරිත කියන්නේ මොකක්ද කියල දේශනා කරල තියෙන්නේ මෙන්න මෙහෙමයි.

පරිසමන්තතෝ තායති රක්ඛතීති පරිත්තං
අන්තරායං පරිහන්තං තායතීති පරිත්තං
මහාතේජවන්තාය සමන්ත තෝ සත්තානං භයං
උපද්දවං උපසග්ගං ච තායතී රක්ඛතීති පරිත්තං
පරිතෝවා සබ්බූපද්දවතෝ තායතීති පරිත්තං

වර්ථමාන අධ්‍යාපනය හා පෞද්ගලීකරණය වීම

කාලෙකින් කාලීන මාතෘකාවක් කතා කරන්න හිතුවා. ඒ තමයි අධ්‍යාපනය හා පෞද්ගලීකරණය. මේ දෙකම අද එකට බැඳිලා ඇතිවෙලා තියෙන තත්ත්වය තමයි කතා කරන්න හිතුවේ. පහුගිය දවස් වල ශිෂ්‍යයන් පෞද්ගලික විශ්ව විද්‍යාල බවත් කරන්න යැයි ඉල්ලමින් කල උද්ගෝෂණය හා ඒ හා බැඳුනු කතිකාවන් නිසාවෙන් මේ ලිපිය සකස් කිරීම ඉක්මන් වුනා. මම නම් හිතන්නේ පොලීසියෙන් ඒ විදිහට ශිෂ්‍යයන්ට ගහපු එක වැරදියි. ඒක හිංසනයක්. කවුරු කොයි විදිහෙන් ඒකට අණ කලත් ඒක වැරදියි. හැබැයි ඒ වැරදියි කියන එකෙන් ශිෂ්‍යයන් කල දේ හරියි කියන්න බෑ. ශිෂ්‍යයන් ඉල්ලන්නේ පෞද්ගලික අධ්‍යාපනය නවත්වන්න නම් ඒකත් වැරදියි.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
දැන් කියන්නම් ඇයි මම එහෙම කියන්නේ කියල. මමත් රජයේ විශ්ව විද්‍යාලයකින් තමයි ඉගෙන ගත්තේ. ඒත් මම කියනවා පෞද්ගලික අධ්‍යාපනය තිබිය යුතුයි කියල. ඇයි ඒකට ලමයි විරුද්ධ වෙන්නේ? මේකට හේතුවක් තියෙන්නත් එපැයි. ඒ හේතුව තමයි පෞද්ගලික අධ්‍යාපනය තුල ලැබෙන උපාධි හෝ ඩිප්ලෝමා සහතික වලට රජයේ අධ්‍යාපන ආයතන වලට වඩා වැඩි රැකියා අවස්ථාවන් ලැබීම. ඒ තුල රජයේ අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා දරුවන්ට තියෙන තැන අඩු වෙනවා. ඉතින් ළමයි කෑ ගහන්න පටන් ගන්නේ ඔවුන්ගේ අනාගත රැකියා සිහිනය බොඳවෙන නිසා. හැබැයි අපි හැමෝටම අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඇයි පෞද්ගලික අධ්‍යාපන ආයතන වල ඉගෙන ගන්නා අයට වැඩි රැකියා අවස්ථාවන් හිමිවෙන්නේ කියන එක. ඒ ගැන පුංචි කතාවක් විදිහට කියාගෙන යන්නම්.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
පාසල් අධ්‍යාපනයෙන් පස්සේ කොහොම හරි කරලා විශිෂ්ඨ ලෙස සමත් වෙන අය රජයේ අධ්‍යාපන ආයතන වලින් නොමිලේ උගනින්න වරම් හිමිකර ගන්නවා. අනිත් ළමයි මොකද කරන්නේ? ඔවුන් තුල හැකියාවන් නැතිද? පාසල් අධ්‍යාපනය තුල රාමුවක් සකස් කරල ඒකට අනුගත කරන එකයි කරන්නේ. එහිදී සිසුන්ට තෝරා ගැනීමක් නැහැ. කල යුත්තේ තියෙන රාමුව තුල ඉගෙන ගැනීම. තමන්ගේ දක්‍ෂතාව මොකක් වුනත් ඒ සියල්ල අමතක කරලා අධ්‍යාපන ක්‍රමවේදය මගින් දුන්න පාඩම් මාලාවක් ඉගෙන ගන්න ඕන. ඇත්තටම මොනවද මේ පාඩම් මාලාවේ තියෙන්නේ. තියෙන්නේ එකිනෙකට වෙනස් වූ විශයයන් සමූහයකින් ඉතා කුඩා ප්‍රමාණය බැගින් ඉගැනවීමක්. පසුව උසස් පෙල විශයයන් ලෙස තෝරා ගැනීමක් දුන්නද එයද යම් සීමාවක් තුල සිදු කල  යුතු වෙනවා. විශ්ව විද්‍යාලයේදී වුනත් එහෙමයි. අප ලද ලකුණු අනුව යන්නේ කොතනද කියල තීරණය වෙනවා. පසුව එතැන තියෙන දේවල් වලින් අපි නොනැසී පවතින්න උත්සාහ ගන්නවා. අවසානයේ කැඳ හැලියක හිටි එකෙකු එලියට එනවා. ඔහු හෝ ඇය දත් දෙයකුත් නොදත් දෙයකුත් නැහැ. පලමු වාරය දෙවැනි වාරයේදී මතක නැහැ. කෙටි කාලීනව දැනුම ගබඩා කරගෙන එතැන තිබෙන ආකාරයට අනුගත වෙමින් වැඩ කල හැකි රොබෝවෙක් සමාජයට බිහිවෙනවා.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
නමුත් පෞද්ගලික අධයාපන ආයතන මගින් ළමයෙකුට මුදල් ගෙවීමෙන් පසු තමන්ගේ ලකුණු මට්ටම කුමක් වුවත් තමාගේ දක්‍ෂතාවයට හා කැමැත්තට ඔබින ආකාරයේ පාඨමාලාවක් හැදෑරීමේ හැකියාව ලැබෙනවා. එවිට ඔහු‍ හෝ ඇය තමන්ගේ අනාගතය සැලසුම් කරනවා. සල්ලි තිබුන පමණින් ඔහු අධ්‍යාපනය හමාර කරන්‍නේ නැහැ. ඔහුට හෝ ඇයට එතැනත් තරඟයක් ති‍බෙනවා. තමන් කැමති විශයයක් එයට අදාල හෝ සමගාමී වූ තවත් විශයයන් තමඟ ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය සපුරා ගන්නා ඔවුන් අවසානයේ එක් විශයයක් සඳහා විශේෂඥයෙකු වශයෙන් සමාජයට එනවා. අවසානයේ ඔහු රැකියාවක් සඳහා තරඟ කරන්නේ ඔහුගේ විශේෂත්වය එක්ක.
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
මේ තිබෙන අධ්‍යාපන ක්‍රමය නිසා සිදුවී තිබෙන දෙයින් කොටසක් විතරයි. අතීතයේ නොතිබුනු පෞද්ගලික අධ්‍යාපන ආයතන අද බිහිවෙද්දී ඒවායේ රැකියා ඉලක්ක කරගෙන කරන්නා වූ අධ්‍යාපන ක්‍රමවේදයන් හා තරඟ කිරීම සඳහා රජයේ අධ්‍යාපන ආයතන වල ක්‍රමවේදයන් අපාහොසත් වීම නිසාවෙන් අසරණ වන්නේ විශේෂ දක්‍ෂතා ඇති සිසුවන් පමණක්ම නොවන්නේද? එකිනෙකට වෙනස්වූ විශයයන් රැසකින් සමන්විත කඩයිම් පරීක්‍ෂණ සියල්ල ජය ගන්නා ඔවුන් එක් දිශාවකට යොමු කරවන්නේ නම් ඔවුන්ගෙන් ලැබෙන්නා වූ සේවය කොතරම්දැයි නොපෙනෙන්නේ මන්දැයි ගැටලුව අද මටත් ඔබටත් පැන නඟිනු ඇත. 
ඡායාරූප උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
අවසානය මෙසේ සටහන් කරමි. කුමණ දේශපාලන පක්‍ෂයක් පැමිණියත් අධ්‍යාපනයේ වටිනාකමක් තිබෙන දේශපාලන මතයක් තවමත් පැමිණ නැත. එසේ පැමිණියා නම් අද මේ ලිපිය මෙසේ මා අතින් සටහන් වන්නේ නැත. අධ්‍යාපනයක අගය දන්නේ හුදෙක් අධ්‍යාපනයේ රසය දන්නා උන් පමණක්මය.