ගාමිණී චිත්‍රපටයෙන් වසන් කල ගෝණගල ගමේ ඇත්ත කතාව

වසර 30ක් පුරාවට පැවති LTTE ත්‍රස්තවාදය අවසන් වීමත් සමඟ රටපුරා විවිධාකාර පුද්ගලයන් විසින් එකල සිදුවූ වියසනයන් දැකබලා ගැනීමටත් ඒවායේ මිලේච්ඡත්වය පිළිබඳ කතා කිරීමටත් පටන්ගත්හ. එමෙන්ම මායිම් ගම්මාන වල සිටි අය වෙනුවෙන් විවිධාකාරයෙන් ආධාර දුන්හ. දුක බෙදාගත්හ. නමුදු තවත් පිරිසක් ඒ දේවල් විකුණමින් තම ආදයම් සරු කර ගැනීමටත් පටන් ගත්හ. කෙසේ වුවත් මායිම් ගම්මාන වල උන් අය විඳි දුක කෙසේ දැයි දන්නේ උනුන් පමණක්මය. රාත්‍රියේ අඩි සද්දයටත් හුලඟටත් බියව රාත්‍රිය පුරා කැලෑ වදිමින් තම ජීවිත වෙනුවෙන් සටන් කල අය තුල තවමත් බිය පවතින්නේය. මෙසේ ත්‍රස්තවාදයේ ගොදුරක් වුන අම්පාර ප්‍රදේශයේ ගෝණගල නම් ග්‍රාමය පිළිබඳ ලෝකයා වෙනුවෙන් හඬගා කියන්නට "ගාමිණී" නමින් චිත්‍රපටයක් බිහිවිය. ඒ පිළිබඳ ඔබට, මට අමතක විය නොහැක. එයට හේතුව වන්නේ අප අනේ අපොයි කියමින් නොදුටු කතාන්දරයක් බලාපොරොත්තුවෙන් සිටි සමයක නිර්මාණය වූවක් නිසාවෙනි.

කෙසේ වෙතත් මෙසේ නිර්මාණය වූ ගාමිණී නම් චිත්‍රපටය තුල සම්පූර්ණයෙන් ගැබ්ව ඇත්තේ අසත්‍යය පමණකි. ලාංකීය වර්තාකරණ චිත්‍රපට තුල ප්‍රේක්‍ෂකයා වෙනුවෙන් ලබා දෙන මුසාව කෙතරම් දැයි දැනෙන්නේ මේ චිතුපටය නිර්මාණය හා එයට පදනම් වූ සත්‍යය පිලිබඳ සොයා බැලීමෙන් පමණක්මය. අපි ගෝණගල ගමෙන් ඇසෙන ඒ කතාන්දරය බලමු. නමුදු මෙය ලියන අතරතුර මා තොරතුරු ලබාගත් පුද්ගලයින් හා ඒ පිළිබඳ කියවුනු නම් ගම් සමහර තැන් වල සඳහන් නොකිරීම පිළිබඳ පාඨක ඔබෙන් සමාව අයදිමි. ඒ ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන්මය.

1999 සැප්තැම්බර් මාසයේ 18 වෙනිදා රාත්‍රිෙය් සිදුවූ ඛේදජනක සිදුවීමට කලින් සිදුවූ සිද්ධීන් ගණනාවකි. එයින් ප්‍රධානම සිද්ධිය වන්නේ 1999 ජුනි මස 20 වනදා සිදුවීමයි. ඒ 16 ගෙදර ඉදිරිපිට වෙල්යායේ සිදුවූ වෙඩි තැබීමයි. ඒ පුද්ගලයාට වෙඩි තැබුවේ යැයි සැක පිට අත්අඩංගුවට ගෙන පහර දෙමින් ප්‍රශ්ණ කලත් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය නොවීය. පසුව එය සිදු කලේ ත්‍රස්තවාදීන් විසින් යැයි ඔප්පු වුන අතර ගම් වැසියා නිදහස් කරවීය. තවද කලක් තිස්සේ නිවෙස් අසලින් පැනදුවන "බූතයන්" පිළිබඳ කතාන්දරද පැතිරෙන්නට විය. සමහර නිවෙස් ආසන්නයේ උදෑසනට කොහොඹ ඉති දකින්නට ලැබින. කෙසේ වෙතත් මෙවැනිසිදුවීම් වෙනුවෙන් කල පැමිණිලි ගඟට කැපූ ඉනි මෙන් විය. කිසිවෙකුත් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වා නැත.

සිදුවීම සිදුවන 18 වැනිදා රාත්‍රිය අසල ගමෙක පිරිත් ගෙදරකි. ඒ කිලෝමීටර එකක් විතර දුරින් තියෙන කොත්මලේගම නැමති ගමට. ග්‍රාමාරක්‍ෂකයි බොහෝදෙනෙකුත් එයට සහභාගී වී ඇති අතර ගමේ කිසිවෙනකුත් සිට නොමැත. පන්සලේ ස්වාමීන් වහන්සේත් එහි වැඩම කරවා පිරිත් සජ්ජායනය සිදු කරවා ඇත. එහි ඇති ශඉ්ද හේතුවෙන් ගමෙන් කිසිදු ශබ්දයක් ඇසී නෙමෙැති අතර ඔවුන් එලිවනතුරුත් මේ පිළිබඳ දැන සිට නොමැත.

මා ඉහත කිව් පුද්ගලයාගේ තුන්මාසයේ දානමය පින්කම වෙනුවෙන් එ නිවසේ අහාර පිලියෙල කිරීමට හා උදව් කිරීමට පැමිණි 16ක පමණ පිරිසකි. රාත්‍රියේ සැඟවෙමින් පැමිණි ත්‍රස්තවාදීන් කොටස් වලට බෙදෙමින් ගමේ විවිධ කොටස් වෙතු පැමිණි අතර සාහසික අයුරින් ගම් වැසියන් කපා කොටා දමන්නට පටන්ගෙන ඇත. වෙඩි තැබීම් සිදු නොවුන නිසාවෙන් නිවෙස්වල කිසිවෙකුත් භීෂණය වන තුරුත් ඒ පිළිබඳ කිසිවක් නොදත්තෝ වූහ. ගම් වැසියකු බිය වද්දවා නිවෙස් වල දොරවල් විවෘත කරගත් ඔව්හු නිවසේ සියල්ලන් කපා කොටා සමන්නට විය. මෙලෙස ඝාතනය වූවන් අතර කිරි දරුවන්, ගැබිණි මවක් පවා සිය ඇති අතර ඔවුන්ගේ සිරුරු කපා කොටා හාරන්නට තරම් ත්‍රස්තවාදය මිලේච්ඡ විය. තවත් කොටසක වටිනා වස්තුව රැගෙන නිවෙස් ප්‍රධානියන් හා පිරිමි අය පමණක් මරා දැමූ ත්‍රස්තවාදීන් පවා සිට ඇත. මෙලෙස ඝාතනයෙන් බේරී ඇති පවුල් තිබුනත් දැන් නම් බොහෝ දෙනා ගම් අත්හැර වෙනත් පලාත් වල පදිංචියට ගොස් ඇත. කෙසේ වෙතත් ත්‍රස්තවාදීන් පැණ ගොස් ඇත්තේ ගමේ කෙනෙකු නිවසේ දොර හරිනු වෙනුවට ඉහලට වෙඩි තැබීම කියලයි කියන්නේ.

මා ගොස් කතා කල නිවෙස් වල අය "අතන මරල හිටියේ මෙයා, මෙතන මෙන්න මෙහෙමයි අරය මරල තිබුනේ" කියමින් ඒ ඒ නිවෙස් වල තැන් පෙන්වද්දී අඩිය තබන්නට පවා මිනිසෙකු නොමැරුනු තැනක් නොමැති විය. මට නිසැකයෙන් මතකය ආවේ බුදුන් සමයේ මිනිසෙකු නොමල ගෙයකින් අබ ඇට සොයන්නට ගිය කතාවයි. නොමල ගෙයක් නැත... ලේ විලක් මැද වැටී සිටි බිළිඳන් පිලිබඳ විස්තර කියද්දී අපේ ඇඟ කිලිපොලා යන්නට විය. නෙතඟට කඳුළු උනන්නට විය. මේ වැනි දෙයක් සිදුවුන සිද්ධිය වසන් කරමින් ග්‍රාමාරක්‍ෂකයන් වීරයන් කල ගාමිණී නම් චිත්‍රපටයට මා වෛර කරමි. හුදෙක් ජනයාගේ හැඟීම් සමඟ දුක විනෝදයක් කල දෙයක් අප රටට අවැසිදැයි සිය දහස් වර මා සිතමි.


මීලඟට අප විමසුම් කල කරුණ නම් ගාමිණී චිත්‍රපටයේ එන අංගම්පොර වීරයා ඇත්තක්ද යන්නයි. එය සත්‍යයකි. එවන් වීරයයෙකු සිට ඇත. නමුදු අංගම්පොර වෙනුවට ඔහු දැන සිට ඇත්තේ කරාතේ ශිල්පයයි.  මේ කියන්නා වූ 16 දෙනෙකු මරා දැමූ නිවසේ කාමරයක ඔහු සටන් කර ඇත. ත්‍රස්තයන් පරාජය කර ඇත. නමුදු අවසන ඔහුද පරාජය විය. අදටත් ඒ නිවසේ ඔහුගේ යැයි කියන වියැලී ගිය ලේ සලකුණු දක්නට හැකිය. තවමක් කට කතාවලින් තමන්ගේ ග්‍රාමය පාවාදුන් බව කියන්නන් එමටය. පොදුවේ කතා බහට ලක් නොවුනද අදටත් ජීවමානව මේ පාවාදෙන්නන් සිටී යැයි කතාන්දර පවතී. අප මෙතැනින් පසුව ගමේ පන්සලත් ස්වාමීන් වහන්සේත් සොයා ගියෙමු. ඒ කතාන්දරයේ නෙගැලපෙන තැන් පුරවන්නට සිතාගෙනය.

සටන් ශිල්පියා සටන් කල නිවස

සටන් ශිල්පියා මිය ගිය තැන. ලේ පැල්ලම් බිත්තියේ තවමත් ඇත

පන්සල හා අවට දුටුවිට ගාමිණී චිත්‍රපටය තුල පෙන්වූ සුරංගනා කතාවේ කෙතරම් දේ තිබුනේ දැයි මට සිතෙන්නට විය. ගෝණගල පන්සලේ රන්සෑගොඩ මිත්තසිරි ස්වාමීන් වහන්සේ, මා දුටු අපූරු ස්වාමීන් වහන්සේ නමක්. මගේ මතකයේ රැඳුන ස්වාමීන් වහන්සේගේ වචන මෙන්න මෙහෙම සඳහන් කරන්නම්. "මහත්තයෝ උන් ඇවිත් ගමේ උන් මරද්දී මම හිටියේ නෑ. පිරිත් කියන්න ගියා. ඒ එහා ගමට. මම එද්දී 4ට විතර ඇති ගමෙන් මහ ගොඩක් වාහන යන සද්දෙටයි. මම බැලුවේ. බලද්දී ගමක් නෑ. මම ගිහින් හැම තැනම බලල ජීවත් වෙලා ඉන්න අය ඇම්බියුලන්ස් ගෙනත් ඉස්පිරිතාලේ දැම්මා. උදේ පොලීසියෙන් ආවේ. ඒ එදිදී ඔක්කොම ඉවරයි". ස්වාමීන් වහන්සේ පවසන අන්දමට චිතුපටය හුදෙක් ගම්වැසියන්ගේ කඳුළු විකුණූ ක්‍රමවේදයක් පමණක්මය. විස්තර තොරතුරු රැස්කරමින් වාර්ථාකරණයේ යෙදුනත් එය නොමිලේ නැරඹීමට ගම් වැසියන්ට අවස්ථාව ලබා දෙන බවත් පවසමින් සියළු විස්තර රැස් කරමින් ගම් වැසියන් මුලා කල ගාමිණී චිත්‍රපටය අදටත් නරඹා නොමැති අය ගමේ ජීවත් වෙති. කෙසේ වෙතත් ඔවුන් පවසන්නේ ගෝණගල නමින් ඇති ඔවුන්ගේ ගමේ නම හා ඛේදජනක සිදුවීම විකුණන්නටත් අඩුම ගණනේ චිත්‍රපටය වෙනුවෙන් රූගත කිරීම් තුල ගමෙන් එක් පිදුරු ගහක්වත් නොගෙන ඇති බවයි. ස්වාමීන් වහන්සේ කියූ එක් දෙයක් තවමත් මගේ මතකයේ තිබේ. එනම්, "මහත්තයෝ මම මේ පන්සලේ එදත් අදත් ඉන්නේ මට වෙන පන්සල් නැතුව නෙවෙයි. ඒත් කෙනෙකුට දුකක් කරදරයක් වුනාම දාල යන ජාතියේ නිවට ජාතියත් නෙවෙයි සිංහල කියන්නේ. චීවරේ ඇතත් නැතත් දුකට කරදරේ වැටුනු වෙලාවට ලඟ ඉන්න එකයි වටින්නේ". මේ වචන ස්වාමීන් වහන්සේ කිව්වේ උන්නාන්සේගේ හදවතින්මයි.
රන්සෑගොඩ මිත්තසිරි ස්වාමීන් වහන්සේ

අද වෙනතුරුත් ගමේ ඇතුලත පාරවල් හදනවාට වඩා දෙයක් කර නොමැති දේශපාලනය දැනටත් සිදුවෙන අලි මිනිස් ගැටුම බලන්නවත් මේ ගමට නොපැමිණ ඇත. ඒ එසේ එන්නවත් තමන් පාරක් සාදා නොමැනි නිසාවෙන්ද? එහෙමත් නැතිනම් දේශපාලන තරඟයේ එකිනෙකා සමඟ ඇණ කොටාගන්නා අතරතුර කරන්නට කාලයක් නොමැති නිසාවෙන්දැයි ප්‍රශ්ණයක් පැණ නගී. කෙසේ වෙතත් තවමත් දුක්ඛිත ජීවත් කරන පවුල් ගණනාවක් සෛන මේ ගම්මානය එදා සිටි තත්ත්වයෙන් මුදවාගෙන නම් නොමැත.

මම පැය ගානකින් එකතු කරපු කතා ගොන්න කෙටි කරලයි මේකේ ලිව්වේ. හැබැයි ඉතින් ඒ කතා ඒ කටවල් වලින්ම ඒ වචන වලින්ම අහද්දී තරම් හැඟීමක් එන්නේ නම් නැහැ මේකෙන්. ලියන්න නම් දිග කතාවක් ඒ කියන්නේ නව කතාවක් දිගට ලියන්න පුළුවන් තරම් දේ තිබුණා. නමුත් ඒ තැන ඉඳන් ඒ කතා අහද්දී දැනෙන ත්‍රාසය පිරි හැඟීම ඔයාලට නම් කොහොමවත් ලැබෙන්නේ නැහැ. (නොගිය කෙනෙකුට)

මගේ ගමන් බිමන් පනස් නමවන කොටස - වනවාස පුරාණ රජමහා විහාරය

මා කලින් ලියූ ගලපාත රජමහා විහාරය නම් ලිපියේ සඳහන් විහාරය වැඳපුදා ගත් අයට මේ කියන විහාරස්ථානයට යන්නත් පුළුවන්. මේ විහාරය තියෙන්නේත් ගලපාත විහාරස්ථානය ආසන්නයේමයි. ඒ ගාල්ල කොළඹ පාරේ ඇල්පිටිය පාරට හැරෙන තැනින් ටිකක් කොළඹ පැත්තට යද්දී තියෙන අතුරු පාරෙන් කිලෝමීටරයක් විතර ගියාම. නමුත් ගලපාත රජමහා විහාරයට ගිය පාරත් මේ කියන පාරත් එකට සම්බන්ධ නිසා කොයි පාරෙන් ගියත් මේකට යන්න පුළුවන්.

දේවානම් පියතිස්ස රජදවස කරවූ මෙම විහාරය ඇතුලු විහාර 5ක් ගැන ඉතිහාසයේ කියවෙනවා. ඒ පංච මහා විහාරයන්ය. ඒවා නමින් බෝධීන් වහන්සේ පිහිටි තැන බෝධි මළුව රජමහා විහාරයත්, ත්‍රිවිධ චෛත්‍ය වහන්සේ පිහිටි තැන ගලපාත රජමහා විහාරයත්, වෙහෙර ඉදිවූ තැන බෙන්වෙහෙර රජමහා විහාරයත්, අතිරේක බෝධීන් වහන්සේ පිහිටි තැන බෝධි සමීප රජමහා විහාරයත් පිහිටා ඇත. ඒ අනුව රහතන් වහන්සේ වැඩසිටි තැන පිහිටා ඇත්තේ වනවාස රජමහා විහාරයයි. අනුරාධපුරයට අටමස්ථානය වටින්නේ කෙසේද මේ ප්‍රදේශයට පංච මහා විහාරයන්ද ඒ හා සමාන වේ.

අතීතයේ මේ පංච මහා විහාරයන් එකිනෙක හා උමං මාර්ග වලින් සම්බන්ධව පැවතුන බවත් දැන් ඒවා වැසී ඇති බවත් මූලාශ්‍ර මගින් කියවේ. නමුදු මේවා පිළිබඳ කාව්‍ය සංදේශ වල මෙසේ සඳහන්ව ඇත.
පරෙවි සන්දේශයේ
ගොසින් තොසින් බෙම්තොට වනවාසයට
වඳු මිතුරිඳු රෑ දින වනවාසයට

ගිරා සන්දේශයේ

වඳිනා සේ මතු සඟමොක් සැප නොමඳ
වනවාසේ වෙහෙරට ගොස් වැඳ සබඳ

තිසර සන්දේශයේ

නඳු සිතින් ගොස් රෑ දවසැ ලැගු මට
වඳු මිතුර බෙම්තොටැ වන වාසයට

කෝකිල සන්දේශයේ

වන වාසය බවයෙහි නොවනුව තොපට
වනවාසය වෙහෙරෙහි වඳුව මුනිඳුට

කලින් මා සඳහන් කල උමං මාර්ග වලින් එකක් මෙහි සොයා ගෙන ඇති අතර එය මඳක් දුර සෘජුව ගමන් කල හැකිය. නමුදු එතැනි ඉදිරිය නම් වැසී ගොස් ඇති සෙයකි. අනුරාධපුර. පොලොන්නරු යුග වලදී සඳහන් අෂ්ඨ මූල (වියපත් අට ගණය) නම් ආශ්‍රම සංකීර්ණයක් රහතන් වහන්සේලා වෙනුවෙන් මෙහි පැවති බවත් ඒවා අතර ගමන මේ උමං මාර්ග මගින් සිදුකල බවත් කියවේ.

නමුදු පිටරැටියන්ගේ ආක්‍රමණ හමුවේ විනාස වුන මේ විහාර ගණින්නාස්සේලා විසින් රැකගෙන ඇති අතර නව ප්‍රතිසංස්කරණ හමුවේත් වෙනස් කල ආකාර දකින්නට ලැබේ. උමං මාර්ග හා ශෙලමය ජල පෙරණය එක් යුගයක්ද, ලී පුවරුවක සිතුවම් කල බුදුන් වහන්සේගේ රුව තවත් යුගයක්ද, ඉහල මාලයේ ඇති වාහල්කඩ තවත් යුගයක්ද පෙන්නුම් කරයි. මෙසේ යුග ගණනක් තිස්සේ රැකෙමින්, රකිමින් පැවති මෙම ඓතිහාසික විහාරස්ථානය වැඳ පුදා ගන්න යන්න බෞද්ධයන් විදිහට යා යුතුම තැනක් කියලයි හිතෙන්නේ. හැබැයි ඉතින් ගියාට කමක් නැහැ අප්‍රකට තැන් සුප්‍රකට කරල විනාස කරන්න නම් එපා.


*************************************************
********************************
****************

මගේ ගමන් බිමන් පනස් අටවන කොටස - ගලපාත පුරාණ රජමහා විහාරය

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට ප්‍රදේශයේ තියෙන ඉතා වටිනා පුරා විද්‍යාත්මක ස්ථානයක් තමයි මේ කියන්න හදන ගලපාත පුරාණ රජමහා විහාරය කියන්නේ. එහි තියෙන මූලිකවම වටිනා පූජනීය දේ තමයි බුදුන් වහන්සේගේ තෘතීක මහා ශ්‍රාවකයිණන් වහන්සේ වුන කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දළදාවක් එහි තැන්පත් කර තිබීමයි. මෙම කාශ්‍යප මහරහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ උන් වහන්සේගේ ලොව ඇති එකම දන්ත ධාතූන් වහන්සේ යැයි සැලකේ. බෙන්තොටින් ඇල්පිටිය පාරේ ටික දුරක් යද්දී අතුරුපාරක් හමුවෙනවා. එතැනින් ගියාම මේ කියන්නා වූ විහාරස්ථානයට යන්න පුළුවන්.


ශ්‍රී ලංකාද්වීපය එක්සේසත් කල දුටුගැමුණු රජතුමාගේ සහෝදරයා වූ සද්ධාතිස්ස රජු විසින් කරවන ලද්දේ යැයි විශ්වාසයක් පවතී. ආරම්භක කාලයේදී මහරහතන් වහන්සේලා පවා වැඩසිටියා යැයි සලකනු ලබන අතර දෙවනපෑතිස්, නිශ්ශංකමල්ල, මහා පරාක්‍රමබාහු, දෙවන පරාක්‍රමබාහු. වීර වික්‍රම, හයවන පරාක්‍රමබාහු හා කීර්ති ශ්‍රී රාජසිංහ නම් රජවරුන් විසින්ද ප්‍රතිසංස්කරණය කර ඇතැයි පැවසේ.

ශිලාලිපි හා මහාවංශයේ සඳහන් පරිදි එකල සෙලාන්තරායතන්, සේලාන්තර මූලය, ගලතුරු මූලය යන නම් වලින්ද චූලවංශයේ භීමතිත්ථ යන නමින්ද හඳුන්වා ඇත්තේද මෙම විහාරයම යැයි සිතිය හැක.



විහාරස්ථානයට ඇතුළුවෙද්දීම අපේ ඇස ගැටෙන දෙයක් තමයි ගලින් කල උළුවස්ස. මෙය ඉතාම විශිෂ්ඨ නිර්මාණයක්. එය වඩාත් විශේෂ වන්නේ පූර්ණ උන්නති කැටයමකින් සමන්විත හෙයිනි. තවද මෙහි ඇති ශෛලමය ජල පෙරහනද විශේෂ තැනක් ගනී. සියුම් රැලි සහිතව කල බුද්ධ ප්‍රතිමා වහන්සේත්, විහාරගෙය තුල ඇති විවිධාකාර පිළිම වහන්සේලාත් ඉතා පැරණි වටිනාකමින් යුත් විශිෂ්ඨ කලාකෘතීන්ය.


බුදුන්ගේ දන්තධාතූන්ට පමණක් වෙැනි මෙම පූජනීය ස්ථානය වන්දනාමාන කරන්නත් අමතක කරන්න එපා.

මගේ ගමන් බිමන් පනස්හත් වන කොටස - රක්ඛිතාකන්ද පුරාණ රජමහා විහාරය

ගමන් බිමන් ලිපි කියවන ගොඩක් දෙනා වෙනුවෙන් ලියවෙන ලිපි අතරේ වැඩි විසිතරයක් කියන්න දන්නේ නැතිවුනත් අපේ ඉතිහාසය එක්ක සම්බන්ධයක් තියෙන තවත් තැනක් තමයි මේ කියන රක්ඛිතාකන්ද පුරාණ රජමහා විහාරය. හරිම අපූරු තැනක්. මෙතැනට කන්දේ විහාරය කියලත් කියනවා.
ඇල්ල වැල්ලවාය පාරේ වැල්ලවායේ ඉඳන් කිලෝමීටර 15ක් විතර ගියාම කුරුගම හංදිය හමුවෙනවා. එතැනින් තියෙන අතුරු පාරේ කිලෝමීටර දෙකක් විතර ගියාම කන්ද පැත්තට පාරක් තියෙනවා. එතැනින් කිලෝමීටර 3ක් විතර ගියාම මෙතැනට යන්න පුළුවන්.
මම යන දවස් වෙද්දී නම් පාර ටික ටික හැදෙමින් තිබුණා. අප්‍රසිද්ධ ස්ථානයක් නිසා වැඩි දෙනගක් දකින්න නැහැ. මෙතැන ඓතිහාසිකව ගොඩක් වැදගත් තැනක් වෙන්නේ පූර්ව ඓතිහාසික යුගය, ඓතිහාසික යුගය මධ්‍ය ඓතිහාසික යුගය යන යුග තුනටම අයත් පුරාවිද්‍යාත්ම දේ දකින්නට පුළුවන් නිසයි. ඉතිහාසයේ ලෝනගිරි විහාරය විදිහටත් හඳුන්වලා දීල තියෙන්නේ මේ විහාරය කියලයි කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ ලෙන් කෙලවර වෙන්නේ අපූරු කුඩා දිය ඇල්ලකින්.. තිබුණු වෙහෙස නිවාගන්න අපූරු නිසංසල වටපිටවක් තියෙන තැනක්.
බ්‍රාහ්මීය ලිපි, කටාරම් කෙටූ ලෙන් දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ලෙන තුලම නිර්මාණය කල චෙත්‍යයක් සුවිශේෂ තැනක් ගන්නවා. මීට අමතරව මෙහි ඇති උමඟක් බණ්ඩාරවෙල ඇති දෝව රජමහා විහාරය දක්වා විහිදෙන බවයි කියන්නේ. කොහොම වුනත් අපූරු තැනකි විදිහට දකින්න වන්දනාමාන කරන්න පුළුවන් තැනක්. ඉතිහාසය පිළිබඳ තාම තොරතුරු හොයන්න ලැබුණේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවානම් කොමෙන්ටු විදිහට හරි විස්තරයක් දාන්න කියල ඉල්ලා හිටින්නේ අනිත් අයට කියවලා දැනගන්න එක්ක. අනික මටත් ඒක ගොඩක් වැදගත්.

මගේ ගමන් බිමන් පනස් හයවන කොටස - පොරවගල නැරඹුම

බණ්ඩාරවෙල කියන්නේ ලංකාවේ හරිත නගරය කියලගයි කියන්නේ. මේ කියන නැරඹුම් සථානය තියෙන්නෙත් බණ්ඩාරවෙල. ලංකාවේ තියෙන ලස්සන නගර වලින් එකක් තමයි බණ්ඩාරවෙල. ඒකට හේතුව අපි දකින කඳුපන්ති හා ඇහැට ප්‍රිය ජනක වර්ණ සංකලනයන් තිබීම. නාගරීකරණය එක්ක ගොඩක් දේවල් විනාස වෙලා ගියත් ඒ තුලත් රිද්මයක් සැකසිලා තියෙන්නේ කඳුපන්ති නිසාමයි.
බණ්ඩාරවෙල නගර සීමාවේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයය අසලින් ඉහලට තියෙන පාරේ ගියාම  මහඋල්පත විහාරය ගාවටත් විහාරය ගාවින් තියෙන පාරේ ගියා නම් මෙතැනටත් යන්න පුළුවන්. ලස්සන තැනක් වගේම පල්ලම ආසන්නයට යෑම නම් භයානකයි. උපරිම වින්දනයකින් බලන්න නම් අපට ටිකක් විතර මීදුම අඩු දවසක යන්න වෙනවා.
එක පැත්තකින් පෙනෙන නමුණුකුල කඳු වැටියත් අනෙක් පැත්තෙන් පෙනෙන පිදුරුතලාගල කන්දත් පහසුවෙනන් හඳුනාගන්න පුළුවන් වගේම මඳ වැස්සකට පස්සේ නම් නමුණුකුල කන්ද අපූරු කොල පැහැයට හුරු නිල් පැහැයකින් දිස්වෙන බවයි කියන්නේ. මෙතැන තියෙන ගල්තලාවේ ඉඳන් බැලුවම කිණිගම දුම්රිය ස්ථානය හා එතැන තියෙන බිංගෙය බලන්න පුළුවන් වගේම එතැනින් දුම්රියක් එන වෙලාවේදී බලන්න පුළුවන් නම් අපූරුයි. ඒ එන දුම්රිය අපි ලඟින් පහලින් ගිහින් ඈතට යනකම් සැරින් සැරේ එබෙමින් තමයි යන්නේ. ඒ කඳු වටෙන් දුවන රේල් පාර හින්දා. සැරින් සැරේ අතුරුදහන් වෙන්නේ සද්දේ විතරක් කන් වලට ඇහෙන්න දීලයි. ඒක හරි අපූරු චිත්‍රයක්.


මෙතැන ලස්සන දකින්න එන්න. බස් එකක් නම් එන්න බැහැ. නමුත් වෑන් එකක් වගේ නම් එන්න පුළුවන්. හැබැයි ඇවිත් මෙතැන පොලිතින්, වීදුරු කටු වගේ දේවල් දාලා අපවිත්‍ර කරනව එහෙම නම් නෙවෙයි. ලංකාවේ ලස්සන තැන ගොඩක් එක්ක අයේ ලිපියක් ලියනකල් හැමෝටම ආයුබෝවන්. ලිපි වල තියෙන තැන වලට යන්න කැමතිනම් හරි තව විස්තර ඕන නම් හරි මගෙන් අහන්න පුළුවන්. මූණු පොතෙන් හරි කොමෙන්ටුවකින් හරි අහන්න... ලස්සන විඳින්න විනාස කරන්නේ නැතුව.