හැමතැනම සුපිරි සඳ කියන මාතෘකාවෙන් පිරිල නිසා සුපිරි සඳ ගැන යමක් ලියන්න හිතුවා. මුලින්ම කියන්න ඕන මොකක්ද මේ සුපිරි සඳ කියන්නේ කියල. මේකට සුපිරි සඳ කියන එක ජොතිශ්‍යයෙන් දීපු නමක් ඒක තාරකා විද්‍යාත්මක නම නෙවෙයි. ඒකට තාරකා විද්‍යාව දෙන නම තමයි perigee-syzygy of the Earth–Moon–Sun system කියන එක. මේකට ප්‍රතිවිරුද්ධ දෙයකුත් තියෙනවා. Apogee-syzygy of the Earth–Moon–Sun system කියන එක.
පෘථිවිය වටා සඳ යන ගමන් මාර්ගය හැමදාම එකම මාර්ගයක් නෙවෙයි. එය තරමක් වෙනස් වෙනවා. ඉලිප්සීය මාර්ගයක සූර්යයා වටා යන පෘථිවියේ ගමනත් පෘථිවිය වටා ඉලිප්සීය මාර්ගයක සිදුවෙන සඳේ ගමනත් ඒකට බලපානවා. ඉලිප්සීය මඟ ගමනේදී පෘථිවියට ආසන්නවම සඳ ගමන් කරන විට අපට සඳ මඳක් විශාලව ආලෝකය වැඩියෙන් දිස්වෙන්න පුළුවන්. නමුත් එසේ විශාලත්වය වැඩියෙන් දිස්වීම සඳහා තවත් යමක් සිදුවිය යුතුයි. ඒ තමයි ඒ දිනය පුරහඳ ඇති දිනයක් වීම. අඩ සඳක අපට මේ සංසිද්ධිය බලාගන්න බැහැ. ඉතින් මේ කියන කරුණු කාරණා දෙකම එකවර ඇති වෙන්නේ කලාතුරකින් කියල කියන්න පුළුවන්.සුපිරි සඳ කියන අවස්ථාවක් විදිහට සලකන්න නම් හඳ කිලෝමීටර 361,524ක ප්‍රමාණයට ලඟින් යන්න ඕන.
මම කිව්වානේ මේකේ විරුද්ධ සංසිද්ධියකුත් තියෙනවා ඒකට කියන්නේ Micro Moon කියලයි. මේ අවස්ථාවේදී සඳ සාමාන්‍ය අවස්ථාවට වඩා පොඩියටයි පේන්නේ. ඒකත් අපිට දකින්න නම් පුරහඳ ඇති දවසක් විය යුතු වෙනවා.



