විදුලි මිණි පහන් දැවී

ලූෂන් බුලත්සිංහල විසින් රචනා කල මේ ගීතය තුල ඔහු තවත් නිර්මාන කිහිපයක මතු කරන්නා වූ ඇති නැති පරතරය/ ධනපතියන්ගේ හා දුගීන් අතර වෙනස මතු කර පෙන්වන බවයි මගේ නම් හැඟීම. ගුණදාස කපුගේ ශූරීන් විසින් සංගීතය නිර්මාණය කර ගායනා කරන මේ ගීතය සඳහා ඔහුගේ සංගීතය මෙන්ම කටහඬ ද මනා සාධාරණයක් ඉටු කර ඇතැයි සිතමි. 

ගීතයේ පද පිලිබඳ කතා කරන්නට මත්තෙන් සංගීතයේ දක්වා ඇති කුඩා ස්ථාන දෙකක් මතු කර දැක්වීම සුදුසු යැයි සිතමි. ඒ ආරම්භයේ හා අවසානයේ යෙදී ඇති සමූහ ගායනයත් නිරන්තර ඇති කරන්නා වූ ට්‍රම්පට් ශබ්දයත්ය. සමූහ ගායනය තුල දුගී පිරිසේ ආඳෝනාවත් ට්‍රම්පට් මගින් ධනවතුන්ගේ විනෝද සාදයත් මතක් කර දෙන බවක් මට දැනේ.

ගීතයේ කතාවේ ආරම්භය ලෙස මා සිතන අයුර විග්‍රහ කිරීම වඩා සාර්ථක යැයි සිතමි. ඔහු පෙම්වතෙකි. දුගියෙකි. නමුත් ඔහු පෙම් බඳින්නේ ධනවත් යුවතියකටය. ඇයද එසේමය. නමුත් එහි ඇති නොගැලපීම ඔහු දනී. කිසිදා සැබෑ නොවන ප්‍රේමයක ඔහු පැටලී ඇති බව නිසා ඔහුගේ සිත දෙගෙඩියාවක පෙලේ. ආදරවන්තිය ඔහු ඇගේ සමාජයට ගෙන යාමට උත්සාහ දරයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට තම නිවසේ පැවැත්වෙන සාදයකට ආරාධනා ලැබේ. ඔහු එහි යන්නේ දෙගෙඩියාවෙනි. ගීතය පවසන්නේ ඔහු විඳි ඔහුට දැනුන හැඟීම් සමුදායයි.

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලී
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාගරේ

විදුළි පහනින් ආලෝකමත් වී ඇති ඇයගේ මන්දිරය තුල ඇයගේ සාදයට ආරාධනා ලැබ ඇති අයගෙන් පිරී ඇත. ඔවුන්ගේ සිනාවන් කතාවන් සියල්ල තුල සත්‍ය බවක් නොමැත. ඔවුන් සිනාවෙන්නේ කෘතීමව සකස් කරගත් සිනාවන්ගෙනි. ඒ සිනාවන් වල කිසිඳු තාත්වික බවක් නැත. නමුත් මේ සියල්ල තුල ඔවුන් සිරවී සිටින්නේ ඇස් නිලංකාර වූ කලෙක දිප්තිමත් පහණක් දෙස බලා සිටින්නවුන් වැනි ස්වභාවයෙනි. මෙය සත්‍ය නොවන අන්ධකාරයක් පමණක් වුනත් මෙි සියලු රැවටීම් තුල ඔවුන් සිරව සිටී. ඒ මේ සාදයේය. 

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//

නමුත් මේ සියලු දේ සිදුවන ඔබේ සුවිසල් මන්දිරය තුල මා කුඩාම කුඩා කුහුඹුවෙකු මෙනි. මේ සියලු පෝසතුන් මැද මා ඉතා කුඩා ජීවියෙක් පමණක්මය. ඔහුට තමාගේ තත්ත්වය පන්ති වෙනස දැනී ඇත. වඩා වඩාත් තදින් දැනී ඇත.

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//

එන්න කාල බීල සතුටු වෙමු යැයි ඇය තමන්ගේ පන්තියේ මිතුරන්ට ආරාධනා කරයි. ඒ සියලු තකාවන් සිනාවන් හඬ පරයමින් ඇගේ හඬ ඇසෙයි. සැරන් සැරේ ඇසෙන ඇ‍යගේ හඬටත් වඩා ඔවුන්ගේ කතාවන් ප්‍රභලය. නමුත් වරින් වර ඇසෙන ඇගේ හඬ ඔහුට වඩා හොඳින් ඇසේ. ඒ අයගේ හඬ ඔහු සොයන නිසා විය යුතුය. නමුත් මේ කතාවන් ඔහුට නුහුරුය. ඇය ඔහුගෙන් ඈත්ව ඇයගේ මිතුරන්ට සංග්‍රහ කරන්නට ගිය තැන ඔහුට තනියක් නුහුරු බව හා නොගැලපීම් වඩා හොඳින් දැනෙනනට පටන් ගෙන ඇත.

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

මත්පැන් පරවාගෙන උසුලු විසුලු කරමින් කරන මේ රංගනයන් වලින් මිදී මැදුරෙන් පිට ලෝකය දිහා පොඩ්ඩක් බලන්න. එහි ද වෙනම ලෝකයක් ඇත. මේ සියලු රංගනයන්ගෙන් මිදී මගේ ලෝකය දෙසත් පොඩ්ඩක් බලන්න කියල ඔහු ඇයට ආරාධනා කරනවා. ඒ ඇය නොමැති තැන ඔහු තනිවී ඇති බවත් තමන්ගේ නොගැලපීමත් වඩා තදින් දැනෙන නිසා විය යුතුය.

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා....//

මැදුරෙන් පිට ලෝකය පිළිබඳ කතාව ඔහු කියන්නේ මෙසේය. ඒ මැදුරින් පිට ලෝකයේ ඇත්තවුන් කන්න දෙන්න යැයි ඉල්ලන්නේ නැතිව ඇස් වලින් තමන්ට ආහාර නොමැති බව පෙන්වනු ඇත. ඔහු ගැන සිතමින් ඇය ලංවුනා වගේ ඒ දෙස බැලුවොත් ඇය එය තේරුම් ගනු ඇතැයි ඔහු සිතන්නට ඇත. නමුත් ඔවුන් දෑත් යොමු කරමින් ඉතිරි වූ ආහාර ලබා ගැනීමට පැමිණෙයි. ඒ මන්දිරයෙන් පිටත ඇති මුඩුක්කු සමාජයේ තත්ත්වයයි. ඒ ඔවුන්ගේ සා ගින්දරේ අවසාන අදියරයි. ඔවුන් එය ඉල්ලන්නේත් දෑසින් කල කතාවන් පොසතුන්ට නොඇසී නොදැනී ඇති තැන අවසානයත් ආහාර නොමැතිව සිටිය හැකි උපරිමයත් විඳදරා ගැනීමෙන් අවසානයේදීය. හංසයන් තම අවසන් අවස්ථාවේදී, නොකරම බැරි අවස්තාවේදී හඬ නගන්නාක් මෙන් ඔවුන්ද සිදුවන ආහාර හානිය දැක තමන්ට විඳිය හැකි උපරිම දුක අවසානයේ ආහාර සිඟමනේ යෙදෙන්නේ දෑසින් තම දුක්බර කතාව කියමිනි. නමුත් ඇය හා සිටින පෝසතුන් ඒ කතාව කවදාවත්ම අසා නැත.

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

මම අද ඔබ සමඟ මේ මන්දිරයේ සැප සම්පත් දැක්කා වුනත් මගේ සිතින් මම මගේ ලෝකයේ, දුප්පතුන්ගේ ලෝකයේ තනිවී සිටිමි. මගේ ලෝකය ආහාර නැතිව බලා හිඳින හැටි සිහිවෙමින් ගෙවෙන මේ නිමේෂයන්වල ඔබට සමු දෙන්න තරම්වත් ඉඩ නොදී පලා යන්න යැයි මගේ දෙපා කියනවා. එසේ කියමින් මම ඔබේ මන්දිරයෙන්, ඔබගෙන් සමුගෙන යනවා. ඒ ඔබට නොකියා.

ඔහුට ඇයගේ ආදරය හමුවේ ඇයගෙන් සමුගන්න තරම් ශක්තියක් නෑ. ඒ වගේම ඇයගේ ලෝකයේ තමන්ට ඉඩ හදාගන්න බැරි බව තේරෙනවා. ඒ ක්‍රම ඒ සමාජයට හැඩ ගැහෙන්න එහුට බෑ. තමන්ගේ දුප්පතුන්ගේ ලෝකය සිහි වෙද්දී ඔහුට ඇය සමඟ සැප විඳින්නට බැහැ. ඒ සැප සාධාරණ නැති බව ඔහුට දැනෙනවා. ඒ නිසා ඇය හොරෙන් ඔහු ඇගෙන් ඈතට යනවා.


මේන්න එහෙම නම් ගීතය. ඔයාලටත් මේ ගීතය අරුත් සමඟ විඳින්ට ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා.
 
විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලී
නිලංකාර අඳුරේ සිරවී
සැඳෑ සාගරේ

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...//

එන්න කන්න බොන්න මිහිරේ
සැමටයි ආරාධනා

ඔබේ හඬ කිඳී සිඳී යයි
කතා සරිත් සාගරේ...//

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙලි නැටුම් සිනා
යොමා ඇස බලන් යලි සොඳුරේ
මැදුරු දොර දිහා

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආරාධනා

දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා....//

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පලා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී

පද රචනය : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ගුණදාස කපුගේ
ගායනය : ගුණදාස කපුගේ

4 comments:

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහ ඉඩ ලැබෙන පරිදි ඔව් මම ඇවිත් යන්නම්

      Delete
  2. අර්ථය සොයා යන විට හමු වූ හොඳ විග්‍රහයක්
    ස්තූතිය සහෝදරයා

    ReplyDelete

කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!