දිවංගත අජන්තා රණසිංහයන් විසින් රචිත අපූර්ව ගීතයක් තමා අද කතාව ලියන්න තෝරා ගත්තේ. මේ ගීතයේ සංගීතය සපයන්නේ සරත් දිසානායකයන් අතින්. ඒ වගේම තමා ගීතයේ අර්ථයට අපූර්ව හැගීමක් ලබා දෙන්න පුළුවන් විදිහේ කටහඩක් තියෙන නන්දා මාලිනී විසින් ගීතය ගායනා කරල තියෙන්නේ. මේ ගීතය දුහුල් මලක් චිත්රපටය සදහා කල නිර්මාණයක් වුනත් චිත්රපටය නොබලපු කෙනෙකුට වුනත් අපූර්ව ආකාරයෙන් ගීතය විදින්න පුළුවන් විදිහෙන් නිර්මානය වෙලා තියෙනවා. මේ ගීතය රචනා කරන වෙලාවේදී අජන්තා රණසිංහයන්ගේ සිතිවිල් දාමය කොයි ආකාරයෙන් ක්රියා කරන්න ඇතිද කියන ප්රශ්නාර්ථය හැම වෙලාවේ දී ම දැනෙන කරුණක්. කොයි ආකාරයෙන් ද මේ ගීතයේ කතා නායිකාවගේ සිතිවිලි වචන කලේ කියන එක.
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි
ගීතයේ කතා නායිකාවට පෙම්වතුන් දෙදෙනෙක් ඉන්නවා. අපි හැමදාම දකින්නේ පෙම්වතියන් දෙදෙනෙක් ඉන්න පෙම්වතුන් වුනත් මේ කතාව ඒ හැගීම් දෙපැත්තටම පොදු බවට හොද උදාහරණයක් දෙනවා. මේ පෙම්වතුන් දෙදෙනාගැන කෙටි පේලි දෙකකින් කියනවා. එක්කෙනක් රත්තරන් කෙන්දකින් අතැගිලි බැදල දුන්න ආදරය. ඒ කියන්නේ සැමියෙක්. නමුත් ඒ තුල ආදරය තියෙනවා. සැමියා ඇයට ආදරෙයි. නමුත් ඒ තමන්ට අවශය තරමම නෙවෙයි. කෙන්දකින් තරම් ප්රමාණයකින් තමා ඒ ආදරය රැකිල තියෙන්නේ. ඒකට හේතුව සැමියා කාර්ය ඉහුල වීම වෙන්න ඕන. දෙවැන්නා ඇගේ ආදරය හිමිකර ගත්ත සිතිවිලි වසග කර ගත්ත ආදරයයි. ඒ ආදරය තමා තමන්ව හොදින් තේරුම් අරන් තියෙන්නේ. ඒ ආදරය ශක්තිමත් රැහැනකින් බැදල වගෙයි.
කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ
කිරිල්ලිකයක් වගේ පියාඹන්න පුළුවන් වගේම එහෙම පියාඹපු තාමන්ගේ අත්තටු රිදිල විතරයි. ඇය දැන් දන්නවා ඇය දුව ගිහින් තියෙන්නේ මිරිගුවක් පස්සේ කියල. ඇයට දැන් දෙදෙනාවම අත්හරින්න බැරි තරම් වෙලා. අත්දෙක දෙපැත්තට දික් කලාම තමන්ගේ සැමියාටත් පෙම්වතාටත් තියෙන අයිතීන් සමාන වන තරම් වෙලා. සැමියාට නීතයෙන් හා සමාජ සම්මතය මගින් දීල තියෙන අයිතියත් පෙම්වතාට තමන්ගේ සිතිවිලි තේරුම් අරගෙන තියෙන ආදරයේ අයිතියත් සමානවයි තියෙන්නේ. නමුත් ඒ දෙදෙනාගේම ආදරය තියෙනවා වුනත් තමන්ගේ ජීවිතයේ කිසිදු වැදගත් කමක් වටිනාකමක් ඇයට නැති බව දැනෙන්නට පටන් අරන්. ඒකට හේතුව තමාගේ සැමියාට වංචා කරනවා කියන වැරදිකාර හැගීමම වෙන්න පුළුවන්. ඒක අපූරු විදිහට කියන්නේ හිරු සදු එකවර දෙපස නැගේ කලුවර ඇයි විජිතයම මගේ කියලයි. හිරුත් සදුත් එකවර අහසේ තියෙද්දී මොනතරම් එළියක් තියෙයිද, ඒක එහෙම වෙලා වුනත් මගේ විජිතය මගේ දේශය සම්පූර්ණයෙන්ම අදුරේ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ. ඇය තුල තියෙන්නේ ප්රශ්ණාර්ථයක්. මට කලාතුරකින් ලැබෙන ආකාරයෙන් සියලු දේ ඔවුන් දෙදෙනාගෙන ලැබෙනවා. නමුත් ජීවිතයේ කිසි සතුටක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ.
කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ
ඒ සියල්ල මෙහෙම වෙද්දී ඇයගේ සිතිවිලි ප්රේක්ෂකයාට කියන්නේ කණාටු සුළගේ දුහුල් මලක් සිතිවිලි වලට උපමා කරමින්. සුලගට හසුවුන දුහුලු මලක් කිසිදු අවසානයක් නොමැතිව පාවෙලා යන්න වගේ ඇයගේ සිතිවිලිත් එහේ පාවෙලා යනවා. කිසි අරමුණක් නැහැ. ඇය තාමත් තම සැමියාගෙන් වෙන්වෙනවාද පෙම්වතාගෙන් වෙන් වෙනවාද කියල හිතා ගන්න බැරිවයි ඉන්නේ. මම හිතන්නේ ඒ පෙම්වතා ඇයට තමා සමග එන සෙ කල ආරාධනාවක් නිසා වෙන්න ඇති.
කොහොම වුනත් අපූරු ආකාරයෙන් පෙම්වතුන් දෙදෙනෙකුට මැදිවුන කාන්තාවකගේ සිතිවිලි වචන වෙලා තියෙනවා. උපමා යොදා ගැනීම තුලම ඒ හැගීම තවකෙකුගේ සිත තුල දැඩි මනෝභාවයක් ඇති කරනවා කියල මම හිතනවා.
රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කල ආදරයයි..
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි..//
කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි..
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි..
හිරු සඳු එකවර දෙපස නැගේ..
කළුවර ඇයි විජිතයම මගේ..
රන් කෙන්දෙන්..
කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ..
ඔබගෙන් දෝ - ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///
ගී පද - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දිසානායක
ගායනය - නන්දා මාලනි
No comments:
Post a Comment
කුණුහරුප හැර ඕනෙම දේකට මෙන්න ඉඩ!
තමන්ගෙම අදහසක් දාන්න කොමෙන්ටුවක් විදිහට අනිත් අයටත් හිතන්න..!